Sunday, 31 October 2010

ගැහැණියකගෙ ජීවිතේ,,,,,,,,,,,,

" අපරාදෙ නංගි  රස්සාවෙන් අයින් උනේ,  ගැහැණියකගෙ ජීවිතේ වටිනාකමක් නෑ රස්සාවක් නැත්නම්. ජීවිතේ කියන්නෙ මහත්තයාවත්, දරුවන් වත් නෙමෙයි. රස්සාව නැතිකරගන්න නම් එපා  ,,,,,,,,,,,"

කියවන කාට උනත් දැනෙනවා මේක බොහොම දරුණු කියමනක් කියලා.  ටික දවසකට ඉහතදී මට සිදු උනා අපේ අම්මා සමඟින් එකට සේවය කරපු ගුරුතුමියකගේ මළ ගමට සහභාගී වෙන්න. එහෙදි තමයි කෙනෙක් මට මෙය කිව්වෙ. කියපු තැනැත්තියත්  ගුරුවරියක්. ඇගේ ස්වාමිපුරුෂයා පරිපාලන සේවා නිළධාරියෙක්. මම දන්න විදිහට බොහොම හොඳින්  ජීවත්වන යුවලක්. ඇය මියගිය ඇගේ  නැන්දම්මාට සැළකුවේ තමන්ගේම අම්මාට වගේ. ඒත් ඇයි මෙහෙම කිව්වේ,,,,,,,,, මම මේ තවමත් කල්පනා කරන්නෙ ඒකට හේතුව තමයි.


.උසස් පෙළින් පස්සෙ අවුරුදු තුනක්  විද්‍යාපීඨයෙ ගත කරළා, ඊට පස්සෙ තවත් අවුරුදු තුනක් දුෂ්කර සේවා කරලා මේ වෙනකොට මගේ රැකියාව "ගුරු වෘත්තිය " බව සඳහන් වෙන්නෙ ජාතික හැඳුනම්පතෙත්, විදේශ ගමන් බලපත්‍රයෙත් විතරමයි.. ජීවිතේ හොඳම කාලෙ රැකියාව වෙනුවෙන් කැපකරලා, කොටින්ම පරිවාස කාළයකුත් අවසන් කරලා සේවය ස්ථිර කිරීමේ ලිපිය අතටම ලැබුණට පස්සෙත් රස්සාවට ආයුබෝවන් කියන "මම " වගේ "හරී" ලා තවත් අපමණ ඇති.

"ඔයාට පස්සෙ දුක් වෙන්න වෙයි",,,,,,,,,,     ඇත්තටම එහෙම වෙයිද?

රැකියාව ගැන නොහිතා ජීවිතේ ගැන හිතපු නිසා අද මම මවක් ගෘහණියක්.  මම එහෙම කිව්වේ මම හොඳින් දන්න තවත් කෙනෙක්,, " මොනවා උනත් රස්සාව නම් අත් හරින්නෙ නැහැ"  කියපු ,, අද දරු සම්පතක් ලබා ගැනීමට නොහැකි වීම  නිසා දුක් වෙන නිසා.

" රස්සාවක් නම් ඕනා වෙලාවක සොයා ගන්න පුළුවනි, ඒත් ඔයා ජීවිතේ ගැන හිතන්න" . මම මට තේරෙන හැටියට ඇයට කිව්වෙ එහෙමයි. පස් අවුරුදු දුශ්කර සේවා අවසානයේ ඇය දැනට නිවසාසන්නයේ පාසලක ගුරුතුමියක්. ඒත් ජීවිතේ හිස්තැනක්..

"ඔයා බඳින්න කළින් අයියව හොඳට දන්නවා, ඒත් මම බැන්ඳෙ යෝජනාවකින්, එයා දැන් මොනවා කිව්වත් මට කැමති වෙන්න ඇත්තේ මගෙ රස්සාව නිසා, ඒ නිසා මම නම් මේක අත හරින්නෙ නැහැ  " .  අවුරුදු කිහිපයක් ඒ දෙපළවම ඉතාම ළඟින් ආශ්‍රය කළ නිසා මම දන්නවා ඒ සොයුරා බොහොම ගුණ යහපත්, රැකියාව ගැන පමනක් නොහිතන කෙනෙක් වග.  දෙපාරක් හිතන්න දෙයක් නෑ මගේ මිතුරිය ඉන්නෙත් මට මුලින් අවවාද දුන් සොයුරියගෙ මතයෙ...

