Sunday 31 October 2010

ගැහැණියකගෙ ජීවිතේ,,,,,,,,,,,,

" අපරාදෙ නංගි  රස්සාවෙන් අයින් උනේ,  ගැහැණියකගෙ ජීවිතේ වටිනාකමක් නෑ රස්සාවක් නැත්නම්. ජීවිතේ කියන්නෙ මහත්තයාවත්, දරුවන් වත් නෙමෙයි. රස්සාව නැතිකරගන්න නම් එපා  ,,,,,,,,,,,"

කියවන කාට උනත් දැනෙනවා මේක බොහොම දරුණු කියමනක් කියලා.  ටික දවසකට ඉහතදී මට සිදු උනා අපේ අම්මා සමඟින් එකට සේවය කරපු ගුරුතුමියකගේ මළ ගමට සහභාගී වෙන්න. එහෙදි තමයි කෙනෙක් මට මෙය කිව්වෙ. කියපු තැනැත්තියත්  ගුරුවරියක්. ඇගේ ස්වාමිපුරුෂයා පරිපාලන සේවා නිළධාරියෙක්. මම දන්න විදිහට බොහොම හොඳින්  ජීවත්වන යුවලක්. ඇය මියගිය ඇගේ  නැන්දම්මාට සැළකුවේ තමන්ගේම අම්මාට වගේ. ඒත් ඇයි මෙහෙම කිව්වේ,,,,,,,,, මම මේ තවමත් කල්පනා කරන්නෙ ඒකට හේතුව තමයි.


.උසස් පෙළින් පස්සෙ අවුරුදු තුනක්  විද්‍යාපීඨයෙ ගත කරළා, ඊට පස්සෙ තවත් අවුරුදු තුනක් දුෂ්කර සේවා කරලා මේ වෙනකොට මගේ රැකියාව "ගුරු වෘත්තිය " බව සඳහන් වෙන්නෙ ජාතික හැඳුනම්පතෙත්, විදේශ ගමන් බලපත්‍රයෙත් විතරමයි.. ජීවිතේ හොඳම කාලෙ රැකියාව වෙනුවෙන් කැපකරලා, කොටින්ම පරිවාස කාළයකුත් අවසන් කරලා සේවය ස්ථිර කිරීමේ ලිපිය අතටම ලැබුණට පස්සෙත් රස්සාවට ආයුබෝවන් කියන "මම " වගේ "හරී" ලා තවත් අපමණ ඇති.

"ඔයාට පස්සෙ දුක් වෙන්න වෙයි",,,,,,,,,,     ඇත්තටම එහෙම වෙයිද?

රැකියාව ගැන නොහිතා ජීවිතේ ගැන හිතපු නිසා අද මම මවක් ගෘහණියක්.  මම එහෙම කිව්වේ මම හොඳින් දන්න තවත් කෙනෙක්,, " මොනවා උනත් රස්සාව නම් අත් හරින්නෙ නැහැ"  කියපු ,, අද දරු සම්පතක් ලබා ගැනීමට නොහැකි වීම  නිසා දුක් වෙන නිසා.

" රස්සාවක් නම් ඕනා වෙලාවක සොයා ගන්න පුළුවනි, ඒත් ඔයා ජීවිතේ ගැන හිතන්න" . මම මට තේරෙන හැටියට ඇයට කිව්වෙ එහෙමයි. පස් අවුරුදු දුශ්කර සේවා අවසානයේ ඇය දැනට නිවසාසන්නයේ පාසලක ගුරුතුමියක්. ඒත් ජීවිතේ හිස්තැනක්..

"ඔයා බඳින්න කළින් අයියව හොඳට දන්නවා, ඒත් මම බැන්ඳෙ යෝජනාවකින්, එයා දැන් මොනවා කිව්වත් මට කැමති වෙන්න ඇත්තේ මගෙ රස්සාව නිසා, ඒ නිසා මම නම් මේක අත හරින්නෙ නැහැ  " .  අවුරුදු කිහිපයක් ඒ දෙපළවම ඉතාම ළඟින් ආශ්‍රය කළ නිසා මම දන්නවා ඒ සොයුරා බොහොම ගුණ යහපත්, රැකියාව ගැන පමනක් නොහිතන කෙනෙක් වග.  දෙපාරක් හිතන්න දෙයක් නෑ මගේ මිතුරිය ඉන්නෙත් මට මුලින් අවවාද දුන් සොයුරියගෙ මතයෙ...

