Thursday 19 November 2020

Tuesday 5 May 2015

අති විශේෂ






පඳුරකට පයින් ගැහුවත් මලබාරියො හැටක් විතර වීසි වෙන රටේ ඉතින් අපිටත් ඇයි හොඳයි කියන්න වෙනවා ඒගොල්ලො එක්ක. අවුරුදු අටක්ම මේ නොරටෙ හිටිය එකේ අපේ සිංහලයා තරම්ම නරකමත් නෑ උන්.

කොහොමින් කොහොමින් හරි ඔන්න එක වතාවක් අරාධනාවක් ලැබුණා හිත මිතුරු ඉන්දියානු පවුලකින්, එයාලගෙ අලුත් අවුරුද්දට එහෙ එන්න කියලා.තව අමුත්තො ඇතියි කියලා අපි හිතුවත් ගිහින් බලනකොට අපි විතරයි. අපිලු මේ ගමන විශේෂ අමුත්තො.

ආගිය කථා, සුහද පිළිසඳර අතර වාරයේ සංග්‍රහ වටය ආවා. ඔන්නගෙනත් පිලිගන්වපි තරමක ප්‍රමාණයේ අතුරුපස කෝප්ප දෙකක්.
"මේක අපේ විශේෂම ආහාරයක්, ඔයාලාටමයි හැදුවෙ"
මක් කොරන්නද දෙයියනේ, මටනම් නරියගෙ මඟුල් ගෙදර ගිය කොකා සිහිඋනා. සංග්‍රහ කරපු උදවිය ඒක අපි කනකම් බලන් ඉන්නව. මං හිතාගත්තා මොක උනත් මේක කනකම් අපේ එක්කෙනාගෙ මූණ නම් බලන්නෙම නෑ කියලා.

කන්න තියා ඒක දැකපු වෙලේම මට නම් දෙවියො සිහිඋනා. මොනවද දන්නවද ඒ කෝප්ප දෙකේ තිබුණෙ?
අමු පරිප්පු...............
අමු පරිප්පු, අමු කඩල පරිප්පු, අමු උඳු පොඟවලා . ඒකටම පොල් ඩිංගක් , කොත්තමල්ලි කොළ හීනියට ලියලා දාලා ලුණු පදමට දාලා.

වනේ වන හතුරෙකුට එහෙම දෙයක් වෙන්න එපා දෙයියනේ. අර ජෝඩුව බලන් ඉන්න නිසා එදා අපි දෙන්නම අර අමු පරිප්පු, උඳු කෑවා. කෑවා නම් මදැයි. ඒක රස එකක් බව අඟවන්නට සිද්ධවීමම මොන තරම් කරුමයක්ද අප්පා.

"හොඳයිද? " ඒ ගොල්ලො අහනවා
" ඔව්, අපිට අලුත් දෙයක් නේ, අපි මේවා කාලා නැහැ"
"මොනවා?? ඔයාලා මේ ධාන්‍ය වර්ග කන්නෙ නැද්ද? "
" අපොයි නෑ, අපි කනවා, අපි කන්නෙ මේ විදිහට නෙමෙයි.මේ කෑම ජාතිය අපි කෑවෙ අදමයි"
" ආ ඒකද, අනේ ඉතින් තව කන්න."
අපේ එක්කෙනා එතකොට නම් ලාවට කැස්සා.

ඔය වෙලාවෙ ප්‍රාදේශීය දෙවි කෙනෙක් අපි දිහා බැල්ම හෙලලා තිබ්බා.ටික වෙලාවකින් තව කිරි ටොපි වර්ගයක් සහ අලුවා වර්ගයක් ගෙනත් සංග්‍රහ කරා.
මං එයින් කෑල්ලක් ගන්න හදනකොටම "මේ බර්ෆි, මේක එක්ක ඕකත් කන්න," මුං අපිට අමු පරිප්පුව ගිල්ලවන්නමයි ට්‍රයි එක.

