Wednesday, 24 August 2011

පරලොවට පණිවිඩයක්


ජී. එච්. පෙරේරා කිවිඳුන්ගේ රචනයකි



ළඟදි ඔය පළාතෙන්      බැල්ම ලා ලක්දිවේ මේ
උපදින අය ඇත්නම්       කාරියක් මම  කියන්නම්
කලදි අපට කිව්වේ        නෑ කියා ඊට   පස්සේ
වැරදි කියනවාටයි       දැන්ම මේවා   කියන්නේ


රට බොහොම අසාරයි       ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි             කම්මැලියි බාරදූරයි
අට පහ නොම තේරෙයි      වල් සිරිත් පාර බේරෙයි
පිට රටට වදාරයි        කාපු දේවත් වමාරයි



ගත සිත නැත උස්සා        ආදි ඇත්තන් විලස්සා
එයිනි        නොරට වැස්සාගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම         රස්සා වෙන්ට නම් සී පරිස්සා
 විය යුතුය සුදුස්සා       වී මෙහේ එන්ට ලිස්සා


උගත යුතුය ඉංග්‍රීස්      ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එසැම ඉගෙණ ගන්ටත්     ලේසියත් ආයුසත් නෑ
එබැවින් ඔහේදී        බී ඒ   වලින් වත් සමත් වී
පැමිණිය යුතු බැව්      ඕනෑකමින් බෝම දන්වම්



සිහළ බස් කමක් නෑ        ඒ උගන්මෙන් පලක් නෑ
ඉහළ ගිය කෙනෙක් නෑ   ඉන්  සකුත් පාලි කම් නෑ
අහළක උගතෙක් නැත්නම්   කොහේවත් ගොහිල්ලා
දෙමල බස ටිකක්වත්        පාඩුවක් නෑ උගත්තොත්



සිහළ සිරිත දන්නම්    තුට්ටුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා     සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙට අනිද්දා     ගෑණු ඇතන්ම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ       සමත් වන්නට ඕනෑ



කොයික නැති උනත්        මේ නම් වරද්දන්නට එපා
කළු හම ලැබුනෝතින්     වෙන්නෙ ඔක්කොම පාඩුයි
ඔළු ගෙඩි බිම ගස්සා       කාගෙනුත් ගන්ට පූජා
හම සුදුවට නැත්නම්      සායමක් වත් ගෙනෙල්ලා



මිතුර මෙය අසාපන්      දැන් මහත්තැන් බලාපන්
එලෙසම ඉපදීපන්        සත් සිරිත් ගින්නෙ දාපන්
රට දැය වනසාපන්       කාල බීලා නටාපන්
අපෙ ඇට ගොඩ දාපන්     ඒවයෙ තාර ගාපන්

Tuesday, 16 August 2011

මල් රේණු නටලා



අපේ දෝණියැන්දැට කවි හොයන්න ගිහින් අපූරු ගීතයක් හමු උනා. ළමා ගීයක් නම් නෙමේ, ඒත් සංගීතය අපූරුයි. සිංහල ගීයක් උනාට මේක පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි( The sounds of Music )  ගීයක  සංගීතයෙන් හැඩ වෙලා තියෙන්නෙ. මකරන්ද බ්ලොගය ලියන පොත්ගුල්ලා මේ ගැන හරබර සංවාදයකුත් කරා පහුගිය දවස වල. මොකක්දෝ අපූරු හැඟීමක් එනවා හිතට. ආයෙ ආයෙ අහන්නමයි හිත. කැමති නම් අහලා බලන්න. මෙන්න පද පෙළ,,

           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් මල් හිනා මල් ලොවේ පීදුනා
           සමනල්ළු රොන් බීල මත් වී ගියා,,,,,

           දිය සේල ඇඳලා
           වැහිමාල දමලා
           හැඩ වෙන්න හැඩ වෙන්න
           රස ආරයේ
           කොවුලන් ගැයූ ගීත නව තාලයේ,,,,,,,,,,
         

           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් රේණු නටලා
           වැහි බිංදු වැටිලා
           මල් මල් හිනා මල් ලොවේ පීදුනා
           සමනල්ළු රොන් බීල මත් වී ගියා
          ඇල්හේනෙ ගැමි ගීත
          පිනවන්නෙ මා
          මඳ පවනට නිති නැළවෙන ගොයමද සාරයි,,,,,,,,,,,,,,

