Thursday 30 September 2010

අපේ කාලයේ රාහුල මාතාවක් කියූවක්,,,,,,,,,,

අවාරෙට මල් පිපුණ
සල් ගහක් යට වැතිර
නුඹ බවුන් වඩන්නෙද
ජීවිතයෙ දුක අතැර............

බෝ මළුවෙ සිලි සිලිය
සිහිල් මුත් මුදු සිතට
හැර යන්න සසර දුක
කවුද කිව්වේ නුඹට ....................

දුව පැන්න ඉපනැල්ල
සිනාසී අත වනයි
පන්සලේ පිං සුවඳ
පොඩි සිතට ආදරෙයි................

රැඳෙනවිට සිහිනයේ
 හැමතැනෙක නුඹ ඇතී
පුතු පිදූ  මේ පිනම
කල්පෙකට මට ඇතී............

බණ පොතේ නොම රැඳෙන
නෙත කඳුළු නැත රැඳී
නුඹත් රාහුල පුතෙකි
මට තවත් හිමි නැතී.............................................!!!



පිංතූරය සොයාදුන්  ප්‍රියන්ත ගල්ගේපිටිය ( මගේ මතක බ්ලොගය  ) සොයුරාට හද පිරි ප්‍රණාමය පුදමි,,,,,,,,,,,,,,,,,

Sunday 26 September 2010

මමත් චන්ඩියෙක් වීමි,,,,,,,,,

හා හා පුරා කියලා ඉස්කෝලෙකට කියලා ගිය අලුත් සිදුවූ සිදුවීමක් මේ. මේ කතාවට යටින් තියෙන්නේ  අපි ගොඩක් හිතන්න ඕනෙ පැත්තක්.
මගේ බ්ලොගයට ගොඩ වෙලා පුරුදු අය නම් දන්නවා ඇති මම teacher training  ගිය  ඉස්කෝලෙ. අන්න එහෙදි මේ උනෙ.

ඔන්න ඉතින් පාට සාරියක් ඇඳගෙන ඉස්කොලෙට ගියා උදේ පාන්දරම වැඩ භාර ගන්න. වැඩ කිව්වට training හොඳේ. විදුහල්පතිතුමාගේ අතට පත්වීමේ ලිපිය දුන්නා විතරයි උන්නැහේ ගේ මුහුණ වැහුන කළුම කළු වළාකුළකින්.  ඒ මොකෝ දෙයියනේ. මට නම් හිතා ගන්නවත් බැරි උනා..

"ආ ඔහේද අලුත් ගණන් මිස්"  ( ඔහේ කිව්වෙ නම් තරහට වෙන්න බෑ, ඒ දකුණු පළාතෙ කතා විලාශය )
" ඔව් සර්"
"මට විද්‍යාපීඨෙන්  මේ පාර ඉල්ලුවෙ පිරිමි ගුරුවරු,,, අපේ ඉස්කෝලෙට පිරිමි ගුරුවරු මදි,,, ආ  කමක් නෑ කමක් නෑ විද්‍යාවට සර් කෙනෙක් එවලා ඇති".

හප්පොච්චියේ,, විද්‍යාවට දාලා තියෙන්නෙ චන්දිව  නේ.  ඒ මදිවට චන්දි තවම ඇවිල්ලත් නැහැ. පිරිමි දෙන්නෙක් ඉල්ලපු ඉස්කෝලෙට ගැහැණු දෙන්නෙක් එව්වම ඉතින් හිතා ගන්න පුළුවන්නේ. ඉතින් කොහොමද විදුහල්පතිතුමාගේ උදව් නැතුව අපි අවුරුද්දක් මෙහෙ රාජකාරි කරන්නෙ. අනික එහෙ ළමයි ටිකක් ආංබාං කරන්න අමාරුයි කියලා එහෙ ගැන දන්න කිහිප දෙනෙක්මත් කිව්වා. කාල වරෙන්කො. වෙන කොහෙටද දාපු එකක් අවලංගු කරගෙන මම මෙහෙට ආවෙත්.

