Tuesday 29 June 2010

සසර වසන තුරු

මට මේක මතක් උනේ අර කතන්දර අයියගේ පොලීසිය දැකලා දුවපු කොල්ලා හින්ඳා. උගන්නපු කාලෙ නෙමෙයි , ඉගෙනගත්තු කාලෙ වෙච්චි දෙයක්,

දවසක් භෞතික විද්‍යා පාඩමක් වෙලාවෙ මට එහා පැත්තෙ හිටපු පිරිමි ළමයා ( මම ගියේ මිශ්‍ර පාසලකට ) පාඩම අහගෙන ඉන්නෙ නැතුව වෙන වැඩක්. සර් එදා කියාදුන්නෙ තුශාරාoකය ගැන. ටිකකින් සර් දැක්කා අර ළමයා පාඩම අහගෙන ඉන්නෙ නැතිබව. සර් ඇහුවා ප්‍රශ්නයක් ,උත්තරේ තාපාoකය අර ළමයා පාඩම ගැන අවධානයකින් නොහිටිය නිසා කළු ලෑල්ල දිහා බලලා ඒකෙ ලියලා තිබුනු මාතෘකාව, ඒ කියන්නෙ තුශාරාකය කියලා කිව්වා. මුළු පoතියටම හිනා,

සර් ට හොඳටම කේන්ති ගියා කළු ලෑල්ල පැත්තට හැරිලා මෙහෙම කිව්වා,, " අර ,,,,,,,,, ආච්චිගේ රෙද්ද කියන්නෙ,,,, ආන්න ඒක !!!!"

ළමයි ටික ආයෙත් හිනාවෙන්න ගත්තා,

මගේ පැත්තට හැරිලා අර ළමයා කියනවා " අම්මගෙ රෙද්ද කියලා කිව්වා නම් ඉවරෙනේ කියලා"
ඇහනකොට අසභ්‍යයි වගේ නේද? මට නම් එහෙම දැනුනේ නැහැ,ඒකට හේතුව තමයි අර මම කියපු ළමයගේ ( චමිල ධනුශ්ක විජේරත්න ) මාමා තමයි අපේ සර්, ඒ කියන්නෙ චමිලගේ මවගේ බාල සොහොයුරා, ඉතින් චමිලගේ ආච්චි කියන්නෙ සර් ගෙම අම්මා.

මම කියපු මේ සොයුරා අද ජීවතුන් අතර නෑ, හරියටම තමන්ගේ රැකියාවට( ඔහු වෘත්තියෙන් ඉජිනේරුවෙක් ) අවුරුදු 3ක් පිරෙන දවසේ කාර්යාල සේවා වාහනය පදවපු රියදුරාගෙ නොසැලකිල්ල හින්ඳා මෙලොවින් සමුගත්තා.

අවුරුදු ගනනාවක් දයාබර යහලුවෙක් වෙලා හිටපු ඔහු වෙනුවෙනුයි මේ සටහන,
දයාබර සොයුර ඔබට නැවත සසරේ කෙදිනකවත් මෙවන් අකල් මරණයක් හිමි නොවේවා !!!!!!!!!!

Sunday 20 June 2010

වැඩි හොඳට,,

දවසක් මම 7 පන්තියේ ඉන්නකොට ළමයෙකුට පණිවුඩයක් කියන්න ක්‍රීඩා ගුරුතුමා පන්තියට ආවා. 7 පන්තියේ දොරවල් දෙක පිහිටලා තිබුනෙ ඉදිරි පසින් වමෙන් සහ දකුණින්. ක්‍රීඩා ගුරුතුමා මට අතින් සන් කරලා අර ළමයා ළඟට ගිහින් පණිවිඩේ කියනවා මම බලාගෙන. ළමයා වාඩිවෙලා, සර් නැගිටලා, මට කියන්න බැරි තරම් තරහක් ආවා. අනික සර් කෙනෙක් පන්තියට ආවත් නැගිටලා ආචාර කරේ ළමයි කීපදෙනයි,, එදා කරේ කණ්ඩායම් ක්‍රියාකාරකමක්, පන්තියේ පිරිමි ළමයින්ට පැහැදිලි කිරීමක් කරමින් මම හිටියේ, ඒ නිසා අර ගුරුවරයා පන්තියට ආපු බව පිරිමි ළමයි ටික දැක්කෙ නැහැ.ගුරුවරයා පන්තියෙන් පිටවෙනකම් හිටපු මම ගිහින් අර ගැහැණු ළමයගෙ කනෙනුත් අල්ලන ගමන් දොස්කිව්වා,