         මල් රේණු නටලා
          වැහි බිංදු වැටිලා,,,,,,



මුල් ගීය මෙන්න මේක




ගායකයා; සුසිල් ප්‍රේමරත්න මහතා, පද රචනය කලේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා

පද පෙල නිවැරදි කළ  පොත් ගුල්ල අයියාටත්, ගායකයා කවුදැයි සොයන්නට උදව් කල තිස්ස අයියාටත් පිං



Thursday, 16 June 2011

සිතිවිලි


මොහොතේ  
                තරු අතර නෙත් රැන්දු
සිත
       ඈත අනන්තේ
පැනයකි  
             ඉම කොහිද අහසේ 
කියාපන් 
            දිදුලන සිකුරු තරුවේ.... ,




මැවෙනා 
           නෙක තරු රටා අතරේ
රන් පැහැ 
              සැමදා සැඳෑ අහසේ
කවියන්
           නොදුටු රුව ලෝකේ
කවුරුන්ද 
             හඬගා කියන්නේ..........................

Tuesday, 31 May 2011

අහක යන තොප්පි

"අව්වෙ හිටගෙන ඉඳලම ඔලුවත් රිදෙනවා. යමුද ටිකක් වාඩි වෙන්න."ප්‍රසාදි මාවත් ඇදන් ගියා පැවිලියන් එකට.
 ක්‍රීඩා මාණ්ඩලික තරඟ. අද මුල් දවස. වැඩ වැඩි. හවස් වෙනකම්ම තරඟ තියෙයි.  එහෙම දාට ළමයි එක්ක ඉස්කෝලෙන් එවන පිරිසක් ඉන්නවා. අපේ ලොකු තැනගෙ තේරීමට අනුව. අවිවාහක කට්ටිය සහ බෝඩිම් ජීවිත ගෙවන අපි වගේ කට්ටිය. ඒ කට්ටිය ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ කියන්නෙ. කන්තෝරු ඇරෙන වෙලාවට පාරෙ බස් වල යන්න තියෙන අමාරුව මැඩම් දන්න නැහැ නෙ.

අපේ ස්ටාෆ් එකෙ රසිකා කියනවා " මෙන්න මේ වගේ වෙලාවට තමයි ඉක්මනටම කසාදයක් බැඳගන්න හිතෙන්නෙ".   ඉස්කෝලෙ ඉන්න වයසක පහේ කට්ටියට නම් මේ සර්කිට් මීට් එකෙ මුල් දවස් දෙක පේන්න බෑ.ඇයි  ඉතින් ඔක්කොම තරඟවල මූලික එව්ව ඉවර කරනකොට හවස හතරත් වෙනව. අපිට ඉතින් එදාට බෝඩිමේ ඇන්ටිගෙ මෙලෝ රහක් නැති බත් එකවත් නෑ.

එහෙම හවස් වෙනදාට, අමතර පංතියක් කරනදාට බත් එකක් බැඳල දෙන එක වගේ නරක පුරුදු අපේ බෝඩිමේ ඇන්ටිට නම් තිබුණෙම නෑ. දුක් වෙලා මොකටද කියලා අපි නං කරන්නෙ ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා, අතේ තියෙන කීයකින් හරි ළමයිටත් අයිස් පැකට් වගේ ඒවා අරන්දීලා හවහට ගෙදර යන එක තමා. කොහේ හරි ඉස්කෝලෙන් පිට වැඩකට යවනවා නම් යවන්නෙ අපි දෙන්නවම. හවසට එකට යන්න පුළුවන්නෙ.
 මමයි ප්‍රසාදියි කෑවෙ එකම බෝඩිම් බත. ඒ අතින් අපේ ලොකු තැන සෑහෙන්න අපි ගැන හිතුව.
මේ ගමන එව්වෙ අපි දෙන්නවයි, රසිකයි, අරුණ සර්වයි, ගුණරත්න සර්වයි. අරුණ සරුත් අපි වගේ බෝඩිං ජීවිතේ. ගුණරත්න සර්ත් මැඩම්ගෙ නිර්ණායක අනුව අපේ කුලකෙම තමා.ආ තව ක්‍රීඩා ගුරු චන්දනයි.

