Saturday 25 February 2012

සිහිවටන

ඒ හරියටම දෙදහස් පහ වසරේ ජුනි මස අට වෙනිදාය. හැංගි හොරා බැන්ඳ සෙනෙ ඒවනවිට අවසන්වී තිබුණි. අවසන් වූයේ සෙනෙහෙ නොව, හැංගි හොරා සිටි සමයයි.

දෑවුරුද්දකට පසු ඔහූ ලංකාවට ආවේ අපේ විවාහය ලියාපදිංචිකිරීමේ උත්සවයටය. පාන්දරින්ම අප දෙදෙනා නිවසින් පිටත් වූයේ මගේ හොඳම මිතුරියගේ විවාහ උත්සවයට සහභාගීවීමටය. එනගමනේ කරගැනීමටත් දාහක් රාජකාරී  වූ නිසාවෙන්  උත්සවය අවසන් වූ පසූ එන ගමනේ මා පුංචි අම්මාගේ නිවසේ නවත්වා,ඔහුද  නෑදෑ නිවසක නවාතැන් ගැනීමට සුදානම් වී නිවසින් පිටත් වීමු.එක කටයුත්තක් වූයේ හෙට දිනයේදී මංගල මුදු මිලදී ගැනීමයි. මනමාලයාගේ මුද්ද ගැනීම සඳහා තාත්තා විසින් මට දුන් රුපියල් විසි දහසක් පමණ මුදලද  බෑගයේ දමා ගතිමි. ( එකළ රන් පවුමක් මිල රුපියල් දොළොස් දහසක් පමණ වූ වග මට මතකය ) .

ඒවනවිටත් දෙවසරක් පමණ රාජකාරියක නියලුනත් හම්බ කරගත් දෙයක් විනා ඉතිරි කරගත් මුදලක් නම් නොවූයෙන් අම්මා විසින්  මගේ උත්සවය වෙනුවෙන් සාදවා දුන් රන් මාලයද පැළැද ගත්තේ අප දෙදෙනා එක්ව සහභාගී වන පළමු මංගල උත්සවය මෙය වූ නිසාය. නිවාඩු සිටින කාලයේ පාවිච්චිය සඳහා ඔහු යහළුවෙකු ගෙන් ඉල්ලාගෙන තිබු වෑන් රථයෙන් අපි පිටත් වූයෙමු.


 සසර සැරි සරන තෙක් ඔබ මගේ... ඔබ මගේ වික්ටර් රත්නායකයින් ගේ කට හඬ අතරනි ඔහු මදෙස හොරැහෙන් බලයි.
" මොකද බලන්නෙ? "
" ඔය මාලෙ නං හරි නෑ."
" ආ මේ අලුත්ම මාලෙ, "
" හපෝ ඕකෙ ඩිසයින් එක හරි නෑ.ඔන්න  ඕක ගලවලා බෑග් එකේ දාගන්න. "
" එතකොට මං මඟුල් ගෙදර යන්නෙ කරේ මාලයක් නැතුවද?'
"ඔය මේ මගේ චේන් එක දාගන්න, "
" අපෝ මට බෑ. ඕක නම් දාගෙන යන්න. මං නම් මේක ගලවන්නෙ නෑ නෑමයි "
  උත්සවය තිබුනේ ගම්පහ ප්‍රදේශයේය. හරියටම කිවහොත් යක්කල ග්‍රීන් ගාඩ්න් උත්සව ශාලාවේය. අපි  උදෑසනින්ම පිටත් වූයේ මගේ දයාබර යෙහෙළිය පෝරුවේ නගිනා පින්බර මොහොතට ඇගේ  සමීපයෙන් සිටීමට ඇවැසි වූ නිසාය. 

අනේ ඔයාලා දෙන්න මෙච්චර වැඩ තියෙද්දිත්  මෙහෙ ආපු එක ගැන මට හරි සංතෝසයි.
 ඒ ඇගේ සතුට කිව් හැටිය.
  ගිනිගත් හේනෙ  , සමන් ලගෙ ගෙදර සතියක් විතර ඉඳ එන්නෙ. ඔයා ඉස්කෝලෙ ගියොත් මගෙ පන්තිත් පොඩ්ඩක් බලන්න.  ඇගේ මංගල දිනේදිත් පොඩි එවුන් සිහිවී ඇති හැටි.

