Tuesday, 21 February 2012

නිවාඩු කාලේ- මා ගිය ගමනක්

ඔන්න කතරගම පැත්තෙන් ඇතුළු වෙලා යාල වනාන්තරේ හරහා අපි ගියෙ සිතුල්පව්ව විහාරස්ථානෙට. ඕන තරම් එහෙ ගිහින් තිබුණට මේ ගමන යද්දිම ආවා යාළුවො ටිකක්.  
 රූපය ක්ලික් කරලම පින්තූරෙ හොඳට බලන්නකො




අපි හිතුවෙ එයලා බය වෙලා කියලා, එහෙම පාටක් පෙනුණෙ නැහැ.ලොකු කට්ටියට කෙසේ වෙතත් පුංචි ඈයන්ට යන්න හදිසියක් තිබුණෙම නෑ.










බොහොම ආඩම්බරකාර විදිහට මෙයා නම් අපිට ගස්සගෙන ගියෙ,









තව ටික දුරක් යද්දි මුව රංචු  කිහිපයක්ම හමු උනා, කොහෙද ඉතින් එයාලා පින්තූර ගන්නවට කැමති උනේම නැහැනෙ.













ඔන්න ඉතින් ඔහොම ගිහින් ගිහින් විහාරස්ථානෙ කිට්ටුවටම ආවයි කියමුකො. එතන තියෙන පොලිස් මුර පොල ළඟ ලස්සන බැම්මක්. බොහොම මහන්සි වෙලා ගොඩ නඟපු බව පේනවා නේද?









මේ පූජා භූමියේ මත් පැන් බොන්න තියා , ළඟ තියා ගන්නවත් තහනම්. මේ මොකද කියලා අහපුවහම එතන රාජකාරි කරපු පොලිස් මහතැන්ලා කිව්වෙ, වන්දනා නඩ වල තියෙන බීම බෝතල  එයාලා ළඟ තියලා ගියහම ආරක්ශා කරලා දෙනවලු ආපහු එනකොට. මේ බැම්ම හැදුවෙ, එහෙම නීතියට අවනත නොවී, රාජකාරියට බාධා කරපු වන්දනා නඩ ළඟ තිබුණු බෝතල් වලින් ලු.

එකම ජාතියෙ බෝතල්, මේවයින් පේන්නෙ නම්  විස්කි, බැන්ඩි බොන අය එහෙ ගිහින් නැතුවද කොහෙද?නැත්නම්  ඒ වගේ ජාති ගෙනාපු අය රණ්ඩුවට ගිහින් නෑ. නීති ගරුකයිලු.

 අපි ළඟ නම් වතුර ඇරෙන්න, පැණි බීම බෝතලවත් තිබුණෙ නැහැ හොඳේ.






රහතන් වහන්සේලා දොළොස් දහසක්  වැඩහිටිය, අක්කර දොළොස් දහසක් පුරා පැතිරුණු පුද බිමක් මේ.
 බැමිණිතියාසායෙන් උන්වහන්සේලා දොළොස් දහසම අපවත් උනාලු.




 යසට හැදුණු දළුක් ගස්  ගාලක්.

කෘමි නාශකයක් විදිහට ඉස්සර පාවිච්චි කරල තියෙනවා. කුඹුරු වලට දළුක් කිරි ඉසිනවලු කෘමීන් පන්නන්න.






 මේ  විහාර ගේ



සිතුල් පව්ව පුද බිමේ තවත් කඳු මුදුනක් තියෙනවා , ඒතමයි කුඩා සිතුල් පව්ව. මේ පින්තූර ගත්තෙ කුඩා සිතුල්පව්වෙ ඉඳන්. අවට හරි ලස්සනට පේනවා. එතැනට නම්  වැඩිය කවුරුවත් යන්නෙ නැහැ. කන්ද වැඩි නිසා වෙන්න ඇති. ටිකක් දුර යද්දි අපිටත් බය හිතුනා. අලි හාමි කෙනෙක් ටිකකට කලින් ඉඳලා ගියා කියන්න පුලුවන් සළකුණු තිබුණා. අපෙත් ඉතින් වනන්තරේ ඉඳල ආපු ගති සිරිත් තාම තියෙන නිසා , කැලේ යන්න තියෙන ආසාවට ඔය අලි බෙට්ටක් දෙකක් තිබුණයි කියලා අපි නෙමෙයි හැරිල ආවෙ.හති නොබලා ගියා මුදුනටම.



