Monday, 23 August 2010

රසවතී ( 01 )

මගේ පොත් එකතුවෙ තියෙන පොත් වලින් ටිකක් විතර මගේ අතේ වැඩිපුර ගැවසෙන පොතක් තියෙනවා. ඒ තමයි සිබිල් වෙත්තසිංහ මහත්මියගේ, රසවතී  පොත. අපේ සමාජයේ තියෙන සියුම් තැන්  බොහොම අපූරුවට හාස්‍ය රසයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. මට නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැහැ..

නිකන් ඉන්නවට මට හිතුනා අද එක කතාවක් පොස්ට් කරන්න. මේ තියෙන්නෙ එතුමියගෙ වචන වලින් ම තමයි.

        හරි වැඩක් නේ මට වුණේ.බස් පඩියෙන් බිමට වැටුණා. කවදාවත් වුණේ නැති වැඩක්. ගෙදර ළඟම නිසා හොඳට ගියා. වේදනාවක් ටිකක දැනුණා. ඒත් ගණන් නොගෙන ගෙදර ආවා ඇවිත් වැටුනා පුටුව උඩ. එළෝළු මල්ල බිම.


"මොකෝ නෝනො?" කියාගෙන ගිමාරා ඇවිත් ඇහුවා.
" වැටුණා මං බස් පඩියෙං බිමට"  මම කිව්වා. ගිමාරා වේලක් බස් කාරයින්ට දොස් තිබ්බා, ඊට පසුවයි මගේ කකුල ගැන බැලුවෙ. කකුල ඉදිමිලා.
 "මං දන්නවා ඕකට හොඳ බේතක්" කියාගෙන ගිමාරා වැටෙන් පැනලා දිව්වා. එදා අපේ නැන්දම්මා ඇවිල්ලා. නැන්දම්මා කුස්සියේ උයනවා ආසාවට.
"මං දුවේ කුරිඤ්ඤං කොළ ගෙනාවා මලවන්න. පුතා ආසයිනේ කොළ ජාති මැල්ලුං කන්න"  නැන්දම්මා කුස්සියෙන් එළියට එබිලා කිව්වා.


"අම්මා අද ආ එකත් හොඳයි" මම කිව්වා. 
"මේ මගේ කකුලත් උළුක්කු වෙලානේ"
" ඒක නේන්නං මේ හිතක් පපුවක් නැති බස් කාරයෝ නිසා කොපමණ වද හිංසා විඳින්න වෙලාද" නැන්දම්මා කිව්වා.
 ගිමාරා ආවා. තණ කොළ පොට්ටනියක් අරගෙන . ටිකකට පසුව ගිමාරා වංගෙඩිය කොටනවා ඇහුණා.  "බේත හැදුවා නෝනෝ ටිකක් නිවෙන්න ඕන. එතකං තේ ටිකක් බොමු."  ගිමාරා කිව්වා. 
"අනේ ගිමාරෝ මට අඩිය බිම තියන්න බෑ. මොකෝ කරන්නේ?"  ගිමාරා මාව වාරු කරගෙන ගෙට ගියා. මං ඇඳට වැටුණා.

ටික ටික කකුලේ වේදනාව වැඩි වුණා ඉවසන්න බැරි තරම්. ගිමාරා බේත් මැල්ලුම ගෙනත් කකුලෙ තිබ්බා. බුලත් කොළේකින් වැහුවා. හොඳට එතුවා. මම ඉතිං භාවනා කළා. නින්ද ගියා.


  රෑ කෑම වෙලාවෙ මට ඇහැ ඇරුණා. කෑම කාමරේ මහා ගෝට්ටියයි. නැන්දම්මගෙ කට හඬයි තදින් ඇහුණේ.
" මොකෝ මං මීට කලිං මැල්ලුං හදලා නැතෙයි? අද ඉගෙන ගන්න හැදුවයි? "
 ඒ කියන අතරේ ගෙදර උදවිය  උගුර කාරනවා  පාදනවා  ඇහුණා.
 " මොනවද මේකට දැම්මේ?,
දූ අහනවා  ඇහුණා.
" දැං කාලෙ කෙල්ලෝ දන්නවාද වැඩ. මොකෝ පොඩි දුවේ මට වඩා හොඳට මැල්ලුං හදන්න දන්නවයි ඔහොම කියන්නේ?
"නෑ අත්තම්මෙ......මම නං මෙහෙම මැල්ලුමක් කවදාවත් කාලා නෑ.
ඒ එක්කම ඇහුණා ගලක හැපුණු පිඟන් සද්දයක්. අපේ එක්කෙනා මැල්ලුං පීරිසිය මිදුලට වීසි කරලා.


රෑ නිදා ගන්න ගිහිල්ලා මට  ඇහුණා ගිමාරා රහසෙන් අහනවා නැන්දම්මා ගෙන් 
 " ඈ ලොකු හාමිනේ බැලතණ වහද?"
 "අමුකහ වහද? "
" තලතෙල් නං වහ නෙවෙයි නේද?"

 "මොකෝ යෝදියේ උඹ ඔහොම අහන්නේ  ? කියාපං.  නැන්දම්මා සැර වුණා.
 " හෙමිං කතා කරා නං ලොකු හාමිනේ..." ගිමාරා ආයෙත් රහසෙන් කියනවා ඇහුණා.
 " මොකෝ හෙමින් කියන්නේ කාටෙයි බය . කියාපං"    නැන්දම්මා කෑ ගැහුවා.
  " හාමිනේ,,,     ගිමාරා ආයෙත් ආයෙත් කෙඳිරුවා  
" හාමිනේ මං,,,  
" මොනවද ගෑනියේ ගිල ගිල ඉන්නෙ නැතුව කියාපං  " නැන්දම්මා ගෙරෙව්වා. ගිමාරා රහසෙං ආයෙත් කිව්වා,,


 " මට බැරිවෙලා කුරිඤ්ඤං මල්ලුම නෝනාගේ කකුලේ බැන්දා"


" මොනවා!!!! හත් දෙයියනේ මේසෙට තිබ්බේ බැලතණ මැල්ලුමද? "  
නැන්දම්මා ගොර නාද කළා. 
රාත්‍රිය දෙබෑ කරමින් ගිමාරා කෑ ගහලා අඬා ගත්තා.
 දූයි අපේ එකෙනයි නැගිටගෙන ගිහිල්ලා මල ඉඳලා දිව මැද මැද කට සේදුවා.".

