Tuesday 5 May 2015

අති විශේෂ






පඳුරකට පයින් ගැහුවත් මලබාරියො හැටක් විතර වීසි වෙන රටේ ඉතින් අපිටත් ඇයි හොඳයි කියන්න වෙනවා ඒගොල්ලො එක්ක. අවුරුදු අටක්ම මේ නොරටෙ හිටිය එකේ අපේ සිංහලයා තරම්ම නරකමත් නෑ උන්.

කොහොමින් කොහොමින් හරි ඔන්න එක වතාවක් අරාධනාවක් ලැබුණා හිත මිතුරු ඉන්දියානු පවුලකින්, එයාලගෙ අලුත් අවුරුද්දට එහෙ එන්න කියලා.තව අමුත්තො ඇතියි කියලා අපි හිතුවත් ගිහින් බලනකොට අපි විතරයි. අපිලු මේ ගමන විශේෂ අමුත්තො.

ආගිය කථා, සුහද පිළිසඳර අතර වාරයේ සංග්‍රහ වටය ආවා. ඔන්නගෙනත් පිලිගන්වපි තරමක ප්‍රමාණයේ අතුරුපස කෝප්ප දෙකක්.
"මේක අපේ විශේෂම ආහාරයක්, ඔයාලාටමයි හැදුවෙ"
මක් කොරන්නද දෙයියනේ, මටනම් නරියගෙ මඟුල් ගෙදර ගිය කොකා සිහිඋනා. සංග්‍රහ කරපු උදවිය ඒක අපි කනකම් බලන් ඉන්නව. මං හිතාගත්තා මොක උනත් මේක කනකම් අපේ එක්කෙනාගෙ මූණ නම් බලන්නෙම නෑ කියලා.

කන්න තියා ඒක දැකපු වෙලේම මට නම් දෙවියො සිහිඋනා. මොනවද දන්නවද ඒ කෝප්ප දෙකේ තිබුණෙ?
අමු පරිප්පු...............
අමු පරිප්පු, අමු කඩල පරිප්පු, අමු උඳු පොඟවලා . ඒකටම පොල් ඩිංගක් , කොත්තමල්ලි කොළ හීනියට ලියලා දාලා ලුණු පදමට දාලා.

වනේ වන හතුරෙකුට එහෙම දෙයක් වෙන්න එපා දෙයියනේ. අර ජෝඩුව බලන් ඉන්න නිසා එදා අපි දෙන්නම අර අමු පරිප්පු, උඳු කෑවා. කෑවා නම් මදැයි. ඒක රස එකක් බව අඟවන්නට සිද්ධවීමම මොන තරම් කරුමයක්ද අප්පා.

"හොඳයිද? " ඒ ගොල්ලො අහනවා
" ඔව්, අපිට අලුත් දෙයක් නේ, අපි මේවා කාලා නැහැ"
"මොනවා?? ඔයාලා මේ ධාන්‍ය වර්ග කන්නෙ නැද්ද? "
" අපොයි නෑ, අපි කනවා, අපි කන්නෙ මේ විදිහට නෙමෙයි.මේ කෑම ජාතිය අපි කෑවෙ අදමයි"
" ආ ඒකද, අනේ ඉතින් තව කන්න."
අපේ එක්කෙනා එතකොට නම් ලාවට කැස්සා.

ඔය වෙලාවෙ ප්‍රාදේශීය දෙවි කෙනෙක් අපි දිහා බැල්ම හෙලලා තිබ්බා.ටික වෙලාවකින් තව කිරි ටොපි වර්ගයක් සහ අලුවා වර්ගයක් ගෙනත් සංග්‍රහ කරා.
මං එයින් කෑල්ලක් ගන්න හදනකොටම "මේ බර්ෆි, මේක එක්ක ඕකත් කන්න," මුං අපිට අමු පරිප්පුව ගිල්ලවන්නමයි ට්‍රයි එක.

අපේ එක්කෙනා මට වඩා නිර්භීතයි, එයා පරිප්පු කෝප්පෙ පැත්තකින් තිබ්බා.මට විතරක් අහෙන්න මෙන්න මෙහෙම සිංහ නාද කරා, "ආයෙ ඔන්න මුංගෙ අමු පරිප්පු කන්න මෙහෙ එන්න එහෙම මට නම් කතා කරන්න එපා .."
ගෘහනිය මගෙ දිහා බලනව මොනවද ඒකිව්වෙ කියලා අහනවා,
"එයාගෙ බඩ හොඳටම පිරුණලු, රෑට කන්නත් බෑ වගේලු.." මං කිව්වා.
කල්පයකට විතර පස්සෙ "තේ ද කෝපිද බොන්නෙ? ඇය අහුවා.
"කෝපි කෝපි " මං දෙසැරයක්ම කිව්වා.
"යංද ඉක්මනට, කෝපි කියලත් මොනා ගෙනෙයිද දන්නෙ නෑ"
" වෙච්චි දේවල හැටියට තව වෙන්න දෙයක් නෑ, ඔන්නොහෙ ඒකත් බීලම බලමු"


මේසා විපත්ති මැද ඉඟියක්වත් නොදක්වා සිටීම මහා හපන්කමක් .ඊයෙ ආපු දුරකතන ඇමතුමෙන් පස්සෙ මට ආයෙත් මේ ඇඟ කිළිපොළායන සිද්ධිය මතක් උනේ,

" හරී, එන්නකො මේ සති අන්තෙ අපේ ගෙදර"