Tuesday 3 April 2012

සැඟවුනු E




මේ පින්තූරෙ මුණුපොත හරහා දුටුව එකක්. බොහෝ දෙනෙක් දැක ඇති. නොදැක්ක අයටයි මේ.


වැඩි විස්තර ලියන්න ඕනි නැහ . පින්තූරෙ සියල්ල ඇතුලත්.  හැබයි වැරදි වැටහීමක් ඇති කරගන්න නරකයි. මේ කියන්නෙ විටමින් E  ගැන එහෙම නෙමෙයි. ආහාර වලට එක්කෙරෙන දේ. කල්තබා ගැනීමට යොදන දෑ වගේම, වර්ණ ගැන්වීමට  සහ රස ගැන්වීමට යොදන ඒවා.
මෙම   E අංක ප්‍රමිති ගත කර ඇත්තේ  European Food Safety Authority  විසින්ලු.  

ඇත්තෙන්ම ඔවුන් කියා සිටින්නේ අසුරුම් කරපු ආහාර මිලදී ගන්න කලින් පිටුපස සඳහන්  කර තිබෙන අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුව හොඳින් පිරික්සන්න කියලා. 

පින්තූරයේ සඳහන් E අංක වලට අමතරව තවත්  අංක කිහිපයකින් ම ඇතිවිය හැකි අතුරු ඵල ගැන මුහුණු පොතේ සඳහන් වුණා.

E621, E296 - ගැබිණි මවුවරුන්ට නුසුදුසුයි. කළල විකෘතිතා  ඇතිවිය හැකියි.
E951-   කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට බලපෑම් ඇති කරයි.
E950-   රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ.
මීට අමතරව E 211, E 104, E110, E 220  වගේ  E අංක තියෙන ආහාරත් පරිභෝජනයට නුසුදුසුයි කියලා තැනක දුටුවා.

එතකොට විශේෂයෙන් ඔය චීස් වගේ දේවල්? චීස් කුඩා දරුවන්ට දීමට නුසුදුසුද? කරුණාකර දන්නා කෙනෙක් ඒ ගන සටහනක් තබා යන්න. 
මම නම් කරන්නේ චීස් තෝරා ගැනීමේදී අංක අවමයෙන් සඳහන් වර්ගයක් තෝරා ගැනීම. මෙහිදී මා ඉන්නා රටේ නීතියට අනුව අඩංගු සියලු දෑ සඳහන් කිරීම නීතියක් නිසා සැකය අවමයි.

 එහෙත් ලංකාවේ? දන්නා තරමින් අවුරුදු තුනට අඩු දරුවන්ට මාගරින් දෙන්න තහනම්. ඒත් මේ නීතිය මිනිසුන් අතරට ගියේ නැති තරම්.  අද මේ මොහෙතෙත් ලංකාවෙ අසරණ කුඩා දරුවො කී දෙනෙක් මාගරින් (ලංකාවේ ජනප්‍රිය මාගරින් වර්ගයක්  )  එක්ක පාන් කනවා ඇද්ද? 
මේ අංක වලින්  වන බලපෑම් 100% නිවැරදියි කියා නම් මා දන්නේ නැහැ. නමුත් මේවායින් බලපෑමක් වෙන බව නම් සහතිකයි. ඒ නිසා කල්තබා ගන්නා ආහාර භාවිතය අවම කිරීමයි හොඳම දේ නේද?


E අංකයේ සියලුම තොරතුරු මෙතන අතුලත් කියලා කතන්දර අයියා සොයා දුන් ලින්ක් එක මේ. මේ පාරෙන් ගිහින් දැනුවත් වෙන්න.

මේ පින්තූරය මුහුණු පොතේ බෙදා හැරිය ඇත්තාටත්, ඒ ගැන සටහන් එක් කළ අනෙක් අයටත් අනේක වාරයක් ස්තූතියි

Monday 12 March 2012

ප්‍රාර්ථනා




පෙරෙ එක් භවෙක අපි මිනිසුන් වී උපන
යන මං  නොදැන බුදු බණ නෑසූ බැවින
තිරිසන් ලෙසෙන් උපනෙමු අයෙම මෙලෙස
එනිසයි  මිනිසුනේ නුඹ බිම  මම ඉහළ


වතුසුදු , පිච්ච මල් සුවඳින් පලක් නැති
ඕළු,  නෙළුම් මල් අපෙ කුස ගිනි නිවති
කිරි පිඬු පිදුම මහ කුසලක් එක්කෙරෙති
ඉල්ලනු කෙලෙස අපෙ සිතිවිලි නොපෑහෙති