Thursday, 12 August 2010

දැරියකගේ දිනපොත

"1994 පෙබරවාරි 26 සෙනසුරාදා

 ස්ලැටා ෆිලිපොවික් බොස්නියානු දැරියක්. වයස 13යි.යුද්ධයේ ලේ සුවඳ පිරුණු බොස්නියානු අගනුවර  සරයේවෝ හි ජීවත් වුණු ඈ 1991 සිට දිනපොතක සටහන් තැබුවා. 
දෙවෙනි ලෝක යුද සමයේ නාසි හමුදාවෙන් වසන්ව සිටිමින් ඈන් ෆ්‍රෑන්ක් දැරිය ලියූ සුප්‍රකට දිනපොත මෙන්ම පිවිතුරු , නැවුම් උණුසුම් ළමා හැඟීමෙන් යුද්ධයේ අත්දැකීම් සටහන් වුණු  ස්ලැටාගේ දිනපොත මේ සතියේ ඉංග්‍රීසි බසින් අමරිකාවේදී පළවීමට නියමිතයි.

 " ඔන්න මම තීරණයක් ගත්තා  " මිමී " හොඳයි. මම ඔයාට මිමී කියලා  නම දානවා,
 එහෙනම් හරි     අපි පටන් ගනිමු .
 දයාබර මිමී, "
ස්ලැටා දිනපොත අමතන්නේ දයාවෙන්.   දිනපොතකට එච්චර සමීප වෙන්න පුළුවන බව දන්නෙ කලක් දිනපොතක් ලියූ කෙනෙකුම පමණයි."

මම මේ සටහන් මුලින් දැක්කෙ මම 7 හෝ 8 ශ්‍රේණියක ඉගෙන ගන්නා කාලෙ. විදුසර පත්තරෙන්, "අසඩක් ගේ දිනපොත " කියන තීරු ලිපියෙන්,, ඒකාලෙ නම් කවුරුත් වගේ ආසාවෙන් කියවපු තීරු ලිපියක්. ඔය තීරු ලිපිය ලිව්වෙ අසෝක ඩයස්  මහතා. පසු කලෙක තෝරාගත් සටහන් කිහිපයක් පමණක් ඇතුලත් කරලා එය "අසඩක්ගේ දිනපොත" නමින්ම පොතක් හැටියටත් පළවුනා  1995 මාර්තු මාසෙ. මම දන්න විදිහට 1990 ජනවාරි ඉඳලා 1995 ජනවාරි වෙනකම් අවුරුදු 5ක් ඔහු මේ තීරු ලිපිය ලිව්වා. ඒකාල ඉඳලා මට හරි ආසා හිතුනා මේ පොත් දෙක කියවන්න, ඒත් අවාසනාවට එකක් වත් ලැබුණෙ නැහැ.

මේ පොත් වල සිංහල පරිවර්තන තියෙනවා කියලා කවුරු හරි දන්නවාද? 

සති දෙක තුනකට උඩදි පොත් සාප්පුවකදි එක පොතක් මට හම්බ උනා.අවුරුදු පහළොවකට පස්සෙ,  අර කාවද දැක්කා වගේ තමයි සතුට. මට හම්බ උනේ ඔය කියපු පොත් දෙකින් මුලින් ලියවෙච්චි එක.
.




Anne Frank's    THE   DIARY  OF  A  YOUNG GIRL..
..






මේ පොත එක්ක බැලුවම හිතෙනවා අනිත් පොත ලියලා තියෙන්නෙ මුල් පොතේ ආභාෂය අරන් කියලා.

ඈන් ෆ්‍රෑන්ක්( Anne Frank ) එයගෙ දිනපොත ලියන්නෙ 1942, දෙවෙනි ලෝක යුද්ධ සමයෙ. ඒත් අනිත් දැරිය දිනපොතේ සටහන් ලියන්නෙ 1991 ඉඳන්.  කතා දෙකක් නැහැ සැලිටා කියවල  තියෙන්න ඇති ඈන්  ලියපු පොත. ඒ ඉතින් මේ දෙන්නම විඳලා තියෙන්නෙ දරුණු අත්දැකීමක්.

ඈන්  කියන්නෙ යුදෙව් පවුලක දැරියක්. ඒ නිසාම විවිධ තාඩන පීඩන එක්ක තමයි ඇය හැදී වැඩෙන්නෙ. දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ යුදෙව්වන්ට තිබුණු තැන කවුරුත් දන්නවා ඇතිනෙ. ඈන් ඉපදුණෙ 1929 ජුනි 12 වෙනිදා, සම වයසේ අනිත් දැරියන්ට වඩා තරමක් වෙනස් ගතිගුණ ඈන්ට තිබුණෙ. ඇය තමගේ දිනපොත ලිවීම ආරම්භ කරන්නෙ 1942 ජුනි  12 වෙනිදා ඉඳන්, ඒ කියන්නෙ  හරියටම ඇගේ දහතුන්වෙනි උපන්දිනය දවසෙ ඉඳන්.