ඉස්කෝලෙදි නං මොනවට ගහ මරා ගත්තත් පිටට ආවහම අපි සෑහෙන්න එකමුතුයි. ඔය වෙලාවටනෙ අපි ඔය ලොකු ලොකු ඇත්තන්ගෙ කැරැක්ටර් සර්ටිෆිකේට් ගැන එහෙම හොයල බලන්නෙත්. ..

" 6 පංතියෙ සඳුනි ඊයෙ මට කියනව, මසං ගහ යට ඉන්නකොට ඉශාන් එයාට *කා, *කා කිව්වළු, "පන්තිය ඉස්සරහ   හිනාවෙන්නත් බෑ. මම නඩුවත් එක්කම විත්තියයි ,පැමිණිල්ලයි දෙන්නම යැව්වා ඉන්දු ටීච ළඟට."
ළමයි තරඟවල. අපිට් හිනා වැලයි.


" සර්ල ටීචල මෙහෙට වෙලා හොඳට ඉන්නව. අරෙහෙ අපේ ළමයින්ට අසාධාරනේ. එකොළහෙන් පහළට ඉන්න අපේ ළමයව දුර පැන්නුවෙ දෙපාරයි. ඇයි සර් සර් වයිස් ප්‍රින්සිපල් වෙලත් කිසිම වගකීමක් නැහැනෙ.."

දෝස් මුර සේරටම ගුණරත්න සර්ට. අපි මේ හිනාවෙන අස්සට හෙන ගහන්නා වගේ කඩං පාත් උනේ. බලනකොට එකොළහෙන් පහළ ළමයෙක්ගෙ අම්මෙක්.  චුට්ටක් විතර කටසැර වැඩි කෙනෙක්. අපි මේ හිනාවෙන අස්සෙ එකොළහේ පහළ දුර පැනීම් පටන් අරන්. එනවුන්ස් කරාට අපිට ඇහිලත්  නැහැනෙ. ඔන්න ඔහෙ බැන්නත් මොකෝ. බනින්නෙ ගුනේ සර්ටනෙ.
 චට පට ගාලා බැනල බැනල ඒ අම්ම ගියා. වැස්සක් වැහැළ පෑව්ව්ව වගේ.  අපිව එව්වෙ එක එක්කෙනාට ළමයි වයස් සීමා අනුව බෙදා දීල.
"කාටද එකොළහෙන් පහළ භාර දුන්නෙ?"


"මට"  ප්‍රසාදි හරිම අහිංසක විදිහට කිව්ව..

Sunday, 29 May 2011

ඕපදූප

මම හිටියෙ ගුරු විවේකාගාරෙ. හරි වැරදි ලකුණු කරන්න, වැරදි  නිවැරදි කරන්න වැඩ කෝටියයි. එක එක්කෙනා මෙතනට යනව එනව. සමහර අයට වැඩක් ඇත්තෙම නෑ වගේ. මොකට.  අතිරික්ත ගුරුවරු තියාගෙන ඉන්නවද මන්ද.
 කතාවට ගියොත් මටමයි පාඩු. ඒත් ඉතින් ඇහෙන එක නවත්තන්න පුළුවන්යැ. සමහර ඒව ඒ කනෙන් ඇතුලට ගිහින්, මේ කනෙන් පිට වෙනව. සමහර ඒව කං  ගැට්ටෙ වැදිල අහකටම යනව.   නිලන්ත අයියත් මම වගේම ළමයින්ගෙ පොත් බල බල හිටියෙ.

එක පාරටම එතනට වැඩම කරා ඉස්කෝලෙ ගරුතර සංඝ රත්නය....නිලන්ත අයියා නම් කරකර  හිටි වැඩේ නතර කරනවා මම කන්ණාඩිය අස්සෙන් දැක්ක. මම ඔන්න ඔහේ එක කනක් විතරක් ඇර ගත්තා.