අපේ එක්කෙනා මට වඩා නිර්භීතයි, එයා පරිප්පු කෝප්පෙ පැත්තකින් තිබ්බා.මට විතරක් අහෙන්න මෙන්න මෙහෙම සිංහ නාද කරා, "ආයෙ ඔන්න මුංගෙ අමු පරිප්පු කන්න මෙහෙ එන්න එහෙම මට නම් කතා කරන්න එපා .."
ගෘහනිය මගෙ දිහා බලනව මොනවද ඒකිව්වෙ කියලා අහනවා,
"එයාගෙ බඩ හොඳටම පිරුණලු, රෑට කන්නත් බෑ වගේලු.." මං කිව්වා.
කල්පයකට විතර පස්සෙ "තේ ද කෝපිද බොන්නෙ? ඇය අහුවා.
"කෝපි කෝපි " මං දෙසැරයක්ම කිව්වා.
"යංද ඉක්මනට, කෝපි කියලත් මොනා ගෙනෙයිද දන්නෙ නෑ"
" වෙච්චි දේවල හැටියට තව වෙන්න දෙයක් නෑ, ඔන්නොහෙ ඒකත් බීලම බලමු"


මේසා විපත්ති මැද ඉඟියක්වත් නොදක්වා සිටීම මහා හපන්කමක් .ඊයෙ ආපු දුරකතන ඇමතුමෙන් පස්සෙ මට ආයෙත් මේ ඇඟ කිළිපොළායන සිද්ධිය මතක් උනේ,

" හරී, එන්නකො මේ සති අන්තෙ අපේ ගෙදර"

Sunday 15 December 2013

කුණු බක්කි


මහ රෑක, කුණු බක්කියක් අවුස්සන මනුස්සයෙක්ව දැක්කොත් මොනවා හිතෙයිද?

මේ මොනවද සොයන්නෙ. වාහනයෙන් නොබැහ අපි බලන් හිටියා. ඔහු සෙව්වෙ හිස් බීම කෑන්. මුළු කුණු බක්කියෙන්ම ලැබිලා තිබ්බෙ කෑන් දෙකක් හෝ තුනක් පමණ. පසෙක නවතා තිබූ පා පැදියෙන් ඔහු ආපහු ගියේ. කිට්ටුව පාත ඉන්න කෙනෙක් නම් පාපැදියකින් එන්නෙත් නෑ. එහෙනම් ඔහු නගරය පුරා ගිහින් හිස් බීම කෑන් එකතු කරන්නෙක්.
මේ කෑන් විකුණා කොපමන මුදලක් ලද හැකිදයි මා දන්නේ නැහැ. ඒත් එකක බර ග්‍රෑම් දහයක් හෝ පහළොවක් පමණ වෙන කෑන් කිලෝවකට උනත් රුපියල් තුන්සීයක පමණ මුදලක්වත් ලද හැකියයි මට නම් හිතෙන්නෙ නෑ.

මට නම් ඒක බලන් ඉන්න අපහසු දසුනක්. ආයෙ නම් කවදාවත් බීම කෑන් කුණු ගොඩට දාන්න හොඳ නෑ. මේ කුණු බක්කි වලට මිනිස්සු විසි නොකරන්නෙ මොනවද, කුණු ගෙනියන්න ටිකක් හරි පමා උනොත් මේවයින් එන දුඟඳ, පලාතකින් යන්න බැරි තරමේ. ඒත් අසරණකම ඉහවහා ගිය වෙලාවක මිනිස්සු වෙන මොනවා කරන්නද?

දහවලේ ගිනි අව්වේ ගොඩනැගිලි වඩ බිම් වල, මහා මාර්ග වල වැඩ කරනා, තුට්ටු දෙකක් පඩි ගන්නා මිනිස්සු, තව කීයක්ම හරි හොයා ගන්නයි කුණු බක්කි අවුස්සන්නෙ.

