Saturday 25 December 2010

ගෝ දානය


මේ පින්තූරෙ ඉන්න කෙනා දිහා හොඳට බලන්න. මෙයා මේ ඉන්නෙ අලුත්ගම හරක් මස් කඩේ ඉස්සරහ.
හොඳටම බය වෙලා කියලා පේනවා නේද? එයාට දැනෙන්න ඇතිනෙ සනුහරේ කට්ටියගෙ ජීවන සුවඳ. හැබැයි අපි මෙයාව මෙතනට ගෙන්නුවෙ පරලෝකෙ යවන්න නෙමේ. ජීවිතේ බේර ගන්න.

මස් මාළු කන අපි මොන තරම් පව්කාරයොද කියලා හිතෙන්නෙ මේවගේ තැනකට ගියහම තමයි. ඒ හැම ප්‍රාණියෙකුටමත් ඇතිනෙ හිතක්. උන් ට ඒ ලේ සුවඳ ආපු මොහොතෙ පටන් මැරෙන කම්ම, කී වතාවක් උන් හිතෙන් මැරෙනවා ඇද්ද?  


අපි මෙයාගෙ අයිතිකාරයට සල්ලි දීල ගෙදර ගෙනාවා. එහෙ ඉඳන් අපේ ගෙදරට ටිකක් දුර නිසා ලොරියක පටවලා ගේන්න උනා.     එයාගෙ අයිතිකාරයටම අපි කිව්ව ලොරියට පටවලා දෙන්න කියලා.   අනේ ඒ කෙනා ගිහින් කඹේ ඇල්ලුවා විතරයි මෙයාට මළ, මුත්‍රා දෙකම පිට උනා.
( ඒ සිද්ධියෙ වීඩියෝ එකක් නං තියෙනවා,, මේකට දාන්න බැහැ නෙ :( ) 



ඔය දෙවෙනි පින්තූරෙ තියෙන්නෙ ගමනට ලෑස්ති කරපු හැටි. ආ මෙයා වැස්සි පැටියෙක් හොඳේ. ලොරියට නග්ගගෙන අපි එන්න හදනකොටයි ඇඟ සීතල වෙන කතාව අහන්න ලැබුණෙ        
 .   " මෙයා දෙපාරක් ම මස් කඩේට ඇවිදින් ආපහු ගියා මහත්තයා, ඒ දෙපාරෙම මස් වැඩියි කියලා මෙයා මරණෙන් බේරිච්චි කෙක්",,,  .

  


මගේ ජීවිතේට මේවගේ පින්කමක් කරපු පළමු වතාව මේක නෙමේ. මේ අපි නිදහස් කරපු හතරවෙනි එළදෙන. මුල් දෙවතාවෙම මේ අලුත්ගම මස් කඩය ආසන්නයෙදිත්, තෙවෙනි වතාව කළුතර බෝධිය මගින් කෙරෙන් පින්කමකදිත්  මට, අපේ පවුලෙ අයට වාසනාව ලැබුණා ජීවිත හතරක් බේර ගන්න.

ඉහත ආත්මෙක කරපු පිනකට මේවගේ දන් පින්කරන්න හිතක් ලැබුණ එක මොන තරම් වාසනාවක්ද? ඒත් ඉතින් කරපු කරුම්වල මහත කියන්නෙ මටත් තවම බැරි උනා මාළු සහ කිකිළියො මම වෙනුවෙන් මැරෙන එක නවත්තන්න. ..


        එක වතාවකදි හරකා වෙනුවෙන් මුදල් ගෙවන්න අපිට සිද්ධ උනා ඔවුන්ගෙ රාජකාරි අහවර වෙනකම් බලන් ඉන්න. පැය භාගයක් ඇතුලත හරකුන් දොළොස් දෙනෙකු පමණම පරලොව යවන්න තරම් ඔවුන් කාර්‍ය ශූර උනා. මම නම් වහනේට වෙලාම හිටියා, අපේ මහත්තයා ගියා චණ්ඩියා වගේ බලන්න, මෙන්න ටික වෙලාවකින් එයත් වාහනේට නැග්ගා. සත්තුන්ගෙ කුර, වල්ගා එහෙම වෙන වෙනම ගොඩ ගහලා කොහෙදෝ අරන් ගියා...




කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කෙරෙන ගවයන්ට අභය දානය දීමේ පිංකම පැවැත්වෙන්නෙ කලෙකට ඉස්සර " ගව ඝාතකාගාරය " තිබුණු තැනලු. එහෙන්  නිදහස් කෙරෙන ගවයින්ව තන්තිරිමලේ ට යවනවා. එහෙ ඉන්න කිරි ගොවීන්ට උන්ව බෙදාදෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් පස්සෙ කාලෙක උනත් අපි නිදහස් කරපු ගවයා ගැන හොයා බලන්න පුළුවන්. 


මීට වසර පහකට පෙර අපි නිදහස් කරපු පළමු සතා නම් දැන් මවක්. අපි දන්න කියන කෙනෙකුට තමයි දුන්නෙ හදාවඩා ගන්න. දෙවනි එක්කෙනත් දුන්නෙ කිරි ගොවියෙකුට. එයත් හොඳ සනීපෙන් ඉන්නවා. තුන් වෙනියා ගියේ තන්තිරිමලේ නේ. එයා නම් බලන්න යන්න බැරි උනා. මේ තමයි හතර වෙනියා. . 


ඔය ඉන්නෙ ගෙදරට ආවට පස්සෙ .


 

මෙයව බලාගන්න දෙන්න කෙනෙක්ව හොයනකොට අපේ වඩු බාස් උන්නැහැ කිව්ව එයාගෙ ගෝලයට දෙන්න කියලා. ඔය ඉන්නෙ ඒ කෙනා තමයි. එයාගෙ ගෙදරටත් ටිකක් දුර නිසා අපේ කලූට ආයෙත් ලොරියක යන්න උනා. හිතන්න ඇති මේ වතාවෙ නං මස් කඩේටම තමා කියලා.  



මේ බලන්න ගෙනියන්න හදනකොට අනේ මට නං බෑ කියලා බෙල්ල පොළවටම තියා ගත්තු හැටි

මම කලින් වතාවක මස් කඩේ ළඟ ඉන්නකොට දැක්කා මරන්න හදන්කොට ඉන්නෙත් මෙහෙම තමයි. බලන් හිටපු අපි කාටත් අනේ,,, කියලා කියවුනා. ඒත් ඉතින් මේ ගෙනියන්නෙ හොඳට බලා ගන්නනේ. මරන්න නෙමෙයිනේ.... 



මෙයාව ලොරියට පටව ගන්න සෑහෙන වෙහෙසක් ගන්න උනා. අර විදිහටම සෑහෙන වෙලා බෙල්ල පොළවෙ තියා ගෙනයි හිටියෙ.. 



එයා නං හොඳින් ඉඳියි. ඒත් අනිත් සත්තු. 

" මිස් සතෙක් නං ඉන්නවා, හැබැයි කළු පාටයි" ,නිදහස් කරන්න සතෙක් හොයන වෙලාවෙ උදව් කරපු කෙනා කිව්වා. 
" ඉතින් ඇයි? " 
" මිස් ,, සාමාන්‍යයෙන් නිදහස් කරන්න ගන්නෙ දුඹුරු පාට සත්තු" " කමක් නෑ... පාට මොක උනහම මොකෝ" මට නං හිතුනෙ එහෙම...

" මිස් මෙයා නොගත්තනං ඉස්සරහට එන උත්සව කාලෙ නිසා හෙට අනිද්දට අනිවාර්‍යයෙන් මෙයා කොක්කෙ!!! "    අපි සල්ලිත් ගෙවලා පිටත් වෙන්න හදනකොට කෙනෙක් කිව්වා....


 පුළුවන් කමක් තියෙනව නම් මහාචාර්‍ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත,  
" මේ ජීවිතයේ දීම පලදෙන කර්මය " පොත හොයගෙන කියවලා බලන්න!!!
.

