Showing posts with label ගුරුකම් කරපු කාලේ. Show all posts
Showing posts with label ගුරුකම් කරපු කාලේ. Show all posts

Tuesday, 31 May 2011

අහක යන තොප්පි

"අව්වෙ හිටගෙන ඉඳලම ඔලුවත් රිදෙනවා. යමුද ටිකක් වාඩි වෙන්න."ප්‍රසාදි මාවත් ඇදන් ගියා පැවිලියන් එකට.
 ක්‍රීඩා මාණ්ඩලික තරඟ. අද මුල් දවස. වැඩ වැඩි. හවස් වෙනකම්ම තරඟ තියෙයි.  එහෙම දාට ළමයි එක්ක ඉස්කෝලෙන් එවන පිරිසක් ඉන්නවා. අපේ ලොකු තැනගෙ තේරීමට අනුව. අවිවාහක කට්ටිය සහ බෝඩිම් ජීවිත ගෙවන අපි වගේ කට්ටිය. ඒ කට්ටිය ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ කියන්නෙ. කන්තෝරු ඇරෙන වෙලාවට පාරෙ බස් වල යන්න තියෙන අමාරුව මැඩම් දන්න නැහැ නෙ.

අපේ ස්ටාෆ් එකෙ රසිකා කියනවා " මෙන්න මේ වගේ වෙලාවට තමයි ඉක්මනටම කසාදයක් බැඳගන්න හිතෙන්නෙ".   ඉස්කෝලෙ ඉන්න වයසක පහේ කට්ටියට නම් මේ සර්කිට් මීට් එකෙ මුල් දවස් දෙක පේන්න බෑ.ඇයි  ඉතින් ඔක්කොම තරඟවල මූලික එව්ව ඉවර කරනකොට හවස හතරත් වෙනව. අපිට ඉතින් එදාට බෝඩිමේ ඇන්ටිගෙ මෙලෝ රහක් නැති බත් එකවත් නෑ.

එහෙම හවස් වෙනදාට, අමතර පංතියක් කරනදාට බත් එකක් බැඳල දෙන එක වගේ නරක පුරුදු අපේ බෝඩිමේ ඇන්ටිට නම් තිබුණෙම නෑ. දුක් වෙලා මොකටද කියලා අපි නං කරන්නෙ ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා, අතේ තියෙන කීයකින් හරි ළමයිටත් අයිස් පැකට් වගේ ඒවා අරන්දීලා හවහට ගෙදර යන එක තමා. කොහේ හරි ඉස්කෝලෙන් පිට වැඩකට යවනවා නම් යවන්නෙ අපි දෙන්නවම. හවසට එකට යන්න පුළුවන්නෙ.
 මමයි ප්‍රසාදියි කෑවෙ එකම බෝඩිම් බත. ඒ අතින් අපේ ලොකු තැන සෑහෙන්න අපි ගැන හිතුව.
මේ ගමන එව්වෙ අපි දෙන්නවයි, රසිකයි, අරුණ සර්වයි, ගුණරත්න සර්වයි. අරුණ සරුත් අපි වගේ බෝඩිං ජීවිතේ. ගුණරත්න සර්ත් මැඩම්ගෙ නිර්ණායක අනුව අපේ කුලකෙම තමා.ආ තව ක්‍රීඩා ගුරු චන්දනයි.

ඉස්කෝලෙදි නං මොනවට ගහ මරා ගත්තත් පිටට ආවහම අපි සෑහෙන්න එකමුතුයි. ඔය වෙලාවටනෙ අපි ඔය ලොකු ලොකු ඇත්තන්ගෙ කැරැක්ටර් සර්ටිෆිකේට් ගැන එහෙම හොයල බලන්නෙත්. ..

" 6 පංතියෙ සඳුනි ඊයෙ මට කියනව, මසං ගහ යට ඉන්නකොට ඉශාන් එයාට *කා, *කා කිව්වළු, "පන්තිය ඉස්සරහ   හිනාවෙන්නත් බෑ. මම නඩුවත් එක්කම විත්තියයි ,පැමිණිල්ලයි දෙන්නම යැව්වා ඉන්දු ටීච ළඟට."
ළමයි තරඟවල. අපිට් හිනා වැලයි.


" සර්ල ටීචල මෙහෙට වෙලා හොඳට ඉන්නව. අරෙහෙ අපේ ළමයින්ට අසාධාරනේ. එකොළහෙන් පහළට ඉන්න අපේ ළමයව දුර පැන්නුවෙ දෙපාරයි. ඇයි සර් සර් වයිස් ප්‍රින්සිපල් වෙලත් කිසිම වගකීමක් නැහැනෙ.."

දෝස් මුර සේරටම ගුණරත්න සර්ට. අපි මේ හිනාවෙන අස්සට හෙන ගහන්නා වගේ කඩං පාත් උනේ. බලනකොට එකොළහෙන් පහළ ළමයෙක්ගෙ අම්මෙක්.  චුට්ටක් විතර කටසැර වැඩි කෙනෙක්. අපි මේ හිනාවෙන අස්සෙ එකොළහේ පහළ දුර පැනීම් පටන් අරන්. එනවුන්ස් කරාට අපිට ඇහිලත්  නැහැනෙ. ඔන්න ඔහෙ බැන්නත් මොකෝ. බනින්නෙ ගුනේ සර්ටනෙ.
 චට පට ගාලා බැනල බැනල ඒ අම්ම ගියා. වැස්සක් වැහැළ පෑව්ව්ව වගේ.  අපිව එව්වෙ එක එක්කෙනාට ළමයි වයස් සීමා අනුව බෙදා දීල.
"කාටද එකොළහෙන් පහළ භාර දුන්නෙ?"


"මට"  ප්‍රසාදි හරිම අහිංසක විදිහට කිව්ව..

Sunday, 29 May 2011

ඕපදූප

මම හිටියෙ ගුරු විවේකාගාරෙ. හරි වැරදි ලකුණු කරන්න, වැරදි  නිවැරදි කරන්න වැඩ කෝටියයි. එක එක්කෙනා මෙතනට යනව එනව. සමහර අයට වැඩක් ඇත්තෙම නෑ වගේ. මොකට.  අතිරික්ත ගුරුවරු තියාගෙන ඉන්නවද මන්ද.
 කතාවට ගියොත් මටමයි පාඩු. ඒත් ඉතින් ඇහෙන එක නවත්තන්න පුළුවන්යැ. සමහර ඒව ඒ කනෙන් ඇතුලට ගිහින්, මේ කනෙන් පිට වෙනව. සමහර ඒව කං  ගැට්ටෙ වැදිල අහකටම යනව.   නිලන්ත අයියත් මම වගේම ළමයින්ගෙ පොත් බල බල හිටියෙ.

එක පාරටම එතනට වැඩම කරා ඉස්කෝලෙ ගරුතර සංඝ රත්නය....නිලන්ත අයියා නම් කරකර  හිටි වැඩේ නතර කරනවා මම කන්ණාඩිය අස්සෙන් දැක්ක. මම ඔන්න ඔහේ එක කනක් විතරක් ඇර ගත්තා.

" කොහෙද හාමුදුරුවනේ ගියෙ?"
වැඩියද, වැළඳුවද එහෙම නම් ඒ ගොල්ලො කතා කරේ නෑ කවදාවත්. මම හිතාගෙන හිටියෙ ගරු කළ යුත්තන්ට ගරු කරන්න දන්නෙ නෑ කියල.

