Monday 13 December 2010

දේසේ හැටියට,,,,,

චූටි මහත්තයගෙ සීනි බෝතලේ කතාවට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒ පලාතෙ වචන ගැන. මමත් ටික දවසක් ගුරුකම් කරානේ ඒ පැත්තෙ. ඉතිං ඒ වචනෙ අමුත්තක් දැනුනෙ නැහැ, මට නම්. හැබැයි ඒක මටත් ඇහිල තිබුණෙ චූටි මහත්තයාට ඇහිච්චි විදිහටම නෙව. වෙන්න පුළුවන්, මම වැරදි ඇති.!!!

සති දෙකේ ගුරු පුහුණුවකදි වරක් මම අසනීප වෙච්චි නිසා දවසක් යන්න බැරි උනා පාසලට. මා එක්ක පුහුණුවට ගිය අනිත් සහෝදර ගුරු සිසුවාගෙන් ළමයෙක් ඇවිත් ඇහුවලුනෙ, 

" සර් කෝ අර හින්නික්කිතර මිස් ?"   කියලා. 

මාව ඉතිං මේ ඊයෙ පෙරේදා මුහුණු පොතෙන් දැන් අඳුරගත්තු කට්ටිය නං කියයි මේ බොරු කියලා. අනේ ඉතින් මාත් ඒකාලෙ හින්නික්කිතරම තමයි. 


විද්‍යාපීඨයට ගිය අළුත ඔය වගේ විවිධාකාර වචන ඇහෙන්න ගත්තා. සමහර ඒවා තේරුම් ගියෙත් නැහැ එක පාරටම. මොකද ඒ වචන අපේ පලාතේ භාවිතා වෙන්නෙ ඊට වඩා වෙනස්ම අරුතක් දෙන්න නිසා. 

මට මේ අත් දැකීම තියෙන්නෙ කාලයක් දකුණු පලාතෙත්, පස්සෙ නැගෙනහිර පලාතෙත් අවුරුදු කිහිපයක් නේවාසිකව ජීවත් වෙන්න සිද්ධ වෙච්චි නිසයි. මේ දෙපලාතෙ ගොඩක් වචන භාවිතය එක වගේ. ඒක නම් වෙන්න ඇත්තෙ නැගෙනහිර පලාතෙ ගොඩක් ජීවත් වෙන්නෙ දකුණෙන් එහෙට සංක්‍රමණය වෙච්චි මිනිස්සු නිසා වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ....

 
ගුරු පුහුණුවට හිටිය කාලෙ ජංගම දුරකථන භාවිතය එහෙන් තහනම් කරලයි තිබුණෙ. ඇත්තටම අපි ගොඩක් කට්ටියට මේක හරි මානසික වධයක් උනා. මුළු විද්‍යාපීඨයටම එකම එක පොදු දුරකථනයක් තමයි තිබුණෙ.
විනාඩියක, දෙකක ඇමතුමක් ගන්නත් සමහර වෙලාවට පැය ගනන් පෝලිමක ඉන්න උනා. එතකොට ඉතිං නිවාඩු දවසම ඉවරයි. 

ඔහොම ඉන්නකොට දවසක් එක ළමයෙක් කිව්වා,

" කෝල් එකක් දෙන්නත් විදිහක් නෑනෙ, ඒ නිසා මම ලියමක් දෑවා කියලා" 

මට නම් හිතුනෙම කෝල් එකක් දෙන්න බැරිවෙච්චි තරහට ලියුමත් පුච්චලා දැම්මා කියලයි. එතන හිටිය වෙන කෙනෙක් තමයි මගේ ගැටළුව නිවැරදි කරේ... 


එහෙදි අමුතුවට ඇහිච්චි තව වචන කීපයක්ම තිබුණා. මම එහෙ හිටියෙ මීට අවුරුදු නවයකට විතර කලින් නිසා දැන් නම් හරියට මතකත් නැහැ. 

හැබැයි පහළවට (15 ) පාළහ කියන බවත්, යට කියන තේරුමට පල්ලෙ කියන බවත් නං හොඳටම මතකයි.

