Saturday 26 November 2011

මතක සටහන්


දෙවන කාලඡ්ඡේදය සඳහා ශාලාවේ කොනක තිබූ අටේ පන්තියට යමින් සිටියෙමි. "තිලංගනී" ඇතුළු උසස් පෙළ පන්තියේ කෙළි රෑනම කොරිඩෝවේය. තිලංගනී විශේෂ වූයේ මුළු පාසලෙන්ම මාදුටු හුරුබුහුටි ,සිරියාවන්ත කෙළි පොඩ්ඩ ඈ නිසාය. තවත් වරක් ඈදෙස හැරී බලන්නට ඕනෑම කෙනෙක් පෙළඹෙනවාට සැක නැත. ඇස්වහක්  කටවහක් නැත, පෙනුම වාගේම ඉගෙනුමටද දක්ශබව සහසුද්දෙන්ම දැන සිටියෙමි.
මා එනු දුටු කෙළි රෑන, කිචි බිචිය එක්වරම නවත්වා ගත් හ.

සැඟවීමට දෙයක් නැත. මම සියල්ල දිටිමි. පාසල් ගේට්ටුවෙන් එහා බස් පෝළිමක් නවතා තිබුණි. බසය තුලත්, ඒ අසළත් හද්දා තරුණ ගැටව් පිරිසක් සිටියහ. කෙල්ලන් පිරිස කුලප්පු කර තිබුණේ නිවාඩුවට ගම රට බලා යමින් සිටි නාවික හමුදා සෙබළුන් පිරිසකි. පෙනුමෙන් ඔවුන්ද , තිලංගනීලාට වඩා අවුරුද්දකට, දෙකකට වඩා වැඩිමහළු නොවන්නට ඇත.

 මට සිනහ ගියේ නිතැතිනි.  ඒ මා සමඟ කථාවේ යෙදෙමින් එමින් සිටි මුල්ගුරුතුමිය සිහිවූ බැවිණි. කිසියම් හදිසි කටයුත්තක් සිහිවූ බැවින් ඈ ආපසු හැරී ගියාය.
"ඒයි ටීච දැක්කද බං"
කට හඬ සුලෝචනාගේ ය. 
" ටිකක් දැක්ක  " 
ආපහු හැරෙමින්  මම කීයෙමි. ඉඟි බිඟි පාමින් සිටි කොල්ලෝද බසයට වහන් වෙනවා දුටුවෙමි.

මිනිත්තු හතලිහේ කාලච්චේදය අවසන්වී ,මා ආපසු ගමන් කළේද එතැණිනි. කෙල්ලන් ටික සිටියේ නැත. එහෙත් ගේට්ටුවෙන් එහා පාරේ බස් රථ පෙළද, මුලින් සිටි පිරිසමද රැඳි සිටිනවා දුටුවෙමි.

කලින් වතාවේ හිනා මල් පිපී තිබුණු ඒ මුහුණු වල දැන් අත්තේ නොරිස්සුම් ගතියකි.  එකත් එකටම ඔවුන්ගේ ගමන ප්‍රමාද  නිසා වන්නට ඇත.  මට අපේ ගුරු පුහුණුවේ නේවාසික සමය සිහිවිය. දෙතුන් සතියකට වරක් නිවසට යාමට ලැබෙණ නිවාඩුවෙන් පැයක්, දෙකක් වත් අපතේ යනවාට අප බොහෝ සෙයින් අකමැතිය. සමහරවිට මොවුන් මේ යන්නේතුන්,හාර මසක් ඇවෑමෙන් වන්නට පුලුවන. කොළඹට පැය හයක ගමනක් ඇත. ඈත ගමේ කොල්ලන් මිසක් ,කොළඹ හතේ පිරිස මෙතන නැත.
අනුන් ගැන තබා මාගැනවත් හිතන්නට විවේකයක් මට නැත. ඊළඟට දහයේ පන්තියට ගියෙමි. 