මංගල උත්සවයට සහභාගී වූ අපේ සේවා ස්ථානයේ පිරිස සමඟ  අපි දෙදෙනාද එකතු වූයෙමු. සියල්ල සතුටින් නිමා විය. අවසානයේ සියල්ලෝ සතුටින් නික්ම ගියහ.

ආපසු එන ගමනේ කුමක්දෝ ගනීමට  සිහිවී  පසුම්බිය සෙව්වෙමි.පසුම්බිය තියා බෑගයද නැත. 
ඔයා පිටිපස්සෙන් තිබ්බද
ඔව් . මං ඒක තිබ්බෙ පිටිපස්සෙ සීට් එකේ.
පේන්න නැහැනෙ. නවත්තලම බලමුකො.. 
අහු මුලුවලත් සෙව්වෙමු. බෑගය නැත. දෙවියන් සිහිවිය.
වාහනය අගුල් දමා තිබූ බව අපට සහතිකය. අනුන්ගේ එකක් නිසා දෙවතාවක්ම ඔහු අගුල් පිරික්සුවා මටද හොඳින් මතකය.
මොනවද බෑග් එකේ තිබුණෙ
අර කැමරාවයි, ඔයා  මේ පාර ගෙනාපු පොකට් රේඩියෝ එකයි එකේ. මගේ පර්ස් එකත් තිබුණ. හැබැයි ඒකෙ සල්ලි නම් එච්චර තිබුණෙ නැහැ.

සිදුවූ දේ නිසා අපි දෙදෙනාම තැතිගත් සේ සිටියෙමු. කතා කිරීමට වචන එන්නේද නැති තරම්ය.  
එතකොට අර ඔයාළඟ තිබ්බ අනිත් සල්ලිත් ඒකෙද?
ආ නැහැ. ඒටික මං කැබි හෝල් එකේ දැම්මෙ.

සැනින් ඔහු කැබිහෝල් එක පිරික්සුවේය. වාසනාවකි සල්ලි එපරිද්දෙන්ම තිබුණි.
මොකද කරන්නෙ?
අනේ මන්ඳා . මටත් හිතා ගන්න බෑ. අපි මනෝජ් අයියට කියමු. 
මනෝජ් අයියා අපි සමඟ එක පාසලේ සේවය කරයි. ගම ගම්පහය.දහවලේ හමුවූ පිරිසෙන් එකෙකි.

මං ඉක්මනට එතැනට ගිහින් බලන්නම්. ඔයාලා ආපහු හැරිලා එනවද? මනෝජ් අයියා අසයි.
අනේ මටනම් යන්න බෑ ආයෙත් එතනට. මේකෙ අපි දෙන්න විතරයි ඉන්නෙත්. කවුරු හරි අපිව නෝට් කර ගන්න අති.
ඔව්. ඔන්න ඔහෙ අපි කෙලින්ම යමු. රෑ වෙන්න කලින් යන එක හොඳයි. ඔහු මගෙ අදහසට එකඟ විය.

කොයි එකටත් කියා මිතුරියගේ පියාටද සිදුවූ දේ කීවෙමු. ඔවුන්ද ඒ සැනින් උත්සව ශාලාවට ගිහින් තිබුණි. 
 වෙඩින් එකක් තියෙන වෙලාවක  ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්. ආපු කෙනෙක් කරපු වැඩක් වෙන්න ඇති. ග්‍රීන් ගාඩ්න් හී ආරක්ශක සේවය  වගකීම භාර ගත්තේ එසේය. 
 තමුසෙල හිතුවද අපි මඟුල් කිව්වෙ හොරුන්ට කියලා, අයියා රණ්දුවට ගොස් තිබුණි. වූ දේ හමාරය. ගත් කෙනෙක් තබා හමුවූ කෙනෙක් වත් ආපසු දේ යැයි සිතිය නොහැක.