"දානෙකට".
ප්‍රදේශයේ පන්සල්වල, ස්වාමීන් වහන්සේලාගෙ හිඟකම හින්දම පාසලේ ප්‍රධානියා අවසර දීලා තිබුණා පාසල් කාල වේලාව අතරදි උනත් දානෙකට වඩින්න.  මොකද එහෙම එකක් එන්නෙ හරිම කළා තුරකින්.
"කොහෙද දානෙ"
"&*&*^%**  කුලම පැත්තෙ ගෙදරක, දානයක් කිව්වට පිරිතක්. දැං නම් නිදිත් මතයි වගේ"
 චරාස්....... ඔළුව උස්සලා නොබැලුවට ඒ සද්දෙ මට අනුමාන කරන්න පුළුවන්. හාමුදුරුවො පිරිකරට ලැබිච්චි පාර්සලේ බලන්නයි හදන්නෙ. මම යයි ඔය ඕපදූප හොයන්න. තාරක විතරමයි ඔක්කොම ලකුණු අරන් තියෙන්නෙ.
" චික් විතරක්. රෑ එළිවෙනකම් කෑගැහුවට අඳනකඩයක්ද තියෙන්නෙ. මහ ලොකුවට දාන නම් දෙනව"
බරාස්...... ඒ නම් ගුරු කාමරේ ස්වාමීන් වහන්සෙට තියලා තියෙන ගුරු පුටුව පස්සට අදින සද්දෙම තමයි.  චරස්  බරස් ....  චරස්  බරස්...... සෙරෙප්පු සද්දෙත් ඈතට ගියාට පස්සෙම මම නිලන්න අයියගෙ මූණ බැලුවා.
" කියලා වැඩක් නෑ නංගි.  @#$##@$   "

Sunday, 26 September 2010

මමත් චන්ඩියෙක් වීමි,,,,,,,,,

හා හා පුරා කියලා ඉස්කෝලෙකට කියලා ගිය අලුත් සිදුවූ සිදුවීමක් මේ. මේ කතාවට යටින් තියෙන්නේ  අපි ගොඩක් හිතන්න ඕනෙ පැත්තක්.
මගේ බ්ලොගයට ගොඩ වෙලා පුරුදු අය නම් දන්නවා ඇති මම teacher training  ගිය  ඉස්කෝලෙ. අන්න එහෙදි මේ උනෙ.

ඔන්න ඉතින් පාට සාරියක් ඇඳගෙන ඉස්කොලෙට ගියා උදේ පාන්දරම වැඩ භාර ගන්න. වැඩ කිව්වට training හොඳේ. විදුහල්පතිතුමාගේ අතට පත්වීමේ ලිපිය දුන්නා විතරයි උන්නැහේ ගේ මුහුණ වැහුන කළුම කළු වළාකුළකින්.  ඒ මොකෝ දෙයියනේ. මට නම් හිතා ගන්නවත් බැරි උනා..

"ආ ඔහේද අලුත් ගණන් මිස්"  ( ඔහේ කිව්වෙ නම් තරහට වෙන්න බෑ, ඒ දකුණු පළාතෙ කතා විලාශය )
" ඔව් සර්"
"මට විද්‍යාපීඨෙන්  මේ පාර ඉල්ලුවෙ පිරිමි ගුරුවරු,,, අපේ ඉස්කෝලෙට පිරිමි ගුරුවරු මදි,,, ආ  කමක් නෑ කමක් නෑ විද්‍යාවට සර් කෙනෙක් එවලා ඇති".

හප්පොච්චියේ,, විද්‍යාවට දාලා තියෙන්නෙ චන්දිව  නේ.  ඒ මදිවට චන්දි තවම ඇවිල්ලත් නැහැ. පිරිමි දෙන්නෙක් ඉල්ලපු ඉස්කෝලෙට ගැහැණු දෙන්නෙක් එව්වම ඉතින් හිතා ගන්න පුළුවන්නේ. ඉතින් කොහොමද විදුහල්පතිතුමාගේ උදව් නැතුව අපි අවුරුද්දක් මෙහෙ රාජකාරි කරන්නෙ. අනික එහෙ ළමයි ටිකක් ආංබාං කරන්න අමාරුයි කියලා එහෙ ගැන දන්න කිහිප දෙනෙක්මත් කිව්වා. කාල වරෙන්කො. වෙන කොහෙටද දාපු එකක් අවලංගු කරගෙන මම මෙහෙට ආවෙත්.

ටිකකින් මගේ හිතට යාන්තම් සහනයක් අරන් චන්දි ආවා. ටිකක් විතර කළු උනාට සුදු දත් ටික පෙන්නගෙන හිනාවේගන , චන්දි එයාගෙ පත්වීමේ ලියුමත් සර් අතට දුන්නා. වැඩේ දන්න හින්ද මට නම් ඉබේටම බිම බැලුන.

"ආ,,, විද්‍යාවටත් මිස් කෙනෙක්ද? මේ වැඩේ කරන්න බැහැනේ. ඉල්ලන ගුරුවරු දෙන්න බැරිනම් ලබන පාර මෙහෙට කවුරුවත් එවන්න එපා කියනව මම",

ඔහොම තමයි අපිව එහෙන් පිළිගත්තෙ. ටික වෙලාවකින් එතනට ආපු එහෙ ගණිත ගුරුවරයා - ජයසිරි සර් හිනාවෙලා අපිත් එක්ක කතා කරා. එතකම් මට නම් හිතුනෙම විද්‍යාපීඨයට ගිහින් කියන්න . ජයසිරි සර්ට නම් හිනා. බලනකොට අපේ පත්වීම් වල පාසලට එන කොපියෙ අපේ නම් තියෙන්නෙ හ.********  සහ  ච.******** කියලා. ලියුම් ටයිප් කරපු ක්ලාක් නෝනාගේ හොඳකම නිසා මයා/මිය කියන ඒක් දාලත් නැහැ. ඉතින් විදුහල්පතිතුමා හිතලා මේ ගමන නම් තමන්ගේ ඉල්ලීමට සළකළා පිරිමි ගුරුවරු එව්වා කියලා. එයාගෙ බලාපොරොත්තු කඩවීමෙන් හිතට ආපු ආවේගෙ තමයි ඒ.

සාමාන්‍යයෙන් පාසලේ ඉන්න විශය භාර ගුරුතුමා/තුමීගේ අධීක්ශණය යටතෙ අපි ඉන්න ඕනෙ. ඇත්තටම් එදා ඒ මොහොතෙ ඉඳන් ජයසිරි සර් ගෙනුත් කළ්‍යානි මිස් ගෙනුත් අපිට ලැබුණු සහයෝගය නම් බොහොම වටිනවා. ඇත්තටම මම ඔවුන්ට ණය ගැතියි. ඒ උපදෙස්, සහයෝගය රටක් වටිනවා.

ඔන්න ඉතින් උගන්නන කියලා පංතිවලට ගියා කියමුකො. අර එහෙ ගැන දන්න කට්ටිය කියලා තියෙන්නෙ ඇත්තම ඇත්තනේ. අපිට ලැබුනෙ 7, 8 පංති. විශය භාර ගුරුවරු නිවාඩු ගිය දවසට මුළු පංති ඔක්කොම අපිට. පොඩියි කියලා නැහැ. කියන දේ අහන්නෙම නැති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවාමයි.

" ටිකක් සැරට ඉන්න"

 ජයසිරි සර් ගෙන්, කළ්‍යානි මිස් ගෙන් ලැබුණු පළමු උපදේශය. සැරට හිටියට වැඩක් උනේ නැහැ. ඒ ළමයි දන්නවා අපි එහෙ ඉන්නෙ ඒ අවුරුද්ද විතරයි කියලා.

" පාඩම් බලන්න ලොකු සර්ලා ආපුවෙලාවට අපි දැඟළුවොත් මිස්ලාට ළකුණු නැහැ.."

එක ළමයෙක් එහෙමත් කිව්වා. ඒ කියන්නේ මිස්ලා ඉන්න ඕනේ ළමයි කියන හැටියට. හපොයි දෙයියනේ. මේ මොකක්ද මේ අපිට උනේ, එහෙන් ප්‍රින්සිපල් සර්. එයා නම් තවම තරහයි කලිසම් අඳින කට්ටියව නේව්ව එකට. ඔක්කොටම හපන් 8 පංතිය. උගන්නලා ඉවර වෙනකොට මට නම් හති කෑ ගහලම.

