Wednesday, 28 July 2010

මල් වට්ටිය






මගෙත් එක්ක බබල්ගම් කාපු යාළුවා මතක ඇතිනේ. මේ එයාගෙ හපන්කමක්.

 ඔන්න සෞන්දර්ය විශයට මම කලේ චිත්‍ර. එයා කරේ නැටුම්.   එතකොට අපි 11 වසරෙ. මෙයාලගෙ නැටුම් ටීච හැමදාමත් උදේට බුදුන්ට, සරස්වතී දේවියට මල්, පහන් පූජා කරලා තමයි  වැඩ පටන් ගන්නෙ.  හැමදාමත් 11 පංතියට තමයි මේ පූජා භාණ්ඩ ගේන්න නියම වෙලා තියෙන්නෙ. මොකද ඒ වැඩේ පිළිවෙලට කෙරෙන්න ඕනා නිසා, ඇයි සෞන්දර්යය කරන ලොකුම ළමයි ඉන්නෙ 11 පංතියෙනෙ.අපේ ඉස්කෝලෙ ඒ කාලෙ උසස් පෙළ නැටුම් විශය තිබුණෙ නෑ..

ඔන්න ඉතින් මෙයාලට  ටික දවසක් කරනකොටම වැඩේ එපා උනා, මොකද අපේ පංතියෙන්ම නැටුම් කරේ ගැහැණු ළමයි කිහිප දෙනයි. මේ  යාළුවා එන්නෙත් බස් එකේ. සමහර දාට ගේන මල් පොඩිවෙලා. තැලිලා. එක්කො ගේන මල් ප්‍රමාණය මදි.  එදාට ඉතින්  එක්කො බැනුම්. නැත්නම් කුඩම්මගෙ සැළකිළි.

  දැන් ඉතින් මොකද කරන්නෙ. එයායි, එයාටම හරියන තවත් එක්කෙනෙකුයි එකතු වෙලා ගැහුවා ප්ලෑනක්..ඊට පස්සෙ හැමදාමත් උදේට සුදුම සුදු වතුසුද්ද මල් වට්ටියක් නැටුම් කාමරේ ට යනවා. අනේ මිසුත් මේ දෙන්නට හරිම ආදරේ උනා..

මොකක්ද මේ වෙනස. අපේ ඉස්කොලෙට යාබදව තිබුනෙ නගරයේ ක්‍රිස්තියානි පල්ලියේ සුසාන භූමිය. මෙයාලා මල් කඩා ගත්තෙ එහෙන්. කොහොමද කෙල්ලො දෙන්නගෙ වැඩේ?.

 මල් නම් කොහෙ පිපුනත් එකයි. ඒත්  මේ මල් තමන් වඳින්න පුදන්න කලින් තිබුනෙ සොහොනෙ කියලා නැටුම් මිස් අදටත් දන්නෙ නැතුව ඇති. දැනගත්තා නම් ඉතුරු කරන එකක් නෑ...
.

පුණ්‍යානුමෝදනා







"වැට කටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ළඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කළුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ"


මේ විමලරත්න කුමාරගම කවියා විසින් රචිත කවියක්. මට හිතුනා තම තමා නැණ පමණින් සටහන් පෙළ ලියූ ඔහුත් මේ විදිහට සිතුවාදෝ කියලා.

  සුවසක් සිසුන්ට නැණ පහන් දල්වා අද අවසන් ගමනේ යෙදෙන කුමුදු පිංතු නම් වූ දයාබර, මිනිසා, ගුරුතුමා වෙනුවෙන් කළ හැකි කෘතගුණ සැළකීමක් ලෙස මේ සටහන ලියා තබනෙමි.

ඔබට අමා මහ නිවනම පතමි  !!!.

Monday, 26 July 2010

දඟ ළමයි සහ හොඳ ළමයි



ඉස්කෝලෙ කාලෙ මොන තරම් සුන්දරයිද නේද? අපි කාටත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ. අර එච්.ජී. වේල්ස් ලියලා තිබුනා වගේ කාල යන්ත්‍රයක් තිබ්බා නම් කීයක් ගියත් එක පාරක්  යනවා පාසල් කාලෙට, අනේ ඇත්තමයි.