ගමේ පන්සලේ තමන්ට හිතපු හොඳම දායකයා වෙච්චි අපේ වෙද සීයට සිතුල්පව්වෙ නායක හාමුදුරුවො ( මැටරඹ හේමරතන හිමි ) කවදත් සළකන නිසා එහෙ යන කවදත් අපිට දානෙ වේල ලැබෙනව උන්වහන්සෙගෙන්. උම්බලකඩවත් මිශ්‍ර නැති නිර්මාංශ.

ආගිය තොරතුරු කතාබහ කරන අතරෙදියි උන්වහන්සෙ කිව්වෙ එහෙට මත්පැන් ගේන අයට වෙනදේ.

මේ පුදබිමේ ඉන්නවා හස්තිරාජයෙක්. මිනිස්සුන්ට හිරිහැරයක් නෑ. හැමදාම ආවාස ගේ ළඟටම ඇවිත් නායක හාමුදුරුවො අතින්ම දෙන පළතුරු කාලා ආපහු කැලේට යනවා. හාමුදුරුවො නම දාලා තියෙන්නෙ ගැමුණු කියලා. මේ ගැමුණුට තියෙනවලු පුදුම ඉවක් මත්පැන් සොයා ගන්න. හමුදා මුරපොළේ සෙබළුන්ගෙ ඇස්වලටත් වැලි ගහලා බොහොම සීරුවට හංගාන ගේන බීම ජාති පුදුම ඉවකින් හොයාගෙන එනවලු. කැලෙන් එක පාරටම මතුවෙලා ඇවිත් වාහනේ බෝතල හංගලා තියෙන තැනින් එළියට අරන් හොඩෙන් බෝතලේ උස්සලා ගහනවලු වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු වෙන්නම.

එහෙමත් කරලා වාහනෙත් පෙරළලා දාලලු ආපහු කැලේට යන්නෙ. ඔන්න පරිස්සමින් හොඳේ, පස්සෙ කියන්න එපා නොකිව්වයි කියලා.




 මේ බලන්න පන්සලෙන් කෑම කන්න එන කට්ටිය සහයෝගෙන් කන හැටි. පුරුද්දක් විදිහට මේ ගෝන, මුව දෙපළත් හැමදාම එනවලු. නායක හාමුදුරුවො නම් කියන්නෙ රෑට කොටි හපුවත්  ආවාසගෙයි මිදුලටම එනව කියලා. පින් බිමක් නිසා වෙන්න ඇති අක්කර දොළොස් දහසක් පුරා පැතිරිච්චි මහ වනන්තරේක ඉන්න මනුස්ස කාටවත් , ඒ තිරිසනුන්ගෙන් හිරි හැරයක් නැහැලු.  හැබැයි අමධ්‍යප අයට විතරයි එහෙම.

මේ තියෙන්නෙ සියඹලා ගහක් . අවුරුදු එක්දහස් අටසීයක් පැරණි එකක්.


ඔන්න ඔහොමයි නිවාඩු කාලෙ එක ගමන් වාරයක් ගෙව්වෙ.

52 comments:

  1. යන්න හිතුන කියෙව්වාම - ගිහිල්ල නෑ නෙව තවම :-(

    අර සියඹල ගහ මහ බයානක පෙණුමයිනේ
    මට පෙනෙන්නේ Alien Vs Predator එකේ පොරක් හැංගිලා ඉන්නව වාගේ!!!

