Sunday 15 December 2013

කුණු බක්කි


මහ රෑක, කුණු බක්කියක් අවුස්සන මනුස්සයෙක්ව දැක්කොත් මොනවා හිතෙයිද?

මේ මොනවද සොයන්නෙ. වාහනයෙන් නොබැහ අපි බලන් හිටියා. ඔහු සෙව්වෙ හිස් බීම කෑන්. මුළු කුණු බක්කියෙන්ම ලැබිලා තිබ්බෙ කෑන් දෙකක් හෝ තුනක් පමණ. පසෙක නවතා තිබූ පා පැදියෙන් ඔහු ආපහු ගියේ. කිට්ටුව පාත ඉන්න කෙනෙක් නම් පාපැදියකින් එන්නෙත් නෑ. එහෙනම් ඔහු නගරය පුරා ගිහින් හිස් බීම කෑන් එකතු කරන්නෙක්.
මේ කෑන් විකුණා කොපමන මුදලක් ලද හැකිදයි මා දන්නේ නැහැ. ඒත් එකක බර ග්‍රෑම් දහයක් හෝ පහළොවක් පමණ වෙන කෑන් කිලෝවකට උනත් රුපියල් තුන්සීයක පමණ මුදලක්වත් ලද හැකියයි මට නම් හිතෙන්නෙ නෑ.

මට නම් ඒක බලන් ඉන්න අපහසු දසුනක්. ආයෙ නම් කවදාවත් බීම කෑන් කුණු ගොඩට දාන්න හොඳ නෑ. මේ කුණු බක්කි වලට මිනිස්සු විසි නොකරන්නෙ මොනවද, කුණු ගෙනියන්න ටිකක් හරි පමා උනොත් මේවයින් එන දුඟඳ, පලාතකින් යන්න බැරි තරමේ. ඒත් අසරණකම ඉහවහා ගිය වෙලාවක මිනිස්සු වෙන මොනවා කරන්නද?

දහවලේ ගිනි අව්වේ ගොඩනැගිලි වඩ බිම් වල, මහා මාර්ග වල වැඩ කරනා, තුට්ටු දෙකක් පඩි ගන්නා මිනිස්සු, තව කීයක්ම හරි හොයා ගන්නයි කුණු බක්කි අවුස්සන්නෙ.

අපි බීම කෑන් එකතු කරා. නගරයේ කොහේ ඉඳන් බිව්වත් හිස් කෑන් එක ගෙදරම අරන් ආවා. ඒ හින්දම පළතුරු බීම බොන්නෙ නැතුව, අධි සාන්ද්‍ර සීනි තියෙන කොකා කෝලා, පෙප්සිම බොන්න සිද්ධත් උනා. ආසන්න විදිහට බීම කෑන් කිලෝ දෙකක් පමණ එකතු කර ගන්නට මාස හය හතක්ම ගත උනා. ඒ කාලය තුලම නැවත් වතාවක් නම් කුණු බක්කියක් අදින කිසිවෙකුත් මා දැක්කේ නෑ. ගෙයි එක මුල්ලක් පිරිලා. සමහර විට කෑන් මිලදී ගන්න එක නතර වෙලා ඇති. එහෙමත් නැත්නම් ඒ අය නිවාඩුවට සියරට ගිහින් වෙන්න ඇති.

දවල් දොළහට පාසල් යන දරුවා එන වෙලාව. බස් රථය එනකම් අල්ලපු නිවසේ ඉන්න ඉන්දියානු යෙහෙළියත් සමඟ දොඩමළු වෙච්චි වෙලාවක ආයෙම කුණු බක්කිය ළඟට කෙනෙක් ආවා. කලින් දුටු අයම වෙන්න බැහැ. මේ මහ දහවලේ, මොහො ඉන්නෙ නිල ඇඳුමෙන්මයි. වැඩබිමක කම්කරුවෙක්.
පොඩ්ඩක් ඉන්න , මගෙ ළඟ කෑන් තියෙනවා. එහෙම කිව්ව මම ඉහළ මාලයේ තියෙන නිවසට ගිහින් කෑන් මල්ල අරන් ආවා. ඒ එක්ක මාරු සල්ලි වලින් දිරාම් දහයකුත්.