යාන්තම් සති දෙකක් ගෙවා ගත්තා . ඒ සිකුරාදා දවසක්.ගිය සතියෙත් ඉස්කෝලෙ ඇරිලම ගෙදර යන්න ගිහින්  රෑ උනා. ඉස්කෝලෙ ඇරිච්චි ගමන් ගෙදර යන්න හිතාගෙන කද මලුත් බැඳගෙනම තමයි ඉස්කෝලෙට එදා ගියෙ. ටිකාක් විතර කලින් යන්න තිබුණා නම් හොඳයි. 2ට එහෙන් ආවොත් ගාල්ල ට එන්න 3 විතර වෙනවා. ගෙදර එන්න තවත් පැය 4ක් විතර යනවා. ඒත් ඉතින් ප්‍රින්සිපල් සර් ගෙන් අහන්නෙ කොහොමද? ආවට පස්සෙ තවම අපේ මුහුණ බලලා කතා කරේවත් නැහැනෙ...

අපි දෙන්නා සර් ගෙන් අහන්න විදිහක් නැතුව ඔෆිස් එකට වෙලා බොරුවට අත්සන් පොත පෙරළ පෙරළා හිටිය. සර්ට වැඩේ දැනිලද මන්දා සර් බැස්සා මිදුලට. ගියේ විනාඩි දෙකයි. 8 පන්තියේ කොලුවෙක් දුවගෙන ආවෙ නැතැයි ඔෆිස් එක ඇතුලටම.
.
" අනේ සර් මාව බේර ගන්න,,, .........ගේ අම්මා මට අනින්න පිහියක් අරන් එනවා"

මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න වත් වෙලාවක් තිබුණෙ නැහැ. පාර දිහා බලනකොට  සාය හැට්ටයක් ඇඳ ගත්තු, පන් මල්ලක් අතට ගත්තු තැනැත්තියක් මිදුලෙ..

විදුහල්පතිතුමා ළඟ නතර වෙච්චි ඇය මහා සද්දෙන් බනින්න ගත්තා. මල්ලෙන් එළියට ගත්තු ඉරිච්චි කමිසයකුත් පෙන්නුවා. මට දැන් ඇගේ වචන අමතකයි. ඒත් ඇගේ දෝශාරෝපණය විදුහල්පතිතුමාට. අර හැංගිච්චි කොලුවා ඇගේ පුතාට හැමදාමත් කරදර කරනවලු, ඇඳුම් ඉරනවලු. ගොඩාක් වෙලාවට මේ රණ්ඩු වෙන්නෙ පාසල් වේලාවෙන් පිටතදීලු.

 එක මොහොතකින් මුළු පාසලේම ළමයි එතන. ප්‍රින්සිපල් සර් ට කට අරින්නවත් ඉඩක් දෙන්නෙ නැහැ අර අම්මා. ඒ වෙලාවෙ පාසලය ඇවිත් හිටියෙ එක් ගුරුතුමියක් සහ ගුරුතුමෙක් විතරයි. එයාලත් ළමයිගෙ පිරිසිඳු කිරීම බලන්න ගිහින් හිටියෙ.  සද්දෙ වැඩිම නිසා අපි දෙන්න දොරකඩට ගියා. අර ඇවිත් හිටපු ගුරු මණ්ඩලේ දෙපළ පන්ති කාමරයක් අස්සෙන් හොරෙන් බලන් ඉන්නවා අපි හොඳින්ම දැක්කා. ඒ දෙන්නටම රැවුලයි, කැඳයි දෙකම ඕනා ඇති. නමුත් විදුහල්පතිතුමාට බැහැ අර අම්මාගේ කට නවත්තන්න. ඒ අම්ම කියන්වා ළමයි බලා ගන්න බැරි නම් අස්වෙලා යන්නලු..

තවත් බලන් ඉන්නෙ කොහොමද, අපි දෙන්නා ඉස්සරහට ගියේ ඉබේටම. එදා ගෙදර යන ගමන් නිසා මගේ ළඟ ජංගම දුකත් තිබුනා. ඒ කාලෙ ඒ හරියට සිග්නල්  තියා එස්.ආර් වත් නැහැ. ගත්තා ජංගම දුකත් අතට, කිව්වා මේ දැන්නම් පොලීසියට කතා කරනවා කියලා, පාසලට ඇවිත් විදුහල්පතිතුමාගේ රාජකාරියට බාධා කරනවා කියලා. ඒ වෙලාවෙ කොහෙන් කටට ඒ තරම් සද්දයක් ආවද මන්දා අපි දෙන්නත් කතා කරා අර අම්මාගේ සද්දෙට නොදෙවැනි වෙන්න. ඒ ගමන් අපි හඬ බාල  නොකරම තේරුම් කරා එයා කරපු දේ තියෙන බරපතලකම.

ඒ අම්මා එදා පාසලට ඇවිත් තියෙන්නෙ වත්තක කුලී වැඩට යන ගමන්. ඒ නිසා පිහියක් තියෙන්න ඇති මල්ලේ. තමන්ගෙ පුතාට හැමදාමත් ගුටිකන්න වෙන එක නවත්තන්න පිහිය පෙන්නලා බය කරන්න ඇති.

ගත උනේ විනාඩියයි, අර චන්ඩි අම්මා අඬන්න පටන් ගත්තෙ නැතැයි. පොලීසි ගෙනියයි කියලා බය වෙලා. මෙච්චර කල් අපිට පාට් දාපු කොල්ලො, කුරුට්ටො කටවල් ඇරගෙන. ඔන්න එතකොට දුවගෙන ආපි අර හැංගිච්චි දෙපොළත්. දැන් ඉතින් ඕන විදිහකට නඩුව බේරා ගන්න කියලා අපි දෙන්න පැත්තකට උනා.

එදා නියමිත වෙලාවට පාසල ආරම්භ කරන්න උනෙත් නැහැ මගෙ හිතේ. ටිකකින් අර අම්මා අපි දෙන්න ළඟටත් ඇවිත් සමාව ගත්තා. අපිත් ඉතින් මහ පන්ඩිතයො වගේ අවවාද, අනුශාශනා කලා ආයෙත් මේ වගේ වැඩ කරන්න එපා කියලා.

ඕන්න  එදායින් පස්සෙ අපිත් එක්ක හැමෝම යාළුයි..අවුරුද්දක් පුරා කිසිම කරදරයක් කළේ නැහැ ළමයි. හොඳ පුතාලා කියන්නේ මේ ගොල්ලො අපිව අධීක්ෂණය කරන්න එන දවසට වෙනදාටත් වැඩියෙන් හොඳට හිටියා..විදුහල්පතිතුමා එදාම එයාගෙ තරහ මරහා අමතක කළා.


ප/ලි
 
විදුහල්පතිතුමා එදා උදේම අපිට කිව්වනෙ " ඔහේලට ගෙදර යන්න රෑ වෙන නිසා 12.30 ට ගියාට කමක් නැහැ කියලා".

Monday, 26 July 2010

දඟ ළමයි සහ හොඳ ළමයි



ඉස්කෝලෙ කාලෙ මොන තරම් සුන්දරයිද නේද? අපි කාටත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ. අර එච්.ජී. වේල්ස් ලියලා තිබුනා වගේ කාල යන්ත්‍රයක් තිබ්බා නම් කීයක් ගියත් එක පාරක්  යනවා පාසල් කාලෙට, අනේ ඇත්තමයි.

ඒ කාලෙ කරපු ගොඩක් දේවල් වල හොඳ නරක තේරෙන්න්නෙත් දැන්නෙ. පස්සෙන් පහු මං ගුරුවරියක් වෙලා උගන්නන කාලෙ ළමයි කරපු සමහර  වැඩ වලට ගැහුවට,  බැන්නට මට නම් අනන්තවත් මතක් උනේ අපිත් එහෙම්මමයි නේ කියලා, නැත්නම් අපි එක්ක හිටපු අයත් ඔහොම වැඩ කෙරුවනේ කියලා.        සමහර වෙලාවට මට බනින අතර හිනාත් යනවා. ඊට පස්සෙ නම් ඉතින් නඩු අහලත් ඉවරයි. අනේ ඒ පොඩි එවුන් දැන් මොනවා කරනවා ඇද්ද?