    ReplyDelete
    Replies
    1. ආයෙ ගියහම කට්ටිය එක්ක යන්නකො, සියඹලා ගහට බයවෙන්න එපා. ඒක සීනි සියඹලා. ඇඹුල නැහැ. පැණි රසයි

      Delete
  2. කියන්නත් නිකං මොකක්ද වගෙ..මමත් ගිහිල්ල නෑ නෙව.....මේක කියෙව්වම නං යන්න හිතුනා..
    කිව්වත් වගෙ අර ඌරු පැටව් ටික නම් හරි හුරතල්..
    අර උඩ පින්තූරෙ තියන වාහනෙද ගියෙ...ඒකෙ පොටෝ එකකුත් දැම්ම නං තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔයා ඉතින් යන්නෙම යාපනේ පැත්තෙනෙ. සීනිගම දේවාලෙ පහු කරලා ගොඩාක් දුර යන්න ඕනෙ සිතුල්පව්වෙ යන්න හොඳේ. මම ලියාපු ඡේදෙකුත් මතක් උනා. //" මේවයින් පේන්නෙ නම් විස්කි, බැන්ඩි බොන අය එහෙ ගිහින් නැතුවද කොහෙද?"

      Delete
    2. විහිළුවක් කරේ හොඳේ, ගිහින් නෑ කියාපු නිසා

      Delete
  3. ආසා හිතෙන විදියට ඉදිරිපත් කරලා තිබුන නිසා යන්න හිතුනා - වැඩේ නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ගිහින් බලන්නකො

      Delete
  4. නිවාඩුවට ලංකාවේ ඇවිත් අක්කලා සිතුල් පවුවෙත් ගිහින් එහෙනම් !!!
    මරු නේ.

    ReplyDelete
    Replies
    1. මේ ගමන කාලය හරස් වෙච්චි නිසා , ගමනුත් බොහොම සීමා උනා

      Delete
  5. ෂා....අපුරු ගමනක් ..ලස්සන පින්තුර ටිකක් ..අන්න අර අලිහාමි හොඳයිනේ බිමත්ව රියපදවන අයව අල්ලන රාජකාරියට බන්දගන්න. පොදු ස්ථාන වලට බෝතල් ගෙනියන එක නම් හරිම වැරදියි .

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අලී හාමිලා දාහක් හිටියත් මදි වෙයි පොලිස් දෙපාර්තමේන්තුවට.

      Delete
  6. පිංතූර ටික නම් හරිම ලස්සනයි, ගමනේ විස්තර බොහෝම රසවත් ඉදිරිපත් කරලා තියෙන විදියට. අර හස්තිරාජයා ගැන කතාව වගේ අපේ රටේ පූජාභූමි සම්බන්ධ දේවල් බොහෝමයක් තියෙනවා, මනසින් උස් සත්වයින්ට නොහැඟෙන බොහෝ දේ ඔවුන් තේරුම් ගන්න වගයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ, තව පුජා භූමි ගන කතන්දර බොහොමයක් තියෙනවා. ඒවා ලියන්න විදිහකුත් නැහැ. අපේ සමහර අය ඊට පස්සෙ ඒ තැන් වලට යන්නෙ විනෝද වෙන්න නිසා

      Delete
  7. හරිම අපූරු ලිපියක්. පින්තූරත් ඒ වගේමයි.
    මාත් තාම ගිහින් නෑ සිතුල් පව්වේ. ඒ හින්ද දවසක නිවාඩු පාඩුවේ යන්න හිතාගත්ත

    ReplyDelete
    Replies
    1. අනේ තාම ගිහින් නැද්ද? කමරාවට නම් ඉස්පාසුවක් නැති වෙයි.

      Delete
  8. ගිහින් නෑ. යන්ටම හිතුනා ලිපිය කියවලා. පින්තූරු ටිකත් ලස්සනයි. අර දෙවෙනි පින්තූරේ ඉන්නේ මොනුන්ද? ඌරොද? :D

    ලස්සන ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මුල් පින්තූර කිහිපයෙම ඉන්නෙ එකම කට්ටිය. වල් ඌරො!!!

      Delete
  9. ගිහින් ගිහින් කෙලියා නේද තාප්පටෙම...:D
    මටත් මතකයි අර බැම්ම. දැන් නම් ඒක තව ලොකුයි. අපි ගියේ 2010නේ. ඒ දවස්වල ඔතනට ඇතෙක් එනවා. හරි කියන්නේ එයාමද දන්නේ නෑ. පරණ මතකයක් ආයිම අවදි කලා...