"මම පටන් ගන්නම් ඔය මට ලැබුණු මොහොතෙ ඉඳන්ම, මං ඔයාව දැක්ක මුල්ම වතාවෙ ඔයා වැතිරිලා හිටියා මගේ උපන්දින තෑගි ගොඩ මැද්දට වෙල,,,
 එදා ජුනි 12 වෙනිදා, සිකුරාදා. මං නැගිට්ටෙ උදෙ හයට. පුදුම වෙන්න දෙයක් නෑ, එදානෙ මගේ උපන්දිනය. මට මේ වෙලාවට නැගිටින්න අවසර නැති හින්දා මං ඉවසගෙන හිටියා හතට කාලක් වෙනකම්. තවත්නං බලා ඉන්න බැරි හින්දා මං නැගිටලා සාලෙය යනකොට මගේ පූසා තමයි මාව මුලින්ම පිළිගත්තෙ.


හතත් ටිකක් පහුවෙනකම් ඉඳලා තමයි මම අම්මයි, තාත්තයි ළඟට ගියේ. ඊට පස්සෙ කෙලින්ම මගේ තෑගි ටික බලන්න. ඔයාව තමයි මම මුලින්ම දැක්කෙ. තව මං ආසා කරන රෝසමල් කූඩයක්, පියොනීස් මල්පැළයක් එහෙමත් එතන තිබුණා. අම්මලාගෙන් මට ලැබුණෙ නිල පාට හැට්ටයක්, ක්‍රීඩාවක්, මිදි යුශ බෝතලයක් , ප්‍රහේළිකා කාඩ් එකක්, ක්‍රීම් බෝතලයක්. ආ,, තව මට කැමති පොත් දෙකක ගන්න ටෝකන් එකකුත් අම්මලා දුන්නා. මට හම්ම්බවෙච්චි එක පොතක් මාගට් ගාව තිබුණු නිසා මං ඒක පස්සෙ වෙන වෙන දේවල් වලට මාරු කර ගත්තා. තව පැණි රස කෑම ජාති ගොඩාරියක් අම්මලා දීලා තිබුනා. වැඩේ කියන්නෙ හරියටම ඒ වෙලාවට  ආච්චි අම්මා ලියුමකුත් එවලා තිබුණනෙ."..





ඈන් දිනපොත ලියන්න පටන් ගන්නෙ ඒ විදිහට. දවස් දෙක තුනක් ලියලා ඈන් දිනපොතට නමක් දානවා. ඒ තමයි කිටී. ඊට පස්සෙ ලිය වෙච්චි හැම දවසකම ඈන් ලියන්න පටන් අරන් තියෙන්නෙ ආදරණීය කිටී කියලා. බොහොම කෙළෙ දෙලෙන් හිටපු ඈන් ට අවාසනාව අතවනනවා ඉක්මනින්ම. ඊළඟ ජුලි මාසෙ 9 වෙනිදා වෙනකොට ඈන් ඇතුලු මුලු පවුලටම හැන්ගෙන්න සිද්ධ වෙනවා ජීවිත බේරා ගන්න. ඈන්ගෙ පියාට අයිතිවෙලා තිබුණු සේවස්ථානයෙ තමයි ඔවුන් සැඟවෙන්නෙ.  ඈන්ගෙ පියාගේ සේවකයින් කිහිප දෙනෙක් පමණයි මේ ගැන දැනගෙන හිටියෙ. කොටින්ම   වසර දෙකක්ම මෙයාලා දකින පිටස්තර මනුස්ස ප්‍රාණියො වෙන්නෙ ඒ අයම තමයි.  මොනවා උනත් කිටීව ඒ කියන්නෙ දිනපොත අරන් යන්න නම් ඈන් අමතක කළේ නැහැ.

තමන්ගේ අම්මා තාත්තා එක්ක උනත් අඳුරු කුටියක  ජීවත් වෙනවා කියන්නෙ මොන තරම් දුකක්ද? ඒත් මේ පුංචි කෙල්ල තමයි මානසිකව අසරණවෙලා ඉන්න අම්මාගෙයි, අක්කගෙයි  හිත් වලටත්  ශක්තිය දෙන්නෙ. ඒ කුටිය ගෙදරක් කරන්න වැඩිපුරම මහන්සිවෙන්නෙ ඈන්. ඒත් හිත හඬා වැටිලා අසරණ වෙන වෙලාවට කිටී ට ඒ දුක කියලා හිත හදා ගන්නත් ඈන්ට ශක්තිය තිබුණා.පුංචි කෙල්ලක් විදිහට සැඟවෙච්චි ඈන් යුවතියක් වෙන්නෙත් ඒ  රහසිගත කුටියෙදිම තමයි..

A person who’s happy, will make others happy.
Anne Frank.

1944 අගෝස්තු 1 වෙනිදා තමයි ඈන් අවසාන සටහන ලියා තිබෙන්නෙ. මේ පුංචි දැරිය මුලින් ආසාවට ලියන්න පටන් ගත්තාට පස්සෙ දිනපොතෙ තැන් කිහිපයකම නිවැරදි කිරීම් කරල තියෙනවා පස්සෙ කාලෙක පොතක් විදිහට මුද්‍රණය කරන්න හිතාගෙන. එදිනෙදා සටහන් පමණක් නෙවෙයි, ඇය කතන්දර පවා ලියන්න ගත්තා.ගත් කතුවරියක් හෝ පුවත්පත් කලාවේදිනියක් වෙන්න සිහින මව්වාට ඈන්ට හැකි උනේ නැහැ තමන්ගේ සිහින සැබෑ කර ගන්න. දාසය වෙනි උපන්දිනයට මාස තුනකට විතර පස්සෙ ඈන් ට, ඇගේ සහෝදරියට සිද්ධවෙනවා යුදෙව්වන් වී උපන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න. යුදෙව්වො තුන්දහසක් පමණ එදා ඈන් ලට  එකතු උනා.