ලොකුම ලොකු කෑන් මල්ල දැක්කම ඔහුගෙ ඇස් දිලිසුනා. තමන්ගෙ අතේ තිබ්බ අනිත් බඩුත් බිම තියලා , දෑත් එකට බැඳගෙන බඩ මැද්දෙ තියා ගෙන මොනවද කියන්න පටන් ගත්තා.

සහෝදරයා, මෙයා ශ්‍රීලංකාවේ, එයා හින්දි දන්නෙ නෑ. මගේ යහෙළිය ඔහුට කිව්වෙ ඒ ටික කියලා නම් මට තේරුණා. ( අපිත් ඉතින් හින්දි චිත්‍රපටි බලලා තියෙනවනේ )

ඒත් ටිකක් නෙමේ හාල්ලක්ම ඔහු කියෙව්වා.

මොනවද මේ කියන්නෙ? මං ඇගෙන් ඇහුවා.
එයා ඔයා වෙනුවෙන් දෙවියන්ට යාඥා කරනවා.

අනේ දෙයියනේ. මේ වැඩකට නැති හිස් කෑන් ටිකක් වෙනුවෙන් ?
කෑන් මල්ලයි, මාරු කාසියි ඔහුව දොඩමළු කරා.


මං වැඩ කරන්නෙ එහා පැත්තෙ බිල්ඩිමේ. මගේ දරුවට අසනීපයි, ඒ නිසා හොඳට ශක්තිය වැඩෙන්න කෑම , බීම ඕනා කියලා මගේ නෝනා කියනවා. ඒ නිසා මට සිද්ධවෙලා තියෙනවා කොහොම හරි මුදල් වැඩිපුර හොයලා මගේ රටට යවන්න.ඔහු එහෙම කිව්වා.

මට හොරකම් කරන්න බැහැ. හිඟා කන්න බැහැ. මේ තමයි මට පුලුවන් දේ. ( ඒ ඔහු නොකී කතාව )


කුණු බක්කියකින් කුණු හොයන මිනිස්සු. පව් නේද?




අපේ ගමන් බිමන් ගොඩ වෙලාවට රෑට. කාන්තාරෙ ඉන්නකොට හැමෝම එහෙම තමයි. ගෙවල් වලින් එළියට බහින්නෙත් රෑ වෙලාමයි. පොඩි එවුන්ට කවා පොවාගෙන.
මේ ළඟදි ටිකක් රෑ වෙලා එන ගමන් ,වාහනයෙ සිටම කෑම ඕඩර් කරලා , ඒවා ලැබනකම් අපි බලන් හිටියා. ආසන්නව තිබ්බ එළවළු කඩයේ මිනිසුන් ලහි ලහියේ වැඩ. කඩය වසා දමන්න පෙරාතුව එළවලු ආයෙම පෙට්ටි වල අසුරනවා. එක්කෙනක් බිම දණ ගහගෙන ගෝවා ගෙඩි සුද්ද කරනවා. කොළපාටින් දිලිසෙන ගෝවාකොල පිරුණු පෙට්ටියක් රැගෙන අයෙක් එළියට ආවා. කුණු බක්කියෙ ඉඩ නැති වෙන්නම පිරීඉ අවසන් . ඔහු පෙට්ටිය පිටින්ම කුණු බක්කිය උඩින්ම තියලා ආපහු ගියා.
ඔන්න ඒ වෙලාවෙ මටත් හිතුණා කුණු බක්කියේ තියෙන ඒවා ගන්න. මට නම් ගෝවා කොළ මැල්ලුම හරි රස කෑමක්. පොල් ඩිංගක් එහෙම දාලා තෙල් ඇබින්දකුත් දාලා මලවලා ගත්තා නම් දිව්‍යලෝක රස. ඒත් කඩවල ගෝවා කොළ මිලදී ගන්න තියෙන්නෙ එහෙමත් වෙලාවක. තිබුණත් රස දන්නා අයෙක් මිසක් ගන්නෙත් නෑ.