මොකද මම හැමදාමත් කියනවා පන්තියට ගුරුවරයෙක් ආපු ගමන් නැගිටලා ආචාර කරන්න කියලා. පුරුද්දක් හැටියට හැම ළමයෙක්ම නැගිටලා ආයුබෝවන් කියන්න සූදානම් නැත්නම් මම ආයුබෝවන් කියන්නෙ නැහැ.පිරිමි ළමයින් මේ දෝශාරෝපණයෙන් බේරුනා, ඒ එයාලා මා එක්ක පඩමේ වැඩ කරමින් හිටපු නිසා ඔවුන් අර ගුරුතුමා නොදැක්ක බව මට සහතිකයි. ඉතින් පිරිමි ළමයිට හරි ආඩම්බරයි. මේ අතර හිටපු කටකාරයෙක් අන්තිමට කියනවා මෙහෙම,, "අපි නම් ටීච ඒකනායක අයියා ආවත් නැගිටිනවා",,,,,,,


ඒකනායක කියන්නෙ පාසලේ පියන්, මට තනියම හිනාගියා, ළමයි පුදුමෙන් වගේ බලන් ඉන්නවා මම තනියම හිනාවෙනකොට..

මගෙ උපදෙස් දීමේ මොකක්දෝ අඩුපාඩුවක් වෙලා කියලා මට තේරුනේ එතකොට තමයි,,ගුරුවන්ට විතරක් ආචාර කලාම ඇති කියලා මම කිව්වා,, මොකද ඒ වැඩෙන් ඒකනායක උනත් අපහසුවකට පත්වෙන්න පුලුවන් කියලා මට හිතුනු නිසා......................

Saturday 19 June 2010

කළ හොඳ


කලින් ලියපු සටහනට සමගාමීව මේකත් ඉක්මනට ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා. මේකත් මයුමි ගැන,,,







කලින් සිද්ධියෙන් ටිකක් කාලෙකට පස්සෙ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් තිබ්බා. ඒකෙ එක ඉසව්වක් විදිහට තිබුනු මැරතන් තරඟයට මයුමිත් දිව්වා, මැරතන් තරඟයකට පොඩි ලමයි ගත්තෙ ඇයි කියල මම දන්නෙ නැහැ, සමහර විට ළමයි ප්‍රමානය මඳි කියලා ක්‍රීඩා ගුරුතුමා හිතන්න ඇති. මම දන්න විදිහට අවශ්‍ය කරන ප්‍රථමාධාර එහෙම ලහැස්ති කරලමයි වැඩේ පටන් ගත්තෙ.
ටිකකින් ආරන්චි උනා මයුමි මඟ වැටිලා ආපහු පාසලට ගෙනාවා කියලා, මමත් මගේ යහළු ගුරුතුමීත් ඉක්මනට එතනට ගියා. මයුමි වටේ සෙනඟ පිරිලා. එක් ගුරුතුමියක් මයුමිගෙන් විස්තර අහනවා,,



"උදේට කාල ආවෙ මොනවද?


"මුකුත් නෑ ටීච"


ලොකූ නිශ්ශබ්දතාවයක් කාමරේ පුරාම,,,,,,,,,මඳක් වෙලා නිහඬව හිටපු අර ගුරුතුමී නිහඬතාවය බින්දා,,



"උදේ කිරි එක බිව්වට පස්සෙ මුකුත් ම කෑවෙ නැද්ද?


"නෑ ටීච ,,,,,,,,,මම උදේ කිරි එක බිව්වෙත් නෑ"