  ඇත්තටම මට දුක් වෙන්න වේවිද?.


මෙහෙම ඇහුවට මට හිතේ දෙගෙඩියාවක් නැහැ. ගත්තු තීරණය ගැන මේ මොහොත දක්වාම මම ඉන්නෙත් සතුටින්. මටත් වඩා උගත්,, මීටත් වඩා විශාල වැටුප් ගත්තු කාන්තාවො අනන්ත ඇති.




එහෙනම් ඇයි මෙහෙම කියන්නෙ? ,,,

Sunday 17 October 2010

සිතින් පතා ඉන්නම්,,,

රසිකා කාමරේ ඇඳ දිහා බැලුවෙ පුදුම සතුටකින්. දේශන ඔක්කොම හමාර වෙලා එනකොට පුදුම මහන්සියක්. ඒ මදිවට නිකන් ඉන්න බැරුවට හවස නෙට්බෝල් ගහන්නත් ගියා. ඒත් ඒ සතුට දිය වෙලා යන්න ගියේ එකම එක මොහොතයි. කාමරේ ළඟින් මතු උනේ පහළ නේවාසිකාගාරෙ නංගි කෙනෙක්.


"අක්කෙ වරුණි ලෙඩ වෙලා"

" ආ,,,,,,,,,,,, ඒ මොකද? "

" ෆෝන් බොක්ස් එක ළඟදි කලන්තෙ දාලා වැටිලා "

වරුණිටත් නිකන් ඉන්න බැරුවට ඉන්නෙම ෆෝන් බොක්ස් එක ළඟ. නොකා නොබී ඔතන වේලෙනකොට කලන්තෙ නොදා හිටියොත් තමයි පුදුම..

" හා,, හා,,,,,,,යමු බලන්න "

එක ගමේ කෙල්ලෙක් වෙච්චි කොට අසනීපයක් කිව්වම නොබලා කොහොමද, රසිකා ඉස්සර උනා.



" අක්ක දන්නවද වෙලා තියෙන දේ ? " පණිවිඩේ ගෙනාපු නංගි කේලමක් කියන්නයි හදන්නෙ

" නෑ මොකක්ක්ද වෙලා තියෙන්නෙ ? "
 
" වරුණි ගෙ බොයි ෆ්‍රෙන්ඩ් ඇක්සිඩන්ට් වෙලා"


ආහ්,,,, රසිකට මතක් උනා පහුගිය ටිකේම යන එනකොට වරුණි කියෙව්වෙම මේ කොල්ලා ගැන වෙන්නැති කියලා.

" ඉතින් අමාරුයිලුද? "

" ඔව් ඉන්නෙ ඉන්ටෙන්සිව් කෙයාර් එකේ ලු"

අනේ දෙයියනේ,,,, කවුරු උනත් ජීවිතයක් නේ. රසිකා ඒ පිරිමි ළමයා ගැන වැඩි විස්තර දැනගෙන හිටියෙ නෑ.
ඒත් පහුගිය ටිකේම තමා එක්ක ඕනාවටත් වඩා මේ ගැන වරුණි කියෙව්වා නේද කියලා නම් මතක් උනා.රසිකට නම් හිතුනෙ ඉඳල ඉඳල යාළු වෙච්චි නිසා අගේ වැඩි ඇති කියලා.

කාමරේ කෙල්ලො ටික වට කරගෙන. වරුණි ඇඳේ අනිත් පැත්තට හැරිලා අඬනවා. රසිකා ළඟට ගියේ නැහැ. දුක තුනී වෙනකම් ඔහේ අඬපුවාවෙ.

