Saturday 26 November 2011

මතක සටහන්


දෙවන කාලඡ්ඡේදය සඳහා ශාලාවේ කොනක තිබූ අටේ පන්තියට යමින් සිටියෙමි. "තිලංගනී" ඇතුළු උසස් පෙළ පන්තියේ කෙළි රෑනම කොරිඩෝවේය. තිලංගනී විශේෂ වූයේ මුළු පාසලෙන්ම මාදුටු හුරුබුහුටි ,සිරියාවන්ත කෙළි පොඩ්ඩ ඈ නිසාය. තවත් වරක් ඈදෙස හැරී බලන්නට ඕනෑම කෙනෙක් පෙළඹෙනවාට සැක නැත. ඇස්වහක්  කටවහක් නැත, පෙනුම වාගේම ඉගෙනුමටද දක්ශබව සහසුද්දෙන්ම දැන සිටියෙමි.
මා එනු දුටු කෙළි රෑන, කිචි බිචිය එක්වරම නවත්වා ගත් හ.

සැඟවීමට දෙයක් නැත. මම සියල්ල දිටිමි. පාසල් ගේට්ටුවෙන් එහා බස් පෝළිමක් නවතා තිබුණි. බසය තුලත්, ඒ අසළත් හද්දා තරුණ ගැටව් පිරිසක් සිටියහ. කෙල්ලන් පිරිස කුලප්පු කර තිබුණේ නිවාඩුවට ගම රට බලා යමින් සිටි නාවික හමුදා සෙබළුන් පිරිසකි. පෙනුමෙන් ඔවුන්ද , තිලංගනීලාට වඩා අවුරුද්දකට, දෙකකට වඩා වැඩිමහළු නොවන්නට ඇත.

 මට සිනහ ගියේ නිතැතිනි.  ඒ මා සමඟ කථාවේ යෙදෙමින් එමින් සිටි මුල්ගුරුතුමිය සිහිවූ බැවිණි. කිසියම් හදිසි කටයුත්තක් සිහිවූ බැවින් ඈ ආපසු හැරී ගියාය.
"ඒයි ටීච දැක්කද බං"
කට හඬ සුලෝචනාගේ ය. 
" ටිකක් දැක්ක  " 
ආපහු හැරෙමින්  මම කීයෙමි. ඉඟි බිඟි පාමින් සිටි කොල්ලෝද බසයට වහන් වෙනවා දුටුවෙමි.

මිනිත්තු හතලිහේ කාලච්චේදය අවසන්වී ,මා ආපසු ගමන් කළේද එතැණිනි. කෙල්ලන් ටික සිටියේ නැත. එහෙත් ගේට්ටුවෙන් එහා පාරේ බස් රථ පෙළද, මුලින් සිටි පිරිසමද රැඳි සිටිනවා දුටුවෙමි.

කලින් වතාවේ හිනා මල් පිපී තිබුණු ඒ මුහුණු වල දැන් අත්තේ නොරිස්සුම් ගතියකි.  එකත් එකටම ඔවුන්ගේ ගමන ප්‍රමාද  නිසා වන්නට ඇත.  මට අපේ ගුරු පුහුණුවේ නේවාසික සමය සිහිවිය. දෙතුන් සතියකට වරක් නිවසට යාමට ලැබෙණ නිවාඩුවෙන් පැයක්, දෙකක් වත් අපතේ යනවාට අප බොහෝ සෙයින් අකමැතිය. සමහරවිට මොවුන් මේ යන්නේතුන්,හාර මසක් ඇවෑමෙන් වන්නට පුලුවන. කොළඹට පැය හයක ගමනක් ඇත. ඈත ගමේ කොල්ලන් මිසක් ,කොළඹ හතේ පිරිස මෙතන නැත.
අනුන් ගැන තබා මාගැනවත් හිතන්නට විවේකයක් මට නැත. ඊළඟට දහයේ පන්තියට ගියෙමි. 


බෝඩිමේ රස මසවුළු බුදීමෙන් අනතුරුව කාමරයට පිවිසුණා පමණකි, දුරකථනය කෑ ගසයි. හේමාලි ටීචගෙනි. ඈ වසන්නේ බෝඩිම පිහිටි නිවාස සංකීර්ණයේම කොටසක‍ය. හදිසියක් නිසා නොවන්නට ඈ ඇමතුමක් ගන්නේ නැත.
" අනේ බලන්නකො. අර අද උදේ නිවාඩු ගිය බස් වලට හතරැස් කොටුව හරියෙදි බෝම්බ ගහල, සිය ගණනක් එතැනමළු"


*********************************************************************************


මීට හතර පස් අවුරුද්දකට පමණ වූ සිද්ධියක් වූවද යුද්ධය ගැන කිසිවෙක් සිහි කරන හැම මොහොතකම සිතුවමක් සේම මගේ හිතේ ඇඳෙන සටහන් කිහිපයක් වෙයි. එකක්  එදා උදෑසන මාදුටු තරුණ පිරිසය. ඔවුන් අතරින් අද ජීවතුන් අතර අත්තේ කවරෙක් දයි නොදනිමි. සමහර විට කිසිවෙක්ම නැතුවා වන්නට පුලුවන. 
සයිබර් යායේ ලියවුණු නාඳුණන සෙබලා කියවීමෙන් මට  මෙය ලිවීමට සිත් විය.

එකළ මා සතියට දෙතුන් දවසක් හවස් වරුවේ 11ශ්‍රේණියේ අමතර පන්තියක්  කෙරුවෙමි. රසිකා සතියේ සෑමදාම හතර ශ්‍රේණියේ සිසුනට පන්ති කරයි. මමද රසිකාද උදේටත් හවසටත් එකටම ගමන් කරේ අප දෙදෙනාම ආගියේ එකම පාසල් වෑන් රථයක නිසාය. 
ප්‍රධාන  ගේට්ටුව අසළදී අපට හමුදා සෙබළුන් මුණ ගැසෙයි. බොහෝ විට එකම පිරිසකි. ඔවුන් අතරින් එකෙන් අපට දිනපතා " ගුඩ් මෝනින්ග් ටීච " කියයි. හවස් වරුවේ පන්ති කල විටෙක නම් " ආ ටීචර්ලා ඕටී  කරලා වගෙයි  " කියයි. ඔහු රසිකාගේ මල්ලීගේ හිතවතෙකි. ඒ නිසා රසිකාද හැම විටම  ප්‍රති උත්තර දෙයි.   "ඔයලා වගේ නෙමේ. අපි ඕ. ටී කරන්නෙ පඩි නැතුව හොඳේ "

වරක් අගෝස්තු නිවාඩුවෙන් අනතුරුව පාසල් ඇරඹූ දිනයයි.
ගේට්ටුවේ සිටියේ අලුත් මුහුණු කිහිපයකි. 
" ආ හරී,, මතකයි නේද අර අපි දැක්කම ගුඩ් මෝනින්ග් කියාගෙන එන කොල්ලා" 
" ඔව් ,,පේන්න නැහැ නේද? කොහාට හරි ට්‍රාන්සර් කරල ඇති නේ "
" මඩකළපුවට ට්‍රාන්සර් කරල. ගිහින් සතියක්වත් නැහැලු. ඒ ළමය එක්ක හත් ,අට දෙනෙක් හිටපු බෝට්ටුවකට කොටි ගහල,"
 මට මේ ලියන මොහොතේත්  ඔහු සිනහ වීගෙන ගුඩ් මෝනින්ග් කියනායුරු මැවී පෙනෙයි.


මොවූන් සියල්ලම නාඳුනන සෙබළුන්ය. ඒ  වුවත් හදවතේ කිසියම් තැනක ඔවුන් වෙනුවෙන් ඉපදුණු වේදනාවක් මට ඇත.
මට එසේනම් ඔවුන්ගේ දෙමාපියනට, අඹු දරුවන්ට, සොයුරියන්ට, පෙම්වතියන්ට කියන්නට කතන්දර කොතෙකුත් ඇද්ද?