    ReplyDelete
    Replies
    1. අයියලා ගියෙ 2010 නම් ඒ ගැමුණුම තමයි. පොලීසිය එක්ක රණ්දුවෙලා බම්ම ට ආධාර කරලා ආවෙ නැහැ නේද?

      Delete
  10. අම්මෝ අපේ මිනිස්සු බොන තරම...මොනව උනත් අපූරු ගමන

    ReplyDelete
    Replies
    1. බලන්නකො බොන ජාති. ඔක්කොම වගේ කහ පාට මූඩි.

      Delete
    2. අති විශේෂ කියන්නෙ නිකංද ???

      Delete
  11. අපුරුයි.. අරයා නම් ආඩම්බරේට නෙවෙයි ඔහොම ගියේ.. එයාලට අපේ අය කරන හිරිහැර හින්දා තරහවෙලයි..

    ReplyDelete
    Replies
    1. හිරි හැර නැතුවයැ. එයාලගෙ මස් හරි රසයි කියනවනෙ. පව් අහිංසක සත්තු

      Delete
  12. අපිත් එක පාරක් ගියා යාල ගිය ගමන්..

    ටිකක් හැන්දෑවෙලා තිබුන නිසා කුඩා සිතුල් පව්වට යන්නනම් අවසර ලැබුනේ නෑ..

    ඕගොල්ලෝ දැකපු විදිහට සත්තු නම් දැක්කා ඒත් ඔච්චර ලොකු වල් ඌරො රංචුවක් දැක්කමයි..

    ලොකුම කරදරය උනේ රිලවුන්ගෙන්...කෑම ටිකක් උන්ට දුන්නට පස්සේ ලොකු රංචුවක් අපිව වටකරගෙන යන්න නොදී ඉටියනෙ කෑම ඉල්ල ඉල්ල..

    "එහෙමත් කරලා වාහනෙත් පෙරළලා දාලලු ආපහු කැලේට යන්නෙ." මේක නම් බය කරන්න කියන බොරුවක් මට හිතෙන හැටියට නම්..

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. අනේ මම මොකට බොරු කියනවද? ඕනෙ නම් අත් හදා බලලා කියන්නකො. රෑ නවාතන් ගත්තු අයටයි ඔහොම වෙලා තියෙන්නෙ. ඉතින් ඕගොල්ලො බෝතල් හංගගෙන ගියාට නවතින්නෙ නැතුව ආවද ගැමුණු එන්න කලින් :D :D

      Delete
    2. හපොයි..ඔයා බොරු කියනවා කියලා නෙමෙයි මම කිව්වෙ..ඔය කතාව ගොතපු කතාවක් වෙන්නැති කියලයි කිව්වෙ..

      රෑ නම් නැවතුනේ නෑ තමයි..මොකද අපේ නවාතැන තිබ්බේ කතරගම..

      බෝතල් තියා අපි ඒ ටිකේ මස් මාළුවත් කෑවෙ නෑ..

      Delete
    3. විහිලුවක් කරේ. බොරු නම් නෙමේ. අමූලික ඇත්ත. // බෝතල් තියා අපි ඒ ටිකේ මස් මාළුවත් කෑවෙ නෑ..// හොඳ ළමයි. අපිත් එහෙමයි.

      Delete
  13. මට නම් හොඳට හුරු පුරුදු තැනක්. තිස්සමහාරාමේ රාජකාරි කරන කාලේ නිවාඩු දවස්වලට බොහෝ විට සිතුල් පව්වේ යනවා. අපි නං ගියහම රැයක් ඉඳල තමා එන්නේ. ඔය හේමරතන හාමුදුරුවෝ කියපු ඇතා රෑ හත, අට අතර වගේ ආවාස ගේ මිදුලට එනවා. ප්‍රධාන දොරෙන් ඔලුව දාල හාමුදුරුවන්ගේ අතින් පළතුරු කනවා. හාමුදුරුවෝ ළඟ ඉන්දැද්දී අපිටත් අලියට පළතුරු දෙන්න පුළුවන්.