ටිකකින් මගේ හිතට යාන්තම් සහනයක් අරන් චන්දි ආවා. ටිකක් විතර කළු උනාට සුදු දත් ටික පෙන්නගෙන හිනාවේගන , චන්දි එයාගෙ පත්වීමේ ලියුමත් සර් අතට දුන්නා. වැඩේ දන්න හින්ද මට නම් ඉබේටම බිම බැලුන.

"ආ,,, විද්‍යාවටත් මිස් කෙනෙක්ද? මේ වැඩේ කරන්න බැහැනේ. ඉල්ලන ගුරුවරු දෙන්න බැරිනම් ලබන පාර මෙහෙට කවුරුවත් එවන්න එපා කියනව මම",

ඔහොම තමයි අපිව එහෙන් පිළිගත්තෙ. ටික වෙලාවකින් එතනට ආපු එහෙ ගණිත ගුරුවරයා - ජයසිරි සර් හිනාවෙලා අපිත් එක්ක කතා කරා. එතකම් මට නම් හිතුනෙම විද්‍යාපීඨයට ගිහින් කියන්න . ජයසිරි සර්ට නම් හිනා. බලනකොට අපේ පත්වීම් වල පාසලට එන කොපියෙ අපේ නම් තියෙන්නෙ හ.********  සහ  ච.******** කියලා. ලියුම් ටයිප් කරපු ක්ලාක් නෝනාගේ හොඳකම නිසා මයා/මිය කියන ඒක් දාලත් නැහැ. ඉතින් විදුහල්පතිතුමා හිතලා මේ ගමන නම් තමන්ගේ ඉල්ලීමට සළකළා පිරිමි ගුරුවරු එව්වා කියලා. එයාගෙ බලාපොරොත්තු කඩවීමෙන් හිතට ආපු ආවේගෙ තමයි ඒ.

සාමාන්‍යයෙන් පාසලේ ඉන්න විශය භාර ගුරුතුමා/තුමීගේ අධීක්ශණය යටතෙ අපි ඉන්න ඕනෙ. ඇත්තටම් එදා ඒ මොහොතෙ ඉඳන් ජයසිරි සර් ගෙනුත් කළ්‍යානි මිස් ගෙනුත් අපිට ලැබුණු සහයෝගය නම් බොහොම වටිනවා. ඇත්තටම මම ඔවුන්ට ණය ගැතියි. ඒ උපදෙස්, සහයෝගය රටක් වටිනවා.

ඔන්න ඉතින් උගන්නන කියලා පංතිවලට ගියා කියමුකො. අර එහෙ ගැන දන්න කට්ටිය කියලා තියෙන්නෙ ඇත්තම ඇත්තනේ. අපිට ලැබුනෙ 7, 8 පංති. විශය භාර ගුරුවරු නිවාඩු ගිය දවසට මුළු පංති ඔක්කොම අපිට. පොඩියි කියලා නැහැ. කියන දේ අහන්නෙම නැති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවාමයි.

" ටිකක් සැරට ඉන්න"

 ජයසිරි සර් ගෙන්, කළ්‍යානි මිස් ගෙන් ලැබුණු පළමු උපදේශය. සැරට හිටියට වැඩක් උනේ නැහැ. ඒ ළමයි දන්නවා අපි එහෙ ඉන්නෙ ඒ අවුරුද්ද විතරයි කියලා.

" පාඩම් බලන්න ලොකු සර්ලා ආපුවෙලාවට අපි දැඟළුවොත් මිස්ලාට ළකුණු නැහැ.."

එක ළමයෙක් එහෙමත් කිව්වා. ඒ කියන්නේ මිස්ලා ඉන්න ඕනේ ළමයි කියන හැටියට. හපොයි දෙයියනේ. මේ මොකක්ද මේ අපිට උනේ, එහෙන් ප්‍රින්සිපල් සර්. එයා නම් තවම තරහයි කලිසම් අඳින කට්ටියව නේව්ව එකට. ඔක්කොටම හපන් 8 පංතිය. උගන්නලා ඉවර වෙනකොට මට නම් හති කෑ ගහලම.