මම කඳුළු පෙරමින් හැඩුවෙමි. වැලි කතරේ දුක් විඳ ඔහු ආදරයෙන් තිළින දුන් දෙයයි. කැමරාවද අනුන්ගේය. අලුත්ම පොකට් රේඩියෝව  සමඟ රටින් ගෙනා විලවුන් බෝතලයක්ද විය. ලංකාවේ නම් රුපියල් හත් , අට දහසක් පමණ වන ලාකෝස්ටේ බෝතලයකි. පසුම්බියේ බැංකු කාඩ් පතද, ජාතික හැඳුනුම් පතද, විවෘත විශ්ව විද්‍යාලයේ හැඳුනුම් පතද විය. එපමණක් නොව මගේ සේවා ස්ථානයට ඇතුල් වීමට ලබා දුන් විශේෂ හැඳුනුම්පතක්ද විය. වෙනදා දෑසේ රැදෙන උපස් යුවල  ගලවා බෑගයේ දමා ගත්තේද ඔහු කිවූ නිසාමය. එමෙන්ම මේ සියල්ල තිබූ බෑගයද මෙවර රටින් ගෙනාවකි.

ඉතින් නොහඬා කෝම. 
තිගැස්මෙන් වුවද ඔහු නම් හිත එවෙලේම හදාගෙන තිබුණි. 

අඬන්න එපා. ඕව ඔක්කොම ආපහු ගන්න පුලුවන් දේවල්නෙ. බලන්නකො අපේ වෙලාවට මුං වෑන් එක අර ගියානම්  මොකද වෙන්නෙ, මං ජීවිත කාලෙම හම්බකරපුව ඕනවෙයි ඒ ණය ගෙවන්න.
 
පොලියානාගේ සතුට සොයන සෙල්ලම එවක අප දැන සිටියේ නැත. එහෙත් වෑන් රථය නැති  නොවුනාට අපි හිත් හදා ගත්තෙමු. ගිය ගමන් පසෙක තබා  එදිනම ආපහු නිවසට  ආවේ මඟ නතරවීමටත් ඇතිවූ බය නිසාමය.

නැතිවූ  දේ කෙසේ වෙතත් හැඳුනුම්පත් ආපසු ඉක්මනින් ලබාගත යුතුවූ නිසා පසුදා උදෑසනින්ම බාප්පා කෙනෙකු සමඟ අපි ගමේ පොලීසියට ගියෙමු. පොලිස් නිලදරුවා අපෙන් විස්තර අසනවා පමණය. පැමුණිල්ල ලියා ගන්නා හැටියක් නම් පේන්නට නැත.
රාළහාමි ,පැමිණිල්ල ලියා ගන්නෙ නැද්ද? රතු ඉර පැනීමෙන් පසු බාප්පා ඇසුවේය.


 ඔය උත්සවේ කොහේද තිබ්බෙ, යක්කල කිව්ව නේද? එහෙනම් ඕක අයිති එහෙ පොලිස් වසමට.
නීතියේ තරම මට වැටහුණේ එදාය. අසරණ , නූගත් ගැමියෝ මොවුන්ගෙන්  කුමන පිහිටක් ලබයිද?
බාප්පා නීතිය උගත්තෙකි. ඔහු අකටයුතු නොසලකයි.
රාළහාමි මේ.. යක්කල පොලීසිය, කොළඹ පොලීයිය, ගමේ පොලීසිය කියලා අපි නම් දන්නෙ නෑ. අපි දන්නෙ ශ්‍රීලංකා පොලීසිය කියලා විතරයි. රාළහාමිට මේක ලියාගන්න බැරි නම් ඒක කියන්න.

ඔබ පැමිණි කාරණය ඉටුවූයේ නැත්නම් මා හමුවන්න.  පොලිස් ස්ථානාධිපති තුමාගේ කාමරයේ උළුවස්සේ එසේ ලියා තිබුණි. මම ඔහුට පෙනෙන්නටම එදෙස බැලුවෙමි.
පොලිස් පොත ඉබේටම ඇරුණි. ඔහු නැවත වතාවක් අපෙන් දහසකුත් දෑ විමසමින් පැමිණිල්ල ලියුවේය. අවසානයේ පොත මවෙත හරවා  මෙතනින් අත්සන් කරන්න යැයි කීවෙය.

ඕක නොකියවා නම් අත්සන් කරන්න එපා,ඔහු මෙතෙක් කළදේ ඉවසා සිටි මගේ හිත කෑගසා මට තරවටු කලේය.
මට ඕක කියවන්න ඕනි,  මම කීමි. 
නිලදරුවාගේ මුහුණ වෙනස් විය. පොත දමා ගසන්නාසේ මට  දුන්නේය.