රට වෙනුවෙන් ජීවිතය පුදකළ දහසක්, සහසක් සෙබළුන්ට පිං පෙත් පැමිණවීමට මෙසේ සටහන් තබමි. ඒ සිල්ලෝම අමාමහ නිවනට පත්වේවා!!!!!




Tuesday 27 September 2011

වැලිතලප සහ ගුරුතරුව


මොකක්ද මේ මාතෘකාව පැණියි හොදියි වගේ නේ,  ගැලපෙනවා වගේ පේනවද නිකමටවත්

සමහරවෙලාවට මං හරිම ප්‍රිය කරන දෙයක් තමයි පැරණි වේදිකා නාට්‍ය ගීත රස විඳින එක, නිස්කලංකව ඇස් දෙක පියාගෙන ඒ ගී අහන්න මං හරි ආසයි. හැබැයි ඒ සිංහබාහු, මනමේ, කුවේණි, හුනු වටයේ කථාව, දෙපානෝ, මූදු පුත්තු, කුණ්ඩල කේශී වගේ පැරණි ඒව තමයි.
 මෑත කාලයේ බිහිවෙච්චි නාට්‍ය ගැන කථාකරන්න ඒ ගැන හරි දැනීමක් මට නෑ..මං  සජීවීව ශාලාවක නරඹපු අන්තිම වේදිකා නාට්‍යය තමයි  ජයලත් මනෝරත්න මහත්මයාගේ ගුරුතරුව, කතා දෙකක් නෑ මනෝරත්න මහතා දක්ශ ශිල්පියෙක්, අපේ සිංහල සාහිත්‍යය ඉතාම ලස්සනට, රසවත් ලෙස භාවිතා කරලා ඔහු මේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන්නේ.



 ගුරුතරුව  සජීවීව නරඹන කෙනෙක්ගේ ඇහැට  කඳුළක් නාවොත් ඒකත් පුදුමයක්,  ඔහු මේ නාට්‍යය නිශ්පාදනය කළේ අදින් වසර පහළවකට විතර කලින් වෙන්න ඕනා, අපේ පාසල් සිසුන්ගේ පෙළ පොත් වලින් සාහිත්‍යය ඊටත් වඩා අඩු වෙලා, අනේ මංදා අනාගත පරපුරේ රසවිඳනේට මොනවා වෙයිද කියලා...ගී හොයන්න  you tube සැරිසැරුව වෙලාවක අහම්බෙන් හමු උනේ, අනේ ඒ ඇතුළු කළ ඇත්තාට ගොඩක් පිං සිද්ධ වෙන්න ඕනෙ.


එතකොට වැලිතලප,,
ගුරු තරුවයි වැලිතලපයි එකට  යාවෙන්නෙ මෙතනදි, ඔන්න වැලිතලප හදන හැටි, තියෙන්නෙ කවියෙන්.
බලන්න ගුරුතරුවෙ සංගීත ශිල්පියා වැලිතලප රස කරල තියෙන අපූරුව....


කැකුළු හාල් පිටියෙන්ද
 වටකර ඔලු ඇට මෙන්ද
තම්බා කඩ පිම්මෙන්ද
 සුරැකිව තබා යෙහෙන්

කිතුල් හකුරු පැණියෙන්ද
  මඳක් සීනි සමඟින් ද
 හැඳි ගා කකාරමින් ද
 ලණු වැටෙනා පදමින්

තිවග දෙදුරු සමඟින්ද
 එක එක පමණ යසින්ද
 බැද සුන්කර ගනිමින්ද
එකතුව සෑම දෙයින්


බඳුනක ලා සතොසින්ද
සමකර යස විලසින්ද
එදවස පසුව ගොසින්ද
ගනිමින් නැවත තොසින්

කැබලිව සැතින්කපා  ම
රඹ කැන් සමඟ    කදීම
ලොව සත හට සොඳ කෑම
අසනුය නැණැති සියල්

උදය උදය සැමදාම
 වළඳා උණු පැන් බීම
සත සිත් වෙර පිනවාම
මියුරු දෙයකි සුවිපුල්

වැලිතලපය යන නාම
 පැවැසුව පෙරැදුරු සෑම
 වාපිත් සමන කිරීම
 කදිමට වේ නිරවුල්


මේ පද පෙළේ රචකයා ඔතාරිස් ගබන් ගුරුන්නාන්සෙ කියලා මනෝරත්න මහත්මයා ගුරු තරුවෙදි කියනවා. ජුලියට් ප්‍රනාන්දු මහත්මිය විසින් රචිත ගුණසේන සූප ශාස්ත්‍රය පොතෙත් මේ පැදි ටික මෙලෙසම අඩංගුයි, හැබැයි එතන රචකයාගේ නම සඳහන් නැහැ.


කැකුළු හාල් පිටි වලින් ඉතා සිහින් ඕළු ඇට ආකාරයට පිට්ටු සාදා ගන්න කියලයි කියන්නෙ, කිතුල් හකුරු වලට සීනි ටිකකුත් එකතු කරලා කකාරවා ගන්න කියනවා, හැන්දෙන් වත්කළහම නූලක් වගේ බේරෙන පදමට ආපුවහම.
ඊට පස්සෙ රස කාරක යොදන හැටි, සූදුරු , මහදුරු, එනසාල්, කරාබු නැටි, කුරුඳු මේවා බැද කුඩු කරගෙන මිශ්‍ර කරන්නළු.
දවසක් තබා පහුවෙනිදට තමයි හදන්න කියන්නෙ. එතකොට පිටිවලට හොඳින් පැණි උරාගන්නව වෙන්න ඕනෙ.
කටට කෙළත් උනනවනෙ, වැලිතලප කන්නළු කෙසෙල් එක්ක.
උදේට  උදේට වැලිතලප කෑල්ලක් කාලා උණු වතුර බිව්වම වා,පිත් දොස් සමනය වෙනවයි කියන්නෙ...

පින්තූර සොයා ගත්තෙ ගූගල් වලින්, අද ගූගල් ගෙ උපන්දිනේලු. ඔන්න සුභ පැතුම් වැලිතලප සමඟින් ~

Monday 19 September 2011

අපි


අපි
 සංසාරයේ පතා ආ අය වෙමුය
 එනිසාද
 අනෙකගේ සිත් තැවුල
අප දවන්නේ මෙතරම්

පෙර කුමන කල්පයේ
මුණ ගැසුණාද අපි
එකල්හි
මිතුරෝද , සතුරෝද
නුඹ මා
අප එක්ව පෙමින් බැඳුනාද
වෛරයෙන් දැවුනාද
මේ තරම් දහසකුත් ප්‍රාණීන් මැද
මිතු දමින් බැඳුනේ එනිසාද?



දුක සැප දෙකෙහි
ළඟ රැඳුන
උණුසුම සිතට සවියක්ය,
යන මං නොදත්දා
නුඹ පහන් තරුවක්ය,
ජීවිතේ වාරුවට
එකම අත්වැළ නුඹය
ගිනි ගත් සිත නිවූ
අමා පැන් දහරක්ය,



නොසිතීමි එකළ මම
සදාකාලික ප්‍රේමයක් ගැන
"අඳුරන්නෙ නෑ අපි තවම"
මලක් කීවේ නටුවකට,,,,,


Saturday 10 September 2011

සුලෙයිමාන්, අශාඩ් සහ අපි


අප්පු ගිහින්.
අප්පු එයාගෙ රටට ගිහින්.
 අප්පු කිව්වෙ අපේ නිවාස සංකීර්ණයෙ හිටපු මුර කරුට. ඉන්දියානුවෙක්, මලයෙක්. අප්පු කියලා මලයොත් ඉන්නවද?  ඒකත් අපූරු වැඩේ. ළමයින්ට කවා ගන්න අපි දහසකුත් දේ කරනවනෙ. මෙහාට ආපු අළුත, වදෙන් පොරෙන් දරුවට බත් කව කවා ඉන්නකොට විදුලි බිලක් දීල යන්න අප්පු ආවා.
" ඔයා බත් කන්නෙ නැති බව දැනගෙන අංකල් ඇවිත් තිබුණෙ" එහෙම කිව්වම කෙල්ලට ටිකක් කවා ගන්න පුළුවන් උනා.