Monday 13 December 2010

දේසේ හැටියට,,,,,

චූටි මහත්තයගෙ සීනි බෝතලේ කතාවට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒ පලාතෙ වචන ගැන. මමත් ටික දවසක් ගුරුකම් කරානේ ඒ පැත්තෙ. ඉතිං ඒ වචනෙ අමුත්තක් දැනුනෙ නැහැ, මට නම්. හැබැයි ඒක මටත් ඇහිල තිබුණෙ චූටි මහත්තයාට ඇහිච්චි විදිහටම නෙව. වෙන්න පුළුවන්, මම වැරදි ඇති.!!!

සති දෙකේ ගුරු පුහුණුවකදි වරක් මම අසනීප වෙච්චි නිසා දවසක් යන්න බැරි උනා පාසලට. මා එක්ක පුහුණුවට ගිය අනිත් සහෝදර ගුරු සිසුවාගෙන් ළමයෙක් ඇවිත් ඇහුවලුනෙ, 

" සර් කෝ අර හින්නික්කිතර මිස් ?"   කියලා. 

මාව ඉතිං මේ ඊයෙ පෙරේදා මුහුණු පොතෙන් දැන් අඳුරගත්තු කට්ටිය නං කියයි මේ බොරු කියලා. අනේ ඉතින් මාත් ඒකාලෙ හින්නික්කිතරම තමයි. 


විද්‍යාපීඨයට ගිය අළුත ඔය වගේ විවිධාකාර වචන ඇහෙන්න ගත්තා. සමහර ඒවා තේරුම් ගියෙත් නැහැ එක පාරටම. මොකද ඒ වචන අපේ පලාතේ භාවිතා වෙන්නෙ ඊට වඩා වෙනස්ම අරුතක් දෙන්න නිසා. 

මට මේ අත් දැකීම තියෙන්නෙ කාලයක් දකුණු පලාතෙත්, පස්සෙ නැගෙනහිර පලාතෙත් අවුරුදු කිහිපයක් නේවාසිකව ජීවත් වෙන්න සිද්ධ වෙච්චි නිසයි. මේ දෙපලාතෙ ගොඩක් වචන භාවිතය එක වගේ. ඒක නම් වෙන්න ඇත්තෙ නැගෙනහිර පලාතෙ ගොඩක් ජීවත් වෙන්නෙ දකුණෙන් එහෙට සංක්‍රමණය වෙච්චි මිනිස්සු නිසා වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ....

 
ගුරු පුහුණුවට හිටිය කාලෙ ජංගම දුරකථන භාවිතය එහෙන් තහනම් කරලයි තිබුණෙ. ඇත්තටම අපි ගොඩක් කට්ටියට මේක හරි මානසික වධයක් උනා. මුළු විද්‍යාපීඨයටම එකම එක පොදු දුරකථනයක් තමයි තිබුණෙ.
විනාඩියක, දෙකක ඇමතුමක් ගන්නත් සමහර වෙලාවට පැය ගනන් පෝලිමක ඉන්න උනා. එතකොට ඉතිං නිවාඩු දවසම ඉවරයි. 

ඔහොම ඉන්නකොට දවසක් එක ළමයෙක් කිව්වා,

" කෝල් එකක් දෙන්නත් විදිහක් නෑනෙ, ඒ නිසා මම ලියමක් දෑවා කියලා" 

මට නම් හිතුනෙම කෝල් එකක් දෙන්න බැරිවෙච්චි තරහට ලියුමත් පුච්චලා දැම්මා කියලයි. එතන හිටිය වෙන කෙනෙක් තමයි මගේ ගැටළුව නිවැරදි කරේ... 


එහෙදි අමුතුවට ඇහිච්චි තව වචන කීපයක්ම තිබුණා. මම එහෙ හිටියෙ මීට අවුරුදු නවයකට විතර කලින් නිසා දැන් නම් හරියට මතකත් නැහැ. 

හැබැයි පහළවට (15 ) පාළහ කියන බවත්, යට කියන තේරුමට පල්ලෙ කියන බවත් නං හොඳටම මතකයි.

තව එකක් ,අපි මොකක් හරි ද්‍රව්‍ය ලැයිස්තුවක් කියනකොට ඒවා එකිනෙක සම්භන්ධ කරන්නෙ "යි" කියන අකුරෙන් උනාට ,දකුණු පලාතෙ ඒක භාවිතා වෙන්නෙත් වෙනස් විදිහටකට. දකුණු පලාතෙ  කිව්වට මාතර අහ විතරද කොහෙද.. 

