Saturday, 26 November 2011

මතක සටහන්


දෙවන කාලඡ්ඡේදය සඳහා ශාලාවේ කොනක තිබූ අටේ පන්තියට යමින් සිටියෙමි. "තිලංගනී" ඇතුළු උසස් පෙළ පන්තියේ කෙළි රෑනම කොරිඩෝවේය. තිලංගනී විශේෂ වූයේ මුළු පාසලෙන්ම මාදුටු හුරුබුහුටි ,සිරියාවන්ත කෙළි පොඩ්ඩ ඈ නිසාය. තවත් වරක් ඈදෙස හැරී බලන්නට ඕනෑම කෙනෙක් පෙළඹෙනවාට සැක නැත. ඇස්වහක්  කටවහක් නැත, පෙනුම වාගේම ඉගෙනුමටද දක්ශබව සහසුද්දෙන්ම දැන සිටියෙමි.
මා එනු දුටු කෙළි රෑන, කිචි බිචිය එක්වරම නවත්වා ගත් හ.

සැඟවීමට දෙයක් නැත. මම සියල්ල දිටිමි. පාසල් ගේට්ටුවෙන් එහා බස් පෝළිමක් නවතා තිබුණි. බසය තුලත්, ඒ අසළත් හද්දා තරුණ ගැටව් පිරිසක් සිටියහ. කෙල්ලන් පිරිස කුලප්පු කර තිබුණේ නිවාඩුවට ගම රට බලා යමින් සිටි නාවික හමුදා සෙබළුන් පිරිසකි. පෙනුමෙන් ඔවුන්ද , තිලංගනීලාට වඩා අවුරුද්දකට, දෙකකට වඩා වැඩිමහළු නොවන්නට ඇත.

 මට සිනහ ගියේ නිතැතිනි.  ඒ මා සමඟ කථාවේ යෙදෙමින් එමින් සිටි මුල්ගුරුතුමිය සිහිවූ බැවිණි. කිසියම් හදිසි කටයුත්තක් සිහිවූ බැවින් ඈ ආපසු හැරී ගියාය.
"ඒයි ටීච දැක්කද බං"
කට හඬ සුලෝචනාගේ ය. 
" ටිකක් දැක්ක  " 
ආපහු හැරෙමින්  මම කීයෙමි. ඉඟි බිඟි පාමින් සිටි කොල්ලෝද බසයට වහන් වෙනවා දුටුවෙමි.

මිනිත්තු හතලිහේ කාලච්චේදය අවසන්වී ,මා ආපසු ගමන් කළේද එතැණිනි. කෙල්ලන් ටික සිටියේ නැත. එහෙත් ගේට්ටුවෙන් එහා පාරේ බස් රථ පෙළද, මුලින් සිටි පිරිසමද රැඳි සිටිනවා දුටුවෙමි.

කලින් වතාවේ හිනා මල් පිපී තිබුණු ඒ මුහුණු වල දැන් අත්තේ නොරිස්සුම් ගතියකි.  එකත් එකටම ඔවුන්ගේ ගමන ප්‍රමාද  නිසා වන්නට ඇත.  මට අපේ ගුරු පුහුණුවේ නේවාසික සමය සිහිවිය. දෙතුන් සතියකට වරක් නිවසට යාමට ලැබෙණ නිවාඩුවෙන් පැයක්, දෙකක් වත් අපතේ යනවාට අප බොහෝ සෙයින් අකමැතිය. සමහරවිට මොවුන් මේ යන්නේතුන්,හාර මසක් ඇවෑමෙන් වන්නට පුලුවන. කොළඹට පැය හයක ගමනක් ඇත. ඈත ගමේ කොල්ලන් මිසක් ,කොළඹ හතේ පිරිස මෙතන නැත.
අනුන් ගැන තබා මාගැනවත් හිතන්නට විවේකයක් මට නැත. ඊළඟට දහයේ පන්තියට ගියෙමි. 


