Sunday, 29 May 2011

ඕපදූප

මම හිටියෙ ගුරු විවේකාගාරෙ. හරි වැරදි ලකුණු කරන්න, වැරදි  නිවැරදි කරන්න වැඩ කෝටියයි. එක එක්කෙනා මෙතනට යනව එනව. සමහර අයට වැඩක් ඇත්තෙම නෑ වගේ. මොකට.  අතිරික්ත ගුරුවරු තියාගෙන ඉන්නවද මන්ද.
 කතාවට ගියොත් මටමයි පාඩු. ඒත් ඉතින් ඇහෙන එක නවත්තන්න පුළුවන්යැ. සමහර ඒව ඒ කනෙන් ඇතුලට ගිහින්, මේ කනෙන් පිට වෙනව. සමහර ඒව කං  ගැට්ටෙ වැදිල අහකටම යනව.   නිලන්ත අයියත් මම වගේම ළමයින්ගෙ පොත් බල බල හිටියෙ.

එක පාරටම එතනට වැඩම කරා ඉස්කෝලෙ ගරුතර සංඝ රත්නය....නිලන්ත අයියා නම් කරකර  හිටි වැඩේ නතර කරනවා මම කන්ණාඩිය අස්සෙන් දැක්ක. මම ඔන්න ඔහේ එක කනක් විතරක් ඇර ගත්තා.

" කොහෙද හාමුදුරුවනේ ගියෙ?"
වැඩියද, වැළඳුවද එහෙම නම් ඒ ගොල්ලො කතා කරේ නෑ කවදාවත්. මම හිතාගෙන හිටියෙ ගරු කළ යුත්තන්ට ගරු කරන්න දන්නෙ නෑ කියල.

"දානෙකට".
ප්‍රදේශයේ පන්සල්වල, ස්වාමීන් වහන්සේලාගෙ හිඟකම හින්දම පාසලේ ප්‍රධානියා අවසර දීලා තිබුණා පාසල් කාල වේලාව අතරදි උනත් දානෙකට වඩින්න.  මොකද එහෙම එකක් එන්නෙ හරිම කළා තුරකින්.
"කොහෙද දානෙ"
"&*&*^%**  කුලම පැත්තෙ ගෙදරක, දානයක් කිව්වට පිරිතක්. දැං නම් නිදිත් මතයි වගේ"
 චරාස්....... ඔළුව උස්සලා නොබැලුවට ඒ සද්දෙ මට අනුමාන කරන්න පුළුවන්. හාමුදුරුවො පිරිකරට ලැබිච්චි පාර්සලේ බලන්නයි හදන්නෙ. මම යයි ඔය ඕපදූප හොයන්න. තාරක විතරමයි ඔක්කොම ලකුණු අරන් තියෙන්නෙ.
" චික් විතරක්. රෑ එළිවෙනකම් කෑගැහුවට අඳනකඩයක්ද තියෙන්නෙ. මහ ලොකුවට දාන නම් දෙනව"
බරාස්...... ඒ නම් ගුරු කාමරේ ස්වාමීන් වහන්සෙට තියලා තියෙන ගුරු පුටුව පස්සට අදින සද්දෙම තමයි.  චරස්  බරස් ....  චරස්  බරස්...... සෙරෙප්පු සද්දෙත් ඈතට ගියාට පස්සෙම මම නිලන්න අයියගෙ මූණ බැලුවා.
" කියලා වැඩක් නෑ නංගි.  @#$##@$   "

23 comments:

  1. මොනව කරන්නද, හාමුදුරුවොත් පෘතග්ජනයි නේ. බැණ, බැණ හරි ඒ වැඩවලට ගිහින් හුදී ජන සිත් පහන් කරන එකම මදෑ!

    ReplyDelete
  2. නැතුව ඉතින් සරමක් දෙන්නය.

    ReplyDelete
  3. පුලුවන් හැටියට අදනකඩයක්වත් දුන්න එක මදිදනේ.

