
ක්‍රීඩා මාණ්ඩලික තරඟ. අද මුල් දවස. වැඩ වැඩි. හවස් වෙනකම්ම තරඟ තියෙයි. එහෙම දාට ළමයි එක්ක ඉස්කෝලෙන් එවන පිරිසක් ඉන්නවා. අපේ ලොකු තැනගෙ තේරීමට අනුව. අවිවාහක කට්ටිය සහ බෝඩිම් ජීවිත ගෙවන අපි වගේ කට්ටිය. ඒ කට්ටිය ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ කියන්නෙ. කන්තෝරු ඇරෙන වෙලාවට පාරෙ බස් වල යන්න තියෙන අමාරුව මැඩම් දන්න නැහැ නෙ.
අපේ ස්ටාෆ් එකෙ රසිකා කියනවා " මෙන්න මේ වගේ වෙලාවට තමයි ඉක්මනටම කසාදයක් බැඳගන්න හිතෙන්නෙ". ඉස්කෝලෙ ඉන්න වයසක පහේ කට්ටියට නම් මේ සර්කිට් මීට් එකෙ මුල් දවස් දෙක පේන්න බෑ.ඇයි ඉතින් ඔක්කොම තරඟවල මූලික එව්ව ඉවර කරනකොට හවස හතරත් වෙනව. අපිට ඉතින් එදාට බෝඩිමේ ඇන්ටිගෙ මෙලෝ රහක් නැති බත් එකවත් නෑ.
එහෙම හවස් වෙනදාට, අමතර පංතියක් කරනදාට බත් එකක් බැඳල දෙන එක වගේ නරක පුරුදු අපේ බෝඩිමේ ඇන්ටිට නම් තිබුණෙම නෑ. දුක් වෙලා මොකටද කියලා අපි නං කරන්නෙ ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා, අතේ තියෙන කීයකින් හරි ළමයිටත් අයිස් පැකට් වගේ ඒවා අරන්දීලා හවහට ගෙදර යන එක තමා. කොහේ හරි ඉස්කෝලෙන් පිට වැඩකට යවනවා නම් යවන්නෙ අපි දෙන්නවම. හවසට එකට යන්න පුළුවන්නෙ.
මමයි ප්‍රසාදියි කෑවෙ එකම බෝඩිම් බත. ඒ අතින් අපේ ලොකු තැන සෑහෙන්න අපි ගැන හිතුව.
මේ ගමන එව්වෙ අපි දෙන්නවයි, රසිකයි, අරුණ සර්වයි, ගුණරත්න සර්වයි. අරුණ සරුත් අපි වගේ බෝඩිං ජීවිතේ. ගුණරත්න සර්ත් මැඩම්ගෙ නිර්ණායක අනුව අපේ කුලකෙම තමා.ආ තව ක්‍රීඩා ගුරු චන්දනයි.
ඉස්කෝලෙදි නං මොනවට ගහ මරා ගත්තත් පිටට ආවහම අපි සෑහෙන්න එකමුතුයි. ඔය වෙලාවටනෙ අපි ඔය ලොකු ලොකු ඇත්තන්ගෙ කැරැක්ටර් සර්ටිෆිකේට් ගැන එහෙම හොයල බලන්නෙත්. ..
" 6 පංතියෙ සඳුනි ඊයෙ මට කියනව, මසං ගහ යට ඉන්නකොට ඉශාන් එයාට *කා, *කා කිව්වළු, "පන්තිය ඉස්සරහ හිනාවෙන්නත් බෑ. මම නඩුවත් එක්කම විත්තියයි ,පැමිණිල්ලයි දෙන්නම යැව්වා ඉන්දු ටීච ළඟට."
ළමයි තරඟවල. අපිට් හිනා වැලයි.
" සර්ල ටීචල මෙහෙට වෙලා හොඳට ඉන්නව. අරෙහෙ අපේ ළමයින්ට අසාධාරනේ. එකොළහෙන් පහළට ඉන්න අපේ ළමයව දුර පැන්නුවෙ දෙපාරයි. ඇයි සර් සර් වයිස් ප්‍රින්සිපල් වෙලත් කිසිම වගකීමක් නැහැනෙ.."
දෝස් මුර සේරටම ගුණරත්න සර්ට. අපි මේ හිනාවෙන අස්සට හෙන ගහන්නා වගේ කඩං පාත් උනේ. බලනකොට එකොළහෙන් පහළ ළමයෙක්ගෙ අම්මෙක්. චුට්ටක් විතර කටසැර වැඩි කෙනෙක්. අපි මේ හිනාවෙන අස්සෙ එකොළහේ පහළ දුර පැනීම් පටන් අරන්. එනවුන්ස් කරාට අපිට ඇහිලත් නැහැනෙ. ඔන්න ඔහෙ බැන්නත් මොකෝ. බනින්නෙ ගුනේ සර්ටනෙ.
චට පට ගාලා බැනල බැනල ඒ අම්ම ගියා. වැස්සක් වැහැළ පෑව්ව්ව වගේ. අපිව එව්වෙ එක එක්කෙනාට ළමයි වයස් සීමා අනුව බෙදා දීල.
"කාටද එකොළහෙන් පහළ භාර දුන්නෙ?"
"මට" ප්‍රසාදි හරිම අහිංසක විදිහට කිව්ව..