බෝඩිමේ රස මසවුළු බුදීමෙන් අනතුරුව කාමරයට පිවිසුණා පමණකි, දුරකථනය කෑ ගසයි. හේමාලි ටීචගෙනි. ඈ වසන්නේ බෝඩිම පිහිටි නිවාස සංකීර්ණයේම කොටසක‍ය. හදිසියක් නිසා නොවන්නට ඈ ඇමතුමක් ගන්නේ නැත.
" අනේ බලන්නකො. අර අද උදේ නිවාඩු ගිය බස් වලට හතරැස් කොටුව හරියෙදි බෝම්බ ගහල, සිය ගණනක් එතැනමළු"


*********************************************************************************


මීට හතර පස් අවුරුද්දකට පමණ වූ සිද්ධියක් වූවද යුද්ධය ගැන කිසිවෙක් සිහි කරන හැම මොහොතකම සිතුවමක් සේම මගේ හිතේ ඇඳෙන සටහන් කිහිපයක් වෙයි. එකක්  එදා උදෑසන මාදුටු තරුණ පිරිසය. ඔවුන් අතරින් අද ජීවතුන් අතර අත්තේ කවරෙක් දයි නොදනිමි. සමහර විට කිසිවෙක්ම නැතුවා වන්නට පුලුවන. 
සයිබර් යායේ ලියවුණු නාඳුණන සෙබලා කියවීමෙන් මට  මෙය ලිවීමට සිත් විය.

එකළ මා සතියට දෙතුන් දවසක් හවස් වරුවේ 11ශ්‍රේණියේ අමතර පන්තියක්  කෙරුවෙමි. රසිකා සතියේ සෑමදාම හතර ශ්‍රේණියේ සිසුනට පන්ති කරයි. මමද රසිකාද උදේටත් හවසටත් එකටම ගමන් කරේ අප දෙදෙනාම ආගියේ එකම පාසල් වෑන් රථයක නිසාය. 
ප්‍රධාන  ගේට්ටුව අසළදී අපට හමුදා සෙබළුන් මුණ ගැසෙයි. බොහෝ විට එකම පිරිසකි. ඔවුන් අතරින් එකෙන් අපට දිනපතා " ගුඩ් මෝනින්ග් ටීච " කියයි. හවස් වරුවේ පන්ති කල විටෙක නම් " ආ ටීචර්ලා ඕටී  කරලා වගෙයි  " කියයි. ඔහු රසිකාගේ මල්ලීගේ හිතවතෙකි. ඒ නිසා රසිකාද හැම විටම  ප්‍රති උත්තර දෙයි.   "ඔයලා වගේ නෙමේ. අපි ඕ. ටී කරන්නෙ පඩි නැතුව හොඳේ "

වරක් අගෝස්තු නිවාඩුවෙන් අනතුරුව පාසල් ඇරඹූ දිනයයි.
ගේට්ටුවේ සිටියේ අලුත් මුහුණු කිහිපයකි. 
" ආ හරී,, මතකයි නේද අර අපි දැක්කම ගුඩ් මෝනින්ග් කියාගෙන එන කොල්ලා" 
" ඔව් ,,පේන්න නැහැ නේද? කොහාට හරි ට්‍රාන්සර් කරල ඇති නේ "
" මඩකළපුවට ට්‍රාන්සර් කරල. ගිහින් සතියක්වත් නැහැලු. ඒ ළමය එක්ක හත් ,අට දෙනෙක් හිටපු බෝට්ටුවකට කොටි ගහල,"
 මට මේ ලියන මොහොතේත්  ඔහු සිනහ වීගෙන ගුඩ් මෝනින්ග් කියනායුරු මැවී පෙනෙයි.


මොවූන් සියල්ලම නාඳුනන සෙබළුන්ය. ඒ  වුවත් හදවතේ කිසියම් තැනක ඔවුන් වෙනුවෙන් ඉපදුණු වේදනාවක් මට ඇත.
මට එසේනම් ඔවුන්ගේ දෙමාපියනට, අඹු දරුවන්ට, සොයුරියන්ට, පෙම්වතියන්ට කියන්නට කතන්දර කොතෙකුත් ඇද්ද?

රට වෙනුවෙන් ජීවිතය පුදකළ දහසක්, සහසක් සෙබළුන්ට පිං පෙත් පැමිණවීමට මෙසේ සටහන් තබමි. ඒ සිල්ලෝම අමාමහ නිවනට පත්වේවා!!!!!




26 comments:

  1. මේක තමයි රටේ මිනිස්සුන්ට මතක නැත්තේ... අබාධිත සෙබලෙක් බස් එකට නැග්ගම සීට් එකක් දෙන්න මතක් කරන්න ඕන දැන්.. මීට අවුරුදු 20කට විතර කලින් අපේ අප්පච්චිට ලැබුනු සුභ පැතුම් කාඩ් පතක තිබ්බ කවියක් මට මතක් උනා....