අපි බීම කෑන් එකතු කරා. නගරයේ කොහේ ඉඳන් බිව්වත් හිස් කෑන් එක ගෙදරම අරන් ආවා. ඒ හින්දම පළතුරු බීම බොන්නෙ නැතුව, අධි සාන්ද්‍ර සීනි තියෙන කොකා කෝලා, පෙප්සිම බොන්න සිද්ධත් උනා. ආසන්න විදිහට බීම කෑන් කිලෝ දෙකක් පමණ එකතු කර ගන්නට මාස හය හතක්ම ගත උනා. ඒ කාලය තුලම නැවත් වතාවක් නම් කුණු බක්කියක් අදින කිසිවෙකුත් මා දැක්කේ නෑ. ගෙයි එක මුල්ලක් පිරිලා. සමහර විට කෑන් මිලදී ගන්න එක නතර වෙලා ඇති. එහෙමත් නැත්නම් ඒ අය නිවාඩුවට සියරට ගිහින් වෙන්න ඇති.

දවල් දොළහට පාසල් යන දරුවා එන වෙලාව. බස් රථය එනකම් අල්ලපු නිවසේ ඉන්න ඉන්දියානු යෙහෙළියත් සමඟ දොඩමළු වෙච්චි වෙලාවක ආයෙම කුණු බක්කිය ළඟට කෙනෙක් ආවා. කලින් දුටු අයම වෙන්න බැහැ. මේ මහ දහවලේ, මොහො ඉන්නෙ නිල ඇඳුමෙන්මයි. වැඩබිමක කම්කරුවෙක්.
පොඩ්ඩක් ඉන්න , මගෙ ළඟ කෑන් තියෙනවා. එහෙම කිව්ව මම ඉහළ මාලයේ තියෙන නිවසට ගිහින් කෑන් මල්ල අරන් ආවා. ඒ එක්ක මාරු සල්ලි වලින් දිරාම් දහයකුත්.

ලොකුම ලොකු කෑන් මල්ල දැක්කම ඔහුගෙ ඇස් දිලිසුනා. තමන්ගෙ අතේ තිබ්බ අනිත් බඩුත් බිම තියලා , දෑත් එකට බැඳගෙන බඩ මැද්දෙ තියා ගෙන මොනවද කියන්න පටන් ගත්තා.

සහෝදරයා, මෙයා ශ්‍රීලංකාවේ, එයා හින්දි දන්නෙ නෑ. මගේ යහෙළිය ඔහුට කිව්වෙ ඒ ටික කියලා නම් මට තේරුණා. ( අපිත් ඉතින් හින්දි චිත්‍රපටි බලලා තියෙනවනේ )

ඒත් ටිකක් නෙමේ හාල්ලක්ම ඔහු කියෙව්වා.

මොනවද මේ කියන්නෙ? මං ඇගෙන් ඇහුවා.
එයා ඔයා වෙනුවෙන් දෙවියන්ට යාඥා කරනවා.

අනේ දෙයියනේ. මේ වැඩකට නැති හිස් කෑන් ටිකක් වෙනුවෙන් ?
කෑන් මල්ලයි, මාරු කාසියි ඔහුව දොඩමළු කරා.


මං වැඩ කරන්නෙ එහා පැත්තෙ බිල්ඩිමේ. මගේ දරුවට අසනීපයි, ඒ නිසා හොඳට ශක්තිය වැඩෙන්න කෑම , බීම ඕනා කියලා මගේ නෝනා කියනවා. ඒ නිසා මට සිද්ධවෙලා තියෙනවා කොහොම හරි මුදල් වැඩිපුර හොයලා මගේ රටට යවන්න.ඔහු එහෙම කිව්වා.

මට හොරකම් කරන්න බැහැ. හිඟා කන්න බැහැ. මේ තමයි මට පුලුවන් දේ. ( ඒ ඔහු නොකී කතාව )


කුණු බක්කියකින් කුණු හොයන මිනිස්සු. පව් නේද?