ඔව් ඇත්තටම මට හිතුනා එදා ඒ පෙට්ටියෙන් ගෝවා කොළ ගේන්න.

"විකාරද?" ඒ හඬින් මගේ කොළ මැල්ලුමේ සිහිනය මැරුණා!




40 comments:

  1. අපේ නිවස ඉදිරිපස පාරේ බොහෝ වෙලාවට රෑට කන්ටේනර් නවත්තන්න පුරුදු වෙලා.ඒ අය කාලා නිතරම කෑම පෙට්ටිය හා බීම කෑන් දමනවා පාර අයිනේ. උදේට මේ වාගේම කෙනෙක් ඒවා එකතු කරන් යනවා. මෙහේ කොපමණ මුදලක් මේවාට ලැබෙනවාද කියලා නම් දන්නේ නෑ. නමුත් සුපුරුදු ලෙස ඒවා එකතු කිරීම සිදු වෙනවා. සංවේදී කතාව. මොනව උනත් ගෝවා කොල මැල්ලුම හරිම රසයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕවායින් මහ ලොකු මුදලක් ලැබෙන්නෙ නැතුව ඇති නේද? මං ලංකාවෙ නම් එහෙම දේවල් දැකලා තිබුණෙම නෑ. මේවා ඉතින් සංවර්ධිත රටවල් නෙ.
      මොනවා උනත් අක්කා දන්නවා ගෝවා මැල්ලුමේ රස නේද?

      Delete
  2. ඔයවගේ කීදෙනෙක් නම් මේ රටේ (ඩුබායි ) වල ඉන්නවද... ජුනි , ජූලි... කලෙත් මෙයාල මේවගේ හොයනවා.. මමත් එක දවසක් Cardboard වගයක් කුණු බක්කියට දාන්න යද්දී කෙනෙක් එනවා බයිසිකලයක් පැදගෙන , එයත් ඔය කුණු බක්කි ඖස්සන කෙනෙක් තමයි.. ඉතින් මන් අ ඔක්කොම ටික ඒ මනුෂ්‍යයාට දුන්නම .. ඔයාට පින් දීපු විදියටම් මටත් කීව.. මට නම් ඒ වෙලාවේ මාරම අප්සෙට්... මේ මිනිස්සු විදින දුක දැකලා...

    ReplyDelete
    Replies
    1. ලහිරු එහෙනම් අපේ අසල්වැසියෙක්. ජුනි , ජූලි මාසවල මිනිස්සු ඔය කෑන් බොනවා වැඩියි නේද රස්නය හින්දා. කාඩ්බෝඩ් එකතු කරන අයත් හමුවෙලා තියෙනවා අපිට. අපි ඒවා වීසි කරන්න හදනකොට ඒවා " ඕවා තියන්න , මං පස්සෙ ගන්නම් " කියලා කිව්ව මෙහෙ පිරිසිඳු කිරීම් කරන පිරිමි ලමයෙක් දවසක්. ඊට පස්සෙ කාඩ්බෝඩ් පෙට්ට් උනත් බක්කිය අතුලට නොදා එළියෙන් තියනවා අපි. බලදියා එකෙන් දැක්කොත් නම් අපිට නඩු තමයි . මේ වැඩේ කරන්නෙ ගොඩ වෙලාවට ඉන්දියන්, පකිස්තාන් සහ බංගලාදේශයෙන් ආපු අය නේද?

      Delete
  3. මිත්‍රයා,

    ඉතාම වටිනා ලිපියක්. මම මේ කතාව සිනමාවට නගන්න සූදානම්. ඩුබායි වල. ඔයා කැමතිනම් ඔයාගේ අවසරය දෙන්න. කතාවේ ඔබගේ නම තිබේවි. මෙන්න මගේ විද්‍යුත් ලිපිනය.

    fawzan.salman@gmail.com

    regards
    Neo.

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තූතියි. මෙතන නිර්මාණයක් නැහැ නෙ. ලියා ඇත්තේ මගෙ අත්දැකීමක් විතරයි. ඔබ මේ කරන්න හදන්නේ කුමක්දැයි නම් මට වැටහෙන්නේ නෑ.