  ඇත්තටම මට දුක් වෙන්න වේවිද?.


මෙහෙම ඇහුවට මට හිතේ දෙගෙඩියාවක් නැහැ. ගත්තු තීරණය ගැන මේ මොහොත දක්වාම මම ඉන්නෙත් සතුටින්. මටත් වඩා උගත්,, මීටත් වඩා විශාල වැටුප් ගත්තු කාන්තාවො අනන්ත ඇති.




එහෙනම් ඇයි මෙහෙම කියන්නෙ? ,,,

17 comments:

  1. සහොදරී ඒක ගැන වැඩිය හිතන්න එප. එකෑක්කෙනාට බලපාන ප්‍රශ්න වෙනස්. කෙනෙක්ට ආර්ථික ප්‍රශ්න තියෙන්න පුලුවන්, ඔයාට එහෙම නැති වෙන්න පුලුවන්. කෙනෙක්ට තම සැමියව සියයට සියයක් විශ්වාස නැතිවෙන්න පුලුවන්, ඒත් ඔයාගෙ පවුලෙ විශ්වාසය පිරිල තියෙන්න පුලුවන්. මම මේ දේවල් කිව්වෙ රැකියාව එක එක්කෙනාගෙ ජීවිත වලට බලපාන විදිහ වෙනස් කියන එක කියන්න.
    මම නම් තාම අවු. 22ක පොඩි එකෙක් උනාට මගෙ මතය නම් විවාහ වෙලා දරුවො ලැබුනට පස්සෙ අම්මා රැකියාවක් නොකලයුතුයි කියන එක. මගේ අම්ම ගෘහනියක්. ඉතින් මම පොඩිකාලෙ ලබපු ආදරේ සහ රැකවරණය රැකියාවන් කරපු අම්මල හිටිය මගෙ යාලුවන්ට ලැබුනෙ නෑ.

    ReplyDelete
  2. පිස්සො.....ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි. කාන්තාවක් කොහොමද ‍රැකියා කරන්නයි,බබාල හදන්නයි,ගෙදර වැඩ කරන්නයි ඔය සේරටම මුහුන දෙන්නෙ.මිනිහෙක් උනාම පුලුවන් වෙන්න ඕනෙ තමන්ගෙ පවුල නඩත්තු කරන්න.ළමයකුට තමන්ගෙ අම්මත් එක්ක පොඩි කාලෙ එකට ගෙවන්න තියනව කියන්නෙ වචනයෙන් කියන්න බැරි සතුටක්.මට මතකයි ඉස්සර අපේ අම්ම හවසට මාවත් තුරුලු කරගෙන "මොකද දන්නෙ නෑ නේද පුතේ ,තාත්ත තාම පරක්කු" කියල ගේ දොරකඩට වෙලා පාර දිහා බලාගෙන ඉන්නව.හරිම සුන්දර අත්දැකීම්...තව ඒවාගෙ දේවල් ගොඩයි.අම්මත් එක්ක පොලේ යන්න,.අද කාලෙ ගොඩල් ළමයින්ට එහෙම අත් දැකීම් නැහැ.කොහොම උනත් ඔයා ගත්තු තීරණේ 100% හරි.

    ReplyDelete
  3. aniwa aniwa eka atta amma job1k karanawa kiyanne daruwo hugak ayale yanwa kiyana1 tama oka gana pati godakin kata karanna puluwan

    ReplyDelete
  4. මගේ ළඟම යාළුවෙක් දෙන්නෙක් හිටියා.. එක ළඟ ගෙවල් තිබුනේ. දෙන්නම මගේ වයසේ.
    එක්කෙනෙක් මේ ළඟදි බැන්දා. එයා බඳින්න ඉන්න අයිය කැමති නෑ කියල රස්සාවෙන් අයින්වුනා. රස්සාව කරානම් තව අවුරුද්දකින් විතර හොඳතැනකට එන්න තිබුනා.
    අනෙකා රස්සාව ඕන කියල යාළු වෙලා හිටපු අයියව නැති කරගත්තා.
    හැබැයි දෙන්නම ඉන්නෙ සතුටින්.