// .... යහළුවෙක් සමඟ හෝටලකට ගොස් සිටීමේදී...//  
ඔහු පැමිණිල්ල ලියා තිබුණේ එසේය. බැලූ බැල්ලමට පෙනෙනුයේ අප අනාචාරයේ හැසිරීමට ගොස් කරගත් හදියක් පරිද්දෙනි.  
මගේ බලවත් විරෝධය නිසා යහලුවා කවුදැයි හඳුන්වා ලිවීමටත් , හෝටලයට ගියේ කුමක් සඳහා දැයි ලිවීමටත්   ඔහුට සිදුවිය.


හොඳ පාඩම් රැසක් එසේ ඉගෙන ගත්තෙමු. වාහනයේ වීදුරුව කෙසේ හෝ මෑත් කර බෑගය සොරා ගන්නට ඇත. පූරුවේ කළ කරුමයක් පලදී මෙසේ වන්නට ඇතැයි සිතා දුක් වීමු. පෙර පිනක් පලදී එදා වාහනය සොරු නොගත්තා යැයි සිතා සතුටු වීමු. වාසනාවකි ඔහු කොතරම් කීවද මා අලුත් මාලය ගලවා නොදැම්මෙමි. 

නිවාඩුව අවසානයේ ආපසු සේවයට ගිය මගේ දයාබර සැමියා නැතිවූ ජාතියෙන්ම බෑගයක්, පොකට් රේඩියෝවක් සහ විලවුන් බෝතලයක් මිතුරෙකු අත මට එව්වෙය.

දොළහේ පන්තියේදී ගත් කපුටු කොන්ඩය සමඟ ගත් ජායාරූපය ඇති ශිෂ්‍ය හඳුනුම් පත වෙනුවට අද වනවිට රැකියාව ගැන එකම සාක්කිය වන නව හැඳුනුම්පත මාතට ලැබුණේ එසේය.

අමතක කර දැමිය යුතු දෙයක් සේ සළකා ඉවත දැමූවද මගේ මිතුරිය අදත් ඒ ගැන සිහි කිරීමෙන් කම්පාවන්නේ ඇය නිසා මට සිදුවූ දෙයක් සේ සළකාගෙනය. දෙතුන් වසරකදීම ඇගේ විවාහ සංවත්සරයදා මා සුභ පතන හැම වෙලාවකදීම ඉහත කී සිද්ධිය සිහිකර ඈ හිත රිදවා ගන්න නිසාම මේ වනවිට මම ඇයට එදිනට සුභ පතන්නෙ සිතින් පමණකි.

අමතක කරා නම් මේ සියල්ල නැවත ලිවීමට සිත් වූයේ ඇයි. එයද පුදුම කරුණකි. 
පෙරේදා දහවලේ නිවසට ඇමැතීමේදී, අර ඔයාගෙ නැතිවෙච්චි හැඳුනුම් පත අද තැපෑලෙන් ගෙදරට ආවායි අම්මා කීවාය.
මගේ???  ආ අර පරණ එකද?
ඔව් .. ගිනිගත් හේන තැපැල් ස්ථානාධිපති එවලා තියෙන්නෙ.

හරියටම බැලුවහොත් සය අවුරුද්දකුත්, අට මසක් ගත වී ඇත. ගත් එකා මගේ හැඳුනුම්පතින් මොන මොන අකටයුතුකම් කළේදැයි අප දන්නේ නැත. තව මොනවා සොයන්නද? මොනවා කරන්නද? 

දැන් මට හැඳුනුම්පත් දෙකක්  ඇත.


40 comments:

  1. සිද්ධිය වෙලා තියෙන්නෙ අහල පහල වෙච්චි කොට මේවට උත්තර බඳින්න ගිහින් අපි මොකටද කතා අහගන්නෙ..:D

    ReplyDelete
  2. 'ග්‍රීන් ගාඩ්න්ස්' තියෙන්නෙ අපේ ගෙවල් ගාව, ඒක හෝටලයක් නෙවි උත්සව ශාලාවක්නෙ. පොලිස් කාරය ලියල තිබිච්ච විදියට හොරා අහුවෙලා උසාවි යන කේස් එකක් වුනා නං උගෙ නීතීඥය ෂුවර් එකටම අනාචාරේ ගියා වගේ හරස් ප්‍රශ්න අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊළඟ එක්කෙනා. ඒකාලෙ මේ ගොල්ලො ඔය පැත්තෙ කියල දැනං හිටිය නං මම කීයටවත් ඔය මඟුල් ගෙදර යන්නෙ නැහැ.