බුදු හිමියනේ යලි මෙදියත උපන මැනේ
මීවද  සොයමි පීරාලා  පුරා වනේ
බුදුවන දිනේ  මීවද මම  පුදමි අනේ
ඒ පින් මටත් පලදේවිද  සසර කොනේ


මිනිසුන් කියන්නේ බුදු ගුණ බැව් දනිමි
දවසට සියවරක් නිරතුරුවම අසමි
කෙලෙසින්  කොහොම මුත් වානර කුලේ හිමි
මම හැමදාම මලසුන මත්තෙම රැඳෙමි




පින්තූරය ගත්තෙ මම, කතරගම කිරි වෙහෙර ළඟදි.

Saturday 25 February 2012

සිහිවටන

ඒ හරියටම දෙදහස් පහ වසරේ ජුනි මස අට වෙනිදාය. හැංගි හොරා බැන්ඳ සෙනෙ ඒවනවිට අවසන්වී තිබුණි. අවසන් වූයේ සෙනෙහෙ නොව, හැංගි හොරා සිටි සමයයි.

දෑවුරුද්දකට පසු ඔහූ ලංකාවට ආවේ අපේ විවාහය ලියාපදිංචිකිරීමේ උත්සවයටය. පාන්දරින්ම අප දෙදෙනා නිවසින් පිටත් වූයේ මගේ හොඳම මිතුරියගේ විවාහ උත්සවයට සහභාගීවීමටය. එනගමනේ කරගැනීමටත් දාහක් රාජකාරී  වූ නිසාවෙන්  උත්සවය අවසන් වූ පසූ එන ගමනේ මා පුංචි අම්මාගේ නිවසේ නවත්වා,ඔහුද  නෑදෑ නිවසක නවාතැන් ගැනීමට සුදානම් වී නිවසින් පිටත් වීමු.එක කටයුත්තක් වූයේ හෙට දිනයේදී මංගල මුදු මිලදී ගැනීමයි. මනමාලයාගේ මුද්ද ගැනීම සඳහා තාත්තා විසින් මට දුන් රුපියල් විසි දහසක් පමණ මුදලද  බෑගයේ දමා ගතිමි. ( එකළ රන් පවුමක් මිල රුපියල් දොළොස් දහසක් පමණ වූ වග මට මතකය ) .

ඒවනවිටත් දෙවසරක් පමණ රාජකාරියක නියලුනත් හම්බ කරගත් දෙයක් විනා ඉතිරි කරගත් මුදලක් නම් නොවූයෙන් අම්මා විසින්  මගේ උත්සවය වෙනුවෙන් සාදවා දුන් රන් මාලයද පැළැද ගත්තේ අප දෙදෙනා එක්ව සහභාගී වන පළමු මංගල උත්සවය මෙය වූ නිසාය. නිවාඩු සිටින කාලයේ පාවිච්චිය සඳහා ඔහු යහළුවෙකු ගෙන් ඉල්ලාගෙන තිබු වෑන් රථයෙන් අපි පිටත් වූයෙමු.


 සසර සැරි සරන තෙක් ඔබ මගේ... ඔබ මගේ වික්ටර් රත්නායකයින් ගේ කට හඬ අතරනි ඔහු මදෙස හොරැහෙන් බලයි.
" මොකද බලන්නෙ? "
" ඔය මාලෙ නං හරි නෑ."
" ආ මේ අලුත්ම මාලෙ, "
" හපෝ ඕකෙ ඩිසයින් එක හරි නෑ.ඔන්න  ඕක ගලවලා බෑග් එකේ දාගන්න. "
" එතකොට මං මඟුල් ගෙදර යන්නෙ කරේ මාලයක් නැතුවද?'
"ඔය මේ මගේ චේන් එක දාගන්න, "
" අපෝ මට බෑ. ඕක නම් දාගෙන යන්න. මං නම් මේක ගලවන්නෙ නෑ නෑමයි "
  උත්සවය තිබුනේ ගම්පහ ප්‍රදේශයේය. හරියටම කිවහොත් යක්කල ග්‍රීන් ගාඩ්න් උත්සව ශාලාවේය. අපි  උදෑසනින්ම පිටත් වූයේ මගේ දයාබර යෙහෙළිය පෝරුවේ නගිනා පින්බර මොහොතට ඇගේ  සමීපයෙන් සිටීමට ඇවැසි වූ නිසාය. 