ඒ කාලෙ කරපු ගොඩක් දේවල් වල හොඳ නරක තේරෙන්න්නෙත් දැන්නෙ. පස්සෙන් පහු මං ගුරුවරියක් වෙලා උගන්නන කාලෙ ළමයි කරපු සමහර  වැඩ වලට ගැහුවට,  බැන්නට මට නම් අනන්තවත් මතක් උනේ අපිත් එහෙම්මමයි නේ කියලා, නැත්නම් අපි එක්ක හිටපු අයත් ඔහොම වැඩ කෙරුවනේ කියලා.        සමහර වෙලාවට මට බනින අතර හිනාත් යනවා. ඊට පස්සෙ නම් ඉතින් නඩු අහලත් ඉවරයි. අනේ ඒ පොඩි එවුන් දැන් මොනවා කරනවා ඇද්ද?

මගේ ගුරු ජීවිතේ එදාවේල කන්න , අඳින්න නැති, අම්ම අප්පගෙ ආදරේ නැතුව දුක් විඳපු ළමයි වගේම, බෙන්ස් කාර් එකෙන් බැහැලා ආපු ළමයිනුත් හමුවෙලා තියෙනවා.නිමලව  ඉස්කෝලෙදි තමයි ගොඩක්ම දුප්පත් ළමයි හිටියෙ. දුක් විඳලම ඇට්ටර වෙච්චි ළමයිත් හිටියා.

 ඒක ගොඩක් පොඩි ඉස්කෝලයක්, එහෙ එතකොට 7 පන්තියෙ ළමයි දෙතුන් දෙනෙක් හැමදාමත් පිට්ටනිය පත්තට යනවා. මේක බලන් හිටපු මම දවසක් විපරම් කරා කොහෙද යන්නෙ කියලා, අනේ බලනකොට  ඉන්ටවල් එකට කන්නෙ එරමිණියා.
තවත්  ඒ පන්තියෙම ගෑණු ළමයෙක් දවසක් උදේ 9ට විතර ඉස්කෝලෙ ආව. මම එතකොට පාඩම උගන්නලා , ගණනුත් හදන්න දීලා ඉවරයි

"මොනවද මෙච්චර වෙලා කරේ , සනෝජි ඔයා එන්නෙ බස් එකේ නෙමෙයි නේ?"
"අම්මා උදෙන්ම වත්තෙ වැඩට ගියා මිස්, මම නංගිලට කන්න බත් උයලා ආවෙ"

මම එවෙලෙ පත්වෙච්චි අපහසුතාවය දැකපු ඒ පන්තියෙම කොලු පැංචෙක් මොකක්දෝ විහිලුවක් කරලා කතාව මඟ හැරියා කියලා මට හොඳට මතකයි. හැබැයි මගේ ඇස් දෙකට කඳුළු නම් ආවා. ඒ වෙනකොටත් ඇත්තටම මට හරියට බතක්, මාළුවක් උයා ගන්න බැහැ. මේ අවුරුදු දොළහක පුංචි එකී විඳින දුක.

දවසක් ළමයෙකුට මම දොස් කිව්වා
 "අම්මලා, තාත්තලා මහන්සිවෙලා හම්බකරලා නේද පොත් පත් අරන්දෙන්නේ"  කියලා, මෙන්න මේ ළමයා කියපි
 " නෑ මම තේ වතු වල , වල් නෙලලා හම්බකරන සල්ලි වලින් පොත් ගත්තේ කියලා "
 ඉතින් කාට කියන්නද?
අර ටෙක්ලත් හිටියෙ එහෙනේ.

මේවා ලියලා ඉවර කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. සමහර විට මම තාමත් ගුරුකම් කරා නම් මේවා  ඇඟට පත්තියන් වෙන්නත් තිබුනා.