අපේ ගමන් බිමන් ගොඩ වෙලාවට රෑට. කාන්තාරෙ ඉන්නකොට හැමෝම එහෙම තමයි. ගෙවල් වලින් එළියට බහින්නෙත් රෑ වෙලාමයි. පොඩි එවුන්ට කවා පොවාගෙන.
මේ ළඟදි ටිකක් රෑ වෙලා එන ගමන් ,වාහනයෙ සිටම කෑම ඕඩර් කරලා , ඒවා ලැබනකම් අපි බලන් හිටියා. ආසන්නව තිබ්බ එළවළු කඩයේ මිනිසුන් ලහි ලහියේ වැඩ. කඩය වසා දමන්න පෙරාතුව එළවලු ආයෙම පෙට්ටි වල අසුරනවා. එක්කෙනක් බිම දණ ගහගෙන ගෝවා ගෙඩි සුද්ද කරනවා. කොළපාටින් දිලිසෙන ගෝවාකොල පිරුණු පෙට්ටියක් රැගෙන අයෙක් එළියට ආවා. කුණු බක්කියෙ ඉඩ නැති වෙන්නම පිරීඉ අවසන් . ඔහු පෙට්ටිය පිටින්ම කුණු බක්කිය උඩින්ම තියලා ආපහු ගියා.
ඔන්න ඒ වෙලාවෙ මටත් හිතුණා කුණු බක්කියේ තියෙන ඒවා ගන්න. මට නම් ගෝවා කොළ මැල්ලුම හරි රස කෑමක්. පොල් ඩිංගක් එහෙම දාලා තෙල් ඇබින්දකුත් දාලා මලවලා ගත්තා නම් දිව්‍යලෝක රස. ඒත් කඩවල ගෝවා කොළ මිලදී ගන්න තියෙන්නෙ එහෙමත් වෙලාවක. තිබුණත් රස දන්නා අයෙක් මිසක් ගන්නෙත් නෑ.

ඔව් ඇත්තටම මට හිතුනා එදා ඒ පෙට්ටියෙන් ගෝවා කොළ ගේන්න.

"විකාරද?" ඒ හඬින් මගේ කොළ මැල්ලුමේ සිහිනය මැරුණා!




Tuesday 1 October 2013

සල්ලි, දෙය්යන්ගෙ මල්ලි

අව්ව වැඩි වෙන්න ඉස්සර යනව නං ගිහින් එන්න, එහෙම කියාපු තාත්තා ළඟ තිබ්බ කඩේට ගොඩ උනා.
සීයෙ අපි මාළුන්ට කෑම දාන්න යන්නෙ,


දේවාලෙට යන අතුරු පාරෙ අහිකුණ්ඨක කට්ටියක් වාඩියක් හදලා. ගහක බැඳපු තොටිල්ලක පුංචි දරුවෙක් මර හඬ දෙනව, උන්නෙ තාත්ත වෙන්න ඇති කියල හිතෙන පිරිමියෙක් ඒකෙ වගක්වත් නැතුව ළමයව නලවන්න හදනව.

ළමයට බඩගිනි ඇති. තව කොච්චර පැද්දුවත් ඔච්චරම තමයි, මට හිතුනා.

අපේ කෙල්ලට ඒ නැළවිල්ල විස්මයක්. පද්දන වේගෙට ගහෙත් හැපෙයිද මන්දා දරුවව, අපේ එක්කෙනෙකුට කිය උනා.

ඊට ඩිංගිත්තක් එහායින්, තව ළමයි රොත්තයි. හතරක් හෝ පහක්. සේරම කොල්ලො. සමහරුන්ට කමිසය විතරයි. එකෙකුට මුකුත්ම නෑ.එයින් තුන් දෙනෙක් මහා රණ්ඩුවක්. මොකටද දන්නවද, කොමඩු කෑල්ලකට. පූජා වට්ටියක තිබිච්චිමඩු කෑල්ලක් වෙන්න ඕන. එක්කෙනෙක් ඒක කන්න හදනව, අනිත් අය ඒක උදුරා ගන්න පොර කනවා.