යාන්තම් සති දෙකක් ගෙවා ගත්තා . ඒ සිකුරාදා දවසක්.ගිය සතියෙත් ඉස්කෝලෙ ඇරිලම ගෙදර යන්න ගිහින්  රෑ උනා. ඉස්කෝලෙ ඇරිච්චි ගමන් ගෙදර යන්න හිතාගෙන කද මලුත් බැඳගෙනම තමයි ඉස්කෝලෙට එදා ගියෙ. ටිකාක් විතර කලින් යන්න තිබුණා නම් හොඳයි. 2ට එහෙන් ආවොත් ගාල්ල ට එන්න 3 විතර වෙනවා. ගෙදර එන්න තවත් පැය 4ක් විතර යනවා. ඒත් ඉතින් ප්‍රින්සිපල් සර් ගෙන් අහන්නෙ කොහොමද? ආවට පස්සෙ තවම අපේ මුහුණ බලලා කතා කරේවත් නැහැනෙ...

අපි දෙන්නා සර් ගෙන් අහන්න විදිහක් නැතුව ඔෆිස් එකට වෙලා බොරුවට අත්සන් පොත පෙරළ පෙරළා හිටිය. සර්ට වැඩේ දැනිලද මන්දා සර් බැස්සා මිදුලට. ගියේ විනාඩි දෙකයි. 8 පන්තියේ කොලුවෙක් දුවගෙන ආවෙ නැතැයි ඔෆිස් එක ඇතුලටම.
.
" අනේ සර් මාව බේර ගන්න,,, .........ගේ අම්මා මට අනින්න පිහියක් අරන් එනවා"

මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න වත් වෙලාවක් තිබුණෙ නැහැ. පාර දිහා බලනකොට  සාය හැට්ටයක් ඇඳ ගත්තු, පන් මල්ලක් අතට ගත්තු තැනැත්තියක් මිදුලෙ..

විදුහල්පතිතුමා ළඟ නතර වෙච්චි ඇය මහා සද්දෙන් බනින්න ගත්තා. මල්ලෙන් එළියට ගත්තු ඉරිච්චි කමිසයකුත් පෙන්නුවා. මට දැන් ඇගේ වචන අමතකයි. ඒත් ඇගේ දෝශාරෝපණය විදුහල්පතිතුමාට. අර හැංගිච්චි කොලුවා ඇගේ පුතාට හැමදාමත් කරදර කරනවලු, ඇඳුම් ඉරනවලු. ගොඩාක් වෙලාවට මේ රණ්ඩු වෙන්නෙ පාසල් වේලාවෙන් පිටතදීලු.

 එක මොහොතකින් මුළු පාසලේම ළමයි එතන. ප්‍රින්සිපල් සර් ට කට අරින්නවත් ඉඩක් දෙන්නෙ නැහැ අර අම්මා. ඒ වෙලාවෙ පාසලය ඇවිත් හිටියෙ එක් ගුරුතුමියක් සහ ගුරුතුමෙක් විතරයි. එයාලත් ළමයිගෙ පිරිසිඳු කිරීම බලන්න ගිහින් හිටියෙ.  සද්දෙ වැඩිම නිසා අපි දෙන්න දොරකඩට ගියා. අර ඇවිත් හිටපු ගුරු මණ්ඩලේ දෙපළ පන්ති කාමරයක් අස්සෙන් හොරෙන් බලන් ඉන්නවා අපි හොඳින්ම දැක්කා. ඒ දෙන්නටම රැවුලයි, කැඳයි දෙකම ඕනා ඇති. නමුත් විදුහල්පතිතුමාට බැහැ අර අම්මාගේ කට නවත්තන්න. ඒ අම්ම කියන්වා ළමයි බලා ගන්න බැරි නම් අස්වෙලා යන්නලු..