නමුත් ඈන්ගේ ආදරණීය තාත්තා මේ අවාසනාවන්ත ඉරණමෙන් ගැල උනා.  තමන්ගේ බිරිඳ, දියණියන් දෙදෙනා සෙවූ ඔට්ටෝ ෆ්‍රෑන්ක්(Otto Frank)ට හමු උනේ කිටී ව විතරයි.  ඈන් ඇතුළු පිරිස  හිට්ලර්ගේ අත් අඩංගුවට  පත්වීමෙන් පස්සෙ එතනට ගිය ඔට්ටෝ ගේ ලඝුලේඛිකාව වශයෙන් හිටපු සේවිකාවට හමුවෙනවා ඈන්ගේ දිනපොත. ඇය ඉතාමත් ප්‍රවේසමෙන් ඒක සුරකිනවා ඈන්ට එය දෙන්න. නමුත් ඔට්ටො ෆ්‍රෑන්ක් ගෙනාපු දුක්බර ආරංචියෙන් පස්සෙ ඇය දිනපොත දෙනවා ඔට්ටො ෆ්‍රෑන්ක්ට.


"this is your daughter's  legacy".

ඒ   සේවිකාවගේ   වචන .

තාත්තා  ඈන්ගෙ සිහිනය සැබෑ කරා.  1947 ජුනි මාසෙ මේ කඳුළු කතාව පොතක් උනා.
1958 වෙනකොට මේ කතාව වේදිකා නාට්‍යයක් විතරක් නෙමෙයි  ජනප්‍රිය චිත්‍රපටයක් බවටත් පත් වෙලා හමාරයි.

 අද වෙනකොට ඈන් සැඟවෙලා හිටපු නිවස කෞතුකාගාරයක්.


ලොව පුරා ඉන්න ඈන්ට ආදරේ කරන පිරිසක් මුහුණු පොතෙනුත් එක වෙලා ඉන්නවා...

 ඉඩක් තියෙන වෙලාවක මේ කතාව ඔබත් කියවලා බලන්න..

Thursday, 5 August 2010

රාජකාරිය සහ දේවකාරිය






අපේ ගෙදරින් වාර්ශිකව දානයක් දෙනවා ප්‍රදේශයේ තියෙන වැඩිහිටි නිවාසයකට,,
ඒකෙ ඉන්නෙ ආච්චිඅම්මලා. කළුතර මහ බෝධි භාරකාර මණ්ඩලය මගිනුයි පාලනය වෙන්නෙ.
ඉන්නෙ ආච්චි අම්මලා විසි පහක් විතර, ලස්සනට පිරිසිඳුවට, පිළිවෙලට තියෙන තැනක්. අපි දානේ අරගෙන ගියහම හැන්ඳෑවෙ ඔවුන් එක්ක බුදුන් වඳින්න , අපිවත් එකතු කරගන්නවා, දැන් ගිහිල්ලම තැනත් අපිට ටිකක් පුරුදුයි, ආච්චිලගෙ අහිංසක  මුහුණු ටිකත් හොඳට මතකයි. අපි දෙන්නෙ රාත්‍රී ආහාර වේල.

මීට අවුරුදු තුන හතරකට උඩදි අපි එහෙ ගිය වෙලාවෙ අලුත් මුහුණක් තිබුනා. ටිකක් විතර වෙනස් නිසා අපි කවුරු කවුරුත් ඇයට නොදැනෙන්න ඈ දිහා බැලුවා. ආච්චි අම්මා කෙනෙක් කිව්වට ඇය නම් වයස නැති බවක් පෙනුනෙ, අවුරුදු පනහක්, හැටක් කියන්න පුළුවන් කෙනෙක්, අපේ තාත්තලාගෙ වයස් වල වගේ.



 අමුතුයි කිව්වෙ ඇය කොන්ඩෙ කොටටම කපලා හිටියෙ, වැඩි කතා බහක් තිබුනෙත් නැහැ, කොටින්ම අනිත් ආච්චි අම්මලා උස් හඬින් ගාථා කියනකොට ඈ නිහඬව වැඳගෙන හිටියා. ඇස් පියාගෙන හිටියට බුදුන් වැඳීම කෙසේ වෙතත් ඇය මොනවාදෝ කල්පනා කරා. මහළු නිවාසයකට එන්න වෙන කෙනෙකුට කල්පනා කරන්න මොන තරම්  දේවල් ඇද්ද  ,එතන ඉන්න සමහර වැඩිහිටියො අපේ ගමේම අය,,ඒ කියන්නෙ කාගෙ කවුද කියලා අපි දන්න කියන   අය.මෙයා නම් අලුත්ම අලුත්.බැලුවම එයා වගේම එදා අපි කවුරුවත් හරියට බුදුන් වැඳලා නැහැ. හැමෝම බලලා තියෙන්නෙ අලුත් සාමාජිකාව දිහා...


එදා දවසෙ පන්සිල් අරන් ඉවර වෙලා දානේ බෙදන වෙලාවෙ අර ආච්චි අම්මා කෑමට ආවෙ ටිකක් පරක්කුවෙලා. ඇය ඒ ගැන අපෙන් සමාව ඉල්ලුවා, තමන්ට දියවැඩියා රෝගය තියෙන නිසා, ඉන්සියුලින් එන්නත් කර ගන්න ගිය නිසා පමා උනා කිව්වා. ආහාර වගේම අපි අපිට පුළුවන් හැටියට පිරිකරකුත් හැමදාමත් දෙනවා  .,අපි දෙන්නෙ සුළු දෙයක් උනාට ඒ වගේ තැනක ඉන්න අයට හුඟාක් වටිනවා වෙන්න පුළුවන්. දානේ ඉවර වෙලා හැමදාමත් අපි ඒ අය එක්ක කතා කර කර ටික වේලාවක් ඉන්නවා. අපි දීපු දේවල් අරගෙන පුංචි ළමයි වගේ සතුටුවෙන ඒ  අසරණයො  දකින එක අපේ ඇස් වලට නම් රසඳුනක්...

එදත් පුරුදු විදිහට  අපි ඉන්නකොට අර අලුත් ආච්චි අම්මා අපේ තාත්තා ළඟට ඇවිත් කතා කරා..