    ඔය හේමරතන හාමුදුරුවෝ බොහොම හිතවත් භික්ෂුන් වහන්සේ නමක්. සිතුල්පව්වේ ගියහම විස්තර කතා කරලා අහන්නේ 'මහත්තයල කාලද ඉන්නේ' කියල. සමහර වෙලාවට දවල් කෑම වෙලාව පහුවෙලා තිබ්බත්, කාල නැත්තන් අලුතෙන් උයල හරි කන්ඩ දෙනවා. ඒ වගේම බොහොම සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනෙක්. හරී නංගිගේ පින්තුර වල ඉන්න ගෝනයි, මුවයි පන්සේලේම ඉන්න දෙන්න වෙන්න ඕනෙ. අම්මගෙන් මග හැරිලා මුව පැටිය අතරමන් වෙලා ඉද්දි වන ජීවී එකේ මහත්තුරු තමා හාමුදුරුවන්ට ගෙනත් දුන්නේ. හරියටම එදත් අපි එහෙ.

    හේමරතන හිමියන්ට පෙර විහාරාධිපතිව හිටියේ උණවටුනේ රතනජෝති හිමියන්. උන්වහන්සේ තමයි සිතුල් පව්ව වර්තමානයේ තියෙන දියුණු තත්වයට ගන්න හුඟක් මහන්සි උනේ. උන්වහන්සේ හදිසියේම හෘදයාබාදයකින් අපවත් උනා.

    කුඩා සිතුල්පව්වට යන ගමන බොහොම සුන්දරයි. යන අතරමග පුරාණ කාලේ භික්ෂුන් වහන්සේලා භාවනා කල කටාරම් කෙටු ගල්ලෙන් රැසක් හමුවෙනවා. කුඩා සිතුල්පව්ව මුදුනට ගියහම මුළු මහත් යාල වනයම දර්ශනය වෙනවා. හොඳින් බැලුවොත් ඈතින් පෙනෙන තිස්සමහාරාම දාගැබ හඳුනා ගන්න පුළුවන්. අනෙක් පසින් මුහුදු තීරුව. සිතුල්පව්වට එන පාර, දුඹුරු පාට පටියක් වගේ ඈතට පෙනෙනවා. ඔය යාල වනාන්තරය පැරණි ජනාවාසයක්. යාල බ්ලොක් 2 තමා සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ මෙහෙයවීමෙන් අස්වද්දපු කුඹුරු යය. (හරී නංගිට පුළුවන් නම් අපේ යාලුවන්ට බලාගන්නත් එක්ක අර ගල් ලෙන් වල පින්තුර ටිකකුත් දාන්න.)

    ReplyDelete
  14. මමත් ආසම කරන තැනක්.. ලොකු ලොකු දේවල් බොන අය වැදගත් මිනිස්සුනේ.. ඔය කුඩා සිතුල්පව්වේ තියෙන්වා නේද හත්තක් වගේ පුදුමාකරා ව්දියට ගැඳුන ගලක්.. මට යාන්තම් වගේ මතකයි. අපි ගියේ ගොඩක් ඉස්සර. එක සැරයක් රැයකුත් උන්නා. එතකොට හිටියේ ඔය උනවටුනේ හාමුදුරුවෝ.. ඉස්සර ඔයිටත් වඩා සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. //ලොකු ලොකු දේවල් බොන අය වැදගත් මිනිස්සුනේ..// කිව්වත් වගේ එහෙම වෙන්ටැ. එහෙම අමුතු ගල්ගුහා තිබුණ තමයි. කොහෙද අපේ ඈයන්ට කැමරා පේන්න බෑනෙ. දුවගෙන ඇවිත් මූණ දානවා

      Delete
  15. ඔය බොතල් තාප්පේ තිබ්බ බොතල් වල වතුර ටික හිස්කලේ පොලීසියේ ඇත්තො නේමේ වෙන්ටැ..හික්

    ReplyDelete
    Replies
    1. පොලීසියො ඇත්තො කීවෙ නම් එයාලා ඒවා අයිති කාරයින්ට පේන්නම බිමට හැලුවයි කියලා, :D (උගුරට නෙමේ)