මම ඇත්දැකපු හොඳම දෙයක් තමයි පාසලේදි දඟ වැඩ කරලා බැනුම් අහන ගුටි කන ළමයි, ගුරුවරුන්ට ආදරෙයි, බෝපැළ වගේ ළමයින්ට වඩා.
 පොතේ එල්ලිලා ඉන්න ළමයි හරිම ආත්මාර්ථකාමියි. තමන්ගෙ යාළුවෙකුට උනත් උදව් කරන්න පැකිලෙනවා.
 පොතේ වැඩයි, දඟ වැඩයි දෙකම කරන්නෙ නම් ඇම්බැට්ටයොම තමයි .පතෝල වගේ. ගුණත්  නෑ, අගුණත් නෑ.
අර පංතියෙ දඟලන කට්ටිය තමයි පාසලේ පොදු වැඩ වලදි මුල් තැන ගන්නෙ. අනිත් දෙපිරිසටම වඩා මේ අය ගුණ ධර්ම අතින් නම් පොහොසත්.

මම දුශ්කර සේවය කරන කාලෙ 11 පංතියෙ ළමයෙක් හිටියා මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වැඩ කරන්න තරම් උනන්දුවක් තිබුනෙත් නෑ ඒ ළමයට.  තාත්තගෙ වැඩේ නිතරම ඇවිත් පුතා ගැන අහන එක. මේ ළමයා මුල් වතාවෙ විභාගෙ ෆේල්. ප්‍රතිපල එන්නත් කලින් මෙයා ආපහු ඉස්කෝලෙ ආවා. අපේ සමහර  අය මේකට කැමති උනේ නැහැ, කොටින්ම  විදුහල්පතිතුමිය එක්ක කිව්වෙ මේ ළමයි ටිකත් නරක් කරයි කියලා.
මගේ පාඩමක් වෙලාවක මෙයා බිත්තියෙන් එහා පැත්තෙ ඉන්නවා දැකලා දවසක් මම මේ සුපුන්ව පංතිය ඇතුලට අඬ ගැහුවා. කියන පමාවෙන් කොල්ලා ඇතුලෙ. අනේ පව්, මම හිතන්නෙ කවුරුම හරි කතා කරන කම් බලන් ඉන්න ඇත්තෙ. කොහොමින් හරි කලින්ට වඩා පුලුවන් හැටියට මහන්සි වෙලා යාන්තම් විභාගෙ ගොඩ දා ගත්තා.

ඊටත් කාලෙකට පස්සෙ මම සති අන්තෙ ගෙදර යන වෙලාවක බස් එක චෙක් පොයින්ට් එකක නතර කළ වෙලාවක හමුදා සෙබළෙක් කියන්න පුලුවන් ළමයෙක් මගේ ළඟට ආවා. කොට කොණ්ඩෙ නිසා එයාලව අඳුර ගන්න ලේසියි. බලනකොට සුපුන්. විභාගෙ පාස් වෙච්චි නිසා   navy එකට  බැඳෙන්න පුළුවන් උනාලු. අර සෙනඟ ගොඩක් මැද්දෙ දණ ගහලා වඳිනකොට මගේ අස් දෙකට කඳුළුත් පිරුනා. වටේ පිටේ හිටිය අයත් බලන්න ගත්තා.ඒ ළමයා ඒ වෙලාවෙ වැන්දෙ හදවතින්මයි කියලා මට හිතුනා. ඇත්තටම මට දැණුනු සතුට කියන්න වචන නෑ.

විභාගෙ යන්තම් පාස් උනාට ඒ ළමයා ජීවිතේ දිනලා නේද?

ගුරු ජීවිතේ තවත් තොරතුරු මතු ලියන තෙක් නවතිමි,,,,,,,,,,,,,,..