      Delete
    2. එහෙම කියන්න එපා මිත්‍රයා මට ඔබේ අත්දැකීම කියෙව්වම හොඳ කෙටි චිත්‍රපට කතාවක් හැටියටයි පෙන්නේ ..... දැනට මෙය කතාවක් නෙවේ. නමුත් මට පුළුවන් හොඳ සංවේදී කතාවක් නිර්මාණය කරන්න ඔබේ අවසරය තියෙනවනම්.

      Delete
    3. ඔය කියන්නේ ගෝවා කොල මැල්ලුමේ කතාව ගැන!

      Delete
    4. මගේ සිහිනය මැරිච්චි හැටි වෙන්ටැ :D

      Delete
  4. mithrayaa,

    this is an awesome story i would like to make it as a film. if you interested let me know. in story field will be your name. here is my id give me a reply about your permission. i am also in dubai.

    fawzan.salman@gmail.com

    regards
    fawzan

    ReplyDelete
    Replies
    1. මේ කියන සිනමා පටය දැනටමත් හදලා තියෙන්නේ මිත්‍රයා.
      http://www.youtube.com/watch?v=q78eJUyi_Ds

      Delete
    2. ෆවුසාන් මහත්තයා හොඳටම පමා වැඩියි නොවැ. මේ බ්ලොග් අවකාශයෙ මීට වඩා හොඳටෝම සංවේදී කතාවක් ඔබතුමාට ඉක්මනින්ම ලැබෙන්නය කියලා මමත් ඉත සිතින්ම පතනවා.

      Delete
    3. කතන්දර කාරයා : මම මේක බලලා තියෙනවා. කොටින්ම කිව්වොත් මගේ යහළුවෙකුත් මේ කෙටි චිත්‍රපටයට සම්බන්ධ වෙලා තියෙනවා. මට ඕන වුනේ වෙනස්ම විදිහකට මේ ටින් සහ කාඩ් බෝඩ් කතාව කියන්න. මේ කතාව මෙහෙමම දාන්න නෙමේ මගේ කාවේ තව කොටසකට මේක එකතු කර ගන්නයි ඕන.

      Delete
  5. අපි බහුතරය " අනේ පව් " කියනවා විතරයි.. ළූණු බිකක දෙයක් අනුන් වෙනුවෙන් දෙන්නේ නැහැ ....

    ReplyDelete
    Replies
    1. අනිත් අය ගැන සොයන්න ඕනි නැහැ සහන්, තියෙනවනම් , තමන්ට හැකි පමණින් දීමයි කළයුත්තෙ. සමහර විට නොදී, අනේ පව් කියන්නෙ දීමට ආසාව තිබුණත් , දීමට දෙයක් නැතිවීමම වෙන්න ඇති. මටත් එහෙම වෙන වෙලාවල් තියෙනවා .

      Delete
    2. මෙවැනි දේවල් සමාජයේ සියලු දෙනා විසින් කරන්න ඕනේ දේවල් මිසක් තනි පුද්ගලයෙක් කරාට තේරුමක් නැති දේවල් හරි.....ඒකයි මම එහෙම කිව්වේ...අන්තිමට හැමෝම පව් පව් කියනවා විතරයි වෙච්චි දෙයක් නැහැ....


      ඔය වගේ සිදියක් ගැන කියන්නම් ... දැනට වසර කීපයකට කළින් අපේ ගෙවල් කිට්ටුව හිටියා ඉස්සරහ කකුල කැඩුන පුංචි වහු පැටියෙක්....... මීටර් 10 ක් දුර යන්න ඒ සතා පුදුම දුකක් විඳිනවා ... මම කරපු වැඩේ ඒ සතාව එක්කන් ගිහින් මම දන්න සත්තුන්ට ආදරේ කෙනෙක්ට බලා ගන්න දෙන්න හදපු එක...