" මොකක්ද දිලුනි උනේ ? "

" මෙයා ට දවස් ගානක් චින්තක කතා කරේ නැහැ ලු. ඒ නිසා බරිම තැන ගෙදරට කෝල් කළා අද,, එතකොට තමයි විස්තරේ දැනගෙන තියෙන්නෙ. චින්තකගෙ අම්මාලු ෆෝන් එකට ආන්ස්වර් කරේ. විස්තරේ කියලා ඉවර වෙලා මෙයාල හොඳටම බැනලත් එක්ක,,,එතකොටම තමයි මෙයා සිහිය නැතුව වැටුනෙ, අපි උස්සගෙන ආවෙ. කාමරේට ආවටත් පස්සෙ සිහිය ආවෙ."
 
 දිලුනිගෙ සද්දෙට වරුණිට රසිකා දිහා බැලුණා. පටන් ගත්තෙ නැතැයි ආයෙත් මුල ඉඳලා අඬන්න.

" හරි හරි ඔයා අඬන්නෙ නැතුව ඉන්නකො,, එහෙ විස්තර අපි කෝල් කරලා අහගන්නද? "

" අනේ ඒක විතරක් කරන්න එපා,,,,,,,,ආයෙත් මට බනී,,, එහෙ අම්මා හරිම සැරයි. ඔයලා කෝල් කරපුවහම ඒ මම කියලා හිතයි,,,,,,,,,,,, "

වරුණි හිටියෙ හරි කල්පනාවකින් නෙමෙයි කියලා කාටත් හිතුනා. කාමරේ ඉන්න යාළුවො බත් එක අනලා කවන්න තරම් කරුණාවන්ත උනා. ඒත් පහුවදාත් සුපුරුදු වෙලාවට ෆෝන් බොක්ස් එක ළඟට ගියා.


" අපි කතා කරලා විස්තර අහන්නද? " මේ වගේ වෙලාවට දිලුනිගෙ හිත නම් බටර් වගේ වෙනවා. ඒත් වරුණිගෙ හිත හයියයි.. කාටදෝ කතා කරලා චින්තකගේ විස්තර අහගෙන තිබුණා.  අනතුර වෙච්චි හැටි, චින්තකගෙ තත්ත්වය, අම්මා වරුණිට බනින හැටි ඒ යාළුවා ඔක්කොම වරුණිට කියලා තිබුණා.

මූණ බැලුවම දුකේ බෑ. වරුණි ඒ ටිකේම කන්න ඩයනින්ග් හෝල් ගියෙත් නෑ. කවුරු හරි කාමරේ කෙනෙක් බත් එක බෙදාගෙන ඇවිත් දෙනවා.
 
සතියකට විතර පස්සෙ රසිකව හොයාගෙන ආවෙ දිලුනි.
 " මට චුට්ටක් කතාකරන්න ඕනි "
රසිකා දිලුනිව ඇදගෙන ගිහින් බුදු මැදුරෙ පඩි පෙළ ළඟින් වාඩි උනා.
" ඉතින් කියහන්"
" මට නම් මේ විකාර බලන්න ඉන්න බෑ බං,,,,,,,,,"
" මොන විකාරද? "
" අරය අඬනවා මිසක් කන්නෙ බොන්නෙත් නෑ, කන්නෙ බොන්නෙ නෑ කිව්වට බත් ගෙනත් දුන්නම කනවා,"
ඒකට නම් රසිකට නිකන්ම හිනා ගියා,,,
" ඉතින් "
" මේ වැලපිල්ලෙ තේරුමක් තියෙන්න ඕනි නේ,,,මෙයාට හොස්පිටල් ගිහින් බලන්න පුළුවන් නේ, ඕනා කමක් තියේනම්, මෙයාට යන්න ඕන කමකුත් නැහැනේ." දිලුනි දිගටම කියාගෙන ගියා ,,,,,

"මේ සමහර හැසිරීම අපිට සැකයි බං,,,,,,,, ඔය චින්තකයි මෙයායි කරා කියන කම්පියුටර් කෝස් එක කරපු මෙයාගෙ යාළුවා තමයි ගිහානි කියන්නෙ,"
" ආ,,, ගිහානිව මම දන්නවා, මමත් ඔතන කාලයක් ඉගෙන ගත්තා ",,
 
" මෙයා නාන්න ගිය වෙලාවක මෙයාගෙ දින පොතක් පෙරළලා ගිහානි ගෙ ෆෝන් නම්බර් එක හොයා ගත්තා මම,,, අනේ රසිකා මම එහෙම කරේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න මිසක් වෙන අදහසකින් නම් නෙමෙයි "
" හ්ම් හ්ම් ඉතින් " රසිකා හූමිටි තිබ්බා
" මම පස්සෙ ගිහානිට ෆෝන් කරලා චින්තකගෙ තත්ත්වය ගැන ඇහුවා,,
 එහෙම කියලා දිලුනි, රසිකගෙ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා.