Sunday, 25 July 2010

මල්ලි ඉන්න

           බ්‍රහස්පතින්දා හවසට මෙහෙ ගොඩක් අය කැමතියි. මිනිස්සුන්ගෙන් පිරිලා. මාසෙ අන්තිම දවස් නම් තවත් සෙනඟ. අම්මෝ මේ දවස් වල තියෙන රස්නය. පහුගිය අවුරුදු වලට වඩා වැඩිද මන්දා. කොහොමහරි ඊයෙ දවල් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 48 ක් විතර.  වැඩට යන අපේ මහත්තයා කැමති ගෙදරට වෙලා හොඳට නිදා ගන්න. ඒ නින්දෙ දිග , පළල නම් තීරණය කරන්නෙ චූටි දූ. මුළු දවස තිස්සෙ ගෙදර ඉන්න අපි දෙන්නා කැමති එළියට යන්න. ඔන්න ඉතින් වලියට මුල එතනලු. අන්තර්ජාලෙත් නොතිබුනා නම් ඉතින් පිස්සු තමයි

.ටික දවසකට උඩදි , බ්‍රහස්පතින්දාවක හවස අපි ගියා එළවළු ගේන්න.  city එකේ ලංකාවෙ එලවළු තියෙන කඩේට. ඔය හරියෙ හවසට වාහනයක් නවත්තගන්න එක නම් හරිම අමාරු වැඩක්. සති අන්තෙ කොහොමත් බෑ. ඔන්න ඉතින් අපිත් ඉඩ තියෙන තැනක් හොය හොයා වට කීපයක් ම ගියා. එක පාරටම ඉස්සරහින් ආපු වාහනයක් නිසා අපේ ඉඩ ඇහිරුනා. කවුරු උනත් නොදන්නා කම නිසයි එහෙම උනේ. එතනින් ඇතුල්වෙන්න බෑ. සිංහලෙන් නම් one way .

කවුරු උනත් ඒ ආපු කෙනා නොදන්න කම නිසා වෙන්න ඇති එහෙම උනේ. දැන් අපේ පිටිපස්සෙ වාහන පෝලිමයි. අරයා පස්සට යන්නෙම නෑ. කොටින්ම අර වාහනේ අපේ වාහනේ ගෑවී නොගෑවී තියෙන්නෙ.  අපේ එක්කෙනාටත් අර ලඟදි පුතා දාපු  post  එකක තිබුනා වගේ මලබාරියො අරහං. ගොඩක් වෙලාවට මලයන්ව දැකපු ගමන් අඳුර ගන්න පුලුවන්. ඔන්න ඉතින් වෙච්චි වැඩේටයි, මලයො එක්ක තියෙන තරහටයි දෙකටම වාහනේ හෝන් එකත් හයියෙන්ම ගහන ගමන් බනින්න ගත්තා. හැබැයි සිංහලෙන්. මොකටද නිකන් තේරෙන්න බැනලා රණ්ඩු ඇතිකර ගන්නෙ නේද?

"මේ බූරුවා පස්සට යන්නෙම නැහැනේ", ඔය වගේ සත්තු කිහිප දෙනෙක්ම අපහාස වින්දා ඒ වෙලාවෙ.
අනේ මෙන්න ජනේලෙන් බෙල්ල එළියටම දාපු අර මලයා කියපි,,

" හා මල්ලි මම පස්සට ගන්නම් කියලා"
ස්ස්ස්ස්ස්ස්,,,,,,,,,,,,,,,,,  චණ්ඩියා සද්ද නෑ. සිංහල පුලුවන් මලයෙක් නෙමේ, මලබාරි පෙනුම තිබුනට අපේ රටේ කෙනෙක්. එළවළු ගෙනියන්න ඇවිත්,,,

මීට පස්සෙ බනින්න කලින් විරුද්ධ පාර්ශවය කට අරිනකම් හිටියා නම් හරි නේද?

Monday, 19 July 2010

මාලු

      අපේ ආච්චි අම්ම ඉස්සර කියපු කතාවක් මතක් උනා මට, ගොඩක් පරණ කතාවක්. කොටින්ම මේකෙ කතා නායකයා ගිය අවුරුද්දෙ එයාගෙ පනස්වැනි උපන්දිනේ සැමරුවා ඇමරිකාවෙදි. නිකන් නෙමෙයි, පිරිතකුත් කියල.