බෝඩිමේ රස මසවුළු බුදීමෙන් අනතුරුව කාමරයට පිවිසුණා පමණකි, දුරකථනය කෑ ගසයි. හේමාලි ටීචගෙනි. ඈ වසන්නේ බෝඩිම පිහිටි නිවාස සංකීර්ණයේම කොටසක‍ය. හදිසියක් නිසා නොවන්නට ඈ ඇමතුමක් ගන්නේ නැත.
" අනේ බලන්නකො. අර අද උදේ නිවාඩු ගිය බස් වලට හතරැස් කොටුව හරියෙදි බෝම්බ ගහල, සිය ගණනක් එතැනමළු"


*********************************************************************************


මීට හතර පස් අවුරුද්දකට පමණ වූ සිද්ධියක් වූවද යුද්ධය ගැන කිසිවෙක් සිහි කරන හැම මොහොතකම සිතුවමක් සේම මගේ හිතේ ඇඳෙන සටහන් කිහිපයක් වෙයි. එකක්  එදා උදෑසන මාදුටු තරුණ පිරිසය. ඔවුන් අතරින් අද ජීවතුන් අතර අත්තේ කවරෙක් දයි නොදනිමි. සමහර විට කිසිවෙක්ම නැතුවා වන්නට පුලුවන. 
සයිබර් යායේ ලියවුණු නාඳුණන සෙබලා කියවීමෙන් මට  මෙය ලිවීමට සිත් විය.

එකළ මා සතියට දෙතුන් දවසක් හවස් වරුවේ 11ශ්‍රේණියේ අමතර පන්තියක්  කෙරුවෙමි. රසිකා සතියේ සෑමදාම හතර ශ්‍රේණියේ සිසුනට පන්ති කරයි. මමද රසිකාද උදේටත් හවසටත් එකටම ගමන් කරේ අප දෙදෙනාම ආගියේ එකම පාසල් වෑන් රථයක නිසාය. 
ප්‍රධාන  ගේට්ටුව අසළදී අපට හමුදා සෙබළුන් මුණ ගැසෙයි. බොහෝ විට එකම පිරිසකි. ඔවුන් අතරින් එකෙන් අපට දිනපතා " ගුඩ් මෝනින්ග් ටීච " කියයි. හවස් වරුවේ පන්ති කල විටෙක නම් " ආ ටීචර්ලා ඕටී  කරලා වගෙයි  " කියයි. ඔහු රසිකාගේ මල්ලීගේ හිතවතෙකි. ඒ නිසා රසිකාද හැම විටම  ප්‍රති උත්තර දෙයි.   "ඔයලා වගේ නෙමේ. අපි ඕ. ටී කරන්නෙ පඩි නැතුව හොඳේ "

වරක් අගෝස්තු නිවාඩුවෙන් අනතුරුව පාසල් ඇරඹූ දිනයයි.
ගේට්ටුවේ සිටියේ අලුත් මුහුණු කිහිපයකි. 
" ආ හරී,, මතකයි නේද අර අපි දැක්කම ගුඩ් මෝනින්ග් කියාගෙන එන කොල්ලා" 
" ඔව් ,,පේන්න නැහැ නේද? කොහාට හරි ට්‍රාන්සර් කරල ඇති නේ "
" මඩකළපුවට ට්‍රාන්සර් කරල. ගිහින් සතියක්වත් නැහැලු. ඒ ළමය එක්ක හත් ,අට දෙනෙක් හිටපු බෝට්ටුවකට කොටි ගහල,"
 මට මේ ලියන මොහොතේත්  ඔහු සිනහ වීගෙන ගුඩ් මෝනින්ග් කියනායුරු මැවී පෙනෙයි.


මොවූන් සියල්ලම නාඳුනන සෙබළුන්ය. ඒ  වුවත් හදවතේ කිසියම් තැනක ඔවුන් වෙනුවෙන් ඉපදුණු වේදනාවක් මට ඇත.
මට එසේනම් ඔවුන්ගේ දෙමාපියනට, අඹු දරුවන්ට, සොයුරියන්ට, පෙම්වතියන්ට කියන්නට කතන්දර කොතෙකුත් ඇද්ද?

රට වෙනුවෙන් ජීවිතය පුදකළ දහසක්, සහසක් සෙබළුන්ට පිං පෙත් පැමිණවීමට මෙසේ සටහන් තබමි. ඒ සිල්ලෝම අමාමහ නිවනට පත්වේවා!!!!!