 " ඒ කොල්ලට මොන අමාරුවක් වත් නැහැලු බං,"
" ඒ කිව්වෙ,,,,,,"
" ඌ ඇක්සිඩන්ට් වෙලා නෑ, දෙයියන්නෙ පිහිටෙන් යහතින් ඉන්නවා "
" එතකොට කවුද වරුණිට බොරු කිව්වෙ, අම්මද? නැත්නම් මෙයා මඟ අරින්න චින්තක කරපු වැඩක්ද? අනේ මන්දා දිලුනි මේවා අහනකොට පිස්සු හැඩෙනවනෙ "
" හිටින් ඔක්කොම කියනකං ,,මඟ අරින්න එයා මෙයා එක්ක යෑළු වෙලා හිටියෙත් නැහැලු,,,,,,,,,,,"
" මො න වා,,,
" ඔව්, බං,, ඒ කොල්ල මෙයාට වැඩිය බාලයිලු, චින්තක වරුණිට කතාකරන්නෙත් අක්කා කියලාමලු. මෙයාගෙ මේ මනෝ විකාර. "
" එතකොට සිහිය නැතුව වැටුණෙ???? "

" ඔක්කොම බොරු කරළා තියෙන්නෙ,,, දන්නවනෙ අපේ කාමරේ අනිත් උං,,, උං, මේක දන්නවා නම් කවනවා නෙමෙයි ගහනවා අල්ලගෙන,,,,,,,,,,, මම හින්දම හොඳයි,,"
" ඒක නම් සහතික ඇත්ත,""
 " තව පුංචි වැඩයි කරන්න තියෙන්නෙ,, අනේ රසිකා ඒකත් කරලා බලමු "
" ඒ මොකක්ද ? "
" ගිහානි දුන්න චින්තකගේ ෆෝන් නම්බර් එක එනවද කතා කරන්න යන්න "
" බොක්ස් එකට දුවන්න බෑ,, මෙන්න මගේ ෆෝන් එකෙන් ඔයාම කතා කරන්න,,,,,"


මේ චින්තක ගේ කතාවයි,,,

" අනේ අක්කේ ,,රසිකා අක්කත්, දිලුනි අක්කත් ගැන මට වරුණි අක්කා කියලා තියෙනවා. මම මගේ අක්කෙක් වගේ හිතලා තමයි ගිහානි අක්කව, වරුණි අක්කව එක්ක ආශ්‍රෙ කරේ. ඒ ත් මේ ළඟදි ඉඳන් වරුණි අක්කා වෙන මොකක්ද අදහසක් හිතේ තියාගෙන මා එක්ක කතාවට එනවා, කොටින්ම මට පාඩමක් කරගන්නවත් වෙලාවක් නෑ, නිතරම කෝල් කරලා කරදර කරනවා,, බැරිම  තැන මේ ළඟදි දවසක් මම හොඳටම බැන්නා.එයා ආයෙත් නම් මට කරදර කරන එකක් නැහැ.."


මෙවන් වූ චරිත දහසකුත් අප අතර සිටී, අප කළ යුත්තේ ඔවුනට සිනහසීම නොව අනුකම්පා කිරීමයි. මානසික ගැටළුවකින් පෙළෙන අයෙකුට වෙදකම් මෙන්ම හෙදකම්ද ඇවැසිවේ. 
කිසිවෙකුට අපහාසයක් සිදු කිරීමට මෙය නොලීවෙමි,, මෙහි  චින්තකගේ තත්ත්වයට පත්වූ සොයුරෙක් කියූ කතාවක් නිසා මෙය ප්‍රබන්ධ කළෙමි,,,,,,,,,



.