" මට මේ මහත්තයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?,,


තාත්තා පිළිතුරු දුන්නෙ සිනහවකින්
 ඇයට ඒ ප්‍රතිචාරය ප්‍රමාණවත්, ඇය නැවත දොඩමළු උනා

" මම මෙහෙට අළුතින් ආවෙ"


" ඔව් අපි ගිය සැරේ එනකොට මේ අම්මා හිටියෙ නැහැනේ"


"මට මේ මහත්තයාගෙන් යමක් දැන්ගන්න ඕනෙ..මහත්තයා ගුරුවරයෙක් කිව්ව නිසයි අහන්නෙ,, මට මාස කිහිපයකින් පෙන්ශන් එක ගන්න යන්න බැරි උනා. මම අසනීපෙන් හිටියා. දැන් නම් මට සුවයි. මම වැඩ කරේ **** මහරෝහලේ සිස්ට කෙනෙක් විදිහට. කොහොමද මම මගේ පෙන්ශන් එක ආයෙත් හදා ගන්නෙ?"

ඇය හිතාගෙන ඉඳලා තියෙන්නෙ තමන්ගෙ විශ්‍රාම වැටුප අවලංගු කරලා කියලා, තාත්තා  දන්න විදිහට ඇය දැනුවත් කරා.  ලැබුණු තොරතුරු හින්දා ඇය ඉතාමත් සතුටට පත් උනා කියලා අපිට දැනුනා..ඒත් අපි කවුරුවත්  ඇහුවෙ නෑ ඇගේ පෞද්ගලික තොරතුරු මොකවත්ම.මොකටද කාගෙවත් තුවාල හාරන්නෙ,,.ඒ වෙලාවෙ එතන හිටියෙ අපි කිහිප දෙනෙක් විතරයි.  නිසා වෙන්න ඇති ඇය  නැවතත් දොඩමළු වෙන්න ගත්තා. සියුමැලි නොවූ කට හඬකින් අය අගේ කතාව අපිත් එක්ක කියන්න පටන් ගත්තා.


"මම මෙහෙට ඇවිත් දැන් මාස දෙකක් වෙනවා. ඇත්තටම මෙච්චර කල් මෙහෙට දානෙ ගෙනාපු කා එක්ක වත් මම කතා කරලා නැහැ. ඕ ගොල්ලො එක්ක මෙහෙම කතා කරන්න හිතුනෙ ඇයි දන්නෙ නැහැ. 
මම අන්තිමට වැඩකරේ  **** මහ ඉස්පිරිතාලෙ. සිස්ට කෙනෙක් විදිහට. මම  රස්සාවට ඕනාවටත් වඩා ජීවිතය කැප කරපු කෙනෙක්. ඒ කාලෙ මම මගේ ගෙදර අයට වඩා හිතුවෙ මගේ වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු ගැන. මට දුවෙකුයි, පුතෙකුයි හිටියා.  ඒත් මම දරුවො ගැන හිතුවට වඩා මගෙන් වෙන්න ඕනෙ සේවය ගැනයි හිතුවෙ.මගේ මහත්තයා වැඩ කරේ   ******* දෙපාර්තමේන්තුවේ. 


ටික කාලයක් යනකොට අපේ ගෙදර රණ්ඩු දබර පටන් ගත්තා. හේතුව මම රැයක් දවාලක් නැතුව කාලය ඉස්පිරිතාලෙටම ගතකරපු නිසා. අන්තිමට අපි වෙන් උනා. මම දරුවො දෙන්නව හදාගෙන හිටියා. කාලයක් ගතවෙලා මම විශ්‍රාම ගන්න ගත්තා. මේ වෙනකොට මගේ මහත්තයා මිය පරලොව ගිහින්. පුතා තමයි වැඩිමල්. එයා ඕස්ට්‍රෙලියාවෙ පදිංචියට ගියා. මේ අතර දුව නර්සින් වලට තේරුනා. ඒ නිසා එයත් ගෙදරින් ඈත් උනා. මහ විශාල ගෙදරක මම විතරක් තනි උනා..


එතකොට තමයි මට පහුගිය දේවල් මතක් වෙන්න ගත්තේ. මගේ අතින් ලෙඩ්ඩුන්ට සේවයක් උනාට, මගේ මහත්තයාට, දරුවන්ට උනේ කොයි තරම් අසාධාරණයක්ද කියලා මට දැනුනෙ එතකොට. මම හිතෙන් හරියට දුක් උනා. අන්තිමට මම ලෙඩ උනා. මට එක එක හීන පේන්න ගත්තා. සද්ද ඇහෙන්න ගත්තා. අන්තිමට මම මොනවද කරේ කියලා මට මතකත් නැහැ. මම මානසික රෝගියෙක් උනා. ඒත් අහිතක් හිතන්නෙ නැතුව ලෙඩ්ඩුන්ට සේවය කරපු නිසාම වෙන්න ඇති මම ටිකෙන් ටික සුව උනා..,ඒත් මම සුව උනාට මගේ දුවට මගේ ළඟ ඉන්න විදිහක් නැහැ. එයා තවම නර්සින් ස්කූල් එකෙන් පිට වෙලා නැහැ.ආයෙත් තනි උනොත් මම ලෙඩ වෙන්න පුළුවන් නිසා දුව මාව මෙහාට ඇරලුවා. පුලුවන් හැම වෙලාවකම දුව එනවා මාව බලන්න,,,

ඒ ඇගේ වදන්. අපි ඇස්පිය නොහෙලා, හුස්ම පහත නොදා අහන් හිටිය අගේ කතාව.




"මගේ දුව නිළියක් මහත්තයා,,, අහවල්  ටෙලිනාට්‍යයෙ, අහවල් චරිතෙ කරන්නෙ මගේ දුව තමයි. අර **** කිරිපිටි  දැන්වීමෙත් රඟපානවා". 

ඇය කිව්වෙ ඇස් අග මතු වෙච්චි සතුටු කඳුළු එක්ක..