අපේ ගෙදරට පහළින් තියෙන්නෙ සීයගෙ අය්යා කෙනෙක්ගෙ ගෙයක්.දවසක් ඔය ගෙවල් දෙකේ ඉන්න අපේ අම්මලා, පුංචි අම්මලා කට්ටිය  (ඒ කියන්නෙ ඒ කාලෙ කෙල්ලො ) එකතු වෙලා, අපේ ගෙදර ඉඳන් මොනවද කෑවලු. පහළ ගෙදර පුංචිම එකා බලාගෙන හිටියට එයාට දීලා නැහැ. එයා ඉතින් අක්කලාගෙන් ඉල්ලුවත් දීලත් නැහැ. අඩුගානෙ කන්නෙ මොනවද කියලා වත් කියලත් නැහැ. ඉතින් මේ කෑම බලන් ඉඳල ඇති වෙලා මේ පොඩි එකා අපේ ආච්චි අම්මට කරදර කරන්න පටන් අරන්, අර ගොල්ලො කන ඒවා ඉල්ලලා
.  "මොනවද කුඩම්මේ අක්කලා කන්නේ,,,, "  කිය කියා කරදර කරන්න පටන් අරන්.  ගෙදර වැඩටත් උදව් කරන්නෙ නැතුව  කෙල්ලො ටික කරන වැඩේට ආච්චි අම්මටත් හොඳටම කේන්ති ගිහින් ඉඳල තියෙන්නෙ.  තරහටම ආච්චි අම්මා කියල තියෙනවා  ඒකාලෙ බාසාවෙන්ම,

" මම දන්නෙ නැහැ බං,, බඩ මාලු වෙන්න ඇති"

අනේ අසරණ පොඩි එකා ඊළඟට අඩන්න ගත්තලු    " අනේ කුඩම්මේ,,     මටත් ඉල්ලලා දෙන්නකෝ බඩ මාලු"  කියල..      ඉතින් දීපංකො,,,,,,,,,,,,,,මාලු,

Friday, 16 July 2010

ගුණ සුවඳ






            ඇත්තෙන්ම මට මේ සටහන ලිවීමට සිත් වූයේ මෑතදී දුටු ලිපි කිහිපයක් නිසාවෙනි.   මේ දයාබර සටහන පසු කලෙක මගේ ජීවිතයට ඉතාමත් ලංවූ පුද්ගලයෙකු පිළිබඳවය. ඔබ සිතන පරිදි ඔහු මගේ ආදරවන්තයා නොවේ. කොටින්ම කිවහොත් නෑකමට ඔහු මගේ සීයාය. නිවැරදිව කිවහොත් ලේ ඥාතියෙක්ද නොවේ. ඔහු මගේ එක් බාප්පා කෙනෙකුගේ  මාමා කෙනෙක් වූව ද   ඊටත් වඩා අපට ලංවූයේ  බාප්පාට තමාගේම පුතුට මෙන්ම සැලකූ නිසාමය ,

        මා දන්නා පරිදි බෙන්තර - ඉඳුරුව ප්‍රදේශයේ උපන් ඔහු වෙද සීයා වූයේ පරම්පරාවෙන් උරුමවූ වෙදකමක්  නිසා නොව, එකල අලුතෙන් ආරම්භ කල ගම්පහ ආයුර්වේදයේ සිසුවෙක් කිරීමට ඔහුගේ පියාට අවැසි  වූ නිසාමය .
ඔහු මගේ ජීවිතයට ලංවන විට දකුණු පලාතේ පදිංචි කාරයෙක් වූයේ විවාහය නිසාවෙනි. ඔහුගේම වචන වලින් කිවහොත්  බත් කාපු ගෙදර නැවතීම නිසාය.