    දුක් කරදර වල අපි පැටලෙද්දී
    සිහිවෙයි දෙවියන්
    සතුරු බියෙන් මුලු රට කැලබෙද්දී
    සිහිවෙයි සෙබලුන්
    මේ උවදුරු අපහට නැතිවෙද්දී
    අමතක වෙයි
    සෙබලා සහ දෙවියා...

    තවත් මොන කතාද නේද ....?

    ReplyDelete
  2. මේක කියෙව්වේ නම් අඬ අඬ හරී...මන් ඔය දුක හොඳින් දන්නවා . අපේ අක්කගේ මහත්තයා [අක්කටත් වඩා අපිට ආදරය කරන අපේම අය්යා කෙනෙක් එයා ]නේවි එකේ . දැන් තමයි ඒ ගෙදර සතුටින් බතක් ඉදෙන්නේ .. නේවි එකේ බස් වලට ගහපු වෙලාවේ අපිට දැනුන භීතිය කියන්න ඕන නැහැ . නිවාඩු ඇවිත් ආපසු යද්දී දැනුන දුක . මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ . ඉඳහිට හරි මෙහෙම ලියවෙන්න ඕන . ඔයාට පින් . අපොයි අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙන එක ගැන නම් කියල වැඩක් නැහැ .

    මන් හැමදාම හිතන දෙයක් තමයි ජානමය වශයෙන් අපේ රට ගොඩක් පස්සට ගියා . හොඳ නිර්භීත නිරෝගී තරුණයින් රටට නැති වීම සුළුපටු හානියක් නෙමේ . ඉතුරු වුන සේරම අපි වගේ බයගුලුයි කියන්නේ නැහැ මම . ඒත් සැහෙන ප්‍රතිශතයක් හොඳ ජාන රටට අහිමි වුනා . රටේ අවාසනාව . මට නම් මියයන දා තෙක්ම මියගිය සොයුරු සොයුරියන් අමතක වෙන්නේ නැහැ . අමතක කලොත් අපිට ශාප වෙනවා .

    ReplyDelete
  3. ඒ කාලේ මතක් වෙනකොට දුකයි. තරුණ ජීවිත කීයක් නම් මේ යුද්දේ නිසා නැති උනාද.
    ඔය හතරැස්කොටුව කියලා කියන්නේ ත්‍රිකුනාමල පාරේ තියෙන චෙක් පොයින්ට් එක නේද ?

    ReplyDelete
  4. ආයෙ යුද්ධය නොඑන්න කටයුතු කළොත් නේද හොඳ?
    යුද්දෙට හේතුවලට විසඳුම් තාම නෑනේ?
    සෙම අරවන්නේ නැතුව හොටු ගල් කරන්න බේත් දීලා නේද?

    ReplyDelete
  5. @ කතන්දර ..
    මොනවගේ විසඳුමක්ද දෙන්න ඕනේ කියල හිතෙන්නේ . කවුරුවත් ඕක හරියට කියන්නේ නැහැනේ .

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම් ! ඒ කාලේ තාමත් අපේ ඇස් වලට ගේන්නෙ කඳුළු...අපේ ගෙදරත් සෙබලෙක් උන්නනෙ... මාලි පුංචි විඳවපු හැටි මට තාම මතකයි...ආයේනම් යුද්දේ එපා කියලා ප්‍රාර්ථනා කරන්නෙ

    ReplyDelete
  7. අනේ මන්දා..කොමෙන්ට් දෙකක්ම කෙටුවා ,,දෙකම කොහෙද යන්නෙ ? මල්ලෙ ලැප්ටොප් ,ජාතියෙ කොමෙන්ට්..ඒ නිසා ඩිලීට් කලා. ගොන්පාට් මොනවටද නේද ?