නිදසුනක් විදිහට අපි කියනවනම් බිස්කට් පැකට් එකයි, කෙසෙල් ඇවරියයි , කේක් ගෙඩියයි කියලා, එහෙ කට්ටිය කියන්නෙ බිස්කට් පැකට් එකකි,කෙසෙල් ඇවරියකි කේක් ගෙඩියකි කියලයි... 



 සීමවාසී පුහුණුවෙ ඉන්න කාලෙ මා එක්ක එහෙ විද්‍යාව විශයයට ගිය චන්දි කිහිප දවසක් ළමයින්ට පාඩමකට ඉවතලන සබන් කොල වගයක් ගෙවල් වලින් ගේන්න කියලා තිබුණා. ඒත් කවුරුවක් ගෙනල්ලා නැහැ. 
අන්තිමට අධීක්ෂණයට සර් ආපු දවසකම චන්දිට මේ පාඩම කරන්න වෙලා. ළමයි පාඩමට සූදානම් නැති නිසා සර් ගෙන් චන්දිට බැනුම් කෝටියයි. 

මේ පණ්ඩිත ළමයි සර් ගියාට පස්සෙ නං චන්දි පස්සෙ කරකැවෙනවා 
" මිස් ඔහෙට සර් බැන්නයි? " කිය කියා.

එයා කතා නොකරන පාර එක ළමයෙක් මගෙන් ඇවිත් අහනවා ,

" මිස්, අර මක්කැයි විද්‍යා මිස් දොඩං නැත්තෙ?"

දොඩං නැත්තෙ අවාරෙට වෙන්න ඇති, මම කිව්ව, අනේ ඒ පොඩි එකාට ඒ හරුපෙත් තේරුනේ නැද්ද කොහෙද,,,,,,,, 

නිකම් ඉන්න බැරුවටයි මේව ලිව්වෙ. දකුණේ ඇත්තෝ අමනාප නොවෙත්වා..

Friday 3 December 2010

අනං මනං,,,,

ටොක්,,, ටොක්,, ටොක්,, ටොක්,,,,,,,, 

ඕක ඉතිං බයවෙන්න ඕනෙ සද්දෙකුත් නෙමෙයි නෙ. අම්මෝ ඒත් මට අමුත්තක් දැනුනා. ගෙදර කවුරුවත් නෑ. කෙල්ල නිදි. ඒ වෙලාවට තමයි නිදහසේ අන්තර්ජාලෙ ඉන්නෙ. 

අපේ අල්ලපු ගෙදර පාළුවට ගිහින් දැන් අවුරුදු ගනණාවක ඉඳන්. සීයයි, ආච්චියි මියගියාට පස්සෙ කාලයක් කුලියටත් දීල තිබ්බා. දැන් නං කවුරුවත්ම පදිංචි නෑ. බලන්නත් බයයි ඒ පැත්ත. කැලෑවටම ගිහින්. සද්දෙ එන්නෙ එහෙන් නෙ. ටිකකට කලින් කතා කරෙත් මළ ගෙදරක් ගැන. 

හොල්මන්ද? ඒත් මේ මහ දවල්? 
හොල්මන් වලට රෑ දවල් වෙනසක් නැතුව ඇති නේ? 

තිබ්බ ඔක්කෝම දහිරිය හිතටම අරන් බැලුව විපරමක් දාල, ම්හ්, නෑ පේන්න දෙයක්,සද්දෙ එහෙම්මමයි,,,,, අර කවුද කියන්නාවගෙ ඔන්න ඔහෙ ඕන එකක් කියල මිදුලටම බැහැලා විපරම් කරා. 
 
හයියෝ,වෙලා තියෙන දෙයක්. පිළිහුඬුරාලට කක්කුට්ටෙක් අහුවලා. හයිය නිසාද කොහෙද පරණ තරහක් පිරිමහන්න වගේ තියාගෙන ගහනවා අඹ අත්තට,,,,,,,,, 

දෙයියනේ මං බයවෙච්චි තරමක්,