ගමේදි අපේ ගෙදරට පත්තර ගෙනාවෙ අප්පුහාමි සීයා. කිළුටු පාට කමිසයක් ඇඳගෙන, කබල් සෙරෙප්පු ජෝඩුවක් දාගෙන පත්තර මිටිය උස්සගෙන දෙකට නැමීගෙන එන අප්පුහාමි සීයාට අපේ අනූ බයයි. හැමදාමත් වගේ ආවට , හලෝ චූටි බබා කිව්වට ඒ බය නං ගියෙම නෑ.

සුලෙයිමාන්, අප්පු උනේ එහෙමයි. බත් කවන කවන වාරයක් ගානෙ අනූට තරවටු කරන්න සුලෙයිමා............න් කියලා කෑ ගහන්න මට බෑනෙ. ඒ මනුස්සයාට ඇහුනොත් දුවගෙන ඇවිත් අහයි මොකෝ කියලා.
අන්තිමේ අපේ ගෙදර අයට විතරක් සුලෙයිමාන් , අප්පු උනා.
අප්පු මෙහෙ මුරකාරයා කිව්වට නිදි මරාගෙන, ආරක්ශාවට අවි ආයුධ තියාගෙන මුරකරන්න කියල නැහැනෙ. 

මෙතන තියෙන එකම සැලැස්මේ නිවාස හයේ පිරිසිඳු කිරීම් කරන එක විතරයි ඔහුගෙ රාජකාරිය.  තෙමහල් නිවාස හයක්. එහෙම කිව්වට ඉතින් අතුපතුගාලා,මොප් කරන්න තියෙන්නෙ කොරිඩෝ ටික විතරයි. එක ගෙයක් මොප් කරන්නෙ සතියට එක දවසයි. මං හිතන්නෙ සිකුරාදා නිවාඩු. 
වත්තෙ තණකොළ පිට්ටනියට වතුර දාන්නත් තියෙනවා. වර්ග මීටර දෙදාස් පන්සීයක් විතර( 50*50 ) ඕකත් ඉතින් මහ වැඩක්යැ. පිට්ටනිය පුරාම වතුර බට හයි කරලයි තියෙන්නෙ. අප්පුට තියෙන්නෙ කරාමෙ අරින වහන එක තමයි. විසිරිලා යන වතුර බිංදු දිහා බලාගෙන අප්පු අනන්තය සොයනව මම අනන්තවත් දැකල තියෙනව.


මේ නිවාස සංකීර්ණය හැදුවෙ අලුත. එතකොට අපිත් මේ හරියෙ මුල් පදිංචිකාරයො තමා. ටික දවසකින් එහා බිල්ඩිමේ ඉන්න කුමාර අයියාට අප්පු කියලා තිබුණා එයා වාහනේ හෝදලා දෙන්නම් මාසෙකට දිරාම් සීයක් දෙන්න කියලා. සතියට දවස් තුනක්ම හෝදන්න. වාහනේ එහෙම හෝදනව නම් කාටත් ලේසියි. නැත්නම් සති අන්තෙන් වරුවක්ම යන්නෙ ඒ වැඩේට. කිහිප දවසකින් අප්පුට ගනුදෙනුකාරයො සෑහෙන්න හමුවෙලා. මම හිතන්නෙ  දහ පහළොස් දෙනෙක්ම අප්පුට කියලා වාහනේ හෝදවා ගන්න කැමති වෙලා තිබුණා.

අප්පු වාහන හෝදන්නෙ ගොඩක් වෙලාවට රාත්‍රියට නැත්නම් පාන්දරට. සමහරවිට වාහන හේදීමෙන් තමන්ගෙ වැටුපට වඩා හම්බකරන්නත් ඇති.


"රාමසාන් නිවාඩුවත් එක්කම මම ඉන්දියාවට යනවා , මාස දෙකක නිවාඩුවකට, පිරිසිඳු කිරීම් කම්පැණියෙන් කරයි".
 මාසෙ මැදම අපේ ගෙදර ආපු අප්පු කිව්වා. වාහනේ හෝදන මුදලත්, තව සංතෝසම් මුදලකුත් අපි අප්පුට දුන්නා.
මේක බලන් හිටපු අනූට කිව්වෙ නං " ඔයා බත් නොකන නිසා අප්පු අංකල් ආවෙ, ඔන්න තාත්තා සල්ලි ගොඩක් දීල තමයි යැව්වෙ" කියලා.


අප්පු ගියාට පස්සෙ මාසෙ අන්තිමේ විදුලි බිල අරන් ආවෙ අලුත් කෙනෙක්. එදාම රෑ අපි එළියට යනකොට ඒ කෙනා ආවා.
" සර් මම තමයි මෙහෙ අලුත් නාතුර්. මගෙ නම අශාඩ්. සුලෙයිමාන් හිටපු කාමරේ මම ඉන්නෙ"
" සුලෙයිමාන් ආපහු එන්නෙ නැහැළු සර්"
" ගිය හේතුව නම් දන්නෙ නෑ. සර්ට මගේ ෆෝන් නොම්මරේ දෙන්නම් උවමනා උනොත්"

අපි වාහනේට නැග්ගට පස්සෙ  අශාඩ් ආයෙත් ඇවිත් වීදුරුවට තට්ටු කරා.
" සර් මම වාහන හෝදනව" 
-------------------------------------------------------------------------------------------------------------

" අර කාරෙක දැක්කද , කළු එක?"
" කෝ කොයිකද?"
"අර සුලෙයිමාන්ගෙ කාමරේ ඉස්සරහ නවත්තලා තියෙන එක"
" ආ ඔව් ඉතිං? "
" ඔයා දන්නවද? ඒක අශාඩ්ගෙ"
" අශාඩ්ගෙ??? අර කාර් එක අශාඩ්ගෙ?" 
"ඒක අළුත් එකක් නේද?"
"ඔව් ටොයොටා කොරොල්ලා එකක්, විසිපන් දාහක් විතර වෙනවා ඕකක්" 
"ඔච්චර කාර් එකක් තියෙන මිනිහා මොකටද අනුන්ගෙ කාර් හෝදන්නෙ??"
" කාර් එක කම්පැණියෙ ඒකක් වෙන්නත් පුළුවන්. හැබැයි අශාඩ් ඕක පාවිච්චි කරනව මම දැකල තියෙනව, මේකයි වැඩේ මෙහෙ ලයිශන් තියෙන මිනිහෙකුට මීට වඩා වැඩි පඩි ලැබෙන රස්සාවල් ඕන තරම් තියෙන එකනෙ"



Wednesday 24 August 2011

පරලොවට පණිවිඩයක්


ජී. එච්. පෙරේරා කිවිඳුන්ගේ රචනයකි



ළඟදි ඔය පළාතෙන්      බැල්ම ලා ලක්දිවේ මේ
උපදින අය ඇත්නම්       කාරියක් මම  කියන්නම්
කලදි අපට කිව්වේ        නෑ කියා ඊට   පස්සේ
වැරදි කියනවාටයි       දැන්ම මේවා   කියන්නේ


රට බොහොම අසාරයි       ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි             කම්මැලියි බාරදූරයි
අට පහ නොම තේරෙයි      වල් සිරිත් පාර බේරෙයි
පිට රටට වදාරයි        කාපු දේවත් වමාරයි



ගත සිත නැත උස්සා        ආදි ඇත්තන් විලස්සා
එයිනි        නොරට වැස්සාගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම         රස්සා වෙන්ට නම් සී පරිස්සා
 විය යුතුය සුදුස්සා       වී මෙහේ එන්ට ලිස්සා