    හරී මේ පොස්ට් එක ලිව්වෙ යුද්ධයෙ අපිට දැනුන පැත්ත ගැන කතා කරන්නෙ. අපේ පවුලෙත් දෙන්නෙක්ම ක්‍රියාන්විත රාජකාරි වල හිටිය නිසා මටත් යුද්ධය හොඳින් දැනුන දෙයක් වුනා. දිගම්පතන සිද්ධ්ය ඒ වගේ ඇඟේ ලේ වතුර වුන එක අවස්තාවක්.ඒ කාලෙ වැඩට යන්න කෝච්චියට නැග්ගම බලන්නෙ වටේ පිටේ කවුද ඉන්නෙ, නිතර නොදකින මූනූ තියනවද ? රැක් වල තියන බෑග් වල අයිතිකාරයො කවුද කියලා. තරමක හරි ආරක්ෂාවක් තිබුන කොළඹ ඉඳලත් අපිට තිබුනෙ එහෙම මානසිකත්වයක්.
    ඉතින් ආයුධ සන්නද්ධ පිරිසකගෙ අනිවාර්ය ඉළක්කයක් වෙලා උතුරු නැගෙනහිර කඳවුරක හරි මුරපොලක හරි සේවය කරන තරුණ සෙබලෙක්ගෙ හිත මොනතරම් ශක්තිමත් එකක් වෙන්න ඇතිද ? ඔවුන්ට ඒ දේ කරන්න වුනේ ඇයි කියන එක හෝ ඔවුන් එහෙම කලේ ඇයි කියන එක හෝ මෙතනට වැදගත් නැහැ කියලයි මට හිතෙන්නෙ..එකම දේ ඔවුන් ඔවුන්ගේ ජීවිත අවධානම ලක් කිරීම නිසා අපිට ජීවත් වෙන්න වරම් ලැබුනා...හරී ඒ ගැන මතක සටහනක් එක් කිරිම ගොඩක් අගය කරනවා..

    ප.ලි

    හරී, අරක කරන විදිය දන්නවනම් ඔයා වෙලාව තියන විදියට කරලා දාන්න හොඳේ....(@*****^&%@:@*&*$%%&&^&*&*$%$%^%$^)

    ReplyDelete
  8. රණවිරුවන්ව කරේ තියාගෙන ගිය අය අද වෙද්දී රණවිරුවන්ව කරෙන් බිමට තියලා ගණන් ගන්නේවත් නැති ගානට පත්කරගෙන ඉවරයි :(

    ReplyDelete
  9. යුද්ධය මට නම් අමිහිරිම වචනයක්.
    කෙනෙක් දැන් කියයි පිට රට වල ඉන්න හින්දා එයාලා එහෙම කියයි කියලා.
    ඒත් එහෙම නෙමෙයි. පසුගිය කාලේ පුරාවටම මට දැනුනේ ඒක මට පෞද්ගලිකව සිදුවෙන දෙයක් වගේ. මට මතකයි එක දවසක් අපි ට්‍රිප් එකක් යන්න කොච්චියේ කොලඹින් නැග්ගා. මමයි මගේ මෙහේ යාළුවෝයි. අපි සින්දු කිය කියා ට්‍රේන් එක අපේ කර ගත්තා. මුළු ට්‍රේන් එකම අපි එක්ක හිතවත් වුනා.

    නානුඔයෙන් බැහැලා පාන්දර හතරට විතර අපිට නුවර එලියට යන්න ටැක්සි එකක් හොයා ගන්න බැරි වුනා. කෝච්චියේ ආව ටැමිල් ඩොක්ටර් කෙනෙක් එක්ක හිටපු එයාගේ ෆැමිලි එක අපිට ඉන්වයිට් කලා ඕනෙ නම් එයාලාගේ වෑන් එකේ යමු කියලා. අපිත් හත් දෙනෙක්. අපි නුවර එලියට එද්දිම එයාලා කිව්වේ උදේ පාන්දරම හොටෙල් එකට යන්න එපා අපිට එයාලගේ ගෙදර බ්‍රෙක්ෆස්ට් දෙන්නම් එහේ එන්න කියලා. කොහොමත් මම මගේ රට වුනාට මගේ යාළුවෝ මට වඩා ඒ අය එක්ක හිතවත් වුනා.
    එහේ ගියාම එලකිරි එක්ක අපිට තේයි උදේ කෑම ගොඩාක් හදලා බොහෝම ඉක්මනින් අපිට කෑම දුන්නා. ඒ අය යාපනයේ මිනිස්සු. ඒ අම්මයි තාත්තයිගේ හිතවත්කමටයි තරුණ ඩොක්ටර් ගේ බොහෝම හිතමිතුරුකමයි එක්ක අපේ නුවර එලිය දවස් කිහිපයම අපි හොටෙල් එකටත් වඩා හිටියේ එයාලගේ හොස්පිටල් එකේ. හරියට අපේ කාලයක් තිස්සෙ දන්න යාළුවෝ වගේ.
    මම ඊලඟ අවුරුද්දේ ලංකාවට ගියාම එයාලා නුවර එලියෙන් මාරු වෙලා. බොහොම අමාරුවෙන් යාපනේට කෝල් එකක් අරන් එයාලගේ ගෙදරට කතා කලාම ඒ එක්කෙනෙක්වත් ජීවතුන් අතර හිටියේ නෑ. අම්මලා දරුවෝ ඔක්කොම අමු අමුවේ මරලා. අන්තිමට වැල්ලවත්තේ එයාලගේ නෑයො කෙනෙක් හොයාගෙන ගිහින් විස්තරේ අහගත්තේ. එදා තමයි මට වැඩියම යුද්ධය දැනුනේ. යුද්දයකින් මැරෙන්නේ මිනිස්සු. ඒ මිනිස්සුත් අපි වගේම අය. ජාති බේද වගේ කිසිම වටිනාකමක් නැති දේවලට මිනිස්සු මරාගන්න එක තරම් තරහක් මට වෙන නෑ. ඔය කොහෙ කොහේ බෝම්බ වලටත් මැරුනෙ අපි වගේම මිනිස්සු.
    මට නම් ඕනේ ඉදිරියට ඒ වගේ දේවල් නොවෙනවා දකින්න විතරයි. ඒක ලංකාවේද වෙන රටකද කියලා නෑ. කොහෙත් ඉන්නේ මිනිස්සු.