තවත් බලන් ඉන්නෙ කොහොමද, අපි දෙන්නා ඉස්සරහට ගියේ ඉබේටම. එදා ගෙදර යන ගමන් නිසා මගේ ළඟ ජංගම දුකත් තිබුනා. ඒ කාලෙ ඒ හරියට සිග්නල්  තියා එස්.ආර් වත් නැහැ. ගත්තා ජංගම දුකත් අතට, කිව්වා මේ දැන්නම් පොලීසියට කතා කරනවා කියලා, පාසලට ඇවිත් විදුහල්පතිතුමාගේ රාජකාරියට බාධා කරනවා කියලා. ඒ වෙලාවෙ කොහෙන් කටට ඒ තරම් සද්දයක් ආවද මන්දා අපි දෙන්නත් කතා කරා අර අම්මාගේ සද්දෙට නොදෙවැනි වෙන්න. ඒ ගමන් අපි හඬ බාල  නොකරම තේරුම් කරා එයා කරපු දේ තියෙන බරපතලකම.

ඒ අම්මා එදා පාසලට ඇවිත් තියෙන්නෙ වත්තක කුලී වැඩට යන ගමන්. ඒ නිසා පිහියක් තියෙන්න ඇති මල්ලේ. තමන්ගෙ පුතාට හැමදාමත් ගුටිකන්න වෙන එක නවත්තන්න පිහිය පෙන්නලා බය කරන්න ඇති.

ගත උනේ විනාඩියයි, අර චන්ඩි අම්මා අඬන්න පටන් ගත්තෙ නැතැයි. පොලීසි ගෙනියයි කියලා බය වෙලා. මෙච්චර කල් අපිට පාට් දාපු කොල්ලො, කුරුට්ටො කටවල් ඇරගෙන. ඔන්න එතකොට දුවගෙන ආපි අර හැංගිච්චි දෙපොළත්. දැන් ඉතින් ඕන විදිහකට නඩුව බේරා ගන්න කියලා අපි දෙන්න පැත්තකට උනා.

එදා නියමිත වෙලාවට පාසල ආරම්භ කරන්න උනෙත් නැහැ මගෙ හිතේ. ටිකකින් අර අම්මා අපි දෙන්න ළඟටත් ඇවිත් සමාව ගත්තා. අපිත් ඉතින් මහ පන්ඩිතයො වගේ අවවාද, අනුශාශනා කලා ආයෙත් මේ වගේ වැඩ කරන්න එපා කියලා.

ඕන්න  එදායින් පස්සෙ අපිත් එක්ක හැමෝම යාළුයි..අවුරුද්දක් පුරා කිසිම කරදරයක් කළේ නැහැ ළමයි. හොඳ පුතාලා කියන්නේ මේ ගොල්ලො අපිව අධීක්ෂණය කරන්න එන දවසට වෙනදාටත් වැඩියෙන් හොඳට හිටියා..විදුහල්පතිතුමා එදාම එයාගෙ තරහ මරහා අමතක කළා.


ප/ලි
 
විදුහල්පතිතුමා එදා උදේම අපිට කිව්වනෙ " ඔහේලට ගෙදර යන්න රෑ වෙන නිසා 12.30 ට ගියාට කමක් නැහැ කියලා".

Friday 24 September 2010

............................!!!!!

හිරු ඇවිත්
ලොව දකින්නට පෙරාතුව
පහන්තරුවක් විලස
හීනෙන් යළි ඇවිත් තනිවෙන්න,,,,,,,,,,


කළු අඳුර ඉරා
ප්‍රභාතය විත්
මහපොළව සිඹින්නට පෙරාතුව
පිණි බිඳක් ලෙස සමු ගන්න,,,,,,,,,,,,,,,,,,,,


රෑනින් රෑන් යන
සමනළුන් විලසම
සියොතුන් සමඟ විත්
උන් ගයන මියුරු ගී
යළි යළිත් තෙපළන්න,,,,,,,,,,,,,,


මාවතේ රළු බොරළු මිස
විල්ලුද පළස් කොයිබද
ඈත අන්නන්තේ
පෙනී නොපෙනී
හිනැහෙනා ඉසව්වේ
මන්දාකිණිය වී
යළි එකම රාත්‍රියක
මසිත් අහසට පායන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,,,