මගේ ගුරු ජීවිතේ එදාවේල කන්න , අඳින්න නැති, අම්ම අප්පගෙ ආදරේ නැතුව දුක් විඳපු ළමයි වගේම, බෙන්ස් කාර් එකෙන් බැහැලා ආපු ළමයිනුත් හමුවෙලා තියෙනවා.නිමලව  ඉස්කෝලෙදි තමයි ගොඩක්ම දුප්පත් ළමයි හිටියෙ. දුක් විඳලම ඇට්ටර වෙච්චි ළමයිත් හිටියා.

 ඒක ගොඩක් පොඩි ඉස්කෝලයක්, එහෙ එතකොට 7 පන්තියෙ ළමයි දෙතුන් දෙනෙක් හැමදාමත් පිට්ටනිය පත්තට යනවා. මේක බලන් හිටපු මම දවසක් විපරම් කරා කොහෙද යන්නෙ කියලා, අනේ බලනකොට  ඉන්ටවල් එකට කන්නෙ එරමිණියා.
තවත්  ඒ පන්තියෙම ගෑණු ළමයෙක් දවසක් උදේ 9ට විතර ඉස්කෝලෙ ආව. මම එතකොට පාඩම උගන්නලා , ගණනුත් හදන්න දීලා ඉවරයි

"මොනවද මෙච්චර වෙලා කරේ , සනෝජි ඔයා එන්නෙ බස් එකේ නෙමෙයි නේ?"
"අම්මා උදෙන්ම වත්තෙ වැඩට ගියා මිස්, මම නංගිලට කන්න බත් උයලා ආවෙ"

මම එවෙලෙ පත්වෙච්චි අපහසුතාවය දැකපු ඒ පන්තියෙම කොලු පැංචෙක් මොකක්දෝ විහිලුවක් කරලා කතාව මඟ හැරියා කියලා මට හොඳට මතකයි. හැබැයි මගේ ඇස් දෙකට කඳුළු නම් ආවා. ඒ වෙනකොටත් ඇත්තටම මට හරියට බතක්, මාළුවක් උයා ගන්න බැහැ. මේ අවුරුදු දොළහක පුංචි එකී විඳින දුක.

දවසක් ළමයෙකුට මම දොස් කිව්වා
 "අම්මලා, තාත්තලා මහන්සිවෙලා හම්බකරලා නේද පොත් පත් අරන්දෙන්නේ"  කියලා, මෙන්න මේ ළමයා කියපි
 " නෑ මම තේ වතු වල , වල් නෙලලා හම්බකරන සල්ලි වලින් පොත් ගත්තේ කියලා "
 ඉතින් කාට කියන්නද?
අර ටෙක්ලත් හිටියෙ එහෙනේ.

මේවා ලියලා ඉවර කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. සමහර විට මම තාමත් ගුරුකම් කරා නම් මේවා  ඇඟට පත්තියන් වෙන්නත් තිබුනා.

මම ඇත්දැකපු හොඳම දෙයක් තමයි පාසලේදි දඟ වැඩ කරලා බැනුම් අහන ගුටි කන ළමයි, ගුරුවරුන්ට ආදරෙයි, බෝපැළ වගේ ළමයින්ට වඩා.
 පොතේ එල්ලිලා ඉන්න ළමයි හරිම ආත්මාර්ථකාමියි. තමන්ගෙ යාළුවෙකුට උනත් උදව් කරන්න පැකිලෙනවා.
 පොතේ වැඩයි, දඟ වැඩයි දෙකම කරන්නෙ නම් ඇම්බැට්ටයොම තමයි .පතෝල වගේ. ගුණත්  නෑ, අගුණත් නෑ.
අර පංතියෙ දඟලන කට්ටිය තමයි පාසලේ පොදු වැඩ වලදි මුල් තැන ගන්නෙ. අනිත් දෙපිරිසටම වඩා මේ අය ගුණ ධර්ම අතින් නම් පොහොසත්.

මම දුශ්කර සේවය කරන කාලෙ 11 පංතියෙ ළමයෙක් හිටියා මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වැඩ කරන්න තරම් උනන්දුවක් තිබුනෙත් නෑ ඒ ළමයට.  තාත්තගෙ වැඩේ නිතරම ඇවිත් පුතා ගැන අහන එක. මේ ළමයා මුල් වතාවෙ විභාගෙ ෆේල්. ප්‍රතිපල එන්නත් කලින් මෙයා ආපහු ඉස්කෝලෙ ආවා. අපේ සමහර  අය මේකට කැමති උනේ නැහැ, කොටින්ම  විදුහල්පතිතුමිය එක්ක කිව්වෙ මේ ළමයි ටිකත් නරක් කරයි කියලා.
මගේ පාඩමක් වෙලාවක මෙයා බිත්තියෙන් එහා පැත්තෙ ඉන්නවා දැකලා දවසක් මම මේ සුපුන්ව පංතිය ඇතුලට අඬ ගැහුවා. කියන පමාවෙන් කොල්ලා ඇතුලෙ. අනේ පව්, මම හිතන්නෙ කවුරුම හරි කතා කරන කම් බලන් ඉන්න ඇත්තෙ. කොහොමින් හරි කලින්ට වඩා පුලුවන් හැටියට මහන්සි වෙලා යාන්තම් විභාගෙ ගොඩ දා ගත්තා.

ඊටත් කාලෙකට පස්සෙ මම සති අන්තෙ ගෙදර යන වෙලාවක බස් එක චෙක් පොයින්ට් එකක නතර කළ වෙලාවක හමුදා සෙබළෙක් කියන්න පුලුවන් ළමයෙක් මගේ ළඟට ආවා. කොට කොණ්ඩෙ නිසා එයාලව අඳුර ගන්න ලේසියි. බලනකොට සුපුන්. විභාගෙ පාස් වෙච්චි නිසා   navy එකට  බැඳෙන්න පුළුවන් උනාලු. අර සෙනඟ ගොඩක් මැද්දෙ දණ ගහලා වඳිනකොට මගේ අස් දෙකට කඳුළුත් පිරුනා. වටේ පිටේ හිටිය අයත් බලන්න ගත්තා.ඒ ළමයා ඒ වෙලාවෙ වැන්දෙ හදවතින්මයි කියලා මට හිතුනා. ඇත්තටම මට දැණුනු සතුට කියන්න වචන නෑ.

විභාගෙ යන්තම් පාස් උනාට ඒ ළමයා ජීවිතේ දිනලා නේද?

ගුරු ජීවිතේ තවත් තොරතුරු මතු ලියන තෙක් නවතිමි,,,,,,,,,,,,,,..

Wednesday, 7 July 2010

ඇස් - කන් - නාඩි

මම නිමලව ඉස්කෝලෙ ඉන්න කාලෙ ( ඇත්තටම හිටියෙ අවුරුද්දයි ) 7 පන්තියෙ ළමයෙක් හිටියා. නම ටෙක්ලා. වැඩිය කතා බහ නෑ. කුලෑටි ළමයෙක්. ඉගෙනීමට දක්ශ ළමයෙක් නෙවේ. සෙමෙන් ඉගෙනගන්නා වර්ගයේ දරුවෙක්. ටික දවසක් යනකොට මට තේරුනා, ටෙක්ලා අපි කළු ලෑල්ලෙ ලියන දේවල් ලියා ගන්න හුඟාක් වෙලා ගන්නවා කියලා. අනිත් හැමෝමත් ලියලා ඉවරවෙලා. ඒත් ටෙක්ලා තවම ලියනවා.