      Delete
  16. @ පොත් ගුල්ලා, බොහොම ස්තූතියි වැඩි විස්තර වලට, අනේ ගල් ලෙන් වල පින්තූර දාන්න විදිහක් නැහැ. ඒවයෙ අපේ කට්ටිය ඉන්නවා. ආයෙම ගියහම නායක හාමුදුරුවන්ගෙන් අහන්නකො යටගල හිටිය ගම්පහ වෙදමහත්තයා ගැන.අපිටත් එහා කිව්වෙ " මහත්තයාලා ඔන්න කාලා මිසක් යන්නෙ නැහැ, මම උයන්න කිව්වා කියලා". අපි කෑම කන අතරෙ ඇවිත් කෑම මේසෙ දිහා බලලා කිරි කන්න, පැණි නැතුව සීනි තිබ්බා කියලා සේවකයින්ට දොස් කියලයි ගියේ.

    තව කියන්න දෙයක් අමතක උනා සද්ධාතිස්ස රජ්ජුරුවොද කොහෙද ආඥාවක් නිකුත් කරලා තියෙනවලු රටේ කොයි කාලෙක ,කවුරු රජ උනත් සිතුල්පව්වේ දියුණුවට වැඩ කළ යුතුයි කියලා. දැනටත් ඉන්න පාලකයො සිතුල්පව්වෙ දියුණුවට වැඩ කරන්නෙ ඒකද මන්දා,
    රතනජෝති හිමි තරුණ වයසෙදිම අපවත් වෙච්චි එක යටගල පන්සලට වගේම, සිතුල්පව්වටත් පාඩුවක්. හැබැයි හේමරතන හාමුදුරුවොත් අච්චර පහසුකම් තියෙන ගමේ පන්සලේ නොයිඳ එහෙ වැඩ වසන්නෙ එහෙට හිතැති නිසා වෙන්න ඕන. ඔය චෛත්‍ය්ය වතේ තියෙන රන් වැටත් විශේෂයි. අනිත් හැම තැන් වලම රන් වැටවල් තියෙන්නෙ බෝධීන් වහන්සේලා වටා. සිතුල්පව්වෙ විතරයි චෛත්‍යයක් වට තියෙන්නෙ. මෑතකදි ආනන්ද බෝධියෙ ශාඛාවකුත් එහෙ රෝපණය කරලා තියෙනවා.
    දැන් නම් හැමෝටම එහෙ නවාතැන් ගන්න පුලුවන්. වායු සමනය කරපු කාමර එහෙමත් තියෙනවා. ඔය මෑතකදි වාහන වලට හානි කරගෙන තියෙන්නෙ එහෙම රෑ නවාතැන් ගත්තු රජයේ උස් පුටුවල ඉන්න ඇත්තොලු. නායක හාමුදුරුවන්ට ඒවයෙ වගක් නෑ. බීම තිබිලා අහු උනහම එවෙලෙම එහෙන් පිටත් වෙන්නයි නියෝගෙ. හොඳ වගේම හාමුදුරුවො එහෙම වෙලාවට හරිම වසයි. හාමුදුරුවො හිනා වෙවී කිව්වෙ " ඒ උදවියට එදා හරි වැඩේ උනෙ, වාහනත් කැඩුණ මදිවට , මහ රෑම බඩුත් අකුලගෙන යන්න උනා නෙ කියලා."

    ඔන්න පොත් ගුල්ලා කාලෙකින් ඇවිත් තව විස්තර එකතු කරාට ස්තූතියි. මේ ගමන පොසොන් උත්සවේ තියන්නෙ කුඩා සිතුල්පව්ව්වේ කියලයි ආරංචිය.

    ReplyDelete
  17. මීට මාසෙකට කලින් අපිත් ගියා ජීවිතේ මුල්ම වතාවට. කතරගම චාරිකාවේ වඩාත්ම සිත් ගත්ත තැන සිතුල්පව්ව කිව්වොත් නිවැරදියි. මෙපමන කලක් අපට සිතුල්පව්ව මග ඇරුනු එක ගැන අපි හුගක් දුක් උනා. අපි ගෙදර ආවේ ඊලග අවුරුද්දේ ආවහම සිතුල්පව්වේ නවාතැන් ගන්න ඒකමතිකව තීරනය කරගෙන.
    කලින් නොගිය අයට කියන්න දෙයක් තියෙනවා. පුලුවන් තරම් උදෙන්ම යන්න. එතකොට දිවා කාලයේ තද හිරුරැස් වලින් වලකින්න පුලුවන්. හුගක් හවස් වෙලා යන්නත් එපා. ආපසු ගමනේදී අඳුර වැටීගෙන එනකොට දෙපස ගන කැලය නිසා මටනම් පොඩි බයක් දනුනා.