තවත් ටික වේලාවක් අපිත් එක්ක කතා බහ කරපු ඇය අපෙන් සමු ගත්තා. අනෙක් ආච්චි අම්මලා හමුවෙන්න ඔවුන්ගේ කුටියට යනකොට අපි දැක්කෙ කිසිම වෙනසක් නැතුව අනිත් අයත් එක්ක දොඩමළු වෙලා ඉන්න මේ අළුත් සාමාජිකාව. අනේ මම මෙහෙම ඉන්න ඕනා කෙනෙක් නෙමෙයි, මට ලොකු ගෙයක් තියෙනවා, මම හිටපු සිස්ට කෙනෙක්,, ඔය වගේ ලොකු කම් මුකුත්ම ඇගේ මුහුණෙන් පෙනුනෙ නැහැ...

"ඉස්සර නම් අපි ටී.වී බැලුවෙ නැහැ.  දැන් මේ ***** අම්මගෙ දූ ඉන්න ඒවා අපි බලනවා." එක් ආච්චි අම්මා කෙනෙක් අපිත් එක්ක කිව්වා.

 ගෙදර එන ගමනුත්, ආවායින් පසුවත් අපි හුඟාක් වෙලා කතා කරේ ඒ ආච්චි අම්මා ගැන.

 මම දන්න විදිහට ඊට ටික කාලෙකට පස්සෙ ඇගේ දුව ඇයව නැවතත් එක්කන් ගිහින් තිබුනා.විස්තර කියද්දි ඇය අපිට ඇගේ නිවස තිබෙන තැන පවා කීවා. ඇත්තටම මට වෙලාවකට ඒ ගෙදරට ගිහින් බලන්න තරම් හිතෙනවා. ඇගේ දුව නම් දැන් කොහේ හෝ සේවය කරනවා ඇති. ඇය දැනුත්  ටෙලි නාට්‍ය කිහිපයක රඟපානවා.
 කවුරු නමුත් අසරණ මිනිස්සු වෙනුවෙන් වෙහෙසපු දෑතක් නිසා මම ඇයට නිදුක් නිරෝගී සුව පතනවා,,,,,.



Wednesday, 28 July 2010

මල් වට්ටිය






මගෙත් එක්ක බබල්ගම් කාපු යාළුවා මතක ඇතිනේ. මේ එයාගෙ හපන්කමක්.

 ඔන්න සෞන්දර්ය විශයට මම කලේ චිත්‍ර. එයා කරේ නැටුම්.   එතකොට අපි 11 වසරෙ. මෙයාලගෙ නැටුම් ටීච හැමදාමත් උදේට බුදුන්ට, සරස්වතී දේවියට මල්, පහන් පූජා කරලා තමයි  වැඩ පටන් ගන්නෙ.  හැමදාමත් 11 පංතියට තමයි මේ පූජා භාණ්ඩ ගේන්න නියම වෙලා තියෙන්නෙ. මොකද ඒ වැඩේ පිළිවෙලට කෙරෙන්න ඕනා නිසා, ඇයි සෞන්දර්යය කරන ලොකුම ළමයි ඉන්නෙ 11 පංතියෙනෙ.අපේ ඉස්කෝලෙ ඒ කාලෙ උසස් පෙළ නැටුම් විශය තිබුණෙ නෑ..

ඔන්න ඉතින් මෙයාලට  ටික දවසක් කරනකොටම වැඩේ එපා උනා, මොකද අපේ පංතියෙන්ම නැටුම් කරේ ගැහැණු ළමයි කිහිප දෙනයි. මේ  යාළුවා එන්නෙත් බස් එකේ. සමහර දාට ගේන මල් පොඩිවෙලා. තැලිලා. එක්කො ගේන මල් ප්‍රමාණය මදි.  එදාට ඉතින්  එක්කො බැනුම්. නැත්නම් කුඩම්මගෙ සැළකිළි.

  දැන් ඉතින් මොකද කරන්නෙ. එයායි, එයාටම හරියන තවත් එක්කෙනෙකුයි එකතු වෙලා ගැහුවා ප්ලෑනක්..ඊට පස්සෙ හැමදාමත් උදේට සුදුම සුදු වතුසුද්ද මල් වට්ටියක් නැටුම් කාමරේ ට යනවා. අනේ මිසුත් මේ දෙන්නට හරිම ආදරේ උනා..

මොකක්ද මේ වෙනස. අපේ ඉස්කොලෙට යාබදව තිබුනෙ නගරයේ ක්‍රිස්තියානි පල්ලියේ සුසාන භූමිය. මෙයාලා මල් කඩා ගත්තෙ එහෙන්. කොහොමද කෙල්ලො දෙන්නගෙ වැඩේ?.

 මල් නම් කොහෙ පිපුනත් එකයි. ඒත්  මේ මල් තමන් වඳින්න පුදන්න කලින් තිබුනෙ සොහොනෙ කියලා නැටුම් මිස් අදටත් දන්නෙ නැතුව ඇති. දැනගත්තා නම් ඉතුරු කරන එකක් නෑ...
.

පුණ්‍යානුමෝදනා







"වැට කටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ළඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කළුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ"


මේ විමලරත්න කුමාරගම කවියා විසින් රචිත කවියක්. මට හිතුනා තම තමා නැණ පමණින් සටහන් පෙළ ලියූ ඔහුත් මේ විදිහට සිතුවාදෝ කියලා.

  සුවසක් සිසුන්ට නැණ පහන් දල්වා අද අවසන් ගමනේ යෙදෙන කුමුදු පිංතු නම් වූ දයාබර, මිනිසා, ගුරුතුමා වෙනුවෙන් කළ හැකි කෘතගුණ සැළකීමක් ලෙස මේ සටහන ලියා තබනෙමි.

ඔබට අමා මහ නිවනම පතමි  !!!.