මට මුලින් හිතුනේ අකුරු නොදන්න කම නිසා මේක වෙනවා කියලා. සතියෙන් සතිය පන්තියේ පේළි මාරු වෙලා ටෙක්ලා ඉස්සරහ පේළියට ආපුදාට ඉක්මනට ලියලා පෙනනවා. එදාට වැඩත් හොඳයි. ඒත් මට හැමදාමත් ටෙක්ලව ඉස්සරහ පේළියේ තියන්න බැහැනේ.දවසක් ලoවෙලා ටෙක්ලගෙන් මම ඇහුවා ,
"මොකද ඉස්සරහ ඉන්නකොට විතරක් වැඩ කරන්නේ, ඔයා පිටිපස්සෙ පේළිවල ඉන්න කැමති නැත්ද? "  කියලා. ටෙක්ලා දීපු උත්තරේ තමයි,,
"නෑ මිස් පිටිපස්සෙ ඉන්නකොට මට කළු ලෑල්ල හරියට පේන්නෙ නෑ".




දන් ඉතින් මොකද කරන්නෙ, පන්තියෙ තිබුනු ඉඩ ප්‍රමාණය අනුව ටෙක්ලාට විතරක් ඉස්සරහ ඉන්න ඩෙස්ක් එකක් තියන්න ඉඩ තිබුනෙ නෑ. 7 වසරේ ඉන්නේ පුoචි ළමයි. හරියට දුර පේන්නෙ නෑ කියල පැමිණිලි කරන තමන්ගෙ පන්තියේ සොයරියට තමන්ගෙ ඉඩ පුජා කරන්න තරම් ඔවුන් දැනුම් තෙරුම් මඳි.  කොටින්ම කියනවා නම් පොඩි එවුන් කාටත් ඕනේ ඉස්සරහ ඉන්න.  ඉතින් එදා ඉඳලා මම කරේ ටෙක්ලට පේන්නෙ නෑ කියන කොටස් ළඟට අරන් කියලා දෙන එක.මේ අතර දවසක් අපේ විද්‍යාපීඨයෙන් ගුරු පුහුණුවට අපේ කනිශ්ඨ ළමයි ආවා. එතකොට අපි අපේ කාලච්චේදත් ඔවුන්ට භාර දෙන්න ඕනා. කොටින්ම අපිට පොඩි නිවාඩුවක්. පහුවෙනිදා උදෙන්ම අපිට පැමිණිල්ලක් ටෙක්ලා
ගෙන්.

"අනේ මිස් අර මිස්ලා  බිත්තියේ එල්ලන බෝඩ් මට හරියට පේන්නෙ නෑ"
අපිට එතකොටයි අපි කරපු වැරැද්ද මතක් උනේ. අපිට කරන්න තිබුනේ විද්‍යාපීඨෙන් ආපු ළමයින් ට මෙයාලගෙ තියෙන අඩුපාඩු කම් කියලා ඔවුන් දැනුවත් කරන්න .අපි කිව්වේ මා සමඟ නිමලව පුහුනුවට ගිය සොයුරිය චන්දි ට.
මේ අතර වාරෙ සිසුන්ගේ ඇස් පෙනීම පරීක්ශා කරන්න ප්‍රදේශයේ P.H.I මහතා ආවා. ටෙක්ල කිව්ව හරි, ඒ අකුරු බෝඩ් එකේ පේළි කීපයයි ඇයට කියවන්න පුලුවන් උනෙ. P.H.I. මහතා ඇගේ කාඩ් එකේ රතු පාටින්ම සටහනක් දැම්මා ඊළඟ සෙනසුරාදම වැඩිහිටියෙක් එක්ක රෝහලේ අක්ශි සායනයට එන්න කියලා.
"ගිය අවුරුද්දෙත් ඇස් බලපු වෙලාවෙ ටෙක්ලට කණ්නාඩි ගන්න කිව්ව, ඒත් ටෙක්ල ගත්තෙ නෑ මිස්,"  පන්තියේ ළමයි අපිට කිව්ව.
ඊළඟ සඳුදා උදේම අපි ටෙක්ලගෙන් ඇහුවෙ සායනයෙදි මොනවද කිව්වෙ කියලා,


"ගියෙ නෑ මිස්.........තාත්තට වැඩ තියෙනවා කිව්වා. "

"ඉතින් ළමයො අම්මා එක්ක යන්න තිබුනනේ? "   අපි ඇහුවා.

උත්තර නෑ, පුoචි ඇස් දෙකට කඳුළු ආවා.  එදා වේල හම්බකරන් කන දුප්පත් මිනිස්සු. ඒ තාත්තට එක දරුවෙක්ගෙ දුර පෙනීමට වඩා අනිත් හැම දරුවෙක්ගෙම කුසගිනි නිවන්න ඇතිනෙ. අපි වෙන මුකුත් අහන්න ගියේ නැහැ.
චන්දියි මමයි බැලුවා ගෙදර අයට බැරි නම් , සායනයට අරන් යන්න අපිට බැරිද කියලා. ඒත් සායන තියෙන්නෙ සෙනසුරාදා, යනවා නම් උදේ 6 ට වත් යන්න ඕනලු. නොයෙක් ගටළු. මම නැවතිලා හිටියෙ ගාල්ලෙ. ඒ වෙලාවට මට නම් තනියම අකුරැස්සට යන්න බෑ. මේ අතරවාරෙ පොඩි කහ එළියක් දැල්වුනා.
 අපෙ අම්මා කිවා අම්මලගෙ ගුරු මැණ්ඩලේ මිස් කෙනෙක් ගේ husband  සිoහ සමාජයෙ වැඩ කරන නිසා එහෙන් උදවු ගන්න පුළුවන් කියලා. මදි හරිය අපි දාමු.අපි කතාවුනා.

ඔන්න ඉතින් අපි දෙන්නා දවසක් පාසල් වෙලාවෙන් පස්සෙ අකුරස්සෙ තියෙන පුද්ගලික ඇස්කණ්නාඩි සාප්පුවකට ටෙක්ලත් එක්ක ගියා. එකේ හිටපු පරීක්ශක ටෙක්ලගෙ පෙනීම පරීක්ශා කරන්න පටන් ගත්තා. අපි දෙන්නට ම පුදුමයි, ඒ පෙන්නපු බෝඩ් එක ටෙක්ල කියවගෙන ගියේ එක හුස්මට. අර පරීක්ශක අපෙන් අහනවා

" මිස් මේ ළමයගෙ ඇස් හොඳට පේනවනෙ,, මෙයාට මොකටද කණ්නාඩි?"
ඉතින් මොකටද කණ්නාඩි අපි ගෙදර ආවා. ඒත් සිද්ධ වෙලා තියන දේනම් අපිට තේරුනා. අපි දැන ගත්තු විදිහට ටෙක්ලා කියන්නෙ දූදරුවො කීපදෙනෙක් ඉන්න පවුලක වැඩිමහල්ම දරුවා. ටෙක්ලට ඕනෙ කණ්නාඩි නෙමෙයි, ආදරය, කරුණාව, අවධානය. දෙමව්පියන්ගෙන් නොලබෙන දේ පාසලේදි ලබා ගන්න ටෙක්ලාටත් නොදැනීම එයාගෙ පුoචි මනසින් ආපු ප්‍රයෝගයක් තමයි දුර නොපෙනීම.
අපි අපිට පුළුවන් හැටියට ගුරු මණ්ඩලේ අය මේගැන දැනුවත් කරා. වසර අවසානය වෙනකොට හිටියට වඩා හුඟක් හොඳ ප්‍රගතියක් අපි ටෙක්ලගෙන් දැක්කා.

අපි ඒ පාසලේ රැඳුනෙ එක අවුරුද්දයි. ඊට පස්සෙ නම් ටෙක්ලට මොනවා උනාද දන්නෙ නෑ. අපේ පුහුණුවෙ අවසාන දවසෙ ඒ දීප්තිමත් දෑස් අග කඳුළු බින්දු නම් තිබුනා මට හොඳට මතකයි.


මගේ ගුරු ජීවිතේ ඊට පස්සෙ නම් කවදාවත්ම ටෙක්ලලා හමුවෙලා නැහැ.
දෙමව්පියො කවුරුත් දරුවන්ට ආදරෙයි. ඒත් මහමෙරක් තරම් ආදරේ තිබුනත් චුට්ටක් වත් දරුවන්ට දැනෙන්න ඇරියෙ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නැහැ,,,,,,,,,,,,, නේද?