අනේ ඔයාලා දෙන්න මෙච්චර වැඩ තියෙද්දිත්  මෙහෙ ආපු එක ගැන මට හරි සංතෝසයි.
 ඒ ඇගේ සතුට කිව් හැටිය.
  ගිනිගත් හේනෙ  , සමන් ලගෙ ගෙදර සතියක් විතර ඉඳ එන්නෙ. ඔයා ඉස්කෝලෙ ගියොත් මගෙ පන්තිත් පොඩ්ඩක් බලන්න.  ඇගේ මංගල දිනේදිත් පොඩි එවුන් සිහිවී ඇති හැටි.

මංගල උත්සවයට සහභාගී වූ අපේ සේවා ස්ථානයේ පිරිස සමඟ  අපි දෙදෙනාද එකතු වූයෙමු. සියල්ල සතුටින් නිමා විය. අවසානයේ සියල්ලෝ සතුටින් නික්ම ගියහ.

ආපසු එන ගමනේ කුමක්දෝ ගනීමට  සිහිවී  පසුම්බිය සෙව්වෙමි.පසුම්බිය තියා බෑගයද නැත. 
ඔයා පිටිපස්සෙන් තිබ්බද
ඔව් . මං ඒක තිබ්බෙ පිටිපස්සෙ සීට් එකේ.
පේන්න නැහැනෙ. නවත්තලම බලමුකො.. 
අහු මුලුවලත් සෙව්වෙමු. බෑගය නැත. දෙවියන් සිහිවිය.
වාහනය අගුල් දමා තිබූ බව අපට සහතිකය. අනුන්ගේ එකක් නිසා දෙවතාවක්ම ඔහු අගුල් පිරික්සුවා මටද හොඳින් මතකය.
මොනවද බෑග් එකේ තිබුණෙ
අර කැමරාවයි, ඔයා  මේ පාර ගෙනාපු පොකට් රේඩියෝ එකයි එකේ. මගේ පර්ස් එකත් තිබුණ. හැබැයි ඒකෙ සල්ලි නම් එච්චර තිබුණෙ නැහැ.

සිදුවූ දේ නිසා අපි දෙදෙනාම තැතිගත් සේ සිටියෙමු. කතා කිරීමට වචන එන්නේද නැති තරම්ය.  
එතකොට අර ඔයාළඟ තිබ්බ අනිත් සල්ලිත් ඒකෙද?
ආ නැහැ. ඒටික මං කැබි හෝල් එකේ දැම්මෙ.

සැනින් ඔහු කැබිහෝල් එක පිරික්සුවේය. වාසනාවකි සල්ලි එපරිද්දෙන්ම තිබුණි.
මොකද කරන්නෙ?
අනේ මන්ඳා . මටත් හිතා ගන්න බෑ. අපි මනෝජ් අයියට කියමු. 
මනෝජ් අයියා අපි සමඟ එක පාසලේ සේවය කරයි. ගම ගම්පහය.දහවලේ හමුවූ පිරිසෙන් එකෙකි.

මං ඉක්මනට එතැනට ගිහින් බලන්නම්. ඔයාලා ආපහු හැරිලා එනවද? මනෝජ් අයියා අසයි.
අනේ මටනම් යන්න බෑ ආයෙත් එතනට. මේකෙ අපි දෙන්න විතරයි ඉන්නෙත්. කවුරු හරි අපිව නෝට් කර ගන්න අති.
ඔව්. ඔන්න ඔහෙ අපි කෙලින්ම යමු. රෑ වෙන්න කලින් යන එක හොඳයි. ඔහු මගෙ අදහසට එකඟ විය.

කොයි එකටත් කියා මිතුරියගේ පියාටද සිදුවූ දේ කීවෙමු. ඔවුන්ද ඒ සැනින් උත්සව ශාලාවට ගිහින් තිබුණි. 
 වෙඩින් එකක් තියෙන වෙලාවක  ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්. ආපු කෙනෙක් කරපු වැඩක් වෙන්න ඇති. ග්‍රීන් ගාඩ්න් හී ආරක්ශක සේවය  වගකීම භාර ගත්තේ එසේය. 
 තමුසෙල හිතුවද අපි මඟුල් කිව්වෙ හොරුන්ට කියලා, අයියා රණ්දුවට ගොස් තිබුණි. වූ දේ හමාරය. ගත් කෙනෙක් තබා හමුවූ කෙනෙක් වත් ආපසු දේ යැයි සිතිය නොහැක.