    ReplyDelete
  10. අද තත්වය පෙරලා අපේ රටට ගේන්න ඔවුන් දිවි කැප කරහ. අපි හැමෝම ඔවුනට ණයගැතියි. ඒත් මතකය කෙටි අපේ රටේ ඔවුන්ගේ සේවය මොනතරම් ගරු කරනවාද, මතකයේ රැඳි තියේද/තියේවිද ප්‍රශ්ණයකි.

    අභීත සඳහන් කළ පදපෙල එය මනාවට පැහැදිලි කරනවා.

    ReplyDelete
  11. අභීතගේ කවිවලින් කියන්ට තියන හැමදේම කියැවෙනවා. කතන්දර කීවාවගේ ඒ තත්වයක් ආයම නේන තැනට කටයුතු කලා නම් තමා හොඳ.

    ReplyDelete
  12. හැමෝටම,
    කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. යුද්ධය කියන වචනෙ ඇහිච්ච ගමන් අපි කාට උනත් සිහිවෙන්නෙ අපේ අත්දැකීම්. සමහර විට මෙතන කමෙන්ට්කරපු ඔයාලා හැමෝටම වඩා ඒ අත්දැකීම් විඳලා තියෙන්න මම වෙන්න ඇති. ඒ නිසා තමයි මට දැනෙන්නෙ යුද්ධයක් කියන්නෙ මොන තරම් කරුමයක්ද කියලා. හමුදා සෙබළා කියන චරිතය මටත් පොඩිකාලෙ දැනුණෙ අඩුවෙන් ඉගෙනගත් නිසා , කරන්න රැකියාවක් නැතිකමට කරන ( කෙරෙන ) දෙයක් කියලා. වියපත් වීම එක්ක තමයි හැමදේම තේරුම් ගියෙ. අට පාස් අය විතරක් නෙමෙයි, උපාධි ධාරියොත් සටන් බිමේ කියලා තේරෙන්න ගත්තෙ පස්සෙ. :D

    අවුරුදු විසි තිස්ගානක යුද්ධයක් තිබිච්චි රටක,පරම්පරාවෙ ගෑවිච්චි එකෙක්වත් යුද්ධෙට නොගියා කියලා හිතන්න අමාරුයි. ගමේ ඉඳන් කොළඹ ගිහින් එන්න බය අපේ මිනිස්සුන්ටවත් දැනෙන්නෙ නැතුව ඇති උතුරු නැගෙනහිර මිනිස්සු වින්ද දුක. මට නම් හිතෙන්නෙ හොටු ගල් කරල හරි ලෙඩේ නතර කෙරෙච්චි එක හොඳයි කියල. සෙම අරව අරව හිටිය නම් , තාම සෙම අරිනව. හැබැයි ඉතින් ආයෙ සෙම බුරුල් නොවෙන්නත් වගබලා ගන්න වෙනව, සීතල කෑම එහෙම අගුණයි මයෙ හිතේ.