හඬන්නට නොව සිනාවෙන්නට
පායුග   නැගිනු කරගැට මතින්
ලය පිපුණු දහදිය මල් මතින්
ඔබ දුටුව සවිමත් ලෝකයේ
යදම් දෑතම
මවෙත දිගුකරලන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Monday 20 September 2010

යළි ඇරඹුම

නිල් තණ පළස මත
මුදු පිණි බිඳිති විසිරුණ
මේ පිණිපළස මත
යළදු ඉපදුනි මගේ කව් සිත,,,,,,,,,,,


සියොතුන් සරණ විට
කොඳ මල් පිපෙන විට
ගංදෑල ඉවුර ඉම
පිපී සැණසුන
මුදු මෙලෙක් හිත,,,,,,,,,,,,,,, 


මුදු සුවඳ හමන විට
පාවී ඇවිත් ඉහිරුණ
හිත පතුල කොනිත්තන
මල් මතකයකි  නොමැකෙන,,,,,,,,,,,,


යළි  යා නොහැකි ඉම
තරුවක් වී සිනාසෙන
හීනෙන් හිත ගෑව
සුදු සඳුන් සුවඳමය,,,,,,,,,,,,,



ඉහිරි ගිය මුතු පොටෙහි
යළි ගෙතුම් ඇරඹුවෙමි
මගේ සිත් කොදෙව්වෙහි
රජ මැදුර සදන්නෙමි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Sunday 19 September 2010

ඔබ

ඔබ

සමුගෙන ගිහින් නොව........

බොහේ දුර සිට
ඉකි බිඳින දුක් සුසුම
මගේ බව    දැනෙනවා  නම්  ඔබට

ඔබ
සමුගෙන ගිහින් නොව...........,
 
 
හැමදාම හැන්දෑවට

වී කුරුළු රෑන් විත්
රටා අඳිනා තුරා අහසේ
මඟ බලා හිටියාට
අද, හෙට නො එන බව
නොදැනෙනා තුරු සිතට

ඔබ
සමුගෙන ගිහින් නොව............................,,,,
 
 
ඈත සිට හමා එන

සිහිනයක  තැවරුණු  සුවඳ
යළි, යළිත් දැනෙන තුරු

ඔබ
සමුගෙන ගිහින් නොව......................,,,,


ගෙවා ආ මඟ
සවියක් වූවාම නම් සිතට
අත ළඟින් නැති නමුදු
ජීවිතේ තනිකමට
හැමදාම තනි රකින
එකම එක පද වැල නුඹමය.............,,,,


ඉතින් නුඹ මගෙන් සමුගන්නෙද කොහොම,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Wednesday 1 September 2010

රසවතී ..

මේකත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ රසවතී පොතෙන්  !!!!!


" ගිමාරාගේ බෙල්ල උළුක්කු වෙලා, උදේ ඉඳලා දකුණ බලාගෙන විතරයි ඉන්නෙ"  පාන්දරම දූ කිව්වා.
" ගිමාරා, අනේ ගිමරා මේ පිඟාන හෝදලා ගේන්න,,,,,"  ගිමාරා දකුණ බලාගෙන හිටියෙ. දූ හිටියෙ වම් පැත්තෙ.
" මේ බලන්නකො ගිමාරා මේ,,මේ,,මේ,,මේ,,,පැත්ත. මොකද මේ ගිමාරා බලන්නේ නැත්තේ?" අම්මේ......

මමත් එතනට දුවගෙන ගියා. ගිමාරා දකුණ බලාගෙන. දූ පිඟාන අතේ තියාගෙන වම් පැත්තේ. මම යන සද්දෙට ගිමාරා දකුණට රවුමක් කරකැවිලා දූගේ පැත්තට හැරුණා.
 "මොකෝ මේ රවුමට කර කැවෙන්නේ?  "  මම ඇහුවා. ගිමාර මං පැත්තට රවුමක් කර කැවුනා.