මම කඳුළු පෙරමින් හැඩුවෙමි. වැලි කතරේ දුක් විඳ ඔහු ආදරයෙන් තිළින දුන් දෙයයි. කැමරාවද අනුන්ගේය. අලුත්ම පොකට් රේඩියෝව  සමඟ රටින් ගෙනා විලවුන් බෝතලයක්ද විය. ලංකාවේ නම් රුපියල් හත් , අට දහසක් පමණ වන ලාකෝස්ටේ බෝතලයකි. පසුම්බියේ බැංකු කාඩ් පතද, ජාතික හැඳුනුම් පතද, විවෘත විශ්ව විද්‍යාලයේ හැඳුනුම් පතද විය. එපමණක් නොව මගේ සේවා ස්ථානයට ඇතුල් වීමට ලබා දුන් විශේෂ හැඳුනුම්පතක්ද විය. වෙනදා දෑසේ රැදෙන උපස් යුවල  ගලවා බෑගයේ දමා ගත්තේද ඔහු කිවූ නිසාමය. එමෙන්ම මේ සියල්ල තිබූ බෑගයද මෙවර රටින් ගෙනාවකි.

ඉතින් නොහඬා කෝම. 
තිගැස්මෙන් වුවද ඔහු නම් හිත එවෙලේම හදාගෙන තිබුණි. 

අඬන්න එපා. ඕව ඔක්කොම ආපහු ගන්න පුලුවන් දේවල්නෙ. බලන්නකො අපේ වෙලාවට මුං වෑන් එක අර ගියානම්  මොකද වෙන්නෙ, මං ජීවිත කාලෙම හම්බකරපුව ඕනවෙයි ඒ ණය ගෙවන්න.
 
පොලියානාගේ සතුට සොයන සෙල්ලම එවක අප දැන සිටියේ නැත. එහෙත් වෑන් රථය නැති  නොවුනාට අපි හිත් හදා ගත්තෙමු. ගිය ගමන් පසෙක තබා  එදිනම ආපහු නිවසට  ආවේ මඟ නතරවීමටත් ඇතිවූ බය නිසාමය.

නැතිවූ  දේ කෙසේ වෙතත් හැඳුනුම්පත් ආපසු ඉක්මනින් ලබාගත යුතුවූ නිසා පසුදා උදෑසනින්ම බාප්පා කෙනෙකු සමඟ අපි ගමේ පොලීසියට ගියෙමු. පොලිස් නිලදරුවා අපෙන් විස්තර අසනවා පමණය. පැමුණිල්ල ලියා ගන්නා හැටියක් නම් පේන්නට නැත.
රාළහාමි ,පැමිණිල්ල ලියා ගන්නෙ නැද්ද? රතු ඉර පැනීමෙන් පසු බාප්පා ඇසුවේය.


 ඔය උත්සවේ කොහේද තිබ්බෙ, යක්කල කිව්ව නේද? එහෙනම් ඕක අයිති එහෙ පොලිස් වසමට.
නීතියේ තරම මට වැටහුණේ එදාය. අසරණ , නූගත් ගැමියෝ මොවුන්ගෙන්  කුමන පිහිටක් ලබයිද?
බාප්පා නීතිය උගත්තෙකි. ඔහු අකටයුතු නොසලකයි.
රාළහාමි මේ.. යක්කල පොලීසිය, කොළඹ පොලීයිය, ගමේ පොලීසිය කියලා අපි නම් දන්නෙ නෑ. අපි දන්නෙ ශ්‍රීලංකා පොලීසිය කියලා විතරයි. රාළහාමිට මේක ලියාගන්න බැරි නම් ඒක කියන්න.

ඔබ පැමිණි කාරණය ඉටුවූයේ නැත්නම් මා හමුවන්න.  පොලිස් ස්ථානාධිපති තුමාගේ කාමරයේ උළුවස්සේ එසේ ලියා තිබුණි. මම ඔහුට පෙනෙන්නටම එදෙස බැලුවෙමි.
පොලිස් පොත ඉබේටම ඇරුණි. ඔහු නැවත වතාවක් අපෙන් දහසකුත් දෑ විමසමින් පැමිණිල්ල ලියුවේය. අවසානයේ පොත මවෙත හරවා  මෙතනින් අත්සන් කරන්න යැයි කීවෙය.

ඕක නොකියවා නම් අත්සන් කරන්න එපා,ඔහු මෙතෙක් කළදේ ඉවසා සිටි මගේ හිත කෑගසා මට තරවටු කලේය.
මට ඕක කියවන්න ඕනි,  මම කීමි. 
නිලදරුවාගේ මුහුණ වෙනස් විය. පොත දමා ගසන්නාසේ මට  දුන්නේය.