Sunday, 20 June 2010

වැඩි හොඳට,,

දවසක් මම 7 පන්තියේ ඉන්නකොට ළමයෙකුට පණිවුඩයක් කියන්න ක්‍රීඩා ගුරුතුමා පන්තියට ආවා. 7 පන්තියේ දොරවල් දෙක පිහිටලා තිබුනෙ ඉදිරි පසින් වමෙන් සහ දකුණින්. ක්‍රීඩා ගුරුතුමා මට අතින් සන් කරලා අර ළමයා ළඟට ගිහින් පණිවිඩේ කියනවා මම බලාගෙන. ළමයා වාඩිවෙලා, සර් නැගිටලා, මට කියන්න බැරි තරම් තරහක් ආවා. අනික සර් කෙනෙක් පන්තියට ආවත් නැගිටලා ආචාර කරේ ළමයි කීපදෙනයි,, එදා කරේ කණ්ඩායම් ක්‍රියාකාරකමක්, පන්තියේ පිරිමි ළමයින්ට පැහැදිලි කිරීමක් කරමින් මම හිටියේ, ඒ නිසා අර ගුරුවරයා පන්තියට ආපු බව පිරිමි ළමයි ටික දැක්කෙ නැහැ.ගුරුවරයා පන්තියෙන් පිටවෙනකම් හිටපු මම ගිහින් අර ගැහැණු ළමයගෙ කනෙනුත් අල්ලන ගමන් දොස්කිව්වා,

මොකද මම හැමදාමත් කියනවා පන්තියට ගුරුවරයෙක් ආපු ගමන් නැගිටලා ආචාර කරන්න කියලා. පුරුද්දක් හැටියට හැම ළමයෙක්ම නැගිටලා ආයුබෝවන් කියන්න සූදානම් නැත්නම් මම ආයුබෝවන් කියන්නෙ නැහැ.පිරිමි ළමයින් මේ දෝශාරෝපණයෙන් බේරුනා, ඒ එයාලා මා එක්ක පඩමේ වැඩ කරමින් හිටපු නිසා ඔවුන් අර ගුරුතුමා නොදැක්ක බව මට සහතිකයි. ඉතින් පිරිමි ළමයිට හරි ආඩම්බරයි. මේ අතර හිටපු කටකාරයෙක් අන්තිමට කියනවා මෙහෙම,, "අපි නම් ටීච ඒකනායක අයියා ආවත් නැගිටිනවා",,,,,,,


ඒකනායක කියන්නෙ පාසලේ පියන්, මට තනියම හිනාගියා, ළමයි පුදුමෙන් වගේ බලන් ඉන්නවා මම තනියම හිනාවෙනකොට..

මගෙ උපදෙස් දීමේ මොකක්දෝ අඩුපාඩුවක් වෙලා කියලා මට තේරුනේ එතකොට තමයි,,ගුරුවන්ට විතරක් ආචාර කලාම ඇති කියලා මම කිව්වා,, මොකද ඒ වැඩෙන් ඒකනායක උනත් අපහසුවකට පත්වෙන්න පුලුවන් කියලා මට හිතුනු නිසා......................

Saturday, 19 June 2010

කළ හොඳ


කලින් ලියපු සටහනට සමගාමීව මේකත් ඉක්මනට ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා. මේකත් මයුමි ගැන,,,







කලින් සිද්ධියෙන් ටිකක් කාලෙකට පස්සෙ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් තිබ්බා. ඒකෙ එක ඉසව්වක් විදිහට තිබුනු මැරතන් තරඟයට මයුමිත් දිව්වා, මැරතන් තරඟයකට පොඩි ලමයි ගත්තෙ ඇයි කියල මම දන්නෙ නැහැ, සමහර විට ළමයි ප්‍රමානය මඳි කියලා ක්‍රීඩා ගුරුතුමා හිතන්න ඇති. මම දන්න විදිහට අවශ්‍ය කරන ප්‍රථමාධාර එහෙම ලහැස්ති කරලමයි වැඩේ පටන් ගත්තෙ.
ටිකකින් ආරන්චි උනා මයුමි මඟ වැටිලා ආපහු පාසලට ගෙනාවා කියලා, මමත් මගේ යහළු ගුරුතුමීත් ඉක්මනට එතනට ගියා. මයුමි වටේ සෙනඟ පිරිලා. එක් ගුරුතුමියක් මයුමිගෙන් විස්තර අහනවා,,



"උදේට කාල ආවෙ මොනවද?


"මුකුත් නෑ ටීච"


ලොකූ නිශ්ශබ්දතාවයක් කාමරේ පුරාම,,,,,,,,,මඳක් වෙලා නිහඬව හිටපු අර ගුරුතුමී නිහඬතාවය බින්දා,,



"උදේ කිරි එක බිව්වට පස්සෙ මුකුත් ම කෑවෙ නැද්ද?


"නෑ ටීච ,,,,,,,,,මම උදේ කිරි එක බිව්වෙත් නෑ"


වහාම ක්‍රියාත්මක උනු ඇය වැඩිමහල් සිසුවියකට අණ කලා ගෘහ විද්‍යාගාරයෙන් තේකක් හදන් එන්න කියලා,, තවදුරටත් එතන රැඳී ඉන්න අපි දෙන්නටම හිතුනෙ නෑ. අදට අවශ්‍ය ප්‍රතිකාර නම් කෙරෙයි,, ඒත් හෙටත් මයුමි එන්නෙ කිරි බොන්නෙ නැතුව. ළමා නිවාසෙන් දෙන උදේ කෑම වේල අරන් ඇවිත් පාසල් විවේකෙදි අනිත් ලමයි එක්ක කනවා ඇති.
ගුරු වැටුප ගැන ගොඩක් අය දන්නවා ඇතිනෙ, ඒත් අපි දෙන්නා කථා උනා මේකට පුලුවන් හැටියට මොනවාහරි කරන්න, ඒ ළමයි දෙන්නගෙ ( මයුමි ගෙයි, එයාගෙ අයියා ගෙයි ) කුස පුරවන්න අපි දෙන්න තීරනය කරා. පහුවදා මම ඉස්කෝලෙට ගියෙ ඇන්කර් සහ නෙස්ටමෝල්ට් පැකට් දෙකක් ඇතුව, කතා උනු විදිහට ඊළඟ සතිදෙකේ මගේ යහළු ගුරුතුමී කිරිපිටි පැකට් අරන් දෙනවා.
මයුමිව ගුරු කාමරේට කැඳවපු මම , පාර්සලේ මයුමි ට දුන්නා,
" පුතේ යාලුවන්ටවත් කියන්න එපා, අම්මට ගෙනිහින් දෙන්න.",, මයුමි මට දන ගහල වැන්ඳා. ස්තූතියි ටීච කියලත් කිව්වා.



මහා ලොකු පින්කමක් අවසානයේ දැනෙන සතුට මට දැනුනා.
 
පහුවදා උදේ මාව මුණ ගැහෙන්න මයුමිගෙ අම්මා ඇවිත්. එයා අනිත් අම්මලාට වඩා සරල විදිහටයි මට පෙනුනෙ. වැඩි විච්චූරන නෑ. මුලින්ම තමන්ගෙ දරු දෙන්නගෙ අධ්‍යාපන කටයුතු ගන තමයි එයා ඇහුවෙ. මම මගේ විශය පිළිබඳව කිව්වා. ඊලගට එයා මයුමිට දොස් කියන්න ගත්තා. උදේ ට කොච්චර වදකරත් කිරි එක බොන්න මයුමි කැමති නැහැලු. මට ඇය කියපු හැමදේම තේරුනා. මට දැනුනු විදිහට කොච්චර නැති බැරි උනත් අපි කිරිපිටි අරන් දෙන එකට ඇගේ තියෙන අසතුට තමයි නොකියා කීවෙ
.ඉතින් එතනින් එහාට අපි කොහොමද මයුමිට උදව් කරන්නෙ, කවුද ඇත්ත කියන්නෙ, මයුමිද? අම්මද? අම්ම අකමැතිව අපි කොහොමද ඒ දරුවන් ගෙ කුසගින්න ගැන හිතන්නෙ, ඊට පස්සෙ ඒක ගන හිතලා දුක් වෙන එක ඇරෙන්න අපිට කරන්න මොකවත්ම තිබුනෙ නෑ....