      මෙහෙම හිතලා පශුවෛද්‍ය කෙනෙක් හම්බෙන්න ගියා ..සිද්දිය කිව්වා...අර මනුස්සයා ගත්ත කටටම කිව්වේ නිකන් ලෙඩ දාගන්නේ නැතුව ඉන්න කියලා.. හණ ගහපු නැති හරකෙක් ගෙනියන්න බැහැලු.. ඔයාට නිකන් පොලීසි යන්න වෙවිලු...

      අන්තිමට ඒ සතා වතුර පොදක් වත් නැතුව මැරිලා ගියා පාරේම .... හැමෝම පව් කියලා නම් කිව්වා මැරුණට පස්සේ ....

      Delete
  6. කුණු බක්කි කතාව අඩු වැඩි වශයෙන් කොයි රටෙත් තියෙනවා වෙන්න ඕනේ. මේ ළඟ කාලෙක ඉඳන් අපිට නම් මේක වහ කදුරු වෙලා තියෙන්නේ. අපි ජීවත් වෙන පළාත්වල නෝමැඩ්ස්ලා කුණු බක්කි ඔක්කොම එලියට අරගෙන එයාලට අවශ්‍ය දේවල් ලබා ගන්නවා. ඒක කමක් නෑ කියමුකෝ ඒත් කුණු බක්කි වල තියෙන කුණු ආපහු පාරේ මිසක් අර කුණු බක්කි වලට දාන්නේ නෑ. මේක හරිම කරදරයක්. අනික මේ අය සමාජයට කරදරයක්. මේකයි දුප්පත්කමයි නම් සමාන කරන්න මම කැමති නෑ. එහෙම නම් ඔවුන්ට අතපය මහන්සි කරලා රැකියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.
    ගෝවා කොළ කීවම මතක් වුනේ. මාත් දකිනවා අපේ ගේ ළඟ පොළේ හිටි ගමන් ගෝවා කොළ හෙම මිටි පිටින් විසික් කරලා. බොහෝ දේවල් එම වෙද්දි වයසක ආච්චිලා ඇවිත් එකතු කරනවාත් දකිනවා. ඒ අය ගැන නම් ලොකු දුකක් දැනෙනවා. ගෝවා කොළ කොයි කාලෙත් මගේ ප්‍රියතක කෑමක්. කොහොමද මිරිස් කරලක් දෙකක් කරවෙනකම් දාලා ලූනු ටිකක් වැඩිපුර දාලා තෙලට දාලා ගත්තම නේ? කන්න පුළුවන් වෙන මුකුත් නැතිවම.

    ReplyDelete
    Replies
    1. ඔන්න තවත් ගෝවා කොළ රසිකාවියක්. අර ගෝවා කොළ අරන් යන ඔහේ ආච්චිල ගැනත් මට ඉරිසියයි. ලංකාවෙ උනත් ගන්න නැහැ නෙ. මොනා උනත් කුණු බක්කියක් අවුස්සන්න වෙලා නැති ජීවිතයක් ලැබීම ගැන මට සතුටු හිතෙනවා මං ගැන.

      Delete
    2. මෙහෙත් අපේ වගේ ලොකු ගෝවා කොළ නම් විකුනන්න නැහැ . නමුත් පොඩි වර්ගයක් තියෙනවා ..උන්න හැටියට මලා මදැයි කියල මාත් එව්වා නම් ගෙනත් මලවනවා.

      Delete
    3. ඇයි බින්දි ඔහෙ නැද්ද කොළ ගෝවා ගස්( Brassica oleracea L). මෙහේ නම් වින්ටර් එකට ඒවා තියෙනවා. ගෝවා ගෙඩිවල කොල නම් කන්න බෑ නේද? ඒවා හයියයි කියලා මට තේරුනේ ලංකාවේ වගේ කියලා හිතාගෙන ගෙඩියක් කොළ පිටින්ම උස්සන් ඇවිත්.

      Delete
  7. පව් අප්පා (දෙගොල්ලොම )

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, ඒ මිනිස්සු වෙනුවෙන් අපිටත් මහ ලොකු දේවල් කරන්න බැරි කොට කුණු බක්කි වල කුණු අවුස්සනවා බලා හිඳින්නට වීමත් එක්තරා දුකක්

      Delete
  8. සමාජයේ අපි නොදකින පැති කොච්චර තියෙනවද ...