තව එකක් ,අපි මොකක් හරි ද්‍රව්‍ය ලැයිස්තුවක් කියනකොට ඒවා එකිනෙක සම්භන්ධ කරන්නෙ "යි" කියන අකුරෙන් උනාට ,දකුණු පලාතෙ ඒක භාවිතා වෙන්නෙත් වෙනස් විදිහටකට. දකුණු පලාතෙ  කිව්වට මාතර අහ විතරද කොහෙද.. 

නිදසුනක් විදිහට අපි කියනවනම් බිස්කට් පැකට් එකයි, කෙසෙල් ඇවරියයි , කේක් ගෙඩියයි කියලා, එහෙ කට්ටිය කියන්නෙ බිස්කට් පැකට් එකකි,කෙසෙල් ඇවරියකි කේක් ගෙඩියකි කියලයි... 



 සීමවාසී පුහුණුවෙ ඉන්න කාලෙ මා එක්ක එහෙ විද්‍යාව විශයයට ගිය චන්දි කිහිප දවසක් ළමයින්ට පාඩමකට ඉවතලන සබන් කොල වගයක් ගෙවල් වලින් ගේන්න කියලා තිබුණා. ඒත් කවුරුවක් ගෙනල්ලා නැහැ. 
අන්තිමට අධීක්ෂණයට සර් ආපු දවසකම චන්දිට මේ පාඩම කරන්න වෙලා. ළමයි පාඩමට සූදානම් නැති නිසා සර් ගෙන් චන්දිට බැනුම් කෝටියයි. 

මේ පණ්ඩිත ළමයි සර් ගියාට පස්සෙ නං චන්දි පස්සෙ කරකැවෙනවා 
" මිස් ඔහෙට සර් බැන්නයි? " කිය කියා.

එයා කතා නොකරන පාර එක ළමයෙක් මගෙන් ඇවිත් අහනවා ,

" මිස්, අර මක්කැයි විද්‍යා මිස් දොඩං නැත්තෙ?"

දොඩං නැත්තෙ අවාරෙට වෙන්න ඇති, මම කිව්ව, අනේ ඒ පොඩි එකාට ඒ හරුපෙත් තේරුනේ නැද්ද කොහෙද,,,,,,,, 

නිකම් ඉන්න බැරුවටයි මේව ලිව්වෙ. දකුණේ ඇත්තෝ අමනාප නොවෙත්වා..

24 comments:

  1. හික් හික්. මේ පෝස්ට් එක දැක්කම ගෙදර මතක් උනා. ලබන සතියෙම යන්න ඕනෙ. තව කලවම් කවලම් කතාවත් තියෙන්නෙ දකුනෙ විතරයි. ඔක්කොටම වඩා ලස්සන රත්ගම කෙනෙක් කතා කරන හැටි අහගෙන ඉන්න එකයි.

    ReplyDelete
  2. භාෂා විෂමතාවය වෙලාවකට විනෝදජනකයි ඒ වගේම ඇස් රතුවෙන අවස්ථාද එමටයි. මේ විමසුම නම් ලස්සනයි.

    නංගි සඳහන් කල පාළහ වගේම එකොළහ, නවය ඒ අතර තැනක් ගනී. වරක් මං අයිති පලාත ගැන දැන ගන්න උවමනා වූ ඉංග්‍රීසියෙන් කතාකල පිරිසක් අංක 9 පෙන්නලා සිංහලින් කියවන්න කියා ඉල්ලා සිටියා.

    තවද කෙහෙල් මල/කෙසෙල් මල කියන එකට කෙහෙම්මල කියන වචනයත් පාවිච්චි කරන බව උතුරු මැද පලාතේ පුහුණුව ඉවරකර අපේ ගුරුවරියක් වරක් කීවා.

    මෑ කරල් කියන එලවළු වර්ගයට ගාලු පලාතේ ලීම කරල් කියනවා. පමණක් පලාත්වල ලීම කියන්නේ ලොකු දෙහි වර්ගයක් වෙන ලයිම් වලට.

    අපේ භාෂා විෂමතාවයට වඩා ලොකු වෙනසක් තියෙනවා ලාංකික දෙමළ හා ඉන්දියාවේ දැනට ව්‍යවහාරික දෙමළ බස අතර. තමිල්නාඩුවල ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට බාසාව වෙනස්. ලංකාවේ පාස්පෝට් එකේ දෙමළින් ලියා ඇති අකාරය කියවලා ඔවුන් ආඩම්බර වෙනවා, ඒක තේරුම් ගන්න අමාරු කට්ටිය ද බොහෝය.