    ReplyDelete
  5. මට මතක් වුනේ මගේ අම්මා දීපු අවවාදයක්. අම්මා ගුරුවරියක්. මගේ දෙමාපියෝ ආදර්ශවත් විවාහ ජීවිතයක් ගත කරනවා.අපේ තාත්තා ගෙදර අඩුපාඩු හොයලා බලලා දිනපතා අම්මාගේ අතට මුදලුත් දෙනවා. ඒත් අපේ අම්මා මට කිව්වේ, ගැහැනියක් වුනාම ගෙදර දොරේ අඩුපාඩුවක් බලන්න හරි, අතට ආදායමක් තියෙන්න ඕනේ කියලයි. සිංහල අවුරුද්දටවත් තාත්තාගෙන් නොඉල්ලා උපයපු දෙයින් තාත්තාට තෑග්ගක් අරන් දෙන්නයි කියලා ඈ සිනාසුණුහැටි මට මතකයි.

    ඔබ රැකියාවෙන් ආත්ම තෘප්තියක් ලැබුවා නම්, දැන් එය නොලැබිම නිසා ජීවිතේ හිස් බවක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් සිතා බලන්න. රැකියාවක් කරන කොට හොඳ සමාජ ආශ්‍රයක් ගොඩ නැඟෙනවා. ඒ සමාජ දැනුම ජීවිතයේ ගැටළු වලදි හොඳ තීරණ ගන්න උපකාරී වෙනවා. යහපත් පවුල් ජීවිතයකුත්, දරු පිරිසකුත් ගොඩනඟ ගන්න ඒකත් අත්වැලක්.මගෙ අම්මාගේ මිතුරු ගණිත ගුරුවරියක්, තරුණ වයසේදී රැකියාවෙන් අයින් වෙලා, පසු කාලීනව ඒ ගැන පසුතැවෙනවා.
    මම නම් හිතන්නේ රැකියාවෙන් ඉවත් වෙච්ච කාන්තාවන් කිහිප දෙනෙක් එක්ක කථා කරල අදහස් දැන ගැනීම ඔබට ප්‍රයෝජනවත් වන බවයි.

    ReplyDelete
  6. මේ ගැටළුව ගොඩාක් සංකීර්ණයි හරී.
    මම දන්න බහුතරයක් කාන්තාවන් රස්සාවට යන්නෙ එක්කනෙක් හම්බ කරලා ජීවත් වෙන්න බැරි නිසා. නමුත් කාන්තාව රැකියාවකට යා යුත්තේ ඒ නිසා නොවේ.

    කාන්තාවන් කියන්නේ රටක ශ්‍රම බලකායෙන් වැඩි පංගුව. ඒ අනුව ශ්‍රම බලකායෙන් සීයට 50 කට වඩා කිසිදු නිෂ්පාදනයකට දායක නොවී යැපෙන්නන් පමණක් වීම රටක දියුණුවට ලොකු බාධාවක්.

    කාන්තාවගේ මූලික වගකීම දරුවන් රැකබලා ගැනීම/නිවසේ වගකීම් ඉටුකිරීම (වැටුප් නොලබන)ගෘහණියකගේ කාර්යභාරය කියන අදහස අපේ කෘෂිකාර්මික අතීතයෙන් ආවක්. නමුත් මම හිතන්නෙ ඒ අදහස වැරදි. මොකද එදා කෘෂි ආර්ථිකයේදී විශාල නිෂ්පාදන දායකත්වයක් ලබා දුන්නෙ කාන්තාවන්. නමුත් ඒ ජීවන රටාව අද යථාර්තයක් නෙමේනෙ. (කියන්නෙ ඔයාගෙ සැමියාගෙ වෘත්තියට ඔයාගෙ සෘජු දායකත්වයක් නැතිවෙන්න තියෙන ඉඩ වැඩියිනෙ). ඉතිං එදා ගෘහණියට සාපේක්ෂව අද රැකියාවක් නොකරන ගෘහණිය යම් නිෂ්පාදනයකට දායක නොවෙන යැපෙන්නියක් පමණක් වෙනවා. ඒකයි මං අදහස් කලේ.