අනේ පව්, බඩ ගින්නටනෙ. මට දුක හිතුනා. අපේ ළමයින්ට පලතුරු කෑල්ලක් කවා ගන්න තියෙන අමාරුව. මේ ළමයින්ට අද දවසෙ ලැබිච්චි එකම කෑම මේකද? ,
අපේ දරුවගෙ අත තවත් තද කරලා අල්ලගෙන, යන ගමනත් නවත්තලා මං ඒ දිහාව බලන් හිටියා.
පේනවද , ඕගොල්ලන්ට කෑම වැඩි වෙලා, අර ලමයි කන්න දෙයක් නැතුව අඬන්නෙ.
අපේ කෙල්ලට ඕවා තේරෙන්නෙ නෑ.

කෝ ඒ ගොල්ලන්ගෙ අම්මා?
අම්මා වැඩට ගිහින්ද?
ඒ ගොල්ලන්ගෙ අම්මද වැඩට යන්නෙ, තාත්තා නෙමෙයිද?


මේ ගොල්ලන්ට සල්ලි දීලා වැඩක් නෑනෙ. අපි එන ගමන් අර කඩෙන් මොනව හරි කන්න අරන්දෙමු.අපි කතා උනා.

එන ගමන් බෙලි මල් තම්බපු වතුර විකුණන කඩයක් ළඟ මම වාඩි උනා.
අපි මාළුන්ට පොරි දාලා එන්නං, ඒ ගොල්ලො ගියා.

නෝනා එන්න සාස්තරයක් කියන්න.
අපෝ එපා.

සල්ලි එපා , නෝනා අත පෙන්නන්න පොඩ්ඩකට., නෝනගෙ ඉත ඔඳයි. කට තමා පොඩ්ඩක් සැරයි. පවුලෙ බාල දරුවා. ඉතුවක්කාරෙට තමා වැඩ කරන්නෙ..
මං දැං සැරයක් කිව්වනෙ. සාස්තර නං කියන්න එන්න එපා මට. මං සැර උනා.
හොඳ වැඩේ, මේ ගොල්ලො හැමෝටම කියන්නෙ ඕවා තමයි. බෙලිමල් විකුණපු කාන්තාව මං එක්ක කිව්වා. ගොඩක් අය රැවටිලා සාස්තර අහනව හරියට.

.

එතන් තිබුනෙ කළු දොදොල්, සෙල්ලම් බඩු විකුණන කඩයක්. අර ළමයින්ට අරන් දෙන්නෙ මොනවද? අපි කතා උනා. පැකට් කරපු පුහුල් දෝසි, මස්කට් කෑලි, කොට්ට කිලංගු වගේ ඒවා තමයි තිබ්බෙ. මේව්ව නම් දීල වැඩක් නෑනෙ, අඩු ගානෙ බනිස්වත් නැද්ද?
මේ දහවලේ බනිස් මොකටද කියලා කඩේ මුදලාලිට කිව්වා.



අර ළමයින්ටද බනිස්? ඈතින් හිටපු ළමා රොත්තට අත දික් කරලා පෙන්නපු කඩේ මුදලාලි අපෙන් ඇහුවා.
නෝනලාට පිස්සුද? ඕකුන්ගෙ අම්මා මේ දැං ඩිංගකට කලින් ගොඩ වෙලා මට අරන් තියන්නෙ දීපු සල්ලි කවරෙ මෙතන හිටිය නෝනලගෙ තාත්තා නං දැක්කා. ඉන්න මං ගෙනත් පෙන්නන්න. පොඩි වෙච්චි සිලි සිලි කවරෙ ඇතුලෙ රුපියල පනහෙ, සීයෙ, කොළ ගොඩක් . වැඩියෙම තිබ්බෙ විස්සෙ කොළ. සල්ලි පොදියක්.

මං මේකෙන් මාරු සල්ලි දෙදාහක් ගත්තා දැනටම, මේතියෙන්නෙ මං දාපු කොළ දෙක.


