
නිකන් ඉන්නවට මට හිතුනා අද එක කතාවක් පොස්ට් කරන්න. මේ තියෙන්නෙ එතුමියගෙ වචන වලින් ම තමයි.
හරි වැඩක් නේ මට වුණේ.බස් පඩියෙන් බිමට වැටුණා. කවදාවත් වුණේ නැති වැඩක්. ගෙදර ළඟම නිසා හොඳට ගියා. වේදනාවක් ටිකක දැනුණා. ඒත් ගණන් නොගෙන ගෙදර ආවා ඇවිත් වැටුනා පුටුව උඩ. එළෝළු මල්ල බිම.
"මොකෝ නෝනො?" කියාගෙන ගිමාරා ඇවිත් ඇහුවා.
" වැටුණා මං බස් පඩියෙං බිමට" මම කිව්වා. ගිමාරා වේලක් බස් කාරයින්ට දොස් තිබ්බා, ඊට පසුවයි මගේ කකුල ගැන බැලුවෙ. කකුල ඉදිමිලා.
"මං දන්නවා ඕකට හොඳ බේතක්" කියාගෙන ගිමාරා වැටෙන් පැනලා දිව්වා. එදා අපේ නැන්දම්මා ඇවිල්ලා. නැන්දම්මා කුස්සියේ උයනවා ආසාවට.
"මං දුවේ කුරිඤ්ඤං කොළ ගෙනාවා මලවන්න. පුතා ආසයිනේ කොළ ජාති මැල්ලුං කන්න" නැන්දම්මා කුස්සියෙන් එළියට එබිලා කිව්වා.
"අම්මා අද ආ එකත් හොඳයි" මම කිව්වා.
"මේ මගේ කකුලත් උළුක්කු වෙලානේ"
" ඒක නේන්නං මේ හිතක් පපුවක් නැති බස් කාරයෝ නිසා කොපමණ වද හිංසා විඳින්න වෙලාද" නැන්දම්මා කිව්වා.
ගිමාරා ආවා. තණ කොළ පොට්ටනියක් අරගෙන . ටිකකට පසුව ගිමාරා වංගෙඩිය කොටනවා ඇහුණා. "බේත හැදුවා නෝනෝ ටිකක් නිවෙන්න ඕන. එතකං තේ ටිකක් බොමු." ගිමාරා කිව්වා.
"අනේ ගිමාරෝ මට අඩිය බිම තියන්න බෑ. මොකෝ කරන්නේ?" ගිමාරා මාව වාරු කරගෙන ගෙට ගියා. මං ඇඳට වැටුණා.
ටික ටික කකුලේ වේදනාව වැඩි වුණා ඉවසන්න බැරි තරම්. ගිමාරා බේත් මැල්ලුම ගෙනත් කකුලෙ තිබ්බා. බුලත් කොළේකින් වැහුවා. හොඳට එතුවා. මම ඉතිං භාවනා කළා. නින්ද ගියා.
රෑ කෑම වෙලාවෙ මට ඇහැ ඇරුණා. කෑම කාමරේ මහා ගෝට්ටියයි. නැන්දම්මගෙ කට හඬයි තදින් ඇහුණේ.
" මොකෝ මං මීට කලිං මැල්ලුං හදලා නැතෙයි? අද ඉගෙන ගන්න හැදුවයි? "
ඒ කියන අතරේ ගෙදර උදවිය උගුර කාරනවා පාදනවා ඇහුණා.
" මොනවද මේකට දැම්මේ?,
දූ අහනවා ඇහුණා.
" දැං කාලෙ කෙල්ලෝ දන්නවාද වැඩ. මොකෝ පොඩි දුවේ මට වඩා හොඳට මැල්ලුං හදන්න දන්නවයි ඔහොම කියන්නේ?
"නෑ අත්තම්මෙ......මම නං මෙහෙම මැල්ලුමක් කවදාවත් කාලා නෑ."
ඒ එක්කම ඇහුණා ගලක හැපුණු පිඟන් සද්දයක්. අපේ එක්කෙනා මැල්ලුං පීරිසිය මිදුලට වීසි කරලා.
රෑ නිදා ගන්න ගිහිල්ලා මට ඇහුණා ගිමාරා රහසෙන් අහනවා නැන්දම්මා ගෙන්
" ඈ ලොකු හාමිනේ බැලතණ වහද?"
"අමුකහ වහද? "
" තලතෙල් නං වහ නෙවෙයි නේද?"
"මොකෝ යෝදියේ උඹ ඔහොම අහන්නේ ? කියාපං. නැන්දම්මා සැර වුණා.
" හෙමිං කතා කරා නං ලොකු හාමිනේ..." ගිමාරා ආයෙත් රහසෙන් කියනවා ඇහුණා.
" මොකෝ හෙමින් කියන්නේ කාටෙයි බය . කියාපං" නැන්දම්මා කෑ ගැහුවා.
" හාමිනේ,,, ගිමාරා ආයෙත් ආයෙත් කෙඳිරුවා
" හාමිනේ මං,,,
" මොනවද ගෑනියේ ගිල ගිල ඉන්නෙ නැතුව කියාපං " නැන්දම්මා ගෙරෙව්වා. ගිමාරා රහසෙං ආයෙත් කිව්වා,,
" මට බැරිවෙලා කුරිඤ්ඤං මල්ලුම නෝනාගේ කකුලේ බැන්දා"
" මොනවා!!!! හත් දෙයියනේ මේසෙට තිබ්බේ බැලතණ මැල්ලුමද? "
නැන්දම්මා ගොර නාද කළා.
රාත්‍රිය දෙබෑ කරමින් ගිමාරා කෑ ගහලා අඬා ගත්තා.
දූයි අපේ එකෙනයි නැගිටගෙන ගිහිල්ලා මල ඉඳලා දිව මැද මැද කට සේදුවා.".