    මම මේ සටහන ලිව්වෙ යුද්ධෙ කිව්වම මට මතක්වෙන අමිහිරි අත්දකීම් වලින් කිහිපයක් නිසා. අභීත,මධුරංග,බින්දි,චානක,කතන්දර ,දිල්, ලකී, ගල්මල්,රංගි, හසිත සහ පොඩ්ඩි
    හැමෝටම ස්තූතියි!!!

    @ චානක,
    හ්ම් හ්ම්
    @ ලකී,
    මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි. මම බලන්නම්කො පුළුවන් දෙයක් කරන්න.

    ReplyDelete
  13. මගෙත් පංතියේ යාලුවෙක් බදින්න හිටියේ හමුදා සෙබලෙක්. එයා බෝම්බෙකට අහුවෙලා නැතිවුනා. එයාගේ තුන්මාසේ දානෙට මගේ යාලුවා නුවරඑළි ගිහින් එනකොට එයාගේ අක්කගේ මහත්තයා වෙඩි වැදිලා මැරිලා. මේ සිද්ධිය ඒ දවස්වල හිතට තදින්ම දැනුනා.

    ReplyDelete
  14. යුද්ධය අමිහිරියි....
    යුද්ධය ඇති වෙන්න හේතුව කුමක් වුවත් ඒක මුළු ලෝකයටම පොදු සත්‍යයක්

    ReplyDelete
  15. ආයෙත් එහෙම උනොත්...
    ගොඩ දවසකින් මමත් මේ පැත්තේ ආවේ. ගොඩක් හොඳ සටහනක්. අතීතය අමතක වන අය ඉන්නා රටක දුරු රටක සිට වුවද මෙවා මතක් කරන ඔබ වැනි අය ඇත්තටම සතුටුයි.

    ReplyDelete
  16. මේවා මතක් කරන හරිම වැදගත්, අනිත් දේවල් වගේම යුද්දෙත් අපිට අමතක වෙලාද? කාලකන්නි යුද්දෙ නිසා තවම දුක් විඳින කී දෙනෙක් ඉන්නවද?


    [අපි ඈත රටක උන්නත්, අවුරුද්දකට වතාවක් ලංකාවට ආවම නොවරදවා යන තැනක් තමා, රාගම රණවිරු සෙවන]

    ReplyDelete
  17. කාලකන්නි යුද්ධෙ නිසා කීදෙනෙක් ගෙ ජීවිත විනාස උනාද? කී දාහක් බිරින්දෑවරු අනාත උනාද? පුංචි පැටවුන්ට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නැති උනාද? ඒ හැමටම පිදෙන සංවේදී සටහනක් නංගී. ඒ හැමටම මෙය උපහාරයක්ම වේවා!

    ReplyDelete
  18. නාඳුනන සෙබලු කළ මෙහෙය ගැන කියලා නිම කරන්න පුලුවන්ද?

    මම ලිව්වෙ ඇත්ත අත්දැකීමක්. ඊට වැඩිය ඒ ගැන කියන්න අමාරුයි. මම හිතන්නෙ මේ ලිපියටත් මගේ ලිපිය කියවපු අයට මම දුන්නු උත්තරේම ගැලපෙනවා කියලා.

    ඇත්තම කිව්වොත්, චිත්‍රපටි වල පෙන්නන හමුදා වීරයන්ට වැඩිය, වීරක්‍රියා කරන සෙබලු සෑබෑ යුධ පිටිවල ඉන්නවා. ඒත් ඒවා දකින්න අපිට කවදාවත් ලැ‍බෙන්නෙ නෑ. මොකද ඒවා බලන්න අපිට කවදාවත් යුධ පිටිවලට‍ යන්න බෑ. ටීවී වල බලන්න ඒවා පටිගත කරන්න කව්රුවකුත් නෑ.

    ReplyDelete
  19. අසූ තුනේ ඉඳන් අනූ තුන වෙනකල් අවුරුදු විස්සක්!