වහාම ක්‍රියාත්මක උනු ඇය වැඩිමහල් සිසුවියකට අණ කලා ගෘහ විද්‍යාගාරයෙන් තේකක් හදන් එන්න කියලා,, තවදුරටත් එතන රැඳී ඉන්න අපි දෙන්නටම හිතුනෙ නෑ. අදට අවශ්‍ය ප්‍රතිකාර නම් කෙරෙයි,, ඒත් හෙටත් මයුමි එන්නෙ කිරි බොන්නෙ නැතුව. ළමා නිවාසෙන් දෙන උදේ කෑම වේල අරන් ඇවිත් පාසල් විවේකෙදි අනිත් ලමයි එක්ක කනවා ඇති.
ගුරු වැටුප ගැන ගොඩක් අය දන්නවා ඇතිනෙ, ඒත් අපි දෙන්නා කථා උනා මේකට පුලුවන් හැටියට මොනවාහරි කරන්න, ඒ ළමයි දෙන්නගෙ ( මයුමි ගෙයි, එයාගෙ අයියා ගෙයි ) කුස පුරවන්න අපි දෙන්න තීරනය කරා. පහුවදා මම ඉස්කෝලෙට ගියෙ ඇන්කර් සහ නෙස්ටමෝල්ට් පැකට් දෙකක් ඇතුව, කතා උනු විදිහට ඊළඟ සතිදෙකේ මගේ යහළු ගුරුතුමී කිරිපිටි පැකට් අරන් දෙනවා.
මයුමිව ගුරු කාමරේට කැඳවපු මම , පාර්සලේ මයුමි ට දුන්නා,
" පුතේ යාලුවන්ටවත් කියන්න එපා, අම්මට ගෙනිහින් දෙන්න.",, මයුමි මට දන ගහල වැන්ඳා. ස්තූතියි ටීච කියලත් කිව්වා.



මහා ලොකු පින්කමක් අවසානයේ දැනෙන සතුට මට දැනුනා.
 
පහුවදා උදේ මාව මුණ ගැහෙන්න මයුමිගෙ අම්මා ඇවිත්. එයා අනිත් අම්මලාට වඩා සරල විදිහටයි මට පෙනුනෙ. වැඩි විච්චූරන නෑ. මුලින්ම තමන්ගෙ දරු දෙන්නගෙ අධ්‍යාපන කටයුතු ගන තමයි එයා ඇහුවෙ. මම මගේ විශය පිළිබඳව කිව්වා. ඊලගට එයා මයුමිට දොස් කියන්න ගත්තා. උදේ ට කොච්චර වදකරත් කිරි එක බොන්න මයුමි කැමති නැහැලු. මට ඇය කියපු හැමදේම තේරුනා. මට දැනුනු විදිහට කොච්චර නැති බැරි උනත් අපි කිරිපිටි අරන් දෙන එකට ඇගේ තියෙන අසතුට තමයි නොකියා කීවෙ
.ඉතින් එතනින් එහාට අපි කොහොමද මයුමිට උදව් කරන්නෙ, කවුද ඇත්ත කියන්නෙ, මයුමිද? අම්මද? අම්ම අකමැතිව අපි කොහොමද ඒ දරුවන් ගෙ කුසගින්න ගැන හිතන්නෙ, ඊට පස්සෙ ඒක ගන හිතලා දුක් වෙන එක ඇරෙන්න අපිට කරන්න මොකවත්ම තිබුනෙ නෑ....



කළින් සටහනේදි විදුහල්පතිතුමී කියපු දේ ගැන හිතනකොට ඒක හරිද කියල හිතෙන්න ඇතිනේ,
තමන්ගෙ මුලු ගුරු ජීවිතේම ඒ පාසලේම සේවය කරපු ඇය, සිසුන් ගැන වගේම දෙමව්පියන් ගැනත් හොඳට දන්නවා ඇති. ඇය අපිට කීවෙ ස0වේදී වෙන්න එපා කියලා නෙමෙයි, ,,,,,,,,,,
 
ඒ මගේ ගුරු ජීවිතේ තවත් එක අත්දැකීමක් විතරයි,,,,,,,,,,

Wednesday 16 June 2010

හොඳම තෑග්ග

ඉස්සර වගේ නෙමෙයි දැන් ,, , මුලින්ම කියන්න වෙනවා මම ලියන්නෙ මම අත්දැකපු දේවල් කියලා,,ඉතින් සමහර විට රස නැතුව ඇති,,(කාල බැලුවොත් )
 ගුරු ජීවිතේ අත්දැකීම් හුඟක් තියෙනවා,, ඇම්ඩන් වගේ ළමයි මුණගැහිලා නැතුවාමත් නෙමෙයි,, බ්ලොග් එකකට ලියන්න පුලුවන් ජාතියෙ කතා වෙන්නත් එපැයි,,,,අනික මම මේ ලියන්නෙ වැඩිපුරම හිතේ සතුට වෙනුවෙන්.