Monday, 26 July 2010

දඟ ළමයි සහ හොඳ ළමයි



ඉස්කෝලෙ කාලෙ මොන තරම් සුන්දරයිද නේද? අපි කාටත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ. අර එච්.ජී. වේල්ස් ලියලා තිබුනා වගේ කාල යන්ත්‍රයක් තිබ්බා නම් කීයක් ගියත් එක පාරක්  යනවා පාසල් කාලෙට, අනේ ඇත්තමයි.

ඒ කාලෙ කරපු ගොඩක් දේවල් වල හොඳ නරක තේරෙන්න්නෙත් දැන්නෙ. පස්සෙන් පහු මං ගුරුවරියක් වෙලා උගන්නන කාලෙ ළමයි කරපු සමහර  වැඩ වලට ගැහුවට,  බැන්නට මට නම් අනන්තවත් මතක් උනේ අපිත් එහෙම්මමයි නේ කියලා, නැත්නම් අපි එක්ක හිටපු අයත් ඔහොම වැඩ කෙරුවනේ කියලා.        සමහර වෙලාවට මට බනින අතර හිනාත් යනවා. ඊට පස්සෙ නම් ඉතින් නඩු අහලත් ඉවරයි. අනේ ඒ පොඩි එවුන් දැන් මොනවා කරනවා ඇද්ද?

මගේ ගුරු ජීවිතේ එදාවේල කන්න , අඳින්න නැති, අම්ම අප්පගෙ ආදරේ නැතුව දුක් විඳපු ළමයි වගේම, බෙන්ස් කාර් එකෙන් බැහැලා ආපු ළමයිනුත් හමුවෙලා තියෙනවා.නිමලව  ඉස්කෝලෙදි තමයි ගොඩක්ම දුප්පත් ළමයි හිටියෙ. දුක් විඳලම ඇට්ටර වෙච්චි ළමයිත් හිටියා.

 ඒක ගොඩක් පොඩි ඉස්කෝලයක්, එහෙ එතකොට 7 පන්තියෙ ළමයි දෙතුන් දෙනෙක් හැමදාමත් පිට්ටනිය පත්තට යනවා. මේක බලන් හිටපු මම දවසක් විපරම් කරා කොහෙද යන්නෙ කියලා, අනේ බලනකොට  ඉන්ටවල් එකට කන්නෙ එරමිණියා.
තවත්  ඒ පන්තියෙම ගෑණු ළමයෙක් දවසක් උදේ 9ට විතර ඉස්කෝලෙ ආව. මම එතකොට පාඩම උගන්නලා , ගණනුත් හදන්න දීලා ඉවරයි

"මොනවද මෙච්චර වෙලා කරේ , සනෝජි ඔයා එන්නෙ බස් එකේ නෙමෙයි නේ?"
"අම්මා උදෙන්ම වත්තෙ වැඩට ගියා මිස්, මම නංගිලට කන්න බත් උයලා ආවෙ"

මම එවෙලෙ පත්වෙච්චි අපහසුතාවය දැකපු ඒ පන්තියෙම කොලු පැංචෙක් මොකක්දෝ විහිලුවක් කරලා කතාව මඟ හැරියා කියලා මට හොඳට මතකයි. හැබැයි මගේ ඇස් දෙකට කඳුළු නම් ආවා. ඒ වෙනකොටත් ඇත්තටම මට හරියට බතක්, මාළුවක් උයා ගන්න බැහැ. මේ අවුරුදු දොළහක පුංචි එකී විඳින දුක.

දවසක් ළමයෙකුට මම දොස් කිව්වා
 "අම්මලා, තාත්තලා මහන්සිවෙලා හම්බකරලා නේද පොත් පත් අරන්දෙන්නේ"  කියලා, මෙන්න මේ ළමයා කියපි
 " නෑ මම තේ වතු වල , වල් නෙලලා හම්බකරන සල්ලි වලින් පොත් ගත්තේ කියලා "
 ඉතින් කාට කියන්නද?
අර ටෙක්ලත් හිටියෙ එහෙනේ.

මේවා ලියලා ඉවර කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. සමහර විට මම තාමත් ගුරුකම් කරා නම් මේවා  ඇඟට පත්තියන් වෙන්නත් තිබුනා.

මම ඇත්දැකපු හොඳම දෙයක් තමයි පාසලේදි දඟ වැඩ කරලා බැනුම් අහන ගුටි කන ළමයි, ගුරුවරුන්ට ආදරෙයි, බෝපැළ වගේ ළමයින්ට වඩා.
 පොතේ එල්ලිලා ඉන්න ළමයි හරිම ආත්මාර්ථකාමියි. තමන්ගෙ යාළුවෙකුට උනත් උදව් කරන්න පැකිලෙනවා.
 පොතේ වැඩයි, දඟ වැඩයි දෙකම කරන්නෙ නම් ඇම්බැට්ටයොම තමයි .පතෝල වගේ. ගුණත්  නෑ, අගුණත් නෑ.
අර පංතියෙ දඟලන කට්ටිය තමයි පාසලේ පොදු වැඩ වලදි මුල් තැන ගන්නෙ. අනිත් දෙපිරිසටම වඩා මේ අය ගුණ ධර්ම අතින් නම් පොහොසත්.