" මේ මොන පුදුමයක්ද ගිමාරා  ?  "
" ඊයේමෙහෙ ආවානේද නෝනාගේ  නෑනා නෝනා?  "
"ඕ ...ඉතින්  ? මොකෝ නෑනා නෝනා ගැන කියන්න තියෙන්නේ?  "
" නෝනා දන්නෙ නෑ වෙච්චි හරිය ඊයේ  "'
" මොකක්ද හැබෑට මොකක්ද?  "  මම ඇහුවා"

" නෝනෝ,, ඊයේ  නෝනාගේ  නෑනා නෝනා කුස්සියට ඇවිත් පුටුව උඩ වාඩි වෙලා,  ඇස් බැමි ගලවන්න ගත්තා....මොකක්දෝ පුංචි උල් අඬු පුංචකින්...ම් ම්,,,,ම්,,මගේ අම්මේ බයේ බෑ. මම ඒ වෙලාවේ පොල් ගානවා. පොල් ගගා මම ඒ පැත්ත බලාගෙනම හිටියා, නෑනා නෝනා කියනකල්ම " මොකද අනේඔය කට්ට ගාන්නේ කියලා?..."ඇයි අර හින්නක් විතරකණ්නාඩිය වම් අතේ. උල් අඬු පුංච දකුණු අතේ.. බැරි වෙලා හරි  අර රත්තරන් ඇහැක එහෙම ඇනුනා නම්,  අම්මේ............".

"එහෙම ඉඳගෙන මගෙන් තේ එකක් ඉල්ලුවා. තේ වලට වතුර උණු කළෙත් , ඒ පැත්ත බලාගෙනමයි.  තේ එක හදලා දුන්නා. තේ එක කටට ගත්තු   නෑනා නෝනා ඔක්කාරේ කරා, බලනකොට තේකට දාලා තිබුණේ ලුණු කුඩු."

"  ආයෙත් ඇස් බැමි උදුරන්න ගත්තා. මම එළවළු මාලු ඒදනවා. මොනවා කරත් නෝනාගේ ඇහැ බේරා ගන්නා ආසාවෙනුයි හැම වැඩේම කරේ. නෝනා ගෙදර එනකම් මගේ ඇඟේ ලේ නෑ. මම උයලා බෑවෙත් ඒ අහ බලාගෙනමයි. එක සැරයක් මාළු මිරිස් වලට තුනපහ වෙනුවට දාලා තිබුනේ කෝපි කුඩු. අනේ නෝනෝ තරහා ගන්න එපා, මම වළඳ පිටින්ම වීසි කරා.අල හොද්දට වක්කළ මිටි කිරි වැටුනේ ලිපට".

"ඇස් බැමි ගලවලා ඉවර වෙනකොට හැන්දෑ වෙලානේ නෝනා ආවෙ. මගේ බෙල්ල ඒ වෙනකොටත් වමට හරවන්න බෑ. කොහොම හරි රෑ නිදා ගත්තා... මෙන්න එළි වෙලා..... දැන් ඉතින් මට සදහටම දකුණ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ,,,, "     කියාගෙන ගිමාරා අඬන්න ගත්තා....." කොට්ටෙ අව්වට දාන්න ගිමාරා   !  කියාගෙන මම ගියා.
" කොට්ටෙ අව්වට දාල වැඩක් නෑ. අව්වට දානවා නම් දාන්න ඕනැ නෑනා නෝනාව.." ගිමාරා කිව්වා.

"  හා  හා    . කෑගහන්න එපා. නෑනා නෝනාට ඇහෙයි. එයා තාම ගෙයි නිදි "  ...........දූ කියනවා ඇහුණා.


දූ කන්තෝරු ගියා. මමත්  ගමනක් ගියා. දවල් වෙලා මම ගෙදර එන වෙලාවේ නෑනා නෝන මිදුල මැද වාඩි වෙලා. ඔලුවේ ලේන්සුවක් ගැට ගහලා.

" මේ මොකද මේ  ?"  මම ඇහුවා...." පැය හයක් අව්වේ හිටියොත් හනික වයසට යන්නෙ නැහැලු. ඒක කෙමක් ලු.   "

" කවුද කිව්වේ?   " මම ඇහුවා.

  ගිමාරා "  නෑනා නෝනා කිව්වා...........