    දරුවන් නිසි ලෙස රැකබලා ගැනීම/පෝෂණය/අධ්‍යාපනය වගේ දේ ගෘහණිය විසින් කිරීම නිෂ්පාදනීයද නැද්ද වගේ ප්‍රශ්ණ මෙතනදි එන්නේ අපේ ආර්ථිකයේ තවමත් තිබෙන අර්ධ ධනේෂ්වර/වැඩවසම් ස්වභාවය නිසා කියලයි මං හිතන්නෙ. මොකද දරුවන් පිළිබඳව හෝ මොනම දෙයක් ගැනවත් අප යමින් සිටින ආර්ථික රටාවට ගැලපෙන සමාජ යාන්ත්‍රණ අපිට තවමත් නැති නිසා. (හැම තැනම තියෙන කිසිම ප්‍රමිතියකින් තොර ඩේ කෙයාර් ගන්නකෝ).

    පවුල තුල සම්බන්ධතා වලදි නම් මේක වාසිදායකයි තමා. (හැබැයි මට පේන්නෙ නම් දෙදෙනාම රැකියාව කරන පවුල් වලට වඩා එක්කෙනෙක් රැකියාව කරන පවුල් වල ගැටුම් වැඩිද මන්දා. මේකෙ ලොකු සයිකොටික් පැත්තක් තියෙන්න පුළුවන්. ඕවා මන්දා. දැකපු දේ කිව්වෙ.)

    ඉතිං මට හිතෙන්නෙ ඔහොම තමා. විවාදාපන්න අදහසුත් මේකෙ ඇති. එහෙම තියෙනවානම් ලියන්න. මේක ටිකක් දිගට කතා කල යුතු දෙයක් කියලා හිතනවා.

    කොහොම උනත් පවතින තත්වය යටතේ රැකියාවක් නොකර ඉන්න තීරණය කරන්න පුළුවන් වීම ඔයාගෙ ලොකු වාසනාවක්. අනික ඔයාගේ ස්වාමියා ගැන ඔයා තියපු ලොකු විශ්වාසයක්.

    (කාලෙකට පස්සෙ ටිකක් මෙහෙම නිදහසේ ලියන්න වෙලාවක් ආවා)

    ReplyDelete
  7. මම වෙනුවෙන් අදහස් තබා ගිය ඔබ හැමට ගොඩක් පිං. මටත් හිතෙන්නෙ මේ ගැටළුව පුද්ගල බද්ධයි. ලිපියේ සඳහන් මගේ හිතවතියන් දෙදෙනාගේම ස්වාමිපුරුශයින් දෙදෙනා සමාජයේ ඉහළ වැටුප් ලබන අය. ඒ නිසා මුදල් වෙනුවෙන් මේ අය රැකියාව අත නොහරිනවා කියලා හිතන්න බෑ.

    : සහෝදරයා හෝ සහෝදරිය කියලා තිබුණු තත්වයට මටත් මුහුණ පාන්න උනා. ඇත්තටම මහත්තයාගෙ උපන්දිනේ වෙලාවට තෑග්ගක් අරන්දෙන්න මගෙ ළඟ තිබුණෙ ඔහුගෙම මුදල්. ඒත් මම වෙන විදිහක් හොයා ගත්තා. ඔහු සතුටු වෙන විදිහේ කෑම වේලක් හදලා, පොඩි පාටියක් එහෙම ගන්න. එතකොට සල්ලි උවමනා උනේ නැහැ. මම කළ රැකියාවෙන් මට ඉතුරු උනේ ආත්ම තෘප්තිය විතරමයි. බෝඩිමට, දුරකතනයට, බස් එකට ගෙව්වම අතේ සතේ තිබ්බෙ නෑ. ඒ උනත් ටියුෂන් කරල සත පහක් වත් අරගෙනත් නෑ. සමහර වෙලාවට පාසලේ හවස පන්ති කරලා බොඩිමට යන්න බස් නැති උනහම් අතේ වියදමෙන් ත්‍රීවීලර් වල යන්නත් උනා.
    දැන් නම් ගෙදර වැඩ , දරුවගෙ වැඩ කරනකොට දවස මදි. අනිත් අය කෙසේ වෙතත් මම රස්සාවක් දිගටම කළා නම් එකක් වත් හරියට කෙරෙන එකක් නෑ.