    ReplyDelete
  4. පිරිතක් කියන්නෙ ලොකු වියදමක් යන බොහොම සංවිධානාත්මකව කරන්න ඕන වැඩක්. එහෙම තැනක හාමුදුරුවන්ට අඳනයක් විතරක් දෙන එක හරි මදි. අනික පිරිතකදි ඔහොමනං මතක බනක වගේ මොනා දෙනව ඇද්ද? පිරිතකදි හාමුදුරුවො කන කට්ට කොහොමද කියල ඕනෙනම් මාරය ගෙන් අහල බලන්න.

    ReplyDelete
  5. ලැබෙන දේ උපේක්ෂාසහගත සිතින් බාරගන්නය කියලා තමා අපිටනම් දහම් පාසලේදී කියලා දෙන්නේ...

    ReplyDelete
  6. මොනව කරන්නද..... හාමුදුරුවන්ටත් ඉතින් තෑග්ගකට කියලා ලැබෙන්නෙ ඔය පිරිකර ටික විතරයිනේ. ඕකටත් ගොඩක් වෙලාවට ලැබෙන්නෙ සබන් කැටයක්, පිටි පැකට් එකක්, බෙඩ් ශීට් එකක් වගේ දෙයනේ..... මොකද හාමුදුරවන්ට උපන්දිනේ කියලා වත් කවුරු හරි විශේෂ තෑගි දෙනවැයි..... රහත් වෙනකන් ඉතින් ඔහොම තමයි..... අපිට තෑග්ගක් හම්බ උනා වගේ ඇරලා බලනකන් සිහියක් නැතිව තමයි ඉන්නෙ..... බොරු නම් අර මාරයාගෙන් අහලා බලන්නකෝ.... මේ ලඟදි මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බේ මහණ වෙලා ඉන්න කාලෙදි ජර්මනියෙන් පන්නපු කොණ්ඩේ කපන මැෂිමක් ලැබිච්ච කතාවකුත්.....!

    ReplyDelete
  7. මිනිස්සුන්ට පුලුවන් හැටියට නේ දෙන්නේ. ඒකවත් පහන් සිතින් පිලිගන්න බැරි හැටි.

    ReplyDelete
  8. දැන් ඉන්න සමහරක් හාමුදුරුවෝ ගැන නම් මට කියන්න වචන නැහැ....

    ReplyDelete
  9. @ කතන්දර අයියා,Bindi, නදී, ඉන්දික අයියා,ළමයා, දුමී අයියා,මධුරංග සහ කොට ජීවිතේ නංගි,

    බොහොම ස්තූතියි අදහස් වලට. මේ අයියලා කියන පැත්ත වගේම ඕක ගැන පුහුදුන් අපිට තරහක් එන්නත් පුලුවන් නේද? හාමුදුරුවොත් රහත් වෙලා නෑ තමයි. ඒ උනාට ඒ මිනිස්සු පිරිකරට දුන්නෙ තමන්ට පුලුවන් හොඳම දේද කවුද දන්නෙ.
    පුරුද්දක් හැටියට මෙහෙ ඉඳන් යද්දි ගමේ පන්සලේ හමුදුරුවන්ගෙන් අහලා යවනව මොනවද ඕනෙ කියලා. වරක් ඉල්ලුවා රයිස් කුකර් එකර්, වරක් කොණ්ඩෙ කපන මැශිමක්. පහන් සිතින් පූජා කරා. ඉල්ලපු දේනෙ කියලා. ( අම්මෝ මේවා දකීද මන්දා) දානයක් වැරදුනොත් පන්සලේ උයගෙන හරි වළඳයි, කොණ්ඩෙ වවාගෙන ඉන්නෙ නැතුව තට්ටෙ ගාගෙන පිළිවෙළකට ඉඳි.

    ReplyDelete
  10. හාමුදුරුවන්ගෙ අවශ්‍යතා අහපුවාම තමා බෞද්ධාලම්භන ප්‍රීතිය දෙපිටින් යන්නෙ.

    ReplyDelete
  11. අප්පද බොල මාත් අද එළියට බැහැල තියෙන්නේ අපූරු දවසක නෙව..අද මේ පාඩුවේ ඉඳගෙන පරණ අතෑරුන බ්ලොග් ටික බලාගෙන බලාගෙන යනකොට මෙතනටත් කඩං පාත් උනේ..නියම මාතෘකාවක් තියෙන තැනක් නෙව...