උගත යුතුය ඉංග්‍රීස්      ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එසැම ඉගෙණ ගන්ටත්     ලේසියත් ආයුසත් නෑ
එබැවින් ඔහේදී        බී ඒ   වලින් වත් සමත් වී
පැමිණිය යුතු බැව්      ඕනෑකමින් බෝම දන්වම්



සිහළ බස් කමක් නෑ        ඒ උගන්මෙන් පලක් නෑ
ඉහළ ගිය කෙනෙක් නෑ   ඉන්  සකුත් පාලි කම් නෑ
අහළක උගතෙක් නැත්නම්   කොහේවත් ගොහිල්ලා
දෙමල බස ටිකක්වත්        පාඩුවක් නෑ උගත්තොත්



සිහළ සිරිත දන්නම්    තුට්ටුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා     සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙට අනිද්දා     ගෑණු ඇතන්ම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ       සමත් වන්නට ඕනෑ



කොයික නැති උනත්        මේ නම් වරද්දන්නට එපා
කළු හම ලැබුනෝතින්     වෙන්නෙ ඔක්කොම පාඩුයි
ඔළු ගෙඩි බිම ගස්සා       කාගෙනුත් ගන්ට පූජා
හම සුදුවට නැත්නම්      සායමක් වත් ගෙනෙල්ලා



මිතුර මෙය අසාපන්      දැන් මහත්තැන් බලාපන්
එලෙසම ඉපදීපන්        සත් සිරිත් ගින්නෙ දාපන්
රට දැය වනසාපන්       කාල බීලා නටාපන්
අපෙ ඇට ගොඩ දාපන්     ඒවයෙ තාර ගාපන්

Tuesday 16 August 2011

මල් රේණු නටලා



අපේ දෝණියැන්දැට කවි හොයන්න ගිහින් අපූරු ගීතයක් හමු උනා. ළමා ගීයක් නම් නෙමේ, ඒත් සංගීතය අපූරුයි. සිංහල ගීයක් උනාට මේක පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි( The sounds of Music )  ගීයක  සංගීතයෙන් හැඩ වෙලා තියෙන්නෙ. මකරන්ද බ්ලොගය ලියන පොත්ගුල්ලා මේ ගැන හරබර සංවාදයකුත් කරා පහුගිය දවස වල. මොකක්දෝ අපූරු හැඟීමක් එනවා හිතට. ආයෙ ආයෙ අහන්නමයි හිත. කැමති නම් අහලා බලන්න. මෙන්න පද පෙළ,,

           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් මල් හිනා මල් ලොවේ පීදුනා
           සමනල්ළු රොන් බීල මත් වී ගියා,,,,,

           දිය සේල ඇඳලා
           වැහිමාල දමලා
           හැඩ වෙන්න හැඩ වෙන්න
           රස ආරයේ
           කොවුලන් ගැයූ ගීත නව තාලයේ,,,,,,,,,,
         

           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් මල් හිනා මල් ලොවේ පීදුනා
           සමනල්ළු රොන් බීල මත් වී ගියා
          ඇල්හේනෙ ගැමි ගීත
          පිනවන්නෙ මා
          මඳ පවනට නිති නැළවෙන ගොයමද සාරයි,,,,,,,,,,,,,,

         මල් රේණු නටලා
          වැහි බිංදු වැටිලා,,,,,,



මුල් ගීය මෙන්න මේක




ගායකයා; සුසිල් ප්‍රේමරත්න මහතා, පද රචනය කලේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා

පද පෙල නිවැරදි කළ  පොත් ගුල්ල අයියාටත්, ගායකයා කවුදැයි සොයන්නට උදව් කල තිස්ස අයියාටත් පිං



Thursday 16 June 2011

සිතිවිලි


මොහොතේ  
                තරු අතර නෙත් රැන්දු
සිත
       ඈත අනන්තේ
පැනයකි  
             ඉම කොහිද අහසේ 
කියාපන් 
            දිදුලන සිකුරු තරුවේ.... ,




මැවෙනා 
           නෙක තරු රටා අතරේ
රන් පැහැ 
              සැමදා සැඳෑ අහසේ
කවියන්
           නොදුටු රුව ලෝකේ
කවුරුන්ද 
             හඬගා කියන්නේ..........................

Tuesday 31 May 2011

අහක යන තොප්පි

"අව්වෙ හිටගෙන ඉඳලම ඔලුවත් රිදෙනවා. යමුද ටිකක් වාඩි වෙන්න."ප්‍රසාදි මාවත් ඇදන් ගියා පැවිලියන් එකට.
 ක්‍රීඩා මාණ්ඩලික තරඟ. අද මුල් දවස. වැඩ වැඩි. හවස් වෙනකම්ම තරඟ තියෙයි.  එහෙම දාට ළමයි එක්ක ඉස්කෝලෙන් එවන පිරිසක් ඉන්නවා. අපේ ලොකු තැනගෙ තේරීමට අනුව. අවිවාහක කට්ටිය සහ බෝඩිම් ජීවිත ගෙවන අපි වගේ කට්ටිය. ඒ කට්ටිය ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ කියන්නෙ. කන්තෝරු ඇරෙන වෙලාවට පාරෙ බස් වල යන්න තියෙන අමාරුව මැඩම් දන්න නැහැ නෙ.

අපේ ස්ටාෆ් එකෙ රසිකා කියනවා " මෙන්න මේ වගේ වෙලාවට තමයි ඉක්මනටම කසාදයක් බැඳගන්න හිතෙන්නෙ".   ඉස්කෝලෙ ඉන්න වයසක පහේ කට්ටියට නම් මේ සර්කිට් මීට් එකෙ මුල් දවස් දෙක පේන්න බෑ.ඇයි  ඉතින් ඔක්කොම තරඟවල මූලික එව්ව ඉවර කරනකොට හවස හතරත් වෙනව. අපිට ඉතින් එදාට බෝඩිමේ ඇන්ටිගෙ මෙලෝ රහක් නැති බත් එකවත් නෑ.

එහෙම හවස් වෙනදාට, අමතර පංතියක් කරනදාට බත් එකක් බැඳල දෙන එක වගේ නරක පුරුදු අපේ බෝඩිමේ ඇන්ටිට නම් තිබුණෙම නෑ. දුක් වෙලා මොකටද කියලා අපි නං කරන්නෙ ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා, අතේ තියෙන කීයකින් හරි ළමයිටත් අයිස් පැකට් වගේ ඒවා අරන්දීලා හවහට ගෙදර යන එක තමා. කොහේ හරි ඉස්කෝලෙන් පිට වැඩකට යවනවා නම් යවන්නෙ අපි දෙන්නවම. හවසට එකට යන්න පුළුවන්නෙ.
 මමයි ප්‍රසාදියි කෑවෙ එකම බෝඩිම් බත. ඒ අතින් අපේ ලොකු තැන සෑහෙන්න අපි ගැන හිතුව.
මේ ගමන එව්වෙ අපි දෙන්නවයි, රසිකයි, අරුණ සර්වයි, ගුණරත්න සර්වයි. අරුණ සරුත් අපි වගේ බෝඩිං ජීවිතේ. ගුණරත්න සර්ත් මැඩම්ගෙ නිර්ණායක අනුව අපේ කුලකෙම තමා.ආ තව ක්‍රීඩා ගුරු චන්දනයි.

ඉස්කෝලෙදි නං මොනවට ගහ මරා ගත්තත් පිටට ආවහම අපි සෑහෙන්න එකමුතුයි. ඔය වෙලාවටනෙ අපි ඔය ලොකු ලොකු ඇත්තන්ගෙ කැරැක්ටර් සර්ටිෆිකේට් ගැන එහෙම හොයල බලන්නෙත්. ..

" 6 පංතියෙ සඳුනි ඊයෙ මට කියනව, මසං ගහ යට ඉන්නකොට ඉශාන් එයාට *කා, *කා කිව්වළු, "පන්තිය ඉස්සරහ   හිනාවෙන්නත් බෑ. මම නඩුවත් එක්කම විත්තියයි ,පැමිණිල්ලයි දෙන්නම යැව්වා ඉන්දු ටීච ළඟට."
ළමයි තරඟවල. අපිට් හිනා වැලයි.