දවසක් 8 පන්තියෙ ඉන්නකොට ඒ ළමයි කීවා ටීච අපි හෙට එන්නෙ නෑ කියලා,, නාට්‍යයක් බලන්න යනවලු මුළු ඉස්කෝලෙන්ම, ටිකක් ඈත තියෙන පාසලක තමයි මේ නාට්‍යය පෙන්නනව කීවෙ, බලන්න නොයන ළමයි කවුද ඇහුවම පිරිමි ළමයි කීප දෙනෙක් අත් ඉස්සුවා. මේ බලන්න යන්න හදන්නෙ සරත්චන්ද්‍ර මහත්තයගෙ සි0හභාහු,


මම දෙවනුව 6 පන්තියට ගියහම 6 ළමයිනුත් ඒ කතාවම කීවා, පොඩි ළමයි ආසයි නාට්‍යයක් බලනවට වඩා ටිකක් දුරක ට්‍රිප් එකක් වගේ කොහෙ හරි ගිහින් එන්න ,ඔක්කොම යනවද? මම ඇහුවා


"මයුමි විතරක් යන්නෙ නෑ"  කටකාර ළමයෙක් කෑ ගැහුවා

"ඇයි? "   
මනෝ විද්‍යාව ඉගෙන ගත්තට ප්‍රායෝගික වෙන්නෙ කලාතුරකින්,, පු0චි හිත් තීරුම් ගන්න බරි මගේ කට ඉස්සර උනා,
මයුමිගෙ ඇස් දෙකේ කඳුළු,

"අම්මා ළඟ සල්ලි නෑ කීවා ටීච"
ළමයි කුඩා ප්‍රමානයක් හිටපු පාසලක් නිසා මට ඉක්මනින් ම මයුමිගේ තත්ත්වය මතක් උනා,,
මයුමියි, අයියයි ජීවත් උනේ අම්මා එක්ක, අම්මා සේවය කලේ ප්‍රදේශයේ තිබුනු ළමා නිවාසෙක සේවිකාවක් විදිහට.මේ ළමා නිවාසය පවත්වාගෙන ගියේ පන්සලකින්, ඒ නිසා සේවකයින්ට ලොකු වැටුප් නැහැ, පන්සලේ නායක ස්වාමීන්වහන්සෙගෙ අනුකම්පාව නිසා මයුමිලගෙ අම්මට තමන්ගෙ දරු දෙන්නත් එක්ක ළමා නිවාසෙම ජීවත්වෙන්න ඉඩදීල තියෙනවා,,මේගොල්ලන්ගෙ හුඟක් අඩුපාඩුකම් විසඳුනෙ ළමා නිවාසය හරහා ම තමයි. සි0හභාහු නාට්‍යය 6,7,8 වගේ වසර වල ළමයින්ට බර වැඩියි, ඒත් මේ පොඩි ළමයි කට්ටිය එක්ක ඇවිදින්න යන්න ආසයි. 8 පන්තියෙ නම් ළමයි කීපදෙනෙක්ම යන්නෙ නෑ කීවා. ඒත් 6 න් නොයන්නෙ මයුමි විතරයි, මේක පොඩි හිතකට දරාගන්න අමාරු ඇති,, මට හුඟක් ම දුක හිතුනා,,මුළු පන්තියක් ඉස්සරහ මම කරපු වැරද්දට මම ම දොස් කියාගත්තා,,
 පන්තියෙ ඉන්න යමක් කමක් තෙරෙන ළමයෙක් ව පැත්තකට අඬගහලා,,,,,,,,"මයුමිගෙ ගාස්තුව මම ගෙවන්නම්,, ඔයාල එයාව එක්කන් යන්න"  මම කිව්වා.


"අපි යන්නෙ හෙටනෙ ටීච මයුමිගෙ අම්ම එයාව එවයිද දන්නෙ නෑ"