    ඔකේ දෙපැත්තක් තියෙනවා..ඒ තමයි දායකයෙක් සැදැහැ සිතින් බත් මිටක් දුන්නත් ඒක පිළි ගන්න එක තමා භික්ෂුවකගේ සිරිත විය යුත්තේ...දෙන දේ අනුව දායකයින් වර්ග කරන එකවත්..දායකයින් පිළිකෙව් කරන එකවත් භික්ෂුවකට ඔබින්නේ නැහැ.ඒ වගේම ඒක බරපතල අකුසලයක්...හැබැයි ඒ වරද භික්ෂුව කරගන්නේ තමුන්ටමයි.

    අනිත් පැත්තෙන් දායකයෙකුට සැදැහැ සිතින් ඇල්පෙනෙත්තක් හරි පූජා කරන්න අයිතියක් තියෙනවා..දෙන දේ අනුව නෙවේ පින් සිද්ද වෙන්නේ.දෙන චේතනාව අනුවයි..

    ඔය තමා හැබෑ තත්වය..

    ......................
    ඒත් අනිත් පැත්තෙන් ගත්තහම අද වෙන්නේ මොනවද..? හාමුදුරුවෝත් මුදලාලිලා වෙලා...කරන කියන දේට නියම මිලක් අය කරනවා.ඒකට හේතුව දැන් භික්ෂු සමාජය ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන යාමත් ඉන්නා සුළු පිරිසට ඉල්ලුම වැඩි වීමත්..ඒ වගේ තත්වයකදී අර කාටත් පොදු න්‍යාය අනුව ඉල්ලුමට සැපයුම දීගන්න බැරි තත්වය මත දැන් මේ සංඝ සමාජයත් ටිකක් ගණන් උස්සනවා.ඒක සාසනික අතින් තද බල වරදක් උනාට පවතින තත්වය යටතේ වරදක් කියන්නත් බැහැ. අනික අද කාලේ භික්ෂුවකට තියෙන අවශ්‍යතා බුද්ධ කාලීන සමාජයේ තත්වයට සමාන කරන්න බැහැ.හරි හෝ වැරදි උනත්..ඒ තත්වය ඇතිවෙන්න දායකයත් සම්මාදන් වෙලා තියෙනවා...

    දැන් මං හිතාගත්ත දෙයක් තමයි මේ ගැන කමෙන්ට් එහෙකින් පැහැදිලි කරනවට වඩා පුංචියට හරි පෝස්ට් එකක් දාන එක හොඳයි කියන එක..ඒක වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි මං හිතන්නේ. ඒ හින්දා ඔන්න මං නැවැත්තුවා..බොහෝම ස්තූතියි පොටක් අල්ලලා දුන්නට...

    ReplyDelete
  12. @ මාරයා,
    පාර වැරදිලා හරි මේ පැත්තෙ ආ එක මදැයි. හ්ම් හ්ම් මල්ලිට මේ ගැන සෑහෙන්න කියන්න දේ නැතැ. මේ බෞද්ධ රටේ වෙලත් බස් එකක වත් නිකන් එක්කන් යනවයැ හාමුදුරුවන්ව. මගෙන් රයිස් කුකර් ඉල්ලුවහම මට නම් හිතුනෙම දානයක් වැරදුනහම උන්නාන්සේල උයාගෙන වළඳයි නේ කියලා. මොකද අපේ සමහර මිනිස්සුන්ට අවුරුද්දකට පාරක් එන මුර දානෙත් අමතක වෙනවනෙ. හරි හරි මල්ලි ලියන්නකො හොඳ ලිපියක්ම

    ReplyDelete
  13. @ පිණිබිඳු,
    අපි බලමුකො මාරයා කියන්නෙ මොනවද කියලත් නඟේ. එතකම් ඔන්න ඔහෙ කේන්ති නොගෙන ඉන්නකො

    ReplyDelete
  14. හාමුදුරුවන්ට දුක හිතෙන්න ඇති....


    තාරක හරි ඔක්කොම ලකුණු ටික ගත්තනේ..

    ReplyDelete
  15. මුළින්ම, මේ කතාව ලස්සනට රචනය කර තිබෙනවා.