// .... යහළුවෙක් සමඟ හෝටලකට ගොස් සිටීමේදී...//  
ඔහු පැමිණිල්ල ලියා තිබුණේ එසේය. බැලූ බැල්ලමට පෙනෙනුයේ අප අනාචාරයේ හැසිරීමට ගොස් කරගත් හදියක් පරිද්දෙනි.  
මගේ බලවත් විරෝධය නිසා යහලුවා කවුදැයි හඳුන්වා ලිවීමටත් , හෝටලයට ගියේ කුමක් සඳහා දැයි ලිවීමටත්   ඔහුට සිදුවිය.


හොඳ පාඩම් රැසක් එසේ ඉගෙන ගත්තෙමු. වාහනයේ වීදුරුව කෙසේ හෝ මෑත් කර බෑගය සොරා ගන්නට ඇත. පූරුවේ කළ කරුමයක් පලදී මෙසේ වන්නට ඇතැයි සිතා දුක් වීමු. පෙර පිනක් පලදී එදා වාහනය සොරු නොගත්තා යැයි සිතා සතුටු වීමු. වාසනාවකි ඔහු කොතරම් කීවද මා අලුත් මාලය ගලවා නොදැම්මෙමි. 

නිවාඩුව අවසානයේ ආපසු සේවයට ගිය මගේ දයාබර සැමියා නැතිවූ ජාතියෙන්ම බෑගයක්, පොකට් රේඩියෝවක් සහ විලවුන් බෝතලයක් මිතුරෙකු අත මට එව්වෙය.

දොළහේ පන්තියේදී ගත් කපුටු කොන්ඩය සමඟ ගත් ජායාරූපය ඇති ශිෂ්‍ය හඳුනුම් පත වෙනුවට අද වනවිට රැකියාව ගැන එකම සාක්කිය වන නව හැඳුනුම්පත මාතට ලැබුණේ එසේය.

අමතක කර දැමිය යුතු දෙයක් සේ සළකා ඉවත දැමූවද මගේ මිතුරිය අදත් ඒ ගැන සිහි කිරීමෙන් කම්පාවන්නේ ඇය නිසා මට සිදුවූ දෙයක් සේ සළකාගෙනය. දෙතුන් වසරකදීම ඇගේ විවාහ සංවත්සරයදා මා සුභ පතන හැම වෙලාවකදීම ඉහත කී සිද්ධිය සිහිකර ඈ හිත රිදවා ගන්න නිසාම මේ වනවිට මම ඇයට එදිනට සුභ පතන්නෙ සිතින් පමණකි.

අමතක කරා නම් මේ සියල්ල නැවත ලිවීමට සිත් වූයේ ඇයි. එයද පුදුම කරුණකි. 
පෙරේදා දහවලේ නිවසට ඇමැතීමේදී, අර ඔයාගෙ නැතිවෙච්චි හැඳුනුම් පත අද තැපෑලෙන් ගෙදරට ආවායි අම්මා කීවාය.
මගේ???  ආ අර පරණ එකද?
ඔව් .. ගිනිගත් හේන තැපැල් ස්ථානාධිපති එවලා තියෙන්නෙ.

හරියටම බැලුවහොත් සය අවුරුද්දකුත්, අට මසක් ගත වී ඇත. ගත් එකා මගේ හැඳුනුම්පතින් මොන මොන අකටයුතුකම් කළේදැයි අප දන්නේ නැත. තව මොනවා සොයන්නද? මොනවා කරන්නද? 

දැන් මට හැඳුනුම්පත් දෙකක්  ඇත.


Tuesday 21 February 2012

නිවාඩු කාලේ- මා ගිය ගමනක්

ඔන්න කතරගම පැත්තෙන් ඇතුළු වෙලා යාල වනාන්තරේ හරහා අපි ගියෙ සිතුල්පව්ව විහාරස්ථානෙට. ඕන තරම් එහෙ ගිහින් තිබුණට මේ ගමන යද්දිම ආවා යාළුවො ටිකක්.  
 රූපය ක්ලික් කරලම පින්තූරෙ හොඳට බලන්නකො




අපි හිතුවෙ එයලා බය වෙලා කියලා, එහෙම පාටක් පෙනුණෙ නැහැ.ලොකු කට්ටියට කෙසේ වෙතත් පුංචි ඈයන්ට යන්න හදිසියක් තිබුණෙම නෑ.