මීට වසර කිහිපයකට පෙර විද්‍යාපීඨ පුහුණුව අවසානයේ සීමාවාසික වසර සඳහා ගාල්ලේ පාසලක් ලැබෙන තුරු මා බලා සිටියේ මේ වෙද සීයගේ ගෙදර නැවතීමට පුළුවන් නිසාවෙනි. මම, අපේ ගෙදර අනෙක් අය මෙන්ම වෙද සීයාද මට ගාල්ලේ පාසලක් ලැබෙන තුරු බලා සිටියේය.
 එහෙත් වසර අවසානයේ සිතූපරිදි මට ලැබුනේ ගාල්ලේ පාසලක් නොව මාතර සුමේධංකර මහා විද්‍යාලයයි. මට වඩා කම්පා වූයේ වෙද සීයාය. ඒ දැනගත් සැනින් ඔහු තමාගේ හිතවත්  මිත්‍රයෙක් වූ, එවකට ඇමති ධූරයක් දැරූ  රිචඩ් පතිරණ  මහතා සොයා ගියේය.  එවක අපේ විද්‍යාපීඨයේ විදුහල්පතිනිය වූයේ රිචඩ් පතිරණ මහතාගේ නෑනා  නිසා වෙද සීයාගේ ඉල්ලීම මත මට  ඔහුගේ නිවසේ නැවතී සිට යා හැකි නිමලව විදුහල ලැබුණි.

 එතැන් සිට මම ඒ අපූරු නිවසේ සාමජිකයෙක් වීමි. අපූරු නිවසක්  ලෙස මා හැඳින්වූයේ  එහි වූ පිලිවෙල නිසාය. වෙද සීයා මෙන්ම ආච්චීද ගේදොර වත්ත පිටිය ඉතා අලංකාර ලෙස තබාගෙන සිටියහ.

අත්තෙන්ම වෙද සීයා ඉතා පිරිසිඳුව , පිළිවෙලට වැඩකිරීමට කැමති පුද්ගලයෙකි. කිරි සුදු පාටින් බබළන ඔහුගේ ජාතික ඇඳුමේ රැළි ගැසුනු තැන්, පොඩිවුනුතැන් නොමැත. ඔහුට ඔහුගේම කතා රටාවක් ඇත.
 " දුවේ  මට මේ ඇඳුම පොඩ්ඩක් තලා දෙන්න"   ඔහු තම ඇඳුම මැද දෙන ලෙස මගෙන් ඉල්ලන්නේ එලෙසිනි. තෙල් ගා මනාලෙස හිස පීරා ගැනීමට ඔහුට වැඩි කාලයක් ගතවේ. වරක් මගේ සුවඳ හමන ඔලිව් තෙල් බෝතලයෙන් බිඳක් දමා එය වරුවක් අගේ කල හැටි මට තවමත් මතක් වෙයි .කොටින්ම මේ ලියන මොහොතෙත් මට සිහියට එන්නේ කිරි සුදු ජතික ඇඳුමෙන් සැරසී හිනැහෙන වෙද සීයාය.
             ඔහු ඉතා විනෝදකාමී ජීවිතයකට හුරුවූ අයෙකි. සැහැල්ලුව කෙසේදැයි කිවහොත්  මට නම් සිතෙන්නේ ඔහුගේ පවුල රැකුනේ ආච්චි අම්මාගේ ඉවසීම නිසාවෙනි. ඒ මන්ද කිවහොත් දේශපාලන වැඩට ගියවිට ඔහුට ගේදොර මතක නැත. මිතුරෙක් කිසියම් වැඩකට කතාකල හොත් සියළු වැඩදමා දුවයි.

වෙදකමින් ලැබුණු දෙයින් සරල ලෙස ජීවත් වූ යහපත් මිනිසෙකි.වරක් වෙද සීයාගෙන් වෙදකමක් කරවාගත් උද්‍යාන අලංකරන ශිල්පියෙක් සතුටට පත්ව වෙද සීයාගේ ගෙවත්ත අලංකාර කර දීමට ඉදිරිපත්ව ඇත. වෙද සීයාගේ ගෙවත්ත දුටු ඔහු මෙහි තමාට වෙනස් කිරීමට කිසිවක් නොමැති බව පවසා ආපසු හැරීගිය පුවත මා සමඟ කීවේ මහත් ආඩම්බරයෙනි.ඒ ගෙවත්තේ නැති ජාතියක් නැති තරමය. කොහේ ගියත් මල් පැලයක්, බෙහෙත් පැලයක් ගෙනත් සිටුවයි..