කළින් සටහනේදි විදුහල්පතිතුමී කියපු දේ ගැන හිතනකොට ඒක හරිද කියල හිතෙන්න ඇතිනේ,
තමන්ගෙ මුලු ගුරු ජීවිතේම ඒ පාසලේම සේවය කරපු ඇය, සිසුන් ගැන වගේම දෙමව්පියන් ගැනත් හොඳට දන්නවා ඇති. ඇය අපිට කීවෙ ස0වේදී වෙන්න එපා කියලා නෙමෙයි, ,,,,,,,,,,
 
ඒ මගේ ගුරු ජීවිතේ තවත් එක අත්දැකීමක් විතරයි,,,,,,,,,,

Wednesday, 16 June 2010

හොඳම තෑග්ග

ඉස්සර වගේ නෙමෙයි දැන් ,, , මුලින්ම කියන්න වෙනවා මම ලියන්නෙ මම අත්දැකපු දේවල් කියලා,,ඉතින් සමහර විට රස නැතුව ඇති,,(කාල බැලුවොත් )
 ගුරු ජීවිතේ අත්දැකීම් හුඟක් තියෙනවා,, ඇම්ඩන් වගේ ළමයි මුණගැහිලා නැතුවාමත් නෙමෙයි,, බ්ලොග් එකකට ලියන්න පුලුවන් ජාතියෙ කතා වෙන්නත් එපැයි,,,,අනික මම මේ ලියන්නෙ වැඩිපුරම හිතේ සතුට වෙනුවෙන්.

දවසක් 8 පන්තියෙ ඉන්නකොට ඒ ළමයි කීවා ටීච අපි හෙට එන්නෙ නෑ කියලා,, නාට්‍යයක් බලන්න යනවලු මුළු ඉස්කෝලෙන්ම, ටිකක් ඈත තියෙන පාසලක තමයි මේ නාට්‍යය පෙන්නනව කීවෙ, බලන්න නොයන ළමයි කවුද ඇහුවම පිරිමි ළමයි කීප දෙනෙක් අත් ඉස්සුවා. මේ බලන්න යන්න හදන්නෙ සරත්චන්ද්‍ර මහත්තයගෙ සි0හභාහු,


මම දෙවනුව 6 පන්තියට ගියහම 6 ළමයිනුත් ඒ කතාවම කීවා, පොඩි ළමයි ආසයි නාට්‍යයක් බලනවට වඩා ටිකක් දුරක ට්‍රිප් එකක් වගේ කොහෙ හරි ගිහින් එන්න ,ඔක්කොම යනවද? මම ඇහුවා


"මයුමි විතරක් යන්නෙ නෑ"  කටකාර ළමයෙක් කෑ ගැහුවා

"ඇයි? "   
මනෝ විද්‍යාව ඉගෙන ගත්තට ප්‍රායෝගික වෙන්නෙ කලාතුරකින්,, පු0චි හිත් තීරුම් ගන්න බරි මගේ කට ඉස්සර උනා,
මයුමිගෙ ඇස් දෙකේ කඳුළු,

"අම්මා ළඟ සල්ලි නෑ කීවා ටීච"
ළමයි කුඩා ප්‍රමානයක් හිටපු පාසලක් නිසා මට ඉක්මනින් ම මයුමිගේ තත්ත්වය මතක් උනා,,
මයුමියි, අයියයි ජීවත් උනේ අම්මා එක්ක, අම්මා සේවය කලේ ප්‍රදේශයේ තිබුනු ළමා නිවාසෙක සේවිකාවක් විදිහට.මේ ළමා නිවාසය පවත්වාගෙන ගියේ පන්සලකින්, ඒ නිසා සේවකයින්ට ලොකු වැටුප් නැහැ, පන්සලේ නායක ස්වාමීන්වහන්සෙගෙ අනුකම්පාව නිසා මයුමිලගෙ අම්මට තමන්ගෙ දරු දෙන්නත් එක්ක ළමා නිවාසෙම ජීවත්වෙන්න ඉඩදීල තියෙනවා,,මේගොල්ලන්ගෙ හුඟක් අඩුපාඩුකම් විසඳුනෙ ළමා නිවාසය හරහා ම තමයි. සි0හභාහු නාට්‍යය 6,7,8 වගේ වසර වල ළමයින්ට බර වැඩියි, ඒත් මේ පොඩි ළමයි කට්ටිය එක්ක ඇවිදින්න යන්න ආසයි. 8 පන්තියෙ නම් ළමයි කීපදෙනෙක්ම යන්නෙ නෑ කීවා. ඒත් 6 න් නොයන්නෙ මයුමි විතරයි, මේක පොඩි හිතකට දරාගන්න අමාරු ඇති,, මට හුඟක් ම දුක හිතුනා,,මුළු පන්තියක් ඉස්සරහ මම කරපු වැරද්දට මම ම දොස් කියාගත්තා,,
 පන්තියෙ ඉන්න යමක් කමක් තෙරෙන ළමයෙක් ව පැත්තකට අඬගහලා,,,,,,,,"මයුමිගෙ ගාස්තුව මම ගෙවන්නම්,, ඔයාල එයාව එක්කන් යන්න"  මම කිව්වා.


"අපි යන්නෙ හෙටනෙ ටීච මයුමිගෙ අම්ම එයාව එවයිද දන්නෙ නෑ"

"කොහොමහරි කියලා එක්කන් යන්න හැබැයි සල්ලි දුන්නෙ මම කියල කියන්න එපා"
( මේ ළමයා මේ ගමන නොගියොත් ඒ ක මට ලොකු දුකක් වෙයි මට එහෙම හිතුනා )
පහුවදා උදේ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ ළමයි පොදි කනවා නාට්‍ය්ය බලන්න යන බස් එකට නගින්න, කීප දෙනෙක් (6 ළමයි ) මගෙ ළඟට ආවා,, මේ අතර මයුමිත් ඉන්නවා,, මගේ සතුටට වචනමදි,,ඒ වෙලාවෙ මයුමි මම දිහා බලපු කෘතගුණ බැල්ම මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ. මයුමි හිටියෙ රටක් දිනුවා තරම් සතුටින්.කියන්න එපා කිව්වට යාලුවො ටික විස්තරේ කියලා,, මගේ දිහා අර විදිහට බලන්න හේතුව මට තේරුනා.
සති අන්තෙන් පස්සෙ සඳුදා උදේම මයුමි මාව හොයාගෙන ආවා. මගේ ළඟට ඇවිත් ලොකු සිලි සිලි මල්ලක් මගේ අතේ තිබ්බා,
 
 "ස්තූතියි පුතේ"


මොනවද ඇතුලෙ කියලා වත් අහන්න මට හිතුනෙ නෑ,, ඒ මෙයාගෙ නැතිබැරි කම් හොඳින් ම දන්න නිසයි..

මයුමි කිරිල්ලියෙක් වගේ දිව්වා,,සිලි සිලි මල්ල පුරවල තිබ්බෙ ජැම්සන් ගෙඩි වලින්,, රතු පාට පොඩි ගෙඩි ජාතියක්,, ඉදුනත් ඇඹුලයි,, ගොඩක් හරිය අමුයි,, ඒත් මෙයා මට ගෙනත් තියෙන්නෙ එයාට ගේන්න පුලුවන් හොඳම දේ කියලා මට තේරුනා


ජීවිතේ ලැබුනු හොඳම තෑගිවලින් එකක් තමයි ඒ, වෙනදට නොකෑවට මම එදා ජම්සන් කෑවා,,එදා මට අඹුල තේරුනේ නැහැ,මම කාටත් බෙදාහදාගෙන කන්න තෑග්ග ගුරු මේසෙ උඩින් තිබ්බා,, කවුරුත් මූණු ඇඹුල් කරගෙන ඉන්නකොට විදුහල්පතිතුමී මෙතනට ආවා,,


"කවුද මේව ගෙනාවෙ?"