" සර්ල ටීචල මෙහෙට වෙලා හොඳට ඉන්නව. අරෙහෙ අපේ ළමයින්ට අසාධාරනේ. එකොළහෙන් පහළට ඉන්න අපේ ළමයව දුර පැන්නුවෙ දෙපාරයි. ඇයි සර් සර් වයිස් ප්‍රින්සිපල් වෙලත් කිසිම වගකීමක් නැහැනෙ.."

දෝස් මුර සේරටම ගුණරත්න සර්ට. අපි මේ හිනාවෙන අස්සට හෙන ගහන්නා වගේ කඩං පාත් උනේ. බලනකොට එකොළහෙන් පහළ ළමයෙක්ගෙ අම්මෙක්.  චුට්ටක් විතර කටසැර වැඩි කෙනෙක්. අපි මේ හිනාවෙන අස්සෙ එකොළහේ පහළ දුර පැනීම් පටන් අරන්. එනවුන්ස් කරාට අපිට ඇහිලත්  නැහැනෙ. ඔන්න ඔහෙ බැන්නත් මොකෝ. බනින්නෙ ගුනේ සර්ටනෙ.
 චට පට ගාලා බැනල බැනල ඒ අම්ම ගියා. වැස්සක් වැහැළ පෑව්ව්ව වගේ.  අපිව එව්වෙ එක එක්කෙනාට ළමයි වයස් සීමා අනුව බෙදා දීල.
"කාටද එකොළහෙන් පහළ භාර දුන්නෙ?"


"මට"  ප්‍රසාදි හරිම අහිංසක විදිහට කිව්ව..

Sunday 29 May 2011

ඕපදූප

මම හිටියෙ ගුරු විවේකාගාරෙ. හරි වැරදි ලකුණු කරන්න, වැරදි  නිවැරදි කරන්න වැඩ කෝටියයි. එක එක්කෙනා මෙතනට යනව එනව. සමහර අයට වැඩක් ඇත්තෙම නෑ වගේ. මොකට.  අතිරික්ත ගුරුවරු තියාගෙන ඉන්නවද මන්ද.
 කතාවට ගියොත් මටමයි පාඩු. ඒත් ඉතින් ඇහෙන එක නවත්තන්න පුළුවන්යැ. සමහර ඒව ඒ කනෙන් ඇතුලට ගිහින්, මේ කනෙන් පිට වෙනව. සමහර ඒව කං  ගැට්ටෙ වැදිල අහකටම යනව.   නිලන්ත අයියත් මම වගේම ළමයින්ගෙ පොත් බල බල හිටියෙ.

එක පාරටම එතනට වැඩම කරා ඉස්කෝලෙ ගරුතර සංඝ රත්නය....නිලන්ත අයියා නම් කරකර  හිටි වැඩේ නතර කරනවා මම කන්ණාඩිය අස්සෙන් දැක්ක. මම ඔන්න ඔහේ එක කනක් විතරක් ඇර ගත්තා.

" කොහෙද හාමුදුරුවනේ ගියෙ?"
වැඩියද, වැළඳුවද එහෙම නම් ඒ ගොල්ලො කතා කරේ නෑ කවදාවත්. මම හිතාගෙන හිටියෙ ගරු කළ යුත්තන්ට ගරු කරන්න දන්නෙ නෑ කියල.

"දානෙකට".
ප්‍රදේශයේ පන්සල්වල, ස්වාමීන් වහන්සේලාගෙ හිඟකම හින්දම පාසලේ ප්‍රධානියා අවසර දීලා තිබුණා පාසල් කාල වේලාව අතරදි උනත් දානෙකට වඩින්න.  මොකද එහෙම එකක් එන්නෙ හරිම කළා තුරකින්.
"කොහෙද දානෙ"
"&*&*^%**  කුලම පැත්තෙ ගෙදරක, දානයක් කිව්වට පිරිතක්. දැං නම් නිදිත් මතයි වගේ"
 චරාස්....... ඔළුව උස්සලා නොබැලුවට ඒ සද්දෙ මට අනුමාන කරන්න පුළුවන්. හාමුදුරුවො පිරිකරට ලැබිච්චි පාර්සලේ බලන්නයි හදන්නෙ. මම යයි ඔය ඕපදූප හොයන්න. තාරක විතරමයි ඔක්කොම ලකුණු අරන් තියෙන්නෙ.
" චික් විතරක්. රෑ එළිවෙනකම් කෑගැහුවට අඳනකඩයක්ද තියෙන්නෙ. මහ ලොකුවට දාන නම් දෙනව"
බරාස්...... ඒ නම් ගුරු කාමරේ ස්වාමීන් වහන්සෙට තියලා තියෙන ගුරු පුටුව පස්සට අදින සද්දෙම තමයි.  චරස්  බරස් ....  චරස්  බරස්...... සෙරෙප්පු සද්දෙත් ඈතට ගියාට පස්සෙම මම නිලන්න අයියගෙ මූණ බැලුවා.
" කියලා වැඩක් නෑ නංගි.  @#$##@$   "

Tuesday 26 April 2011

සරදියෙල් සහ මල් පැළ


හා හාපුරා කියා කුලී නිවසක ජීවත්වීමට සිදුවූයේ මීට හරියටම තෙවසරකට කලිනි. ඒ රැකියාවට ආයුබෝවන් කියා වැලි කතරට පැමිනීමෙන් පසුය. අපි ජීවත් වූ නිවසේ ඉහත මාලයේ ගෙවල් හතරකුත්, පහත මාලයේ ගෙවල් හතරකුත් වෙයි. ඉන් දෙකක් පමනක් විශාලත්වයෙන් වැඩි අතර අනෙක්වා සම ප්‍රමානය. මේ ඒ පිළිබඳ සටහනයි.

පිවිසෙන තැනම වූ නිවසේ වූයේ ශ්‍රී ලාංකික යුවලකි. එකළ අපේ සුරතලිය වූයේ ඔවුන්ගේ දයාබර දියනිය නෙතු ය. ඈ එවකට අවුරුදු තුනහාමාරක් පමන වයසේ , වචනයේ පරිසමාර්ථයෙන්ම දඟකාරියකි.
නෙතූ දඟ වැඩ කරේ තනිවම නොවේ. යාබද අනෙක් නිවසේ ඉන්දියානු දරුවා සමඟය. ඔහු නමින් මොහොමඩ්ය. වයස අවුරුදු දෙකහාමාරකි.
විශේශත්වය වන්නේ මේ කුඩා දරුවාට තනිවම "you tube " හසුරුවා තමා කැමති කාටූන බලා ගැනීමට හපනෙකු වීමයි. ඔහු එවකට ඉංග්‍රීසි හෝඩිය තබා ඔහුගේ මව් බස වන මලයාලම් හෝඩියවත් නොදත් බවට මට සහතිකය. ඔහු " tom &  jerry, pingu, bugs bunny "යන කාටුන් නම් වල වචන සංකේතාත්මකව මතක තබාගෙන ඉන්නට ඇත.

නෙතු වාගේම මොහොමඩ්ද දවසින් අඩකටත් වඩා ගත කළේ අප නිවසේය. එකල මගේ ප්‍රියතම විනෝදාංශය වූයේ මේ දෙදෙනා සෙල්ලම් කරන අයුරු බලා සිටීමය. සෙල්ලම් කරන අතර වාරයේ මොහොමඩ් නෙතුගෙන් කිහිපවාරක්ම ගුටි කෑම අනිවාර්‍යයෙන්ම සිදුවන දෙයකි. ඒ ඔහු කියන දේ නොකරන නිසාමය. කියන දේ නොකරන්නේ දඟ නිසා නොව, නෙතු ඉංග්‍රීසියෙන් කියනාදේ ඔහුට නොවැටහෙන නිසාය.  you stay here, නෙතු වෙන වැඩකට යයි. කාට  තේරෙනවද ඕවා. නෙතු ආපහු එනවිට මොහොමඩ් එතන නැත. ඉතින් හොඳවායින් පාරක් දෙකක් වදී. වැඩිහිටියෙකු අසල සිටීනම් එය කොලුවාගේ වාසනාවකි.