බොහොම ආඩම්බරකාර විදිහට මෙයා නම් අපිට ගස්සගෙන ගියෙ,









තව ටික දුරක් යද්දි මුව රංචු  කිහිපයක්ම හමු උනා, කොහෙද ඉතින් එයාලා පින්තූර ගන්නවට කැමති උනේම නැහැනෙ.













ඔන්න ඉතින් ඔහොම ගිහින් ගිහින් විහාරස්ථානෙ කිට්ටුවටම ආවයි කියමුකො. එතන තියෙන පොලිස් මුර පොල ළඟ ලස්සන බැම්මක්. බොහොම මහන්සි වෙලා ගොඩ නඟපු බව පේනවා නේද?









මේ පූජා භූමියේ මත් පැන් බොන්න තියා , ළඟ තියා ගන්නවත් තහනම්. මේ මොකද කියලා අහපුවහම එතන රාජකාරි කරපු පොලිස් මහතැන්ලා කිව්වෙ, වන්දනා නඩ වල තියෙන බීම බෝතල  එයාලා ළඟ තියලා ගියහම ආරක්ශා කරලා දෙනවලු ආපහු එනකොට. මේ බැම්ම හැදුවෙ, එහෙම නීතියට අවනත නොවී, රාජකාරියට බාධා කරපු වන්දනා නඩ ළඟ තිබුණු බෝතල් වලින් ලු.

එකම ජාතියෙ බෝතල්, මේවයින් පේන්නෙ නම්  විස්කි, බැන්ඩි බොන අය එහෙ ගිහින් නැතුවද කොහෙද?නැත්නම්  ඒ වගේ ජාති ගෙනාපු අය රණ්ඩුවට ගිහින් නෑ. නීති ගරුකයිලු.

 අපි ළඟ නම් වතුර ඇරෙන්න, පැණි බීම බෝතලවත් තිබුණෙ නැහැ හොඳේ.






රහතන් වහන්සේලා දොළොස් දහසක්  වැඩහිටිය, අක්කර දොළොස් දහසක් පුරා පැතිරුණු පුද බිමක් මේ.
 බැමිණිතියාසායෙන් උන්වහන්සේලා දොළොස් දහසම අපවත් උනාලු.




 යසට හැදුණු දළුක් ගස්  ගාලක්.

කෘමි නාශකයක් විදිහට ඉස්සර පාවිච්චි කරල තියෙනවා. කුඹුරු වලට දළුක් කිරි ඉසිනවලු කෘමීන් පන්නන්න.






 මේ  විහාර ගේ



සිතුල් පව්ව පුද බිමේ තවත් කඳු මුදුනක් තියෙනවා , ඒතමයි කුඩා සිතුල් පව්ව. මේ පින්තූර ගත්තෙ කුඩා සිතුල්පව්වෙ ඉඳන්. අවට හරි ලස්සනට පේනවා. එතැනට නම්  වැඩිය කවුරුවත් යන්නෙ නැහැ. කන්ද වැඩි නිසා වෙන්න ඇති. ටිකක් දුර යද්දි අපිටත් බය හිතුනා. අලි හාමි කෙනෙක් ටිකකට කලින් ඉඳලා ගියා කියන්න පුලුවන් සළකුණු තිබුණා. අපෙත් ඉතින් වනන්තරේ ඉඳල ආපු ගති සිරිත් තාම තියෙන නිසා , කැලේ යන්න තියෙන ආසාවට ඔය අලි බෙට්ටක් දෙකක් තිබුණයි කියලා අපි නෙමෙයි හැරිල ආවෙ.හති නොබලා ගියා මුදුනටම.



ගමේ පන්සලේ තමන්ට හිතපු හොඳම දායකයා වෙච්චි අපේ වෙද සීයට සිතුල්පව්වෙ නායක හාමුදුරුවො ( මැටරඹ හේමරතන හිමි ) කවදත් සළකන නිසා එහෙ යන කවදත් අපිට දානෙ වේල ලැබෙනව උන්වහන්සෙගෙන්. උම්බලකඩවත් මිශ්‍ර නැති නිර්මාංශ.

ආගිය තොරතුරු කතාබහ කරන අතරෙදියි උන්වහන්සෙ කිව්වෙ එහෙට මත්පැන් ගේන අයට වෙනදේ.