ගිය සතියෙ මං ළඟ තියලා තියන්න ගෙනත් දුන්නා රුපියල් හතලිස් පන්දාහක්, මේකෙත් පන්දාහක් වත් ඇති මගෙ හිතේ, මං තාම ගැන්නෙ නෑ.

හතලිස් පන්දාහක්!!!!



එච්චර සල්ලි තියෙනව නං මේ ගස් යට මොකද කරන්නෙ? හරියට කන්නවත් නැතුව?
කන්න නැතුව නෙමෙයි මේ ගොල්ලො හොඳට කන බොන කට්ටිය, ඔහොම හිටියෙ නැත්තං කවුරුවත් සල්ලි දෙනවයැ, ඒකනෙ ඔහොම ඉන්නෙ.
පාරෙ ඉන්න ළමයින්ට කන්නන් දෙන්න හදපු මහාදානපතිනි මගේ පර්ස් එකේ රුපියල් දාහකට වැඩිය තිබ්බෙ නෑ ඒ වෙලේ. මට හිනාත් ගියා. මුං මොකට අපිව රවට්ටනවද?ඒක තමා උන්නෙ රස්සාව. සල්ලි බෑග් එක මුදලාලිගෙ බොරුවක් වෙන්න බෑ. අපේ තාත්තා ඇස් දෙකට දැකලා තිබ්බ ඒක ගෙනත් දෙනවා.
මේ ගොල්ලො රෑට වත් ගෙදරකට යනවද? මං ආයෙම ඇහුවා.
නෑ . ඔතනම තමයි හැමදාම.


අතේ සල්ලිත් තියාගෙන, දූවිලි කකා මොකට දුක් විඳිනවද?අනේ මට නං මෙහෙම සල්ලි එපා.
ඒක තමා නෝනා කරුමෙ කියන්නෙ.
උන්ද හිඟන්නො? අපිද?


එක පාරක් නෙමේ දෙතුන් වතාවක්ම කියවපු මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගෙ " ශ්‍රීලංකාවේ යාචකයා " පොත මතක් උනා.දෙන්නෙ නෑ එකෙකුට සතයක්.

ඒත් ඕක මට කොයි තරම් කාලයක් මතකෙ තියෙයිද මන්දා.

Sunday 11 August 2013

සකි සඳ මිතුරු !

මිතුරු තොමෝ
 දුකෙහි සැපෙහි  හැර නොයන
නිති ළඟ රැදුණ
අඳුනක සිරි දරන
එළිය නොමැති දා
නුඹවත්  නැහැ ලඟින
 හේමලයෝ වදනක් දොඩපන් ඉතින  

Tuesday 3 April 2012

සැඟවුනු E




මේ පින්තූරෙ මුණුපොත හරහා දුටුව එකක්. බොහෝ දෙනෙක් දැක ඇති. නොදැක්ක අයටයි මේ.


වැඩි විස්තර ලියන්න ඕනි නැහ . පින්තූරෙ සියල්ල ඇතුලත්.  හැබයි වැරදි වැටහීමක් ඇති කරගන්න නරකයි. මේ කියන්නෙ විටමින් E  ගැන එහෙම නෙමෙයි. ආහාර වලට එක්කෙරෙන දේ. කල්තබා ගැනීමට යොදන දෑ වගේම, වර්ණ ගැන්වීමට  සහ රස ගැන්වීමට යොදන ඒවා.
මෙම   E අංක ප්‍රමිති ගත කර ඇත්තේ  European Food Safety Authority  විසින්ලු.  

ඇත්තෙන්ම ඔවුන් කියා සිටින්නේ අසුරුම් කරපු ආහාර මිලදී ගන්න කලින් පිටුපස සඳහන්  කර තිබෙන අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුව හොඳින් පිරික්සන්න කියලා. 

පින්තූරයේ සඳහන් E අංක වලට අමතරව තවත්  අංක කිහිපයකින් ම ඇතිවිය හැකි අතුරු ඵල ගැන මුහුණු පොතේ සඳහන් වුණා.