ටික දිනකින්ම නෙතූ අමුතුම භාශාවක් කතා කිරීමට පටන් ගත්තාය.  ඒ ඇගේ විනෝදයටය. ඈට මොහොමඩ්ගේ මලයාලම් වාගේ කතා කිරීමට ඇවැසි වන්නට ඇත.
"මෙයා කොහෙන්ද ඉතාලි භාශාව ඉගෙන ගත්තෙ? ඔයා කියා දුන්නාද?" දිනක් මොහොමඩ්ගේ අම්මා, නෙතූගේ අම්මාගෙන් අසා තිබුණි.
"නෑ එයා ඉතාලි භාශාව දන්නෙ නෑ."
" එහෙනම් ඔය කතා කරන්නෙ. ඒ ඔයාලගෙ රටේ භාශාව නෙමෙයි නේද? මම නෙතූගෙන් ඇහුවම ඔය භාශාව මොකක්ද කියලා එයා කිව්වනෙ ඉතාලි කියලා."

 නෙතූගේ දඟ වැඩ එතරම්ම ආදරණීයය...

අපි සිටි නිවසේ දිනක් කිසිවෙකු විසින් මල් පැල රාශියක්  හිටවා තිබිණි. එක එක ප්‍රමානයේ විවිධාකාර මල් පැළ  කොහෙන් ගෙන ආවාදැයි පුදුමය. ගෙනා තැනැත්තාට සාහෙන වියදමක් යන්නට ඇත.
 නොබෝ දිනකින්ම මල් පැළ වල අයිතිකාරයා හමුවිණි. ඔහු ඉහළ මාලයේ නිවසක වෙසෙන අරාබි ජාතිකයෙකි. ඒ ඔහුම බව අප දැන ගත්තේ ඔහු වතුර දමමින් සාත්තු කරනවා  සියැසින්ම දුටු නිසාය.
අපි මල් පැළ වවනවාට වඩා වෙනසක් ඇත. ඔහු දිනපතා වතුර දමන්නේ දහවල් දොළහත්, දෙකත් අතර කාලයේය.

ටික කලකට පසු දිනක් අපේ පොඩ්ඩී හදිසියේ අසනීප වී අප නගරයේ තිබුණු රෝහලට ගොස් මද්‍යම රාත්‍රියේ ආපසු එමින් සිටියෙමු. අප විසූ නිවසත මඳ දුරකින් පිහිටියේ එමීරයේ විශාලම පාසලකි. එහි මල් වැට අද්දර කිසිවෙකු මල් පැළ සිටුවයි.
 "කවුද මේ මහ රෑ මල් පැළ හිටවන්නේ.?" අපි වාහනයේ වේගය මඳක් බාල කලෙමු. ඒ අපේ මල් පැල ගොවියාය.
"මේ අර සරදියෙල් වගේ පොරක්නෙ". අපේ මහත්තයා ඔහුට උසස්ම නම්බු නාමයක් එවෙලේම දුන්නේය.
තියෙන තැන් වලින් හොරෙන් අරන් නැති අයට දෙනවා. තමන්ගෙ ලාබෙකට නෙවෙයි. සමාජ සේවෙට.
මා මෙහි ජීවත්වූ කාලයේ හමුවු චරිත අතරින් කිපයකි ඒ.

Wednesday 20 April 2011

පහුගිය දොහේ


අලුත් වෙන්න කාලෙ හරි. ලියන්න උදව් කරපු අයටත්, පහුගියටිකේ හොයලා බලපු අයටත් බොහොම පිං. පැත්තකට වෙලා ඉන්නකොට තමයි දැනෙන්නෙ අපි හම්බකරගත්තු යාළුවන්ගෙ අගේ. යාළුවො කියලා හිතාගෙන හිටපු මාළුවන්ගෙ කොරල පේන්නෙත් එතකොට.

  පහුගිය ටිකේම ගෙවල් හෙව්වා. අන්තිමේ හිතටයි, සාක්කුවටයි දෙකටම හරියන එකක් ලැබුණා. අවිචාර සමයක් වගේ. සතියක් විතර අන්තර්ජාලෙත් නැතුව හිටියා. කොටින්ම ලෝකෙම බලපු ක්‍රිකට් තරඟෙත් බලන්න බැරි උනා කියන්න ලැජ්ජාවෙ බැහැ.

ගෙවල් හොයනවා කියලා ආරංචි උනගමන් ඩීන් අයියා දුන්නු ඔත්තු වලටත් ගොඩක් පිං. දැන් නම් ටිකක් අතපය දිග හැරලා නිදහසේ ඉන්නවා. ඉස්සර අපි හිටියෙ දැං ඉන්නවට වඩා ඉඩකඩ ගොඩක් අඩු තැනක.

ප්‍රියන්ත අයියත් කීප වතාවෙ ඇහුවා මොකෝ හරී නොලියන්නේ කියලා.

 අපරාදෙ කියන්න බැහැ කතන්දර අයියා මට අවුරුද්දට සුභ පතලා තිබුණේ ගෙවල් කුලිය අඩුවේවා, හොඳ පුටු සෙටියක් ලැබේවා කියලා.
හැබැයි ඉතින් මම කලින් කිව්වා වගේ ඒ පාට දෙකේ පුටු නම් අයින් කරන්න උනා. අපේ කෙල්ල වතුර, කෑම පුටු උඩ හැලුවම පිරිසිඳු කරන්න හරි අමාරුයි. ඒ පුටු කවර "රෙදි"  නිසා. ඉතින්  මීට අවුරුද්දකට විතර කලින්ම පරණ සබන් කෑල්ලට යන්න කියන්න උනා.

යාන්තම් අවුරුද්දට කියලා කොකිස්, අතිරස , නාරං කැවුම් ටිකක් හදා ගත්තා. ඔච්චර තමයි ඉතින් හදන්න දන්නෙත්. ඒ අස්සෙ මතක් උනේ බුද්ධි මලයා මෙහෙ තියෙන ගාන වැඩිම සෙන්ට් ජාතියක් හෙව්වා. හාමිනේට තෑගි කරන්න වෙන්ටැ. හම්බ උනාදත් මන්දා, අහන්නත් බැරි උනා.

 තවත් ඔය හොයලා බලන හිතවතෙක් කාලෙකින් මොකුත් ලියලා නැහැ. හොයලා බැලුවම දෙදරු පියෙක් උනාලු. සුභ පැතුම් හොඳේ.

නිතර දෙවේලේ මටම මඩ ගහන කාංචන මලයාටත් මොනවා වෙලාද මන්දා. සමහර විට දොස්තර නෝනා බෙහෙතක් දීලා ඇති. හපොයි මේ මදෑ මඩ.

ඒ අස්සෙ මේ මාරයත් කරන වැඩ. මුං ඇට කිරිබත් මතක් කරලා, ඒ ගමන ආසාවට හදාගෙන කෑවා. හපොයි දෙයියනේ, දවල් වෙනකොටම පටන් ගත්තෙ නැතැයි නාහෙන් වතුර ගලන්නා වගේ. අර කවුද කිව්වා වගේ " හෙම්බිරිස්සාව හැදිලා සනීප උනහම මාර සනීපයක් දැනෙන්නෙ"
ඕං ඔහොමළු උනේ.
හෙව්ව බැලු කට්ටියට අයෙත් පාරක් බොහොම පිං...

Thursday 10 February 2011

පුටු සෙටිය

අපේ මහත්තයා නොරටේ ගිහින් අවුරුදු අටකට පස්සෙ මටත් සිද්ධ උනානේ එහේ ගිහිං පදිංචි වෙන්න. සිද්ධ උනා කිව්වේ මම එහේ ගියේ නොගිහින් බැරිකමට හින්දාමයි. 

