Tuesday 1 October 2013

සල්ලි, දෙය්යන්ගෙ මල්ලි

අව්ව වැඩි වෙන්න ඉස්සර යනව නං ගිහින් එන්න, එහෙම කියාපු තාත්තා ළඟ තිබ්බ කඩේට ගොඩ උනා.
සීයෙ අපි මාළුන්ට කෑම දාන්න යන්නෙ,


දේවාලෙට යන අතුරු පාරෙ අහිකුණ්ඨක කට්ටියක් වාඩියක් හදලා. ගහක බැඳපු තොටිල්ලක පුංචි දරුවෙක් මර හඬ දෙනව, උන්නෙ තාත්ත වෙන්න ඇති කියල හිතෙන පිරිමියෙක් ඒකෙ වගක්වත් නැතුව ළමයව නලවන්න හදනව.

ළමයට බඩගිනි ඇති. තව කොච්චර පැද්දුවත් ඔච්චරම තමයි, මට හිතුනා.

අපේ කෙල්ලට ඒ නැළවිල්ල විස්මයක්. පද්දන වේගෙට ගහෙත් හැපෙයිද මන්දා දරුවව, අපේ එක්කෙනෙකුට කිය උනා.

ඊට ඩිංගිත්තක් එහායින්, තව ළමයි රොත්තයි. හතරක් හෝ පහක්. සේරම කොල්ලො. සමහරුන්ට කමිසය විතරයි. එකෙකුට මුකුත්ම නෑ.එයින් තුන් දෙනෙක් මහා රණ්ඩුවක්. මොකටද දන්නවද, කොමඩු කෑල්ලකට. පූජා වට්ටියක තිබිච්චිමඩු කෑල්ලක් වෙන්න ඕන. එක්කෙනෙක් ඒක කන්න හදනව, අනිත් අය ඒක උදුරා ගන්න පොර කනවා.


අනේ පව්, බඩ ගින්නටනෙ. මට දුක හිතුනා. අපේ ළමයින්ට පලතුරු කෑල්ලක් කවා ගන්න තියෙන අමාරුව. මේ ළමයින්ට අද දවසෙ ලැබිච්චි එකම කෑම මේකද? ,
අපේ දරුවගෙ අත තවත් තද කරලා අල්ලගෙන, යන ගමනත් නවත්තලා මං ඒ දිහාව බලන් හිටියා.
පේනවද , ඕගොල්ලන්ට කෑම වැඩි වෙලා, අර ලමයි කන්න දෙයක් නැතුව අඬන්නෙ.
අපේ කෙල්ලට ඕවා තේරෙන්නෙ නෑ.

කෝ ඒ ගොල්ලන්ගෙ අම්මා?
අම්මා වැඩට ගිහින්ද?
ඒ ගොල්ලන්ගෙ අම්මද වැඩට යන්නෙ, තාත්තා නෙමෙයිද?


මේ ගොල්ලන්ට සල්ලි දීලා වැඩක් නෑනෙ. අපි එන ගමන් අර කඩෙන් මොනව හරි කන්න අරන්දෙමු.අපි කතා උනා.

එන ගමන් බෙලි මල් තම්බපු වතුර විකුණන කඩයක් ළඟ මම වාඩි උනා.
අපි මාළුන්ට පොරි දාලා එන්නං, ඒ ගොල්ලො ගියා.

නෝනා එන්න සාස්තරයක් කියන්න.
අපෝ එපා.

සල්ලි එපා , නෝනා අත පෙන්නන්න පොඩ්ඩකට., නෝනගෙ ඉත ඔඳයි. කට තමා පොඩ්ඩක් සැරයි. පවුලෙ බාල දරුවා. ඉතුවක්කාරෙට තමා වැඩ කරන්නෙ..
මං දැං සැරයක් කිව්වනෙ. සාස්තර නං කියන්න එන්න එපා මට. මං සැර උනා.
හොඳ වැඩේ, මේ ගොල්ලො හැමෝටම කියන්නෙ ඕවා තමයි. බෙලිමල් විකුණපු කාන්තාව මං එක්ක කිව්වා. ගොඩක් අය රැවටිලා සාස්තර අහනව හරියට.