"කොහොමහරි කියලා එක්කන් යන්න හැබැයි සල්ලි දුන්නෙ මම කියල කියන්න එපා"
( මේ ළමයා මේ ගමන නොගියොත් ඒ ක මට ලොකු දුකක් වෙයි මට එහෙම හිතුනා )
පහුවදා උදේ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ ළමයි පොදි කනවා නාට්‍ය්ය බලන්න යන බස් එකට නගින්න, කීප දෙනෙක් (6 ළමයි ) මගෙ ළඟට ආවා,, මේ අතර මයුමිත් ඉන්නවා,, මගේ සතුටට වචනමදි,,ඒ වෙලාවෙ මයුමි මම දිහා බලපු කෘතගුණ බැල්ම මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ. මයුමි හිටියෙ රටක් දිනුවා තරම් සතුටින්.කියන්න එපා කිව්වට යාලුවො ටික විස්තරේ කියලා,, මගේ දිහා අර විදිහට බලන්න හේතුව මට තේරුනා.
සති අන්තෙන් පස්සෙ සඳුදා උදේම මයුමි මාව හොයාගෙන ආවා. මගේ ළඟට ඇවිත් ලොකු සිලි සිලි මල්ලක් මගේ අතේ තිබ්බා,
 
 "ස්තූතියි පුතේ"


මොනවද ඇතුලෙ කියලා වත් අහන්න මට හිතුනෙ නෑ,, ඒ මෙයාගෙ නැතිබැරි කම් හොඳින් ම දන්න නිසයි..

මයුමි කිරිල්ලියෙක් වගේ දිව්වා,,සිලි සිලි මල්ල පුරවල තිබ්බෙ ජැම්සන් ගෙඩි වලින්,, රතු පාට පොඩි ගෙඩි ජාතියක්,, ඉදුනත් ඇඹුලයි,, ගොඩක් හරිය අමුයි,, ඒත් මෙයා මට ගෙනත් තියෙන්නෙ එයාට ගේන්න පුලුවන් හොඳම දේ කියලා මට තේරුනා


ජීවිතේ ලැබුනු හොඳම තෑගිවලින් එකක් තමයි ඒ, වෙනදට නොකෑවට මම එදා ජම්සන් කෑවා,,එදා මට අඹුල තේරුනේ නැහැ,මම කාටත් බෙදාහදාගෙන කන්න තෑග්ග ගුරු මේසෙ උඩින් තිබ්බා,, කවුරුත් මූණු ඇඹුල් කරගෙන ඉන්නකොට විදුහල්පතිතුමී මෙතනට ආවා,,


"කවුද මේව ගෙනාවෙ?"

"හරී",,, කවුදෝ කිව්වා

"ආනේ ඔයාට අඹුල් ජාති කන්න හිතිලද?"

"අපෝ නෑ මැඩම්",, මම කතාව කිව්වා,,,,,

ඕනවට වඩා ස0වේදි වෙන්න එපා,,මට ඒ කතාව තීරුම් ගන්න හුඟාක් කල් ගියා,,,,,,,,,,,,,,,

Tuesday 15 June 2010

වේවැල වටා,,,,

දුකා අයියගෙ ඇම්ඩ්න් කතාවයි, කතන්දර කුමාර අයියගෙ පාඨශාලා පරීක්ෂක ගැන කතාවයි දැකල මට මේක මතක් උනේ,,

 මම හිටපු ඉස්කෝලෙටත් දවසක් ඔය පරීක්ෂකවරු කණ්ඩායමක් ම ආවා. එන්න කලින් ඉදලම අපි දන්න නිසා කට්ටිය සීරුවෙන් හිටියෙ,, ඒ කියන්නෙ ඔය පාඩම් සටහන්, (සාමාන්‍යයෙන් නොලියන,, ඒවාහෙමත් ලියාගෙන,,


උදෙන්ම මුල් ගුරුතුමී ගෙන් උපදෙසක්,,

පන්තිවල තියෙන වේවැල් ටික අයින් කරලා තියන්න

වේවැල කියන්නෙ තහනම් භාණ්ඩයක් උනාට,මේසෙට තට්ටු කරන්න හරි වෙනවා,, නැත්නම් මේ කාලෙ ඉන්න චන්ඩි එක්ක බෑ,,ඉතින් ඔය කියන පරීක්ෂකවරු කණ්ඩායම මුලින්ම ගියෙ එක වසරට,
 පු0චි ළමයින්ගෙ කවි කතා අහන අතරතුර ,මේ කණ්ඩායමේ හිටිය එක මහත්මයෙක් පොඩි කොලු පැ0චෙක් ලඟ පහත් උනා,, පොඩ්ඩගෙ ඔලුව එහෙම අතගාල මෙහෙම ඇහුවා,,


"පුතා ටීච සැරද?"

"ඔව්"

"ටීච ගහනවද?"