    ReplyDelete
    Replies
    1. හොඳ උපදෙසක් සුභා. අව්ව තියෙනකොට නම් ටිකක් අමාරු ගමනක් තමා

      Delete
  18. අහල තිබුනට 'සිතුල් පව්ව' ගැන, යන්න අවස්තාවක් උදා වුනේ නෑ. මේ වතාවෙ වත් යන්න ඕනෙ. පෝස්ට් එක වගේම කොමෙන්ට් වලිනුත් හුඟක් දේ දැන ගන්න ලැබීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. හානේ ඔබා මාමත් ගිහින් නද්ද තාම? මල් වෙඩි බල බල ඉඳලම හරියන්නෙ නැහැ. පුරාණ සිද්ධස්ථානත් ටිකක් වැඳ පුදා ගන්න ඕනි.

      Delete
  19. ශ්‍රී ලංකාව, ගල් ගහන්නංගේ දේශය කියල හිතෙන්නෙ බෝතල්ටික දැක්කම.

    ReplyDelete
    Replies
    1. අපේ ගිය කට්ටියත් කිව්වෙ ඕකම තමා

      Delete
    2. අති විශේෂ රාජ් . . අති විශේෂ

      Delete
  20. මං පුන්චිම කාලෙ අම්මලා ගිහින් තියෙනවාලු ඔය පැත්ත බලන්න.මං අත දරුවෙක් එතකොට.ඉතිං කොහෙද මතකයක්.

    ආයෙත් යන්න ඇත්නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. ආයෙ ගිහින් ඇවිත් පෝස්ට් එකක්ම ලියන්නකො එහෙනම්..

      Delete
  21. පොඩි පන්තිවලදී මාත් මේවගේ වාක්‍ය රචනාවක් ලියාඝෙන යනවා නිවාඩුවෙන් පස්සේ!

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වා, තාම ලියනව, අපි තාම පොඩි ළමයි නෙ !

      Delete
  22. මාත් කතරගම ගියොත් කොහොම හරි යන ගමනක් ඔය... විශේෂයෙන්ම කතරගම ටවුම පහු කරලා දකුණ පැත්තේ පාරෙන් ඇවිත් ආපහු එනකොට යෝද කන්ඩිය පාරෙන් එන්නයි වැඩි මනාපේ...
    ඔය අලියා දවල්ටත් ඉන්නවා නේද අර වැව අයිනේ කැරකි කැරකි.

    රිලවු ගැනනං කතා කරන්න එපා..දැන් අවුරුදු 4කට විතර කලියෙන් මම තව ළමයි දෙන්නෙක් එක්ක ත්‍රීවීල් එහෙකින් කතරගම ගිය වෙලාවක ඔහේ ගිහින් හැම තැනම කරක් ගහලා ආපහු එන්න කියලා ත්‍රීවීල් එකට ගොඩ වෙලා පොඩි බිස්කට් පැකට් එකක් කඩලා අපිත් එක එක කන ගමන් නිකමට වගේ එකක් විසි කලා ඔය කියන රිලවුන්ට..මගෙ අම්මෝ තත්පර තුනක් ගියේ නැහැ මුං රැලම එලවං ආවේ නැද්ද අපේ පස්සේ..එකෙක් කොහොම හරි පිම්ම ගහලා එල්ලුනා කියමුකෝ..උගෙන් බේරෙන්න බොහෝම අමාරු උනා..ආයෙනං මතක තියෙනකල් උන්ටනං කෑම දෙන්නේ නැහැ..එදා බේරුන බේරිල්ල මදෑ...