ගිය අලුත අපිට ඕනා උනා ගෙදරට පුටු සැටියක් ගන්න. කීප වතාවේ ගිහින් කඩ දෙක තුනකම බැලුවා. අපේ ගානට හරියන, අපි කැමති විදිහේ එකක් හොයා ගන්න දවස් කීපයක්ම රස්තියාදු වෙන්න උනා. 
අපි ඉතින් සාප්පු සවාරි යන්නෙ ගොඩක් වෙලාවට රාත්‍රි කාලයේදි තමයි. ඔන්න දවසක් එක කඩේක අපිට උවමනා ජාතියේ පුටු තිබුණා..... 
කඩේ අයිති කාරයා වෙන අරාබි රටක කෙනෙක් වගේ. ඕං එතකොට තමයි සංනිවේදන අවශ්‍යතා මතු උනේ. අපි හිතුවෙ ඔය ඉරාන, පලස්තීන වගේ දිහාවක වෙන්න ඇති. 

අවුරුදු ගානක් එහේ හිටියත් අපේ ගෙදර එක්කෙනාට හරියට එහේ බාසාව කතා බහ කරන්න බැහැ. මලබාරියො වැලි ගානට ඉන්න දිහාවක් වෙලත් අපේ එක්කෙනාට ඒ බාසාවත් බැහැ. දන්නෙ ඉතාම සුළුවෙන් පාරක් තොටක් අහගන්න වගේ යමක් විතරයි. 

එයා වැඩ කරන්නෙ අරාබීන් ගේ කොම්පැනියක උනාට එහෙ වැඩකටයුතු කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන් වීම මේ ගැටළුවට හේතුවක් මගේ හිතේ...


ඔය ඉතින් පුරුෂ පක්ශෙ කට්ටිය අකමැතිම දෙයක්නේ නොදන්නා බවපෙන්වීම. තමන්ගේ නෝනා අහල පහල ඉන්නවා නම් මේ ගතිය වැඩි. එහෙ ඉන්න කඩ කාරයින්ටත් ඉංග්‍රීසි මෙලෝහසරක් බැරි උනාට හින්දි නං ටිකක් පුළුවන්. 

ඔන්න ඉතින් අපේ එක්කෙනා ගනන් ඇහුවා හින්දියෙන්. දැන් ඉතින් ඒගොල්ලොත් හිතන්න ඇති අපි ඉන්දියාවෙන් කියලම. මම නම් ඉතින් යාන්තම් වචනෙක්ට , දෙකකට වැඩිය දැනගෙන හිටියෙම නෑ. 

සංවාදය කෙරුනෙ තනිකරම හින්දියෙන් !!!


එතන තිබුණෙ එක පුටුවයි. අපිට ඕනෙ දෙකක්.
. 

" තව පුටු තියෙනවා ගබඩාවෙ. ඔක්කොම මේ පාට තමයි. පුටුවල සයිස් එක නං පොඩ්ඩ පොඩ්ඩ වෙනස්. අද සල්ලි ගෙවලා ගියහම හෙට පුටු දෙකම ගෙදරටම ගෙනත් දෙන්නම්. අදම ගෙනත් දෙන්න බැරි කඩේ ලොරිය අද නගරයෙන් පිට ගිහින් තියෙන නිසා. ගෙදරට පාර හොයා ගන්න හවසට අපි මහත්තයාට කෝල් එකක් දෙන්නම්"

ඔන්න ඔය ටික තමයි කඩේ ගොයියා කියලා තියෙන්නෙ. මහා බරපතල හින්දි වචන ඔය විදිහට ඉතාම සරලව මට ඉදිරිපත් කරේ අපේ මහත්තයා..
. 

අපි ඉතින් සල්ලි ගෙවලා ගෙදර ආවා. පහුවදා වාහනෙත් හෝදගෙන, ලී බඩු කඩේටත් ගිහින් එන්නම් කියලා අපේ එක්කෙනා හවස ගියා. ඔන්න තව පැයකින් විතර පුටු දෙකයි, අපේ එක්කෙනයි ගෙදර ආවා. ආවෙ බිම බලාගෙන. මොකක්ද අවුල කියලා මට තේරුණේ නැති උනාට ගැටළුවක් තියෙන බව පෙනුනා.

" හරි වැඩේ නෙ වෙලා තියෙන්නෙ. පුටු දෙකේ පාට ටිකක් වෙනස්."


" ඉතිං ඔයා මේක ගෙදරට ගේන්න කලින් බැලුවෙ නැද්ද?" යාන්තම් ගොරවන ගමන් මම ඇහුවා.


" බැලුවා. මේ මිනිහ කියනවා
එදා මට ඒක කිවාලු"..

." එදා කිව්වෙ සයිස් එක පොඩ්ඩක් වෙනස් කියලනේ"

" මිනිහා කියලා තියෙන්නෙ පාට පොඩ්ඩක් වෙනස් කියලනේ" 


බොහොම හෙමින් තමයි ඒ අන්තිම වගන්තිය මට ඇහුනෙ. ඔන්න ඔහොම තමයි අපේ මහත්තයා නොදන්නා හින්දියට ගිහින් වරිගෙ නහ ගත්තෙ. ඒ පාටදෙකේ පුටු දෙක අවුරුදු දෙකක්ම අපේ ගෙදර තිබුණා.. 

කවුරුත් වගේ උපන්දිනේට යමක් ලියන හින්දා ඔන්න මමත් ලිව්වා. අවුරුද්දකට ලිපි හතලිහක් කියන්නෙ ඉතාමත් ටිකයි. ගෙදර දොරේ වැඩත් එක්ක මෙච්චරත් මදැයි නේද? 

බොහොම නිදහසේ රස්සාවක් කරගෙන හිටපු මම අරාබියේ ගෙදරක තනි උනහම මට දැනුනෙම මම ටැංකි මාළුවෙක් වගේ. හිතේ හිරවෙච්චි දේවල් කියාගන්න , ලියාගන්න විදිහක් නැතුව ඉන්නකොට අහම්බෙන් අඳුරාගත්තු අක්කණ්ඩි කියදුන්නා සිංහල අකුරු ලියන විදිහ. බ්ලොග් පිටුව බෙදා ගැනීම පවා කියාදෙමින් කියන්න බැරිතරම් උදව් කරේ කතන්දර අයියා...

 අද ලියාපු සටහන මඩක් වගේ පෙනුනට මම මේක ලිව්වෙ තමන්ගෙ දහසකුත් වැඩ අතර මට ලියන්න උදව් කරපු ඉහත කී දෙදෙනාට උපහාරයක් පිණිස. ඒ තමයි සයිබරයේ මම මුලින්ම අඳුරාගත්තු යහපත් මිනිසුන් දෙදෙනා.

තව බොහොමයි එදා මෙදාතුර මෙහෙ ඇවිත් සටහන් තබාගිය හැමට පිං. අඩුපාඩු කියාදී මඟ පෙන්වන අය අතර ගල්මල් අයියා, මගේ මතක ලියන ප්‍රියන්ත විශේෂයි. අනෙක් හැමදෙනාටත් මෙන්න මගේ ආචාරය සහ ස්තූතිය.. .

Monday 7 February 2011

ලෝක විනාසෙ

සුභසිරි වල් පැල නෙලීම මඳකට නවතා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. 

" ඇත්තද 2012 ලෝක විනාසෙ වෙනවයි කියන්නෙ ?"


සුභසිරි යනු අපේ ගෙවත්තේ වැඩට උදව්ව් වෙන මිනිසෙකි. වයස අවුරුදු හැටක් පමණ වේ. මෝඩයෙකු යැයි කියා හංවඩු ගැසුනද සුභ සිරි විටෙක කියන කතා පිළිබඳව අපට නම් එසේ නොසිතේ.


" අනේ මංදා,, එහෙම තමා ඔය පත්තර වල තියෙන්නෙ " මම කීමි.