E621, E296 - ගැබිණි මවුවරුන්ට නුසුදුසුයි. කළල විකෘතිතා  ඇතිවිය හැකියි.
E951-   කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට බලපෑම් ඇති කරයි.
E950-   රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ.
මීට අමතරව E 211, E 104, E110, E 220  වගේ  E අංක තියෙන ආහාරත් පරිභෝජනයට නුසුදුසුයි කියලා තැනක දුටුවා.

එතකොට විශේෂයෙන් ඔය චීස් වගේ දේවල්? චීස් කුඩා දරුවන්ට දීමට නුසුදුසුද? කරුණාකර දන්නා කෙනෙක් ඒ ගන සටහනක් තබා යන්න. 
මම නම් කරන්නේ චීස් තෝරා ගැනීමේදී අංක අවමයෙන් සඳහන් වර්ගයක් තෝරා ගැනීම. මෙහිදී මා ඉන්නා රටේ නීතියට අනුව අඩංගු සියලු දෑ සඳහන් කිරීම නීතියක් නිසා සැකය අවමයි.

 එහෙත් ලංකාවේ? දන්නා තරමින් අවුරුදු තුනට අඩු දරුවන්ට මාගරින් දෙන්න තහනම්. ඒත් මේ නීතිය මිනිසුන් අතරට ගියේ නැති තරම්.  අද මේ මොහෙතෙත් ලංකාවෙ අසරණ කුඩා දරුවො කී දෙනෙක් මාගරින් (ලංකාවේ ජනප්‍රිය මාගරින් වර්ගයක්  )  එක්ක පාන් කනවා ඇද්ද? 
මේ අංක වලින්  වන බලපෑම් 100% නිවැරදියි කියා නම් මා දන්නේ නැහැ. නමුත් මේවායින් බලපෑමක් වෙන බව නම් සහතිකයි. ඒ නිසා කල්තබා ගන්නා ආහාර භාවිතය අවම කිරීමයි හොඳම දේ නේද?


E අංකයේ සියලුම තොරතුරු මෙතන අතුලත් කියලා කතන්දර අයියා සොයා දුන් ලින්ක් එක මේ. මේ පාරෙන් ගිහින් දැනුවත් වෙන්න.

මේ පින්තූරය මුහුණු පොතේ බෙදා හැරිය ඇත්තාටත්, ඒ ගැන සටහන් එක් කළ අනෙක් අයටත් අනේක වාරයක් ස්තූතියි

Monday 12 March 2012

ප්‍රාර්ථනා




පෙරෙ එක් භවෙක අපි මිනිසුන් වී උපන
යන මං  නොදැන බුදු බණ නෑසූ බැවින
තිරිසන් ලෙසෙන් උපනෙමු අයෙම මෙලෙස
එනිසයි  මිනිසුනේ නුඹ බිම  මම ඉහළ


වතුසුදු , පිච්ච මල් සුවඳින් පලක් නැති
ඕළු,  නෙළුම් මල් අපෙ කුස ගිනි නිවති
කිරි පිඬු පිදුම මහ කුසලක් එක්කෙරෙති
ඉල්ලනු කෙලෙස අපෙ සිතිවිලි නොපෑහෙති

බුදු හිමියනේ යලි මෙදියත උපන මැනේ
මීවද  සොයමි පීරාලා  පුරා වනේ
බුදුවන දිනේ  මීවද මම  පුදමි අනේ
ඒ පින් මටත් පලදේවිද  සසර කොනේ


මිනිසුන් කියන්නේ බුදු ගුණ බැව් දනිමි
දවසට සියවරක් නිරතුරුවම අසමි
කෙලෙසින්  කොහොම මුත් වානර කුලේ හිමි
මම හැමදාම මලසුන මත්තෙම රැඳෙමි




පින්තූරය ගත්තෙ මම, කතරගම කිරි වෙහෙර ළඟදි.