    කේරල වල දිස්ත්‍රික්කයක් පාසා භාවිතා කරන්නේ එකෙනෙකට වෙනස් මලයාලි බසාවලු.

    ReplyDelete
  3. අමනාප නොවී කොහොමෙයි... අපේ අහ දොඩන්නෙ ඔයි විදිහට තමයි. ඉතින් අපි මක්කැයි කොරන්නෙ ඒකට?
    "බිස්කට් පැකට් එකකි,කෙසෙල් ඇවරියකි කේක් ගෙඩියකි"!!!!
    අදමයි ඇහුවේ
    (මගේ යාළුවෙකුට මේක දැන් මම පෙන්නුවා.. එයාට නම් හොඳටම තරහ ගිහින් දකුණෙ අයට අපහාස කරා කියලා.. හිකිස්...)

    ReplyDelete
  4. @ රංග, ස්තූතියි,, හි හි ඇත්තෙයි,, ඔහෙත් මාතරෙයි? හරි හරි ඉක්මනින්ම ගමේ ගියොත් හොඳයි.

    @ ගල්මල්, ස්තූතියි අයියේ, ඇත්තටම භාශාව ගැන නම් ලියන්න දේ අපමණයි නේද?

    @ කාංචන, ස්තූතියි,,, හැංගිලා හිටියට ගම ගැන කියන්නම එපැයි ඔහෙලව හොයා ගන්න. යාළුවන්ටත් පෙන්නලා උසිගන්නනව නේද පරණ තරහක් පිරිමහන්න.

    ReplyDelete
  5. අපේ අහත් කට්ටිය ආවා අවුරුදු 3පරිප්පු කන්න. කලුතර නේ. ඉතින් කොයි අහ ඉදලා ආවත් අන්තිමට කට්ටියම එකම අහ උනා. අපිත් සමහර වචන පුරුදු උනා. අපේ චාතූර් තමා අමතකම නොවෙන වචන ටිකක් කිව්වෙ.

    අපි කියන්නෙ "ඔයයි මමයි අමාලියි කමනියි අපි හැමෝම යමු" කියලා නම් චාතූර් කියන්නෙ "ඔයාතුයි මායිතුයි අමාලිතුයි කමනිතුයි අපි හැමෝම යමු" කියලා.

    ReplyDelete
  6. @ගල්මල්
    අපේ පැත්තෙ නම් කියන්නේ "කෙසෙල්/කෙහෙල් මුව" කියලා. සමහර පැතිවල "කෙහෙල් මල" කියනවා ඇහිල තියනවා..

    ReplyDelete
  7. @ සංජු, ඔව් ඔව් ඔයාතුලා ඉන්නෙ එහෙ තමා, ආ තව ගම්පහ මගෙ යාළුවෙක් හොඳයි වෙනුවට කියන්නෙ හොඳා කියලා, එයාට ඒ වචනෙ කියවෙච්චි වෙලාවට නම් අපිත් මුළු කතාවම අමතක කරලා හොඳා හොඳා කියනවා,,,,,,, ඒ වගේම තමා අපේ වචන වලටත් එයලා හිනාවෙනවනෙ,,,

    ReplyDelete
  8. නියම කෑලි ටික අක්කේ. නුවර පැත්තෙතෙ නියම කතා තියෙනවාලු.

    මට මේ කතා ටික එක්කෙනෙක් කිව්වේ. එයා මාළිගාවේ පෙරහැර බලන්න ගිය වෙලාවක කුඩේ ඉහල ගෙන ඉද්දී පිටිපස්සේ ඉදන් කෙනෙක් කිව්වාලු ඔයා කුඩේ අටවන් ඉන්න නිසා පේන්නේ නැහැ කුඩේ බෑවා නම් හොඳා කියලා [කුඩේ ඉහලගෙන ඉන්න එපා කුඩේ අකුලන්න කියලයි කියලා තියෙන්නේ]