      බලන්නකො ඔබාමාමෙ මගෙ ටිකිරි මොළේ හොඳයි නේද?පොලිස්කාරයා එහෙම ලිව්වෙ මගේ අතේ ඒ වෙලාවෙත් තිබුණු මංගල ආරාධනා පත්‍රයත් දැක දැක

      Delete
    2. ඕකුන් ඔහොම්ම තමා...අඳුනන කෙනෙකුට වුනත් අත යට දඩයක් ගහන්න තමා බලා ඉන්නෙ...හැබැයි නීතියට කතා කලොත් ඕකුන්ට කට උත්තර නෑ...එතකොට අගේට සද්දෙ වහල ඉන්නව...අත්දැකීමෙන් කියන්නෙ.

      අහිංසක පාට් එක දැම්මොත් කරෙත් නගිනව.

      Delete
  3. දෙයකට අත්සන් කරන්න කලින් එය කියවන එක සෑහෙන්න වටිනවා...

    ReplyDelete
  4. මෙහෙමත් හොරු

    ReplyDelete
    Replies
    1. අපෙත් නොසැලකිල්ල. බෑග් එක හොඳට පේන විදිහට තියල ගිය එක

      Delete
  5. විශේශ කෙනෙක්ගෙන් ලැබුනු තෑග්ගක් ඔය විදියට නැති උනාම කොච්චර දුකද නේද......?

    ReplyDelete
  6. පොලිසිය නම් සංසාරේ... මෙලෝ රහක් නෑ හුඟ වෙලාවට.... අවුරුදු 6 ක් තියාගෙන කරපු දේවල් අනේ මන්දා... පැමිණිල්ල දාපු පිටපත තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. පොලීසිය ගැන කවුරු කියන්නෙම ඔය ගුණ ගායනාව. හැබෑට නැද්ද බ්ලොග් ලියන පොලිස්කාරයෙක් ?

      Delete
    2. බ්ලොග් ලියන පොලිස් කාරයෝ නැතිවුනාට පොලිස් වැඩ කරන බ්ලොග් කාරයෝ නම් සිටිති. :D

      ප.ලි.
      මෙහි "කාරයො" යන්නෙහි වරදක් ඇත්නම් සමාවෙන්න..

      Delete
    3. එච්චරයි අඩු මයේ හිතේ

      Delete
  7. පොලීසියෙ අයියල ඔය මේ වසමට අදාල නෑ කියල කියන්නෙ කරදරෙං බේරෙන්න.

    ReplyDelete
    Replies
    1. එව්ව කොහෙද අපිත් එක්ක. කොහොම හරි පොලිස් පොතෙත් නම ලියාගෙනයි අපි ආපහු ආවෙ

      Delete
  8. එතකොට ඒ නැතිවෙච්ච එක අවලංගු වෙන්නේ නැතිද?
    අපේ නම් ඩොකියුමන්ට් නැති උනාම පොලීසියේ පැමිනිල්ල ලියද්දිම කලින් එක අවලංගු කරනවා. අලුත් ඒවා හදාගන්න පට්ට කට්ටක් කන්න වෙන්නේ. ඒක හින්දා මම නම් සල්ලි ගැන නොහිතුවත් ඩොකියුමන්ට් නම් හොල්ලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක අවලංගුයි කියලා සඳහන් වෙනවා ඇති පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවෙ. ඒත් ඉතින් ඕකෙන් විභාග එහෙම නොකරලට වෙන මොනවා කරාද කවුද දන්නෙ, පුදුමෙ කියන්නෙ අවුරුදු හතක් විතර ගිය එකනෙ

      Delete
  9. /* දැන් මට හැඳුනුම්පත් දෙකක් ඇත. */

    Identity crisis එකක් එයිද?

    ReplyDelete
    Replies
    1. කසූ තමයි ඔන්න වග කියන්න ඕනෙ එහෙම කරදරයක් ආවොත්.