" කොහෙද හාමුදුරුවනේ ගියෙ?"
වැඩියද, වැළඳුවද එහෙම නම් ඒ ගොල්ලො කතා කරේ නෑ කවදාවත්. මම හිතාගෙන හිටියෙ ගරු කළ යුත්තන්ට ගරු කරන්න දන්නෙ නෑ කියල.

"දානෙකට".
ප්‍රදේශයේ පන්සල්වල, ස්වාමීන් වහන්සේලාගෙ හිඟකම හින්දම පාසලේ ප්‍රධානියා අවසර දීලා තිබුණා පාසල් කාල වේලාව අතරදි උනත් දානෙකට වඩින්න.  මොකද එහෙම එකක් එන්නෙ හරිම කළා තුරකින්.
"කොහෙද දානෙ"
"&*&*^%**  කුලම පැත්තෙ ගෙදරක, දානයක් කිව්වට පිරිතක්. දැං නම් නිදිත් මතයි වගේ"
 චරාස්....... ඔළුව උස්සලා නොබැලුවට ඒ සද්දෙ මට අනුමාන කරන්න පුළුවන්. හාමුදුරුවො පිරිකරට ලැබිච්චි පාර්සලේ බලන්නයි හදන්නෙ. මම යයි ඔය ඕපදූප හොයන්න. තාරක විතරමයි ඔක්කොම ලකුණු අරන් තියෙන්නෙ.
" චික් විතරක්. රෑ එළිවෙනකම් කෑගැහුවට අඳනකඩයක්ද තියෙන්නෙ. මහ ලොකුවට දාන නම් දෙනව"
බරාස්...... ඒ නම් ගුරු කාමරේ ස්වාමීන් වහන්සෙට තියලා තියෙන ගුරු පුටුව පස්සට අදින සද්දෙම තමයි.  චරස්  බරස් ....  චරස්  බරස්...... සෙරෙප්පු සද්දෙත් ඈතට ගියාට පස්සෙම මම නිලන්න අයියගෙ මූණ බැලුවා.
" කියලා වැඩක් නෑ නංගි.  @#$##@$   "

Tuesday, 26 April 2011

සරදියෙල් සහ මල් පැළ


හා හාපුරා කියා කුලී නිවසක ජීවත්වීමට සිදුවූයේ මීට හරියටම තෙවසරකට කලිනි. ඒ රැකියාවට ආයුබෝවන් කියා වැලි කතරට පැමිනීමෙන් පසුය. අපි ජීවත් වූ නිවසේ ඉහත මාලයේ ගෙවල් හතරකුත්, පහත මාලයේ ගෙවල් හතරකුත් වෙයි. ඉන් දෙකක් පමනක් විශාලත්වයෙන් වැඩි අතර අනෙක්වා සම ප්‍රමානය. මේ ඒ පිළිබඳ සටහනයි.

පිවිසෙන තැනම වූ නිවසේ වූයේ ශ්‍රී ලාංකික යුවලකි. එකළ අපේ සුරතලිය වූයේ ඔවුන්ගේ දයාබර දියනිය නෙතු ය. ඈ එවකට අවුරුදු තුනහාමාරක් පමන වයසේ , වචනයේ පරිසමාර්ථයෙන්ම දඟකාරියකි.
නෙතූ දඟ වැඩ කරේ තනිවම නොවේ. යාබද අනෙක් නිවසේ ඉන්දියානු දරුවා සමඟය. ඔහු නමින් මොහොමඩ්ය. වයස අවුරුදු දෙකහාමාරකි.
විශේශත්වය වන්නේ මේ කුඩා දරුවාට තනිවම "you tube " හසුරුවා තමා කැමති කාටූන බලා ගැනීමට හපනෙකු වීමයි. ඔහු එවකට ඉංග්‍රීසි හෝඩිය තබා ඔහුගේ මව් බස වන මලයාලම් හෝඩියවත් නොදත් බවට මට සහතිකය. ඔහු " tom &  jerry, pingu, bugs bunny "යන කාටුන් නම් වල වචන සංකේතාත්මකව මතක තබාගෙන ඉන්නට ඇත.