    හැබයි ඉතින් මහත්තයා මොණරු ගොඩක් ගන්න රස්සාවක් කරේ නැත්නම් අද කාලෙ ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි නේද? දැනට නම් මම ඉන්නෙත් වැලි කතරෙ. ඉස්සරහට මොනවා වේවිද මන්දා. රට යන හැටි දැක්කම බයෙත් බැහැ.
    නැවත් වාරයක් ඔබ හැමට පිං දිගු අදහස් මෙහි තබා ගියාට,,,,,,,,,

    ReplyDelete
  8. ඔබ වැනි අය අඩුයි. කෙනෙක් තමන්ගේ රැකියාව අතහැර ගෙදර යන්න හිතනවා හරි අඩුයි. එයට හේතුව ලෙසස මම නම් දකින්නේ තෘෂ්ණාව බවයි. නමුත් ඔබ වැනි හිතට එකඟව තීරණ ගන්න පුළුවන් කම තියේ නම් ගත යුත්තේ හිතට එකඟ තිරණය තමා. මෙහිදී මමත් ඔබේ තීරනයේ වැරැද්දක් දකින්නේ නෑ.

    ReplyDelete
  9. ස්තූතියි ප්‍රියන්ත අයියා,,,,,,,

    ReplyDelete
  10. මට මොකුත් කියන්න තේරෙන්නේ නැහැ අක්කේ. ඒත් පොඩි කතාවක් කියන්නම්. අපේ අම්මත් ගුරුවරියක් තාමත් සේවයේ ඉන්නවා. තාත්තා හමුදා නිලධාරියෙක්. තාත්තා අපි පොඩි කාලේ හිටියේම උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ. අම්මා අයියයි, මායි, නංගිවයි තුන් දෙනාම බලාගෙන ඉස්කෝලේ යවලා ඒ කටයුතු සියල්ල කරන ගමන්ම අම්මාගේ රැකියාවේ කටයුතුත් කලා.

    මේ වෙද්දී අයියා විදේශ ගතවෙලා, මම විශ්ව විද්‍යාලේ, නංගී විතරයි ඉස්කෝලේ යන්නේ, තාත්තා සේවයෙන් ඉවත්වෙලා ඉන්නේ ඒත් අම්මා කරන්න ඕනේ කටයුතු කරගෙන ඉන්නවා.

    ReplyDelete
  11. ස්තූතියි හසිත මල්ලී,, අපේ අම්මාත් ගුරුවරියක් තමයි, ඒත් මගේ ගැටළුව උනේ මහත්තයාගේ රැකියාවනේ... මේ තත්තවය පුද්ගල බද්ධයි. ඉස්සරහට මොනවා වේවිද කවුද දන්නෙ, මම කළේ මට කරන්න තිබුණු හොඳම දේ.

    ReplyDelete
  12. ඒක හොඳයි අක්කේ. තමන් තීරණයක් ගත්තා වගේම ඒ තීරණයේ පිහිටා සිටීමත් වෙන්න ඕනේ............

    ReplyDelete
  13. රැකියාවක් කියන්නේ උදේ ගිහිං හවස එන, වෙන කෙනෙකුගෙන් මාසෙට ගාණක් ලැබෙන දෙයක්ම නෙමේ.
    නමුත් ඉතිං ඔහොම කියන්න ලේසියි. කරන්න තමා අමාරු.