මේ පුදබිමේ ඉන්නවා හස්තිරාජයෙක්. මිනිස්සුන්ට හිරිහැරයක් නෑ. හැමදාම ආවාස ගේ ළඟටම ඇවිත් නායක හාමුදුරුවො අතින්ම දෙන පළතුරු කාලා ආපහු කැලේට යනවා. හාමුදුරුවො නම දාලා තියෙන්නෙ ගැමුණු කියලා. මේ ගැමුණුට තියෙනවලු පුදුම ඉවක් මත්පැන් සොයා ගන්න. හමුදා මුරපොළේ සෙබළුන්ගෙ ඇස්වලටත් වැලි ගහලා බොහොම සීරුවට හංගාන ගේන බීම ජාති පුදුම ඉවකින් හොයාගෙන එනවලු. කැලෙන් එක පාරටම මතුවෙලා ඇවිත් වාහනේ බෝතල හංගලා තියෙන තැනින් එළියට අරන් හොඩෙන් බෝතලේ උස්සලා ගහනවලු වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු වෙන්නම.

එහෙමත් කරලා වාහනෙත් පෙරළලා දාලලු ආපහු කැලේට යන්නෙ. ඔන්න පරිස්සමින් හොඳේ, පස්සෙ කියන්න එපා නොකිව්වයි කියලා.




 මේ බලන්න පන්සලෙන් කෑම කන්න එන කට්ටිය සහයෝගෙන් කන හැටි. පුරුද්දක් විදිහට මේ ගෝන, මුව දෙපළත් හැමදාම එනවලු. නායක හාමුදුරුවො නම් කියන්නෙ රෑට කොටි හපුවත්  ආවාසගෙයි මිදුලටම එනව කියලා. පින් බිමක් නිසා වෙන්න ඇති අක්කර දොළොස් දහසක් පුරා පැතිරිච්චි මහ වනන්තරේක ඉන්න මනුස්ස කාටවත් , ඒ තිරිසනුන්ගෙන් හිරි හැරයක් නැහැලු.  හැබැයි අමධ්‍යප අයට විතරයි එහෙම.

මේ තියෙන්නෙ සියඹලා ගහක් . අවුරුදු එක්දහස් අටසීයක් පැරණි එකක්.


ඔන්න ඔහොමයි නිවාඩු කාලෙ එක ගමන් වාරයක් ගෙව්වෙ.

Friday 10 February 2012

මගෙනුත් මල් මිටක්

දෙසැම්බර් මාසෙ ආවහම තමයි තේරෙන්නෙ කාලය කොච්චර ඉක්මනින් ගෙවිල ගිහින්ද කියලා. අලුත් අවුරුද්ද කියලා සිංහල අපි පිළිගන්නෙ බක් මහේ එන අළුත්  අවුරුද්ද උනත්, ජනවාරි පළමුවෙනිදත් අපිට අලුත් අවුරුද්දක් තමයි. මතක තියෙන කාලෙ ඉඳන්ම දෙසැම්බර් තිස් එක් වෙනිදාට ඇහැරගෙන ඉන්නවා රෑ දොළහට අනිත් අයට සුභ පතන්න. ඒකාලෙ නම් රූපවාහිනී නාලිකාවල එක එක ජාතියෙ  වැඩ සටහන් තිබුණා එදාට රෑ තිස්සෙ බලන්න. පාන්දර එක ,දෙක වෙනකම් ඕවා බලලා ජනවාරි පළවෙනිදා  ඒ කියන්නෙ අවුරුද්දෙ මුල්ම දවසෙ මහ දවල් වෙනකම් නිදාගන්න එක ඉතින් වෙනම දෙයක්. ඒ උනාට මොකෝ අපි රෑ දොළහට ඇහැරගෙන හිටියනෙ නේද?

 කොහොමින් කොහොම හරි යාන්තම් මේ ගමන තිස් එක් වෙනිදා අපි කට්ටියම එක වහලක් යට හිටියා.
ඔන්න ඊළඟට වැලන්ටයින් එනවලු. අවුරුදු විසි එකක් වෙනකම්ම මට වලන්ටයින් ගැන වගක් තිබුණෙ නැහැ. කා එක්ක සමරන්නද, එතකම් මට ප්‍රේමවන්තයෙක් හිටියෙ නැහ නෙ. පස්සෙන් පහු එහෙම එක්කෙනෙක් හමු උනාට මොකද මන්දා අපි ඒ දිනේ සැමරුවෙ නැහැ. අවුරුද්දෙ පළමු දවස, සිංහල අලුත් අවුරුද්ද, දුරකථන කතා  බහෙන් ඔබ්බට අපි හමුවෙච්චි පළමු දවස, එයාගෙ, මගෙ උපන්දින.... ඔන්න ඕව්වා තමයි අපි සැමරුවෙ. ආ. වෙසක් කාඩ් නම් යව්වා හැබැයි.