    ReplyDelete
    Replies
    1. ඔව් , අපි කිසිදාක නොහිතන පැති සෑහෙන්න තියෙනවා, මේ ඉන් අල්ප මාත්‍රයක්ම පමණයි

      Delete
  9. අහෝ! ගෝවා මැල්ලුම් සිහිනය!!
    ඔය වගෙ මිනිස්සු මෙහෙත් ඉන්නවා. කාලයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිදි අපද්‍රව්‍ය වෙන් කර බහාලන කුණු බක්කි මෙහෙ පාවිච්චි වුණා. ඒ වගෙ දෙයක් තියනවනම් ඔය මිනිස්සුන්ට වඩා පහසු වෙයි.

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතින් ලංකාවෙත් තියෙන එකේ අපද්‍රව්‍ය වෙන් කරලා දාන්න ඕනි කුණු බක්කි මෙහෙත් තියෙනව අනේ. ඒත් කීයෙන් කීදෙනාද ඕක හරියටම කරන්නෙ. කොටසක් නොසැලකිල්ල, අනික් කොටස නොදැනුවත් කම. අපි ඒ කාලේ හිටියෙ ටිකක් නගරයෙන් ඔබ්බට වෙන්න. ඒ හරියෙ කෝකටත් එකම තෛලය.

      Delete
    2. එහෙම දේවල් තිබ්බත් හරියට ක්‍රියාත්මක වෙන්න නීති තදට තියෙන්න ඕන . ඒ එක්කම අධ්‍යාපනය විනය ඔය කොයිකත් අනුපානෙට තියෙන්න ඕන ..මෙහෙත් එහෙමත් තැනක තමයි වෙන් වෙන් බින් තියෙන්නේ . දැන් දැන් වැඩි වේගෙන යනවා .සාමාන්‍ය නම් ඉතින් සේරම එක ගොඩට . පස්සේ වෙන් කිරීම තමයි. කුණු වෙන් කිරීමත් රැකියාවක් ...මන් සමහර වෙලාවට වෙන් කරලා තියෙනවා . ගෙනියන්න එන මනුස්සය දඩෝන් ග් ආල එකටම හලා ගන්නවා ...

      Delete
    3. මේක ගැන නම් කොයි තරම් උපදේස් දුන්නත් වැඩක් නෑ.
      අපි වගෙ රටවල මේ ප්‍රශ්නේ බොහොම බැරෑරුම්. කුණු කලෙක්ට් කරන ඩිපොසිට් වලින් නිපදවන ගෑස් මිනිසුන්ට නොගැලපෙන හින්දා එක එක පැති වල කුණු ගෙනියන්න වෙන්නේ කිලෝ මීටර් 300 400. හැමෝටම වෙන් කරපු කන්ටේනර් බොක්ස් තියෙනවා ඒත් මිනිස්සු ඒවා සැලකිල්ලට ගන්නේ නෑ. මේ සිවිලයිස් වෙච්ච රටවලත් මෙහෙම දේවල් වෙනකොට මොන කතාද? මම නම් දැන් අවුරුදු තුනක ඉඳලා බෝතල් හා ප්ලාස්ටික් වෙනමත්, කොළ පත්තර කඩදාසි බෑග් වෙනමත් රි සයිකල් කරන්න බැරි කුණු වෙනමත් එකතු කරනවා. මේක මහා වදයක්. මම වගේ එක්කෙනෙක් ඉන්න ගෙදරක කුණු පෙට්ටි තුනක් තියාගන්න එක. ( සතියක් විතර යනවානේ අඩුම වශයෙන් එකක් පිරෙන්න.) ඒත් මම ඒක කරනවා. බව් ගර්ල් එක්ක පාක් යන හැමවෙලේම බෑග් එකක් අරන් ගිහින් එයාගේ කක්කි එකතු කරලා ඩිස්පෙන්සර් එකට දානවා. එහෙම කරන හින්දාමද කොහෙද අනිත් එවුන් එහෙම නොකරනකොට මල ඉතින් මට. අපි පෘතජනයෝ නේ ඉතින්...