    ReplyDelete
  14. මෙන්න මගේ අදහස. හෙට වෙන දේ කාටවත් කියන්න බැරි නිසා ගෑණියෙක්ට ජොබ් එකක් තියෙන්න ඕනමයි.
    උදාහරණ: මගේ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරා. ඒත් එයාලා මට ළමා කාලේ එයාලගේ ආදරේ නොදී හිටියේ නෑ. ආදරේත් දුන්නා. ජොබ් එකත් කලා. 2007 තාත්තා නැතිවෙනකොට අම්මාටත් ජොබ් එකක් තිබ්බේ නැත්තං වෙන දේ හිතාගන්නත් බෑ. මොකද මමත් කලිං වැඩ කරපු කොම්පැණිය වැහුවා ඉකොනොමික් ක්‍රයිසිස් එකේදී. අම්මට වත් යංතං ජොබ් එක තිබ්බ නිසා බේරුනා. නැත්තං මොනාවෙයිද කියලා මට අදටත් හිතා ගන්න බෑ. මං නං කියන්නේ ජොබ් එක අතඅරින්න එපා. (දැනටමත් අත ඇරලා නං ඒ ගැන පසුතැවෙන්නත් එපා. හැමදේම හොඳටයි වෙන්නේ.) හැමෝටම මම කිව්වා වගේ වෙන්නේ නෑ. වෙන්නත් එපා. මොකක් වුනත් ඉතිං රිස්ක් එකක් ගන්න ඕන නෑනේ. ආර්ථික පැත්තෙන් හයියක් තියෙනවා නම් ඔයාගේ තීරණේ හරි. නැත්තං තමයි ප්‍රශ්ණේ... මේ මගේ තනි අදහස විතරයි. :)

    ReplyDelete
  15. මේකට මට නම් හරි උත්තරයක් නෑ
    හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් ඒක ඒ ඒ පුද්ගලයා අනුව හා ඒ අය හිතන පතන විදිහ අනුව නේද?
    හොද සටහනක්

    ReplyDelete
  16. මෙහෙමයි හරි .රස්සාවෙන් ලැබෙන්නෙ කීය වුණත් ඒකෙන කියවෙන් ගොඩක් දේ තියෙනවා. සමාජ පිලිගැනීම , සතුට , දැනුම, ඵලදායක යමක නිරතවීම වගේ දේවල් .දැන් සමහරවිට නොදැනුනත් ලමයි ලොකුවෙලා ඒගොල්ලන්ගේ ලෝකවලට යන්නේ හරි ඉක්මනට , ටී නේජර්ස්ල වෙනකොට එයාලට ගොඩක් අම්මල තාත්තල පස්සෙන් එන්න ඕනෙ නැහැ.

    ඒ වගේම රැකියාවක් කිරීම දරුවන් හදාවඩාගන්න බාදාවක් නෙවෙයි . මගේ අම්මයි තාත්තයි දෙන්නම ආණ්ඩුවෙ රස්සා කරපු උදවිය .අම්මගේ සේවාකාලය අවුරුදු 37 ක් .ඒකාලෙ ගුරුවරියන්ට සහ හෙදියන්ට ප්‍රසූත නිවාඩු මාස එකහමාරයි .ඒත් අපි දෙන්නෙක් හැදුනා ලොකුවුනා ඉහලින්ම ඉගෙන ගත්තා .අම්මයි තාත්තයි එක්කම අපිත් රස්සා කරනවා .

    මම හිතන්නෙ රැකියාවල ඉන්න දෙමපුපියන්ගේ දරුවෝ ගොඩක් පරිණතයි .අනුන් මත යැපෙන්නේ නැතිව තීරණ ගන්නවා. කරදර , බාදක හඳුනාගන්නෙ ඉක්මනින් .මොකද එයාලට ගොඩක් උදවු දෙන්න දෙමවුපියො නැති නිසා .

    කොහොම වුණත් තාමත් ඔයාට රැකියාවක් කරන්න පරක්කු නැහැ. රැකියාවක් කියන්නේ උදේට ගිහින් හවසට එන එකක්ම නෙවේ .තමන් කැමති සතුටු වෙන දේයක් පොඩීවුන් කීපදෙනෙක්ට ඔයාගෙ දැනුමින් මොනවහරි ඉගැන්වුවත් ( මුදල් බලාපොරොත්තු නොවී උනත්) ඒක ඵලදායක දෙයක් .තව ටිකක් කල් අරන් ආයෙත් හිතල බලන්න .

    ReplyDelete