"හරී",,, කවුදෝ කිව්වා

"ආනේ ඔයාට අඹුල් ජාති කන්න හිතිලද?"

"අපෝ නෑ මැඩම්",, මම කතාව කිව්වා,,,,,

ඕනවට වඩා ස0වේදි වෙන්න එපා,,මට ඒ කතාව තීරුම් ගන්න හුඟාක් කල් ගියා,,,,,,,,,,,,,,,

Tuesday, 15 June 2010

වේවැල වටා,,,,

දුකා අයියගෙ ඇම්ඩ්න් කතාවයි, කතන්දර කුමාර අයියගෙ පාඨශාලා පරීක්ෂක ගැන කතාවයි දැකල මට මේක මතක් උනේ,,

 මම හිටපු ඉස්කෝලෙටත් දවසක් ඔය පරීක්ෂකවරු කණ්ඩායමක් ම ආවා. එන්න කලින් ඉදලම අපි දන්න නිසා කට්ටිය සීරුවෙන් හිටියෙ,, ඒ කියන්නෙ ඔය පාඩම් සටහන්, (සාමාන්‍යයෙන් නොලියන,, ඒවාහෙමත් ලියාගෙන,,


උදෙන්ම මුල් ගුරුතුමී ගෙන් උපදෙසක්,,

පන්තිවල තියෙන වේවැල් ටික අයින් කරලා තියන්න

වේවැල කියන්නෙ තහනම් භාණ්ඩයක් උනාට,මේසෙට තට්ටු කරන්න හරි වෙනවා,, නැත්නම් මේ කාලෙ ඉන්න චන්ඩි එක්ක බෑ,,ඉතින් ඔය කියන පරීක්ෂකවරු කණ්ඩායම මුලින්ම ගියෙ එක වසරට,
 පු0චි ළමයින්ගෙ කවි කතා අහන අතරතුර ,මේ කණ්ඩායමේ හිටිය එක මහත්මයෙක් පොඩි කොලු පැ0චෙක් ලඟ පහත් උනා,, පොඩ්ඩගෙ ඔලුව එහෙම අතගාල මෙහෙම ඇහුවා,,


"පුතා ටීච සැරද?"

"ඔව්"

"ටීච ගහනවද?"

"ඔව්"

මෙහෙම කියපු පොඩ්ඩා නතර උනේ නැහැ,, ,,,,,,,,,,,,

"වේවලෙන් ගහලා ආයෙත් අතිනුත් ගහනවා"
 
කතාවෙ සාරා0ශය ගත්තොත්,, පරීක්ශක කණ්ඩායම ගියාට පස්සෙ ටීච අර ළමයට ගැහුවෙ නැහැ හොඳේ,, ඒ මොකද ඒ කතාවට හැමෝටම හොඳටම හිනා ගිය නිසා අර කණ්ඩායමෙන් ටීචට ප්‍රශ්නයක් උනෙත් නෑ..

Sunday, 30 May 2010

චණ්ඩි

දවසක් ඉස්කෝලෙ පටන් ගන්න කලින් මට පැමිනිල්ලක් ආවා. පැමිනිලිකාරයා ගුටිත්කාලා.හේතුව අහලා බැලුවම විත්තිකාරයා එයාගෙ රුපියල් විස්සක් ගත්තලු, හේතුව එයාගෙ වතුර බෝතලෙන් ටිකක් බීලා,,
ඒකට හිලව් වෙන්න මේ චන්ඩියා සල්ලි අරන්.
.ඒ කාලෙ පුන්චි වතුර බෝතලයක් ම රුපියල් විස්සයි.
මම සැර දාලා, ඉල්ලුවත් දුන්නෙම නෑ සල්ලි.
අන්තිමට මම තර්කයක් දැම්මා, රුපියල් විස්සට හරියන්න ඉතුරු වතුර ඔක්කොම බොන්න දෙන්න ඕනා කියලා,,,
ඔන්න ඒකට නම් චන්ඩියා බයවෙලා සල්ලි ටික දෙන්න කැමති උනා,,
මම සල්ලි මගේ භාරයට ගත්තා,,
ඒ පන්තිභාර ගුරුතුමීගෙ අතටම දෙන්න,,එහෙම කරලා නඩුව ගෙනාව කොලූගෙ වැඩි ආරක්ෂාව ගැන හිතලා දගයට කීවා කොරිඩෝවට වෙලා ඉන්න කියලා,, ඒ ගුරුතුමී එනකම්,,,,,
ටිකකින් මම පාසලේ අනිත් කොනේ තිබුනු මගෙ පන්තිය බලන්න ගියා,,ළමයි පන්සිල් ගන්න අතරවාරෙ අර පන්තියෙ ගුරුතුමී මාව හොයන් ආවා. නඩුවක්!!! මම එලියෙ තියපු කොලුවා,, මම කියනකම් පන්තියට එන්න බෑ කියනවලු,,
අපි දෙන්නටම හේතුව නම් තේරුනා, මට බයකට නෙමේ,, පන්සිල්ගැනීමෙන් (දඩුවමින්) බේරෙන්න,,

හොදම හරිය මේකයි,, මේ පුන්චි චන්ඩියා හිටියෙ 1 ශ්‍රේනියෙ,,,,,:D

Wednesday, 3 March 2010

ගුරුකම් කරපු කාලේ

ප්‍රින්සිපල්ට ගලකින් ගහලා

මේ සිද්ධිය උනේ නිමලව ස්කෝලෙ teacher traning කරන කාලෙ, පත්වීමකුත් නෙමෙයි, ඒත් පත්වීමක් වගෙත් තමයි.
නිමලව කියන්නෙ කණිශ්ඨ පාසලක්, තියෙන්නෙ හැම ශ්‍රේණියකින් ම එක පන්තිය ගානෙ, අපිට අලුත් උනාට මෙහෙම training යවන එක නිමලව ළමයින්ටයි, ගුරුවරුන්ටයි හොදට පුරුදුයි.
අපිත් ඉතින් ගිහින් වැඩ බාර ගත්තා, එහෙට යන්න කලින් නිමලව ඉස්කෝලෙ ගැන දන්න කීප දෙනෙක් ම කියල තිබුනා එහෙ ඉන්න ඇට්ටර ළමයි එක්ක ටිකක් අමාරුයිත් කියලා.ඒත් බෝඩින් වෙන් නැතුව, වෙද සීයලගෙ ගෙදර ඉදන් යන්න පුලුවන් විදිහට අමාරුවෙන් හද ගත්තු ඉස්කෝලෙ.

ටික වෙලවකින් දැක්කා, ලොකු සර් ඒ කියන්නෙ principal sir පොඩි ළමයෙකුට වේවැලෙන්ම හොදට බෙදනවා,
අපි ලග හිටිය ලමයෙක් ගෙන් අහුව ඒ මොකද කියලා,,,,
ලැබුනු උත්තරේ තමයි,,
තිසාර ප්‍රින්සිපල්ට ගලකින් ගහලා !!!!!!!!!!!!!!

අම්මෝ මේ ළමයි ප්‍රින්සිපල්ට ගල් වලින් ගහනවා නම් අපිට මොනව නොකරයි ද? අපිට හීන් දඩිය දැම්මා,,
ඒත් එතන හිටපු අනිත් ළමයි මහ හයියෙන් හිනාවෙලා අපේ ප්‍රශ්නෙ විසදුවා,

බලනකොට ප්‍රින්සිපල් කියන්නෙ 5 විභගෙ පේල් වෙලා , ඒ පන්තියෙනුත් පේල් වෙලා, අවුරුදු 3ක් තිස්සෙ 5 පන්තියෙ ඉන්න ළමයෙකුට !!
!පන්තියෙන් ම ඉන්න ලොකුම ලමය නිසා එයට ප්‍රින්සිපල් කියල නම දාල අනිත් ලමයි,, කොහොමද වැඩේ????