    ReplyDelete
    Replies
    1. හරිම වැරදියි නේ කරල තියෙන වැඩේ. එහෙම තනියම කනවද මං අහන්නෙ? එක්කො පැකට් එකම දෙන්න ඕනි. එකක් විතරක් වීසි කරල ඇතිද කට්ටියකට, හොඳ පාඩමක් උගන්නලා තියෙන්නෙ
      අලියා ඉන්නවා නම් තමා දවල්ටත්
      අනික් කාරනේ මතක් උනෙ මල්ලිගෙ කමෙන්ට් එක දැක්කම, මල්ලි අර කිව්වෙ ඇඹිලිපිටියෙ ගමක නමක් නේ. සිතුල්පව් ගමන නිසා එන ගමන් මම අර කියපු පොත් ,පැන්සල් දුන්නෙ සිතුල්පව්වත්,තිස්සත් අතර පාරෙදි හමුවෙච්චි ළමයින්ට. ඒ අතරිනුත් පන්සල පසුකරලා එනකොට ඉස්සෙල්ලාම හමුවෙන එළවළු බක්කිය තියෙන ගෙදර ළමයිගෙ ඇස්වල පිරිච්චි සතුට මට කිසි දාක අමතක වෙන්නෙ නැහැ.ඒ ගොල්ලො සතුට වැඩිකමට අපිට එලවලු දෙන්නත් හැදුවා. එපා කිව්වම කැකිරි ගෙඩියක් කපලා දුන්නා අනේ අපේ සතුටට මේකවත් අරන් යන්න කියලා. අපි හැමෝගෙම ඇස්වලට කඳුළු ආවා නිකම්ම. වෙලාවක් ලැබුණොත් පෝස්ට් එකක්ම ලියන්න තරම්. දැන් මේ ලිපිය කියවපු ගොඩක් අය ඒ පැත්තෙ යන, යන්න හිතාගෙන ඉන්න උදවිය නේ. ආයෙම යනකොට ඒ පැත්තෙ ඉන්න දුප්පත් දරුවන්ට පොත් පෑන් පැන්සල් ටිකක් ගිහින් දුන්නොත් ගොඩක් පින්. මහ ගොඩක් නෙමේ රුපියල් පන්සීයක තරමෙ පොත් උනත් ඇති. එක දරුවෙක් හරි සතුටු කරන්න.

      Delete
  23. ලංකාවේ මිනිස්සු එක්ක ලස්සන තැනක් ගැන කියන්න බයයි, ඊට පස්සේ බෝතල කුඩු කරලා එන්න හදනවනේ.. අනේ අපේ ඇත්තෝ.... මම නම් ආසයි යන්න මේ වගේ තැන වලට, අපේ අප්පච්චි ඇවිදලා කියන කතා අහලම අසව හිතේ තිබ්බත් තාම යන්න බැරි වෙච්ච එක තැනක් මේ

    ReplyDelete
  24. සහතික ඇත්ත මල්ලී. සමහර තැන් ගැන නම් හොඳ විශ්වාසවන්ත අයට ඇරෙන්න මෙහෙම පොදුවේ හෙළිකරන්නත් බයයි. සිතුල්පව්වෙ නම් ඉතින් ගැමුණු ඉන්නකම් බයවෙන්න දෙයක් නැහැ. ලබන පාර නිවාඩුවට ගියහම යන්නකො

    ReplyDelete
  25. යන්න වෙනව ඊලග වතාවෙ . . . . මම මේ කල්පනා කරන්නෙ මට සිතුල්පවුව මගඇරුනෙ කොහොමද කියල

    ReplyDelete
    Replies
    1. ඕනයට, ඕනකමක් තිබුල නැහැ. ආයෙ ආවහම යන්නකො

      Delete
  26. 2003 අවුරුද්දේ සිතුල්පව්වේ ගියා මුල්ම වතාවට. ඒත් වැඩි මතකයක් නහැ. මේ අවුරුද්දේ කැම්පස් එකෙන් ෆීල්ඩ් ට්‍රිප් එකක් එහේ යන්න හැදුවත් මේ දවස්වල තියෙන එහේ තියෙන වතුර ප්‍රශ්නය නිසා වැඩේ අල වුණා

    ReplyDelete