" කොහොමද ඒක වෙන්නෙ? ගං වතුර ගලලද? මුහුද ගොඩගලලද? 

ගිනි කන්දක් පුපුරලාද? "

ඔහුට ප්‍රශ්න රැසක් ඇත.. 

 "කොහොම හරි වෙයි" මම කීවෙමි.

" මෙහෙට සුනාමි එන්නෙ නැහැ නෙ" ඔහු එසේ කීවේ කලින් වතාවේ සුනාමියෙන් අපේ ගම්වාසීන්ට කරදරයක් නොවූ නිසා වන්නට ඇත.


" ඉතින් ලෝක විනාසෙට එන සුනාමියක් නම් මෙහෙට නෑවිත් ඉන්න එකක් නැහැ "


"එතකොට අපි මැරෙයිද? "


" ලෝකෙම විනාස වෙනවා නම් අපි විතරක් ඉඳලා මොකටද?"


" කුමාර මහත්තයාට නම් එහෙම වෙන එකක් නැහැ නේද? "


"ඒ මොකද එයා විතරක්? "


" ඔය
කුමාර මහත්තයා තට්ටු ගෙවල් හදන්නෙ අපරාදෙනෙ එහෙනං. එක්කො ඒව ලෝක විනාසෙට කැඩෙන එකක් නැහැ. "

සුභසිරි තමාගේ අවසාන නිගමනයට එළඹියේ එසේය.
.


 රහසින්- කුමාර මහත්තයා ආණ්ඩුවේ ලොක්කෙක් ලු..

Thursday 13 January 2011

බිඳුණු පෙම

නු පූදා මිය ඇදුණ
ළදල්ලකි සෙනේහය 
ඒ නමුදු මුදු සුවඳ 
හිත පුරා ගලා යන...

ගව් ගනන් දුර ඇදෙන
අතීතෙක නොවන මුදු 
දෑත දිගු නැති ඉමේ 
සරා සඳ එළිය නුඹ...

 අමාවක අහසකට
හීන් තරු එළි කුමට
විඩෙන් විඩ එළිය දෙන
කදෝපැණි එළිය නුඹ ...

දෑත දිගුකර යළිත් 
ඈතටම පිය මනින
සුමුදු රළ පෙළ නුඹය 
සිතිජයේ සැඟව යන...

හිතක නැති උණුහුමට
තවත් ගී වැල් කුමට
යළිත් දුටුවොත් දිනෙක
සිනාසෙනවා මිසක... !!!

Thursday 6 January 2011

ලොකු ඉස්කෝලෙ

නිමාලි අත තිබූ ලිපි ගොනුව දෙස කිහිප වරක්ම බැලුවාය. උප්පැන්න, විවාහ සහතික, ඡන්ද ලැයිස්තු, ලයිට් බිල්, දහසකුත් දේ එහි තිබේ. දරුවා ගේ පාසලේ සම්මුඛ පරීක්ෂණය අද

නිමන්තට ගානක් වත් නැති හැටි. මේ ගොඩේ ඉස්කෝලෙට ළමයව යවන්න හිත හදාගන්නෙ කොහොමද? ජාතික පාසලක් බැරි නම් අඩුගානෙ මහා විද්‍යාලයක් වත් වෙන්න එපැයි. 
 "අපි නං ඕබී එකට බැඳිල ඉන්නෙ. කමල් ගියෙත් ඒ ඉස්කෝලෙට නෙ, සල්ලිත් ටිකක් දුන්න , වැඩේ හරියයි වගේ,,,," 

එහා ගෙදර රසිකගෙ ආඩම්බර මූණෙ හැටි,මතක් වෙනකොටත් තරහෙ බෑ. එයා හිතන් ඇත්තෙ අපිට ඕව කරන්න බෑ කියල. කොහෙද මේ අපේ එක්කෙනා ගෙ නැහැ නෙ කිසි උනන්දුවක්. 

අනේ මේ හොර ඇඩ්‍රස් හදල මට නං බෑ හිරේ යන්න. මෙන්න මේ ළඟ තියෙන ඉස්කෝලෙට දාලා ,පස්සෙ පහේ විභාගෙන් වෙන එකකට දාමු, නිමන්තගෙ කටේම තියෙන්නෙ ඔය බණේ.
මට නං අහලත් ඇති වෙලා. ඇයි අනේ ඒකෙන් ළමය පේල් උනොත් එහෙම,,, ඔච්චර පොඩි කාලෙ විභාග වලට මරවන්න මට නං බෑ. 

අපේ පුතා පහේ විභාගෙන් පාස් වෙයි,, 
ඒත් අනේ ටිකක් උනන්දු උනා නං මේ වැඩේ අපිට බැරි වෙන්නෙ නැහැනෙ..
හපෝ මට නං බෑ. හිරෙත් යන්න පුළුවන් වැඩ ඕව නං.. 


නිමාලි පිටව යන දෙමාපියන් දෙස විමසිල්ලෙන් බැලුවාය. ඔවුන්ගේ මුහුණු විවිධාකාරය. ඇතුලේදී අසන්නේ කුමන ප්‍රශ්ණදැයි අසන්නටවත් කෙනෙක් නැත. ඉදිරිපත් කරේ වෙනත් ලිපිනයක් නිසා නිමන්ත එකහෙළාම කීවේ එන්නට බැරි බවය.

වරදින එකක් නෑ සෝමරත්න මහත්තයා අහළ පහළ අයගෙ විස්තරත් කිව්වනෙ.
අනික සෝමරත්න මහත්තයාගෙ මස්සිනා මේ ඉස්කෝලෙ සර් කෙනෙක්ලුනෙ. එයාගෙ ගෙවලුත් ඒ අහළ පහළයි කිව්වෙ..


 නිමාලි ජයසුන්දර,,,, ඒ හඬ ඇහුනෙ හීනෙන් වගේ. මොකට බයවෙනවද? බය බවක් පෙන්නන්න හොඳ නෑ. 


~~~~~~~~~~~~~ කාටත් ඕනෙ මහා විද්‍යාලයකට තමන්ගෙ දරුවන්ව දාගන්න තමයි.

තප්පර කල්ප කෝටියකට විතර පස්සෙ එහෙම කවුදෝ කියනවා නිමාලිට යාන්තම් මතකයි. හිතේ දහිරියට ඇවිදගෙන ආවට ළඟ තිබ්බ පුටු අතටත් වෙර අරන් තමයි වාඩි උනෙත්. මුලින් ඇහපු ප්‍රශ්ණ මොනවද කියලා මතකත් නෑ. නිමාලිට මතක ලිපි ගොනුව අතට ගත්තු කළු , මහත සර් ට හිනා යන බව විතරමයි. 

මේ ගෙයි කොච්චර කලක් හිටියද?
අවුරුදු පහක් සර්. 
මේ අර සෝමරත්න මහත්තයාගෙ ගෙදර නේද?. 
ඔව් සර්,, ඊට පිටිපස්සෙ තමයි අර මේ ඉස්කෝලෙ උගන්නන ලියනගේ සර් ගෙ ගෙවලුත් තියෙන්නෙ.
එතකොට ඔයා මාව අඳුරන්නෙ නැද්ද?
නැහැ සර්..
ලියනගේ සර්ගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ මමනෙ, අපි ඒ ගෙදර පදිංචි උනේ මීට අවුරුදු විස්සකට ඉස්සරනෙ. 


ෆයිල් එක පෙරල පෙරල හිටපු සර්ට නං හිනාව නවත්තගන්නම බැරි උනා.

 දෙයියො වැඩල වගේ නිමන්ත ගේට්ටුව ළඟ. මම හිතුව ඔහොම වැඩක් වෙයි කියල. ඒකමයි මම මෙතනට ඇවිත් හිටියෙ , මදැයි ඔයින් ගියා. 
ඔක්කොමත් ඉවසන්න පුළුවන් නිමන්තගෙ පල් හිනාව,,,,,,,,,,,,,,,,හ්ම්...