මම දුශ්කර සේවය කරන කාලෙ 11 පංතියෙ ළමයෙක් හිටියා මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වැඩ කරන්න තරම් උනන්දුවක් තිබුනෙත් නෑ ඒ ළමයට.  තාත්තගෙ වැඩේ නිතරම ඇවිත් පුතා ගැන අහන එක. මේ ළමයා මුල් වතාවෙ විභාගෙ ෆේල්. ප්‍රතිපල එන්නත් කලින් මෙයා ආපහු ඉස්කෝලෙ ආවා. අපේ සමහර  අය මේකට කැමති උනේ නැහැ, කොටින්ම  විදුහල්පතිතුමිය එක්ක කිව්වෙ මේ ළමයි ටිකත් නරක් කරයි කියලා.
මගේ පාඩමක් වෙලාවක මෙයා බිත්තියෙන් එහා පැත්තෙ ඉන්නවා දැකලා දවසක් මම මේ සුපුන්ව පංතිය ඇතුලට අඬ ගැහුවා. කියන පමාවෙන් කොල්ලා ඇතුලෙ. අනේ පව්, මම හිතන්නෙ කවුරුම හරි කතා කරන කම් බලන් ඉන්න ඇත්තෙ. කොහොමින් හරි කලින්ට වඩා පුලුවන් හැටියට මහන්සි වෙලා යාන්තම් විභාගෙ ගොඩ දා ගත්තා.

ඊටත් කාලෙකට පස්සෙ මම සති අන්තෙ ගෙදර යන වෙලාවක බස් එක චෙක් පොයින්ට් එකක නතර කළ වෙලාවක හමුදා සෙබළෙක් කියන්න පුලුවන් ළමයෙක් මගේ ළඟට ආවා. කොට කොණ්ඩෙ නිසා එයාලව අඳුර ගන්න ලේසියි. බලනකොට සුපුන්. විභාගෙ පාස් වෙච්චි නිසා   navy එකට  බැඳෙන්න පුළුවන් උනාලු. අර සෙනඟ ගොඩක් මැද්දෙ දණ ගහලා වඳිනකොට මගේ අස් දෙකට කඳුළුත් පිරුනා. වටේ පිටේ හිටිය අයත් බලන්න ගත්තා.ඒ ළමයා ඒ වෙලාවෙ වැන්දෙ හදවතින්මයි කියලා මට හිතුනා. ඇත්තටම මට දැණුනු සතුට කියන්න වචන නෑ.

විභාගෙ යන්තම් පාස් උනාට ඒ ළමයා ජීවිතේ දිනලා නේද?

ගුරු ජීවිතේ තවත් තොරතුරු මතු ලියන තෙක් නවතිමි,,,,,,,,,,,,,,..

Sunday, 25 July 2010

මල්ලි ඉන්න

           බ්‍රහස්පතින්දා හවසට මෙහෙ ගොඩක් අය කැමතියි. මිනිස්සුන්ගෙන් පිරිලා. මාසෙ අන්තිම දවස් නම් තවත් සෙනඟ. අම්මෝ මේ දවස් වල තියෙන රස්නය. පහුගිය අවුරුදු වලට වඩා වැඩිද මන්දා. කොහොමහරි ඊයෙ දවල් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 48 ක් විතර.  වැඩට යන අපේ මහත්තයා කැමති ගෙදරට වෙලා හොඳට නිදා ගන්න. ඒ නින්දෙ දිග , පළල නම් තීරණය කරන්නෙ චූටි දූ. මුළු දවස තිස්සෙ ගෙදර ඉන්න අපි දෙන්නා කැමති එළියට යන්න. ඔන්න ඉතින් වලියට මුල එතනලු. අන්තර්ජාලෙත් නොතිබුනා නම් ඉතින් පිස්සු තමයි

.ටික දවසකට උඩදි , බ්‍රහස්පතින්දාවක හවස අපි ගියා එළවළු ගේන්න.  city එකේ ලංකාවෙ එලවළු තියෙන කඩේට. ඔය හරියෙ හවසට වාහනයක් නවත්තගන්න එක නම් හරිම අමාරු වැඩක්. සති අන්තෙ කොහොමත් බෑ. ඔන්න ඉතින් අපිත් ඉඩ තියෙන තැනක් හොය හොයා වට කීපයක් ම ගියා. එක පාරටම ඉස්සරහින් ආපු වාහනයක් නිසා අපේ ඉඩ ඇහිරුනා. කවුරු උනත් නොදන්නා කම නිසයි එහෙම උනේ. එතනින් ඇතුල්වෙන්න බෑ. සිංහලෙන් නම් one way .

කවුරු උනත් ඒ ආපු කෙනා නොදන්න කම නිසා වෙන්න ඇති එහෙම උනේ. දැන් අපේ පිටිපස්සෙ වාහන පෝලිමයි. අරයා පස්සට යන්නෙම නෑ. කොටින්ම අර වාහනේ අපේ වාහනේ ගෑවී නොගෑවී තියෙන්නෙ.  අපේ එක්කෙනාටත් අර ලඟදි පුතා දාපු  post  එකක තිබුනා වගේ මලබාරියො අරහං. ගොඩක් වෙලාවට මලයන්ව දැකපු ගමන් අඳුර ගන්න පුලුවන්. ඔන්න ඉතින් වෙච්චි වැඩේටයි, මලයො එක්ක තියෙන තරහටයි දෙකටම වාහනේ හෝන් එකත් හයියෙන්ම ගහන ගමන් බනින්න ගත්තා. හැබැයි සිංහලෙන්. මොකටද නිකන් තේරෙන්න බැනලා රණ්ඩු ඇතිකර ගන්නෙ නේද?

"මේ බූරුවා පස්සට යන්නෙම නැහැනේ", ඔය වගේ සත්තු කිහිප දෙනෙක්ම අපහාස වින්දා ඒ වෙලාවෙ.
අනේ මෙන්න ජනේලෙන් බෙල්ල එළියටම දාපු අර මලයා කියපි,,

" හා මල්ලි මම පස්සට ගන්නම් කියලා"
ස්ස්ස්ස්ස්ස්,,,,,,,,,,,,,,,,,  චණ්ඩියා සද්ද නෑ. සිංහල පුලුවන් මලයෙක් නෙමේ, මලබාරි පෙනුම තිබුනට අපේ රටේ කෙනෙක්. එළවළු ගෙනියන්න ඇවිත්,,,

මීට පස්සෙ බනින්න කලින් විරුද්ධ පාර්ශවය කට අරිනකම් හිටියා නම් හරි නේද?