 මා ඒ නිවසේ සිටි සමයේ අපි තිදෙනාට අමතරව තවත් ජීවිත නමයක් එහි වාසය කලහ. ඒ වෙද සීයාගේ බළල් පවුලයි. මොවුන්ට පුදුමාකර නම් ඔහු තබා තිබුනි, මට මතක ඇති පරිදි 'හිච්චි කෙල්ල, හීන් එකී, පුරු පුරු ආදී වශයෙනි.

      ආච්චි අම්මා කොතරම් විරුද්ධ වූවත් ඔහු මේ මහා බළල් පරම්පරාව සතුටින් නඩත්තු කලේය. කොටින්ම උන්ට කෑම සඳහා වෙනම හාල්මැස්සන් කරවල කිලෝ ගනන් රැගෙන අවේය. ඒවා ඔහුගේම අතින් සකස් කර දුන්නේ ආච්චි අතින් උන්ට මදි පාඩුවක් උනොත් එය මහා අපරාධයක් යැයි සිතාමෙනි.
ඒවා සකස් කලේද විශේශ ආකරයකටය. සතුන්ට දීමට යැයි නොහිතාම ඒව හොඳින් සෝදා තම්බාගෙන,  ඉඳුල් නොමැති බත් හා ගා ගත් පොල් සමග කෑමට දෙයි. ඔහුගේ එක් ආමන්ත්‍රනයකින් මුළු  බළල් පවුලම දෙපා මුල සිටී.

 දිනක් ඔහු වත්තේ පිරිසිඳු කිරීම් වල නියැලී සිටියේය.
"හා හා ලිඳ පැත්තෙ යන්න එපා. වැටෙයි"  වෙද සීයාගේ කට හඬ ඇසුනු විට මා එළියට ගියේ යාබද නිවසේ වෙසෙන කුඩා දියණිය පැමිණ ඇතැයි සිතාය.
මට සිනහව නතර කර ගැනීමට අපහසු වූයේ ඔහු ලිඳ ලගට යන්න එපා කියා තිබුනේ එක් බළලෙකුට බැවිනි.

බළලුන්ට පනසේ ආදරය කරත් ඔහු බල්ලන් සමග යහළුකම් පවත්වන්නට ගියේ නැත. වැරදීමකින් හෝ මේ ගෙවත්තට ගොඩවන බල්ලන් පන්නා දැමූයේ බල්ලන්ගෙන් පූසන්ට වන හිරිහැර නිසා පමණක් නොවේ, ඒ උන් වත්තේ කැත කරන නිසාය. එහෙත්  සීයාගේ බළල් හුරතලුන්ද මේ වැඩය සඳහා වැසිකිළි භාවිතා නොකලද ආච්චි අම්මා දකින්නට පෙරාතුව ඒවා ඉවත්කර දැමූවේ බළලුන් බැනුම් අසන නිසාවෙනි.

      මේ තරම් හිතේ සවිය ඇති මිනිසෙකු මාදැක නැති තරම්ය. එවකටත් වයස හැත්තෑ අටත් ඉක්මවා සිටි නමුත් මාස් පතා කරාපිටිය මහ රෝහලේ සායනයට ගියේ බයිසිකලයෙනි. මට දුර ප්‍රමාණය නිවැරදිව කිව නොහැකි නමුත් වංචාවල, පිහිටි නිවසේ සිට කරාපිටිය රෝහලට සැලකිය යුතු තරම් දුරක් තිබේ. විශේෂත්වය වන්නේ මෙසේ බයිසිකලයෙන් ගියේ හදවත් රෝග සායනයට නිසාය. තවත් පුදුම කාරනය වන්නේ මේ වනවිට ඔහුට තිබුනේ එක් වකුගඩුවකි. මා දන්න පරිදි වයස හතලිස් ගනන්වලදීම කිසියම රෝගී තත්වයක් නිසා එක වකුගඩුවක් ඉවත් කර ඇත.මේ සියළු හපන්කම් ඔහු විසින් කලේ ගතේ සවියට වඩා හිතේ සවියෙන් බව මට නම් සිතේ.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමට නානු ආදිය පිළියෙල කරන්නේ ඔහුගේම සුරතිනි. තෙල් ගල්වන්නෙද වරුවක් පිරිත් කීමෙන් පසුය. වරක් අපි සැම හිස තෙල් ගලවන් නැකතට එහිගිය අපි පිළිගත්තේ අරුම පුදුම ආකාරයකටය. එනම් රතිඤ්ඤා පත්තු කරද්දී මෙන් කටින් ඩෝං, ඩෝං කියමිනි. දූදරුවන් පිරිවරා සිටීමට ඇති අන්නත වූ සතුට නිසාම ඔහු එදා අප සිනහ ගන්වමින් කටින් රතිඤ්ඤා පත්තු කලේය.