නෙතු වාගේම මොහොමඩ්ද දවසින් අඩකටත් වඩා ගත කළේ අප නිවසේය. එකල මගේ ප්‍රියතම විනෝදාංශය වූයේ මේ දෙදෙනා සෙල්ලම් කරන අයුරු බලා සිටීමය. සෙල්ලම් කරන අතර වාරයේ මොහොමඩ් නෙතුගෙන් කිහිපවාරක්ම ගුටි කෑම අනිවාර්‍යයෙන්ම සිදුවන දෙයකි. ඒ ඔහු කියන දේ නොකරන නිසාමය. කියන දේ නොකරන්නේ දඟ නිසා නොව, නෙතු ඉංග්‍රීසියෙන් කියනාදේ ඔහුට නොවැටහෙන නිසාය.  you stay here, නෙතු වෙන වැඩකට යයි. කාට  තේරෙනවද ඕවා. නෙතු ආපහු එනවිට මොහොමඩ් එතන නැත. ඉතින් හොඳවායින් පාරක් දෙකක් වදී. වැඩිහිටියෙකු අසල සිටීනම් එය කොලුවාගේ වාසනාවකි.

ටික දිනකින්ම නෙතූ අමුතුම භාශාවක් කතා කිරීමට පටන් ගත්තාය.  ඒ ඇගේ විනෝදයටය. ඈට මොහොමඩ්ගේ මලයාලම් වාගේ කතා කිරීමට ඇවැසි වන්නට ඇත.
"මෙයා කොහෙන්ද ඉතාලි භාශාව ඉගෙන ගත්තෙ? ඔයා කියා දුන්නාද?" දිනක් මොහොමඩ්ගේ අම්මා, නෙතූගේ අම්මාගෙන් අසා තිබුණි.
"නෑ එයා ඉතාලි භාශාව දන්නෙ නෑ."
" එහෙනම් ඔය කතා කරන්නෙ. ඒ ඔයාලගෙ රටේ භාශාව නෙමෙයි නේද? මම නෙතූගෙන් ඇහුවම ඔය භාශාව මොකක්ද කියලා එයා කිව්වනෙ ඉතාලි කියලා."

 නෙතූගේ දඟ වැඩ එතරම්ම ආදරණීයය...

අපි සිටි නිවසේ දිනක් කිසිවෙකු විසින් මල් පැල රාශියක්  හිටවා තිබිණි. එක එක ප්‍රමානයේ විවිධාකාර මල් පැළ  කොහෙන් ගෙන ආවාදැයි පුදුමය. ගෙනා තැනැත්තාට සාහෙන වියදමක් යන්නට ඇත.
 නොබෝ දිනකින්ම මල් පැළ වල අයිතිකාරයා හමුවිණි. ඔහු ඉහළ මාලයේ නිවසක වෙසෙන අරාබි ජාතිකයෙකි. ඒ ඔහුම බව අප දැන ගත්තේ ඔහු වතුර දමමින් සාත්තු කරනවා  සියැසින්ම දුටු නිසාය.
අපි මල් පැළ වවනවාට වඩා වෙනසක් ඇත. ඔහු දිනපතා වතුර දමන්නේ දහවල් දොළහත්, දෙකත් අතර කාලයේය.

ටික කලකට පසු දිනක් අපේ පොඩ්ඩී හදිසියේ අසනීප වී අප නගරයේ තිබුණු රෝහලට ගොස් මද්‍යම රාත්‍රියේ ආපසු එමින් සිටියෙමු. අප විසූ නිවසත මඳ දුරකින් පිහිටියේ එමීරයේ විශාලම පාසලකි. එහි මල් වැට අද්දර කිසිවෙකු මල් පැළ සිටුවයි.
 "කවුද මේ මහ රෑ මල් පැළ හිටවන්නේ.?" අපි වාහනයේ වේගය මඳක් බාල කලෙමු. ඒ අපේ මල් පැල ගොවියාය.
"මේ අර සරදියෙල් වගේ පොරක්නෙ". අපේ මහත්තයා ඔහුට උසස්ම නම්බු නාමයක් එවෙලේම දුන්නේය.
තියෙන තැන් වලින් හොරෙන් අරන් නැති අයට දෙනවා. තමන්ගෙ ලාබෙකට නෙවෙයි. සමාජ සේවෙට.
මා මෙහි ජීවත්වූ කාලයේ හමුවු චරිත අතරින් කිපයකි ඒ.