    රත්මලානෙ airport එකට එන ඔක්කොම ප්ලේන් ආවේ අපේ ගෙවල් උඩින්. දුඹුරුයි කොලයි කැමර්ප්ලාච් ඇඳුමෙ පාට ගාපු වයි එයිට් ප්ලේන් එක හරි, සුදු වයි ට්වෙල්ව් එක හරි එනකොට හැමදාම බලං ඉන්නව තාත්ත මේකෙ එනව ඇති කියන සන්තෝසෙන්. ඒ තාත්තට මාස තුනට හම්බුවෙන සොෆ්ටීස් ටොෆීසුයි ෆෝල්කන් චීසුයි සිගරට් බන්ඩල් දෙක විකුනල ගන්න සෙල්ලම් බඩුයි නිසා. ඒත් ඒ ආපු හැම ප්ලේන් එකක්ම ගියෙ අම්මගෙ පපුව පුච්චං කියල තේරුනෙ ඊට ගොඩක් පස්සෙ. මොකද මැරුණ බොඩීස් එන්නෙත් ඔය ප්ලේන් එකේම හින්ද. හමුදාවෙ වාහනයක් නිකන් හරි අපේ පාරෙවත් එනව දැක්කොත් අපිට හරි ජෝලි තාත්තද කියල හිතල. ඒත් අන්න ආමි එකේ ජීප් එකක් මේ පැත්තට හැරෙව්ව කියපු ගමන් අම්ම ගල් ගැහෙන්නෙ ඒ එන්නෙ තාත්ත ආයි එන්නෙ නෑ කියන පණිවිඩේද කියල හිතල බව අපිට තේරුනෙත් පස්සෙ. එහෙම වෙලත් අපේ අක්කත් ඔය හමුදාවටම ගියා, මාත් යන්න ගිහින් තාත්ත හොරාට වල කපල වැඩේ බකල් කරවල අම්මගෙ කීමට. හදිසියෙ හරි මටත් යන්න ලැබුනනං...තාත්ත අවුරුදු හතලිස් පහකින් සර්විස් එකෙන් විස්සක්ම යාපනේ ඉඳල බේරගත්ත ඔළුවටත් නිවනක් නැතිවෙන්න තිබ්බ කියලයි අම්මනං කියන්නෙ.

    ReplyDelete
  20. @ මල්මි, ලොකු පුතා, ප්‍රියන්ත,ඔබ්සවර්,චන්දි, බුද්ධි සහ ඉන්දික
    හැමෝටම ස්තූතියි
    අත්දැකීම බෙදා හදාගත්තට ස්තූතියි. යුද්ධෙට නොබැඳුනාට මම ඒ කාලෙ ජීවත් උනේ කොයි වෙලේ ඔලුවට උඩින් ගිය මෝටාර් එකක් කඩං වැටෙයිද කියල, තව කියන්න දේ බොහොමයි. හිතුනොත් පෝස්ට් එකක්ම ලියනවා. ඔයාලා හැමෝටම ආයෙම ස්තූතියි..

    ReplyDelete
  21. ලඟදි මොනවත් ලියන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  22. ස්තූතියි බොහොම , දේශගුණ විපරියාසෙ ටිකක් අගුණ වෙලා මට, ගම් බිම් බලා යන්නත් ඇඟිලි ගනිමින් ඉන්නෙ, ලියන්න හිතේ නිදහසක් නෑ. ඔබ්සවර් අංකල්ට බොහොම පිං අපිව මතක් වෙනවට,,

    ReplyDelete
  23. Thre is no comment box for the post "Binara malee"

    ReplyDelete
  24. අද තමා ගොඩක් බ්ලොග් රෝලේ බ්ලොග් කියවන්න ගත්තේ.. ඇත්තෙන්ම ලියන්නා ලියපු කතාවට සමගාමීව මේ කතා ටිකත් විශිෂ්ටයි. යුද්දේ මට ගොඩක් දේ අහිමි කරා. මමත් සටන් බිමට යන්න කීපවාරයක් වළි කෑවත් අපේ අම්ම ඇතුළු මගේ නෑදෑයෝ එකට ඉඩ දුන්නෙම නෑ. ඒ හන්දමද කොහෙද ප්‍රභාකරන් මස් වැද්ද මරාපු දවස තරම් මට සන්තෝස වෙන දවසකුත් නෑ මගේ ජීවිතේ. ඒ දවස අපේ ලංකාව එක්සේසත් කරා. යුඑන්පී කාරය ශ්‍රී ලංකා කාරය කියාගන හිටපු සමාජේ එක සිංහ කොඩියක් යටට අවා. ඒ දවස හැමදාම තිබුනානම්...

    ReplyDelete
  25. නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/

    ReplyDelete