.

එතන් තිබුනෙ කළු දොදොල්, සෙල්ලම් බඩු විකුණන කඩයක්. අර ළමයින්ට අරන් දෙන්නෙ මොනවද? අපි කතා උනා. පැකට් කරපු පුහුල් දෝසි, මස්කට් කෑලි, කොට්ට කිලංගු වගේ ඒවා තමයි තිබ්බෙ. මේව්ව නම් දීල වැඩක් නෑනෙ, අඩු ගානෙ බනිස්වත් නැද්ද?
මේ දහවලේ බනිස් මොකටද කියලා කඩේ මුදලාලිට කිව්වා.



අර ළමයින්ටද බනිස්? ඈතින් හිටපු ළමා රොත්තට අත දික් කරලා පෙන්නපු කඩේ මුදලාලි අපෙන් ඇහුවා.
නෝනලාට පිස්සුද? ඕකුන්ගෙ අම්මා මේ දැං ඩිංගකට කලින් ගොඩ වෙලා මට අරන් තියන්නෙ දීපු සල්ලි කවරෙ මෙතන හිටිය නෝනලගෙ තාත්තා නං දැක්කා. ඉන්න මං ගෙනත් පෙන්නන්න. පොඩි වෙච්චි සිලි සිලි කවරෙ ඇතුලෙ රුපියල පනහෙ, සීයෙ, කොළ ගොඩක් . වැඩියෙම තිබ්බෙ විස්සෙ කොළ. සල්ලි පොදියක්.

මං මේකෙන් මාරු සල්ලි දෙදාහක් ගත්තා දැනටම, මේතියෙන්නෙ මං දාපු කොළ දෙක.


ගිය සතියෙ මං ළඟ තියලා තියන්න ගෙනත් දුන්නා රුපියල් හතලිස් පන්දාහක්, මේකෙත් පන්දාහක් වත් ඇති මගෙ හිතේ, මං තාම ගැන්නෙ නෑ.

හතලිස් පන්දාහක්!!!!



එච්චර සල්ලි තියෙනව නං මේ ගස් යට මොකද කරන්නෙ? හරියට කන්නවත් නැතුව?
කන්න නැතුව නෙමෙයි මේ ගොල්ලො හොඳට කන බොන කට්ටිය, ඔහොම හිටියෙ නැත්තං කවුරුවත් සල්ලි දෙනවයැ, ඒකනෙ ඔහොම ඉන්නෙ.
පාරෙ ඉන්න ළමයින්ට කන්නන් දෙන්න හදපු මහාදානපතිනි මගේ පර්ස් එකේ රුපියල් දාහකට වැඩිය තිබ්බෙ නෑ ඒ වෙලේ. මට හිනාත් ගියා. මුං මොකට අපිව රවට්ටනවද?ඒක තමා උන්නෙ රස්සාව. සල්ලි බෑග් එක මුදලාලිගෙ බොරුවක් වෙන්න බෑ. අපේ තාත්තා ඇස් දෙකට දැකලා තිබ්බ ඒක ගෙනත් දෙනවා.
මේ ගොල්ලො රෑට වත් ගෙදරකට යනවද? මං ආයෙම ඇහුවා.
නෑ . ඔතනම තමයි හැමදාම.


අතේ සල්ලිත් තියාගෙන, දූවිලි කකා මොකට දුක් විඳිනවද?අනේ මට නං මෙහෙම සල්ලි එපා.
ඒක තමා නෝනා කරුමෙ කියන්නෙ.
උන්ද හිඟන්නො? අපිද?


එක පාරක් නෙමේ දෙතුන් වතාවක්ම කියවපු මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගෙ " ශ්‍රීලංකාවේ යාචකයා " පොත මතක් උනා.දෙන්නෙ නෑ එකෙකුට සතයක්.

ඒත් ඕක මට කොයි තරම් කාලයක් මතකෙ තියෙයිද මන්දා.