"ඔව්"

මෙහෙම කියපු පොඩ්ඩා නතර උනේ නැහැ,, ,,,,,,,,,,,,

"වේවලෙන් ගහලා ආයෙත් අතිනුත් ගහනවා"
 
කතාවෙ සාරා0ශය ගත්තොත්,, පරීක්ශක කණ්ඩායම ගියාට පස්සෙ ටීච අර ළමයට ගැහුවෙ නැහැ හොඳේ,, ඒ මොකද ඒ කතාවට හැමෝටම හොඳටම හිනා ගිය නිසා අර කණ්ඩායමෙන් ටීචට ප්‍රශ්නයක් උනෙත් නෑ..

Thursday 10 June 2010

තවත් ටියුබ් ලයිට් කතාවක්,,,,,,,,,,

මම නාවල තියෙන විවෘත විශ්වවිද්‍යාලෙ පාඨමාලාවක් කලානෙ,,,මේ සිද්ධිය උනේ ඒ කාලෙ,,
අපිත් එක්ක ඒ course  එක කරපු ළමයෙක් කටුනායක තියෙන TTI  පාඨමාලාවත් කලා,,, ඒ කාලෙ නම් රැග් එක එහෙ තිබිලා තියනවා( මේක බලන අය මට බනින්න එපෝ, මම කියන්නෙ ඒ ළමය කියපු දේ ) නාවලත් ඉතින් සොඳුරු කරදර නොතිබ්බම නෙමෙයි,,හිරිහර ටිකක් වැඩිවෙනකොට මේ සහෝදරයාට ටිකක් කේන්ති ගිහින්,,
අපි එක්ක ඒව විස්තර කරේ මෙහෙම,,
"පිට්ටනියෙ තනි කකුලෙන් හිටගෙන ඉන්නත් ඕනෙ,ඒ මදිවට උඩින් plane  යන යන ගානෙ ඒ වට වඳින්නත් ඕනෙ,,
මේ විස්තර කිරීම කොයි තරම් උද්වේගජනක උනාද කියනවා නම් මෙයා කියනවා
"ඒවත් මෙහෙ යන ප්ලෙන් නෙමේ බන් මාර ලොකුයි" කියලා,,,,

ටියුබ් ලයිට් කට්ටියට තේරෙන්න ටිකක් වෙලා යයි හොඳේ

එන්නම් හෙටත් දාහය නිවන්නට,,,,,,,,,

පිණි බිඳිති කොයින්ද මේ මල් මතට
සිනාවට සිනාසෙන ළාදළු අගට
සමන්ගිර වඳින්නට හැමදාම මල් නෙළන
සුරන්ගනාවිගෙ මාලෙ මුතු ඇටද?

රාත්‍රිය ඇවිත් හිරුත් සඟවලා
සඳ එළිය ලොව සීතල කළා
එතෙක් කොහෙදෝ සැඟව සිටවුත්
තුෂාරය යළි හිනැහුනා

අඳුරත් ගෙවී ප්‍රභාතය වඩින සඳ
ඉතින් යා යුතුය සිටි ඉසව්වට
උදෑසන අකුරු කී දරුවන්ට
රහසේම කියාවී තුෂාරය
හිරු එළියෙ උණුසුමත් නපුරුයි
දුම් කැටි වළා බොහොමයි
රාත්‍රිය හොඳයි නිසලයි
නපුරු ලොව නිදිගත් විලස
එන්නම් හෙටත් දාහය නිවන්නට,,,,,,,,

Friday 4 June 2010

හෙට සැමරෙන පරිසර දිනය වෙනුවෙනි,,



උද්‍යාන වවන්නෝ
පින් රැස් කරති දිවා රැයේ
බණපොතක පිටු අතර
තිබුණාලු නොමැකී එසේ


සිටුවා තව ගසක්
සෙවණ කරලමු ලෝකයක්
එවන්වූ නෙක කියුම්
සමරන්න එක දිනක්


කුමට තව සැමරුම්
වැඩමුළු, බර දෙසුම්
වසරකට එක දිනක්
ඇතිද සලකා යුතුකම්


මීමුතුන් දහදියෙන්
සාරකළ මහපොළොව
ඉරිතලා ගිය අරුම
විමසුමයි කලයුතුම


බොල්වූ දෙරණ මත
නැගුණු යුකැලිප්ටස් මතින්
අමා ඵල ලබන්නට
කාලයයි සූරිය වන්දනාවට,,,