      Delete
  10. හප්පේ ඕවා ගනන් ගන්න එපා අනේ සුළු දෙයක්නේ.. අපේ පුතෙක් රට යන දවසක මම ටැප් වෙන්න ගහලා කස්ටියම ගියා කොල්ලා බස්සන්න එයාපෝට්. වාහනේ එලෙව්වෙත් මමමයි. මගදි සල්ලි නැති නිසා බැංකුවකින් සල්ලිත් ගත්තා. මගදි එනගමන් කස්ටියම කඩේකින් කෑවා. ගෙදර ඇවිත් ඊළඟ දවසේ බලනකොට අයි ඩී එක නෑ. කුණු බැනුම් නැන්දම්මගෙනුයි නෝනගෙනුයි. බීලා අර තැන් දෙකෙන් එකක හලා ගන්න ඇති කියලා. ඉතින් ඇපල් මල්ලකුත් අරන් පොලිසී ගිහින් කේක් එකකුත් අරන් ජී ඇස් නෝනත් හම්බ වෙලා අළුත් එකකට ඉල්ලුම් කරලා අලුත් එකක් ගත්තා. ඔහොම කාළේ ගතවෙද්දී මට අළුත් වොලට් එකක් හම්ම උනා යාළුවකුගෙන් දැන් තිබුන එකේ ඒවා ඔක්කොම එළියට ගත්තා අළුත් එකට දාන්න. මෙන්න වදේ හූනෙක් වගේ ඉන්න පරණ අයි ඩී එක අර අස්සේ ගහන කෑල්ලක. දැන් මටත් අයි ඩී දෙකයි.. අපි ඕන නම් සංගමයක් පිහිටුවගමු..

    ReplyDelete
    Replies
    1. Wait in the queue to join the club mate, I've two drivers licenses. An expired one for the S.L. cops.

      Delete
    2. හා දැන් එතකොට මාතලන් අයියා කියන්නෙ එදා අපි දෙන්නත් බීලා කොහේ හරි බෑග් එක අමතක වෙලා ආවා කියලද? එන්න එපා ඕවට හරිය !!!
      ඔන්න ඔබා මාමත් පස්සෙන් එනවලු සංගමේට

      Delete
  11. යක්කල ග්‍රීන් ගාඩ්න් කියලා කියන්නේ උත්සව ශාලාවක් නේ.
    අර සැන්ට් කුප්පිය ලැබුනේ නැද්ද ? මට හිතෙන විදිහට අයිඩින්ටිටි ටික ඇරුනම ඔතන වටින කිය්න දේකට තිබ්බේ ඔය සැන් කුප්පිය !

    ReplyDelete
    Replies
    1. මේක උනෙ 2005 දි මලයො. ඒකාලෙ අනිත් එව්වට වඩා ඔය සැන් කුප්පිය ලාබයි, මෙයත් ඒ ගමේ කෙනෙක්ද මන්දා

      Delete
  12. පොලිසිය... ? ලංකාවේ පොලිසිය තරම් චාටර් තව පොලිසි තියනවද මන්ද? එහෙව් එකේ බ්ලොග් ලියන්න? හොඳට හිටි.. පැමිණිල්ල ලියාගත්ත වගේම තියෙයි බ්ලොගේත්..

    ReplyDelete
    Replies
    1. ස්....කට කට
      බය නැතුව කෑගහන්නෙ ඉන්නෙ මූදෙන් එතෙර නිසා නේ

      Delete
  13. අවුරුදු ගානක් ගිහින් නැතිවූ ජාතික හැඳුනුම් පත ලැබීම එක්තරා පුදුමයක් නම් තමයි. හැඳුනුම් පතක් නැතිවුනාම තියෙන අවදානම නම් බර පතලයි. ගිය අවුරුද්දේ පුවත් පතක කියෙව්වා මතකයි හැඳුනුම්පත් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම කොම්පියුටරයිස් කරන්න ඇති සැලැස්මක් ගැන.