ඒත් පස්සෙ පෙබරවාරි 14 වෙනිදත් මතක් හිටින දවසක් උනා. කැමැත්තෙන් හරි ,අකැමත්තෙන් හරි ගිය ගුරු පුහුණුව පටන් ගත්තෙ වැලන්ටයින් දවසක නිසා.
මගේ ලිපි කියවපු අය දන්නවනෙ මම බොහොම කෙටි කාලෙකට ගුරුකමේ යෙදිච්චි බව. අකමැත්තෙන් පටන් ගත්තට පස්සෙ මම බොහොම ආසාවෙන් කරපු , මගේ එකම රැකියාව. මේ දවස් වල මුහුණු පොතෙන් එක දිගට මගේ මිතුරු ගොඩ වැඩි වෙනවා.
ඒ හැමෝම මගේ ගෝලයො. " ටීච දැන් කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ? අපි මෙන්න මෙහෙ ඉන්නෙ, මේවා ඉගෙන ගන්නවා...." ඔන්න ඔහොම වචන හුවමාරු වෙනකොට කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා. පන්තියෙදි ගණන් හදන්නෙ නැතුව බැනුම් අහපු, කන මිරිකන කොට ඌයි ටීච ගාපු කොලු පැටව් හිතාගන්න බැරි තරම් දුර ගිහින්, එක්කෙනෙක් කොමර්ෂල් බැංකුවෙ,තව කෙනෙක් ලංකා බැංකුවෙ, තව කෙනෙක් විදුලි බල මණ්ඩලයෙ. ගැහැනු ළමයි දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ, දෙන්නෙක් ගුරු පුහුණුවෙ, ඊයෙ පෙරේදා හමුවෙච්චි එක කොළුවෙක් එංගලන්නෙ ගිහින් මැනේජ්මන්ට් කෝස් එකක් කරනවලු. මේ දවස්වල මුහුණු පොතේ ඉඳන් වැඩිපුර කරන්නෙ ඒ දරුවො එක්ක කතා බහ කරන එක තමා.


මම කියාගෙන ආවෙ දවස් ගැන නෙ. ඔය ඉස්සෙල්ල කියපු දින වලට අමතරව මේ වෙද්දි, විවාහය රෙජිස්ටර් කර්පු දවස, විවාහ උත්සවය ගත්තු දවස වගේම දරුවගේ උපන් දිනෙත් ඔය ගොඩට එකතු වෙලා.
ඔය ඔක්කොම වගේම අදත් මතක හිටින දවසක්.

 ඒ රටෙන් මේ රටට ඇවිල්ලා ඔහේ හිතෙන් තනිවෙලා ඉන්නකොට, කොහොමද පටන් ගන්නෙ කියලා නොදැන ලියන්න ආසාවෙන් හිටපු බ්ලොග් ලෝකෙට එකතු වෙන්න පාර කියා දුන්නෙ අක්කණ්ඩි සහ කතන්දර අයියා. කොහොමද මුල අමතක කරන්නෙ, ලිවීමෙන් මගේ හිත සැහැල්ලු වෙන නිසා, මට ඒ සමාධියට පාර කියාදුන්නු ඒ දෙන්නට පිං.
අද වෙද්දි බ්ලොග් නිසා අඳුර ගත්තු පිරිස බොහොමයි. ඒ අතරිනුත් හිත කඩාගෙන වැටිච්චි වෙලාවට නැගිටින්න උදව් කරපු ( කරන ) ඩීන් අයියා, බින්දි අක්කා විශේෂයි.
වෙලාවකට කිසිම තේරුමක් නැතුව ලියවෙන මගේ ලිපි බලලා, කමෙන්ට් වලින් දිරි දෙන ( දෑවුරුද්දක් තිස්සෙ )හැමෝටමත් බොහොම ස්තූතියි


ගම රට බලා ගිය හින්දා  බ්ලොග් පිටුව පාලුවට යනකොට මොකද උනේ කියලා හොයලා බලපු ඔබා මාමා, උපශාන්ත සහ රංගි අක්කා ඇතුළු හැමෝටමත් ආයෙ පාරක් ස්තූතියි.

මේ මල්මිට ඔය හැමදෙනාටම~~~~~~~~~~~~