    තෑග්ග ළිහා බලන්න තිබුණු හදිසියටනම් සමාව දුන්නැහැකි. දීලා තියෙන්නෙ අඳනයක් බව දැක්කහම බලාපොරොත්තු කඩවීමක් වුණානම් ඒකත් තේරුම් ගත්තැහැකි. නමුත් එහෙම වුණාය කියලා ඒ නුරුස්නාගතිය ඔය විදිහටම එළියට දාන්න ඕනද කියන එකයි ගැටළුව.
    ගිහි ජීවිතයෙදිත් ඔහොම අවස්ථා එනවා. ඇතැම් අය නුරුස්නාබව එළියට දාලා අනෙක් අයගෙ- සමහරවිට තෑග්ග දුන්නු අයගෙම- හිත රිදෙව්වත්, තවත් අය ඒ බලාපොරොත්තු කඩවීම තමන්ටම තියාගෙන නිහඬව ඉන්නවා.
    කවුරුත් අංගසම්පූර්ණ මිනිස්සු නෙවෙයි. නමුත් මෙහෙම සිද්ධියක් ගැන වෙනම හිතන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙන එකේ, ඊලඟට මට මෙහෙම දේකට මුහුණ දෙන්න වුණොත් හැසිරෙන විදිහ දැන් මට ප්ලෑන් කරගන්න පුළුවන්.
    ස්තුතියි, පිණිපලස.

    ReplyDelete
  16. ඔබටත් බොහොම ස්තූතියි නලිනි, :)

    ReplyDelete
  17. @ තාරක, ආ.. දුක හිතිලද ඒ චික් කියල තියෙන්නෙ? මේ ඔයාට හිටියද හරී කියලා ටීච කෙනෙක්?

    ReplyDelete
  18. අම්මේ නෑ මට නම් හිටියෙ නෑ....

    මුලු රෑම නිදි මරල අඳනයකඩයක් විතරක් හම්බවුනාම...
    බර ගානක් දීල ස්විප් එකක් අරන් රු.10ක් විතරක් හම්බවුනා වගේ හිතෙන්න ඇතිනේ...

    ReplyDelete
  19. මල්ලි ළඟදි ගමේ ගිහින් නෑ වගේ. දැං ලංකාවෙ රු.10 ස්වීප් නෑ අනේ. පුංචි රුපියල් දහයට තිබ්බ ටිකට් රුපියල් විස්ස වෙලා :D

    ReplyDelete
  20. මම කිව්වෙ ඊට වඩා ගානක් දීල එකක් අරන් 10ක් විතරක් ඇදුනොත්???
    හා දුක නැද්ද?
    ("හැම එකකටම දිනුමක් තියෙනවා එකක් 100යි" කියල අරගෙන 10ක් විතරක් හම්බවුනාම)

    ReplyDelete
  21. හරි හරි මම විහිළුවක් කරේ. හාමුදුරුවො පව් තමා. හැබැයි අදහස එළියට දාපු හැටියි නරක..

    ReplyDelete
  22. කාලයේ හැටියට සංඝ සමාජේ වුණත් වෙනස් වෙලා. අනාගතේ ඉන්නවාලුනේ කාශවකණ්ඨක කියලා අතේ කහ නූලක් විතරක් තියෙන අය. එයාලට අඹු දරුවෝ එහෙමත් ඉන්නවාලු.

    එයාලවත් හඳුන්වන්නේ භික්ෂූන් වහන්සේලා කියලාලු. එයාලටත් දානේ පිළිගන්වලා මහත් ඵල මහානිසංස ලබාගන්න පුලුවන්ලුනේ. එතනත් චේතනාව තමා මුල් වෙන්නේ. සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවත එන ආර්ය මහා සංඝයාට මේ දානය පිළිගන්නවා කියන චේතනාව ඇතිකරගන්නලු තියෙන්නේ.

    ඉතින් කාලයේ අවශ්‍යතා අනුව භික්ෂුව වෙනස් වීම දොසක් විදිහටම දැකගන්න අමාරුයි

    ReplyDelete
  23. අයියො ඔහොමත් කියනවද දුන්නු දෙට

    rosa.italy

    ReplyDelete