    ඇඟ හෝදනවාට නුවර අයට කියන්නේ ඇඟේ නානවා කියලාලු. අපි නානවා කියන්නේ ඔළුවත් එක්ක නානවාටනේ එයලා කියන්නේ ඒකට ඔළුවේ නානවා කියලාලු

    ReplyDelete
  9. @කාංචන දිනූක:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
    කෙහෙල් මුව ගැන මගේ නිර්මාණයක් විස්තර ටිකක් සමඟ: කෙහෙල් මලේ
    http://galmal.blogspot.com/2010/10/blog-post_18.html

    ReplyDelete
  10. කොහොම හරි දැන්නං හින්නිකිත්තර නෙමේ මහාකිත්තර වෙලා නොවැ ගුරුතුමීව......

    ReplyDelete
  11. @ හසිත,ස්තූතියි මල්ලී
    @ බුද්ධි,ආ............. මේ හින්නික්කිතර නසියර් නේ,,කට විතරයි තේකක් වත් හදා ගන්න දන්නෙ නැහැ .

    ReplyDelete
  12. @ගල්මල්
    අමතක වුනා "කෙහෙල් මොය" කියලත් කියනවා.
    ඔබේ සටහනෙන් දැනුමක් ලැබුවා.. ස්තුතියි..

    ReplyDelete
  13. ඔව් එක් එක් පළාත් වල ප්‍රාද්ශිය වශයෙන් භාෂාවේ වෙනස් කම් තියනවානේ. අපේ අප්පච්චිලා දවසක් එකට වැඩ කළ අයෙකුගේ නිවසක පැවති අවමගුලකට ගිහින්. ඒ කාලේ අද වගේ නෙවේ. වෙනස් වචන භාවිතා කරන විට එම පළාත් වාසීන් කෝප වෙනවා. නිසි ලෙස පිළිතුරු දෙන්නේ නෑ. එය කලින් දැනගත්තත් ගිය පිරිස ඒ පළාතේ කියන වචන දන්නේ නෑ. ඒනිසා කරල තියෙන්නේ මග හමුවූ කෙනෙක් ගෙන් "අපේ යාළුවෙක්ගේ තාත්තා මැරුණා. ඒගෙදරට යන්නේ කොහොමද" ඇහුවලු.ඒ තැනැත්ත ආ ඉලවු ගෙදරද කියල තව දුරට යන්න කීවලු. පස්සේ හමුවන අයගෙන් ඉලවු ගෙදරට යන පාර ඇහුවම කරදරයක් නැතිව පෙන්නුවලු.

    ReplyDelete
  14. ස්තූතියි ප්‍රියන්ත අයියේ අදහස් දැක්වුවාට,,,,

    ReplyDelete
  15. @කාංචන දිනූක
    තව දකුනු පැත්තේ වතු මොයි කියලත් කියනවා නේද?
    දතුණ් වගේම ගොඩක් වෙනස් වචන භාවිතා වෙනවා නේද කළුතර හොරණ පැත්තේ?
    අපි කියන තුන පහ (කුඩු) වලට එහෙ කියන්නේ සිල්ලර තියලා නේද?
    (හොද කතාවක් මතක් වුනා- අපේ මිත්‍රයෙකුගේ බිරිද ඔය පැත්තේ- දවසක් ඔන්න අපේ යාළුවගේ ගෙදර උත්සවයක් ඒකට උදව්වට අපේ මේ යාළුවගේ නැන්දම්මා ඇවිත් යාළුවගේ අක්කත් එක්ක පොලොස් ඇඹුලක් උයන්න ගත්තලු -සීනියොරිටි ඒකට ඉඩ දීලා අක්කා අත් උදව් දෙනවලු මල්ලිගෙ නැන්දම්මට- පොලොස් එහෙම කපලා ඉවර වෙලා මේ නැන්දම්ම යාළුවගේ අක්කට කියනවලු "දුවේ සිල්ලර ටිකක් ගේන්න මේකට දාන්න" කියලා
    මේ අක්කා කල්පනා කරනවලු දස අතේ මේ මොකක්ද කියල -නැන්දාට සෙකන්ඩ් වෙන්නත් බෑනේ උයන්න දන්නැ කියලා -එහෙම හිතලා හිතලා අන්තිමට තීරණය කරාලු මේ කියනවා ඇත්තේ සිල්ලර කාසිම තමා (මොකද ලෝහ වලට ඇඹුල පාට වෙනවා ඇති කියලා) කියලා ගෙට ගිහින් හොද පරණ තඹ කාසි කීපයක් හොදට හොදල ගෙනත් දීලා- දැන් නැන්දම්මා උඩ බිම බලනවලු මේ පැත්තේ පොලොස් වලට කාසි දානවද කියලා-නැන්දම්මටත් සෙකන්ඩ් වෙන්න බෑනේ මේ පොඩි කෙල්ලට- ඒත් මෙලොතේකට කරපු නැති දෙයක් නිසා අන්තීමේදි නැන්දම්මා අහලා ඇයි මේ කාසි කියලා- ඊට පස්සේ තමයි සීන් එක තේරිලා තියෙන්නේ- අපේ යාළුවගේ පැත්තේ සිල්ලර කියන්නනේ කඩේට ගෙනියන මාරු කාසි වලට -නැන්දගේ පැත්තේ සිල්ලර කියන්නේ තුන පහ වලට!)