Wednesday, 20 April 2011

පහුගිය දොහේ


අලුත් වෙන්න කාලෙ හරි. ලියන්න උදව් කරපු අයටත්, පහුගියටිකේ හොයලා බලපු අයටත් බොහොම පිං. පැත්තකට වෙලා ඉන්නකොට තමයි දැනෙන්නෙ අපි හම්බකරගත්තු යාළුවන්ගෙ අගේ. යාළුවො කියලා හිතාගෙන හිටපු මාළුවන්ගෙ කොරල පේන්නෙත් එතකොට.

  පහුගිය ටිකේම ගෙවල් හෙව්වා. අන්තිමේ හිතටයි, සාක්කුවටයි දෙකටම හරියන එකක් ලැබුණා. අවිචාර සමයක් වගේ. සතියක් විතර අන්තර්ජාලෙත් නැතුව හිටියා. කොටින්ම ලෝකෙම බලපු ක්‍රිකට් තරඟෙත් බලන්න බැරි උනා කියන්න ලැජ්ජාවෙ බැහැ.

ගෙවල් හොයනවා කියලා ආරංචි උනගමන් ඩීන් අයියා දුන්නු ඔත්තු වලටත් ගොඩක් පිං. දැන් නම් ටිකක් අතපය දිග හැරලා නිදහසේ ඉන්නවා. ඉස්සර අපි හිටියෙ දැං ඉන්නවට වඩා ඉඩකඩ ගොඩක් අඩු තැනක.

ප්‍රියන්ත අයියත් කීප වතාවෙ ඇහුවා මොකෝ හරී නොලියන්නේ කියලා.

 අපරාදෙ කියන්න බැහැ කතන්දර අයියා මට අවුරුද්දට සුභ පතලා තිබුණේ ගෙවල් කුලිය අඩුවේවා, හොඳ පුටු සෙටියක් ලැබේවා කියලා.
හැබැයි ඉතින් මම කලින් කිව්වා වගේ ඒ පාට දෙකේ පුටු නම් අයින් කරන්න උනා. අපේ කෙල්ල වතුර, කෑම පුටු උඩ හැලුවම පිරිසිඳු කරන්න හරි අමාරුයි. ඒ පුටු කවර "රෙදි"  නිසා. ඉතින්  මීට අවුරුද්දකට විතර කලින්ම පරණ සබන් කෑල්ලට යන්න කියන්න උනා.

යාන්තම් අවුරුද්දට කියලා කොකිස්, අතිරස , නාරං කැවුම් ටිකක් හදා ගත්තා. ඔච්චර තමයි ඉතින් හදන්න දන්නෙත්. ඒ අස්සෙ මතක් උනේ බුද්ධි මලයා මෙහෙ තියෙන ගාන වැඩිම සෙන්ට් ජාතියක් හෙව්වා. හාමිනේට තෑගි කරන්න වෙන්ටැ. හම්බ උනාදත් මන්දා, අහන්නත් බැරි උනා.

 තවත් ඔය හොයලා බලන හිතවතෙක් කාලෙකින් මොකුත් ලියලා නැහැ. හොයලා බැලුවම දෙදරු පියෙක් උනාලු. සුභ පැතුම් හොඳේ.

නිතර දෙවේලේ මටම මඩ ගහන කාංචන මලයාටත් මොනවා වෙලාද මන්දා. සමහර විට දොස්තර නෝනා බෙහෙතක් දීලා ඇති. හපොයි මේ මදෑ මඩ.

ඒ අස්සෙ මේ මාරයත් කරන වැඩ. මුං ඇට කිරිබත් මතක් කරලා, ඒ ගමන ආසාවට හදාගෙන කෑවා. හපොයි දෙයියනේ, දවල් වෙනකොටම පටන් ගත්තෙ නැතැයි නාහෙන් වතුර ගලන්නා වගේ. අර කවුද කිව්වා වගේ " හෙම්බිරිස්සාව හැදිලා සනීප උනහම මාර සනීපයක් දැනෙන්නෙ"
ඕං ඔහොමළු උනේ.
හෙව්ව බැලු කට්ටියට අයෙත් පාරක් බොහොම පිං...