    ලංකාවේ ජාතික හැඳුනුම්පත හඳුන්වා දුන්නේ 1972දී, ඒ අතින් අනෙකුත් දියුණුවෙන රටවලට හා කලාපීය රටවලට වඩා ඉදිරියෙන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න වැදගත් තොරතුරු. හැබැයි මාව බය කරන්න නම් එපා හොඳේ

      Delete
  14. //හැංගි හොරා බැන්ඳ සෙනෙ ඒවනවිට අවසන්වී තිබුණි. අවසන් වූයේ සෙනෙහෙ නොව, හැංගි හොරා සිටි සමයයි. දෑවුරුද්දකට පසු ඔහූ ලංකාවට ආවේ අපේ විවාහය ලියාපදිංචිකිරීමේ උත්සවයටය.//

    මට ඇති බලවත් ප්‍රශ්නය නම් මෙය සිදු වූයේ කෙසේද යන්නයි.:D

    කතාව ලස්සනට ලියලා. ජීවිතේ දිහා හැරිලා බලපුවාම එක දවසක ලොකු ප්‍රශ්නයක් උනු දෙයක් දැන් ඒ වගේ නැති ගතියකුත් දැනෙනවා නේද? තියෙන්නේ මතකයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ වෙලාවට දිවි නහගන්න හිතෙන දේවල් පස්සේ බලද්දී මොනවද නේද

      Delete
    2. පො.කු : එය සිදුවීමට වසර 7ක්ම ගතවිය, එක වහලක් යටට ඒමට තවත් වසර දෙකකුත් ගතවිය.
      බින්දි,, සහතික ඇත්ත මෙයා

      Delete
  15. මේ පාර ගිහින් අළුත් ජීප් එකක් ගත්තෙ නැද්ද?

    ReplyDelete
  16. සමහර විට ඕක තැපැල් කරන්න ඇත්තේ අවුරුදු හයකට කලින් වෙන්න ඇති . අපේ තැපැල් සේවය නිසා .....
    මේ ඊයේ පෙරෙයිද මගේ මෙහෙ යාලුවෙක් පසුම්බිය මග වට්ටගෙන . ලංකාවේ හැඳුනුම් පත එකේ තිබිල . මොන උලව්වකට ඒක පර්ස් එකේ ගෙන හිටියද කියල අහන්න මෙහෙ පොලිස් කාරයින්ට බැහැනේ . මොකද සිංහල බැරි නිසා . හැඳුනුම් පත කිව්වම මතක් වුනේ . මටත් තවම තියෙන්නේ O /L කාලේ ගත්තු එක. හැමදාම හිතන් හිටියට කවදාවත් වෙනස් කරගන්න ලැබුනේ නැහැ .

    ReplyDelete
    Replies
    1. ශ....කපුටු කොන්ඩෙත් එක්ක ඒක නං බලන්නම වටිනව, බැරිද පබ්ලිෂ් කොරන්න ?

      Delete
  17. සමාවෙන්න මගේ කතාවක් කමෙන්ට් එකක් විදිහට ලියනවාට. මමයි මහත්තයයි පදින්චිය මහගෙදර, එයාලගේ දෙමවුපියන් එක්ක. දෙමාල්ලෝ හුඟක් වයසයි. කලෙකට කලින් මහත්තයාගෙත් ID එක නැතිවුනා. කොහෙදිද උනේ කියලා එයා දන්නෙත් නැහැ. ඒ දවස්වල මහපාරේ නිතරම චෙක් කරනවානෙ. ඉතින් වද විඳලා අලුත් එකක් කොහොම හරි හදා ගත්තා. ඊලඟ අවුරුද්දේ ඡන්ද නාමලේඛනය ලියද්දි, මම ID cards ඉල්ලුවහම අම්ම ගෙනත් දෙනවා මෙන්න අර නැති වෙච්ච එකයි, අම්මගෙ එකයි දෙකම. මේක කොහෙන්ද කියල අහපුවහම ඇයි ඕක තාත්තාගේලු. අම්ම වැඩි පරිස්සමට ඒක අරන් තියලා, photo එක බලපුවහම තාත්තා වගේ පෙනිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ සංගමේට සුභාගෙ මහත්තයාවත් ආදරෙන් බඳවා ගන්නවා කියන්න

      Delete
  18. ඔන්න දැන් තමා පොලිසියෙන් එන්නේ අක්කාව අල්ලගෙන යන්න. අයිඩෙන්ටි කාඩ් 2 ක් තියාගෙන ඉන්නවා කියලා :D

    ReplyDelete