    එතකොට අර "ඇහැක්" (පුළුවන්) විදිහට කණක් අදින්න කියලා දකුණූ පැත්තේ ටීචර් කෙනෙක් ලමයින්ට කියපු කතාව!

    ලස්සන පෝසට් එකක් සොයුරිය

    ReplyDelete
  16. ඔබේ දිගු සටහනට බොහොම ස්තූතියි සිංහල පද්‍ය රටා,,,,,,

    ReplyDelete
  17. ඔන්න ඔන්න ඔව්ව බෑ... අපිත් බෙන්තර ගගෙන් එහා හරිය.... හික් හික්

    ReplyDelete
  18. බුදු අම්මෝ, නිකන් ඉන්න බැරුවට ලිව්වට දැන් නම් බයේ බෑ,, මේ ගොල්ලො උදව්වකට කෙසේ වෙතත් කාටහරි ගහන්න නං එකතු වෙන්නෙ විනාඩියෙන්,
    බේර ගනියෝ,,,,,

    ReplyDelete
  19. @සිංහල පද්‍ය රටා
    ඇත්තනේ.. කොහොම අමතකවුනාද මන්දා මට ඒක.

    ReplyDelete
  20. මම නං අහල තියෙන්නෙ ඔය අහ ඈයො 'ඇඟ සෝදනවා' කියන්නෙ වෙනම හරුපෙකට කියලා.

    මංකඩේ දාපු මේ කොමෙන්ටුවත් භාෂා අවුලක් ගැන.
    http://blog.dinuka.com/2010/09/02/post493.htm/comment-page-1#comment-286

    'ඇහැක් නං' කියවන්න. බැරිනං 'වහ දාන්න'.

    ReplyDelete
  21. @charmi
    මොකද්ද බොලේ ඒ හරුපේ???

    ReplyDelete
  22. මමත් දකුනෙ තමා, ඒත් "බිස්කට් පැකට් එකකි,කෙසෙල් ඇවරියකි කේක් ගෙඩියකි" කියන එක නම් කවදාවත් අහල නෑ

    ReplyDelete
  23. ඇයි ඔහේ අහල නැතෙයි ඔය පැත්තේ මිනිස්සු කජ්ජු ,ජූල් ,කරවල සම්බල් ( කරවල බැදුම ),වංකොස් ගැට (පොලොස්) එහෙම කන්න මනාපයි .

    කැම්පස් ඉන්න කාලෙ ඔය දහේ , පාලහ කියල කියවෙන එක මහ ඇනයක්වුනා මට .ඒක නතරකරලම දාන්න කඩු බාසාවෙන්ම කතාකරන්න පුරුදුවුනා කොලඹ රටේදී .ඒත් මක්කකොරලවත් ගමේ ගති ඇරිය බොරු

    අපිත් බෙන්තර ගඟෙන් එහා මිනිස්සු හරිද

    ReplyDelete
  24. @ රංග, ටී.ජී
    ස්තූතියි
    @ අනිත් අයට
    මාව බේරා ගනියෝ :D :D

    ReplyDelete