      Delete
  10. ගෝවා කොළ මැල්ලුමට මාත් සෑහෙන ආසයි... අම්මෝ ඒවෑ රහ !
    මම නම් එදාට වතට වඩා කන්නේ ගෝවා කොළ !

    ReplyDelete
    Replies
    1. මල්ලිට කියන්න එදා මං හිතෙන් ගෝවා මැල්ලුම හැදුවත් එක්ක. එහෙව් බලාපොරොත්තුවක් නෙව මුන්දැ කඩා බිඳ දැම්මෙ. ඒ උනාට එයත් හරි ආසයි ඒ මැල්ලුමට

      Delete
  11. අනික් දවසේ මෙහෙම කරන්න . කොළ ටිකක් අහුලා ගන්න ගමන් හය්යෙන් කාටත් ඇහෙන්න කියන්න '' අහල පහල එළුවෝ පව් අනේ ..මේ අහක යන කොළ ටිකක් ගිහින් දෙමු නේද මෙයා '' කියල

    ReplyDelete
  12. ඔය කියන නගරයේ තරඟයට වගේ එසවෙන උස කුළුණු පාමුල ඇති කුණු බක්කි වලට කතා කරන්න පුලුවන් නම්... විසිකරන කාඩ්බෝඩ් කෑලි, පරණ පත්තර/කඩදහි පිටු, ප්ලාස්ටික්, අලුමිනියම් තහඩුවෙන් හැදූ කෑන් ආදිය එකතු කරන බොහෝ අය ඉන්නවා. හරී නංගි සඳහන් කර රටවල උදවියට අමතරව ලාංකිකයින් ද ඔවුන් අතර හමුවෙලා තියෙනවා. ඔවුන් කවුරු වුනත් තත්වය නම් ඉතා සෝචනීයයි.

    ඉස්සර කාලේ අය කිරීමකින් තොරව දුන් ගෝවා කොළ දැන්නම් මෙහේ කිලෝ ගානට විකුණනවා. රස කෑමක් වුනත් නිතර ලැබෙන්නේ නැහැ [ එළවලු මුදලාලි කියනවා සම්බෝසා, පැටිස් හදන උදවිය අරන් යනවාලු :) ]

    ReplyDelete
    Replies
    1. මෙහේ ඔය සුළු සේවකයින්ට ලැබෙන වැටුප ගැන හිතුවම වෙන මොනවා කරන්නද. දන්නා විදිහට උපරිම දිරාම් පන්සියයක් වත් ලැබෙන්නෙ නැහැලු. කාර් හෝදන අයත් ඕනා තරම් ඉන්නවා, මේ ළඟදි අපි දුටුවා උද්‍යාන ළඟ සති අන්තයේ පාටි දාන අයට වාහනයේ ඉඳන් ඒ බඩු ගෙනිහින් දීලා මුදල් ලබා ගන්නා අය.

      Delete
  13. හ්ම්... කාටත් ජීවිතයක් තියෙනවා ඒකේ දිග පළල දකින අය කියන කොට අමුතුයි පුදුමයි, විකාරයි, පව් කියල හිතුනට සාපේක්ෂව එහෙම නැහැ.. මොකක්ද මේ චිත්තරපටියකට නම දාන්න යන කතාව....

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිය ගැන නම් ඒ කෙනාගෙන්ම තමයි අහන්න ඕනි. `මට නම් ඕවාට වෙලාවක් ඇත්තේම නැත,

      Delete
  14. පව් නේද අක්කෙ ගොඩක් දුක හිතෙනව මිනිස්සු විදින දුක් බැලුවම

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් කවුරුත් පවු

      Delete
  15. මම නම් ගන්න හිතුනානම් අහ අහා ඉන්නේ නෑ ගියා ගත්තා . . පස්සේ බැනුම් අහනවා . . . අවුලක් නෑ ඕන වැඩේ කරගෙනනේ . . .හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දුකා මෙහෙ ඇවිත්, එහෙම යන්න බෑනෙ, චයිල්ඩ් ලොක් දාලනෙ, නැත්නම් දනී මං

      Delete