යටගල පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන දායකයන් කීප දෙන් අතුරින් එකෙකි ඔහු. එහි උඩ මලුවේ ඇතිරීමට කිසියම් විශේශිත කළුගල් වර්ගයක් සොයා ප්‍රදේශ කිහිපයක් පුරා කරක් ගැසූ හැටිද, අවසානයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ඒවා ලොරි මගින් කිහිප වාරකට ගෙන ආ හැටිද ඔහු මා සමඟ කීවේ යටගල විහාරයේ සළපතල මළුවේ ඇවිදිමින් එහි නිරාමිස සුවය විඳින ගමන්මය.

     මී කිරි සමඟ හෝ දිවුල් කිරි සමඟ කැකුළු හාලේ බත් කෑමට වෙද සීයා රුසියෙකි. එමෙන්ම මහත් විනෝදකාමියෙකි. මුවන් පැලැස්සට ඉතාමත් ආසාවෙන් සවන්දෙන වෙද සීයා, කෝරළේ මහත්තයාට නොදෙවනි ලෙස සිනහසෙයි. එකල ගුවන් විදුලියේ ලක් හඬ සේවයේ ප්‍රචාරය වූ දයාරෝහණ අතුකෝරළ මහතාගේ වැඩ සහනට සතිපතා සවන්දුන් මම දිනක් එය වර්නණා කරමින් එය ඇසීමට වෙද සීයාද කැමති කර ගත්තෙමි. එදින මාතෘකාව වූයේ ලිංගිකත්වයයි. වෙද සීයට බොහෝ සෙයින් කේන්ති ගියේය
"මොනවද දුවේ ඔය අහන්නේ"
එපමණකි. ඔහු නැගිට ඉවත ගියේය. ඉන්පසු එහි ඉන්නා තුරා මම ඒ වැඩසටහනට සවන් දුන්නේ නැත.

  වෙද සීයා විනෝද ගමන් යාමට මහත් ප්‍රියතාවයක් දැක්වූයේය. ගමනක් යනවිට ඔහු කොලු ගැටයෙකි. හරි හරියට අප සමඟ විහිළු තහළු කරයි. මොනවා කීවත් කලත් මහා හයියෙන් සිනාසේ. සමහරවිට අප කියන කතාවලට ඉතා කැමැත්තෙන් සවන්දෙන නමුත් අවසානයේ චිහ් චිහ් කියයි.

කොපමන රාජකාරී තිබුනද අපේ පොඩි මල්ලීගේ උපන්දිනය දා හවසට ගේ දොරකඩ පෙනී සිටියි. ඒ ඔහු ආදරය පෙන්වන හැටිය. කොතරම් උපාසක වූවත් හොස්ස ලඟින් මැස්සා යාමට බැරි අවස්ථාද වෙයි. කේන්තිය පිටවී සුලු මොහොතකින් යළි සියල්ල අමතක වේ. වරක් සීයා ඉතාසුළු කරුණකට යාබද නිවසේ විසූ ආච්චි අම්මාගේ අය්යාගේ නිවසේ අයත් සමඟ අමනාප වූයෙය. සීයාගේ ගෙදරට පැමිනීමට කෙටි මඟක් ඒ මිදුල උඩින් වැටී ඇත. දිනක් කොහේ හෝ ගිය සීයා අර කෙටි මගින් ආවේද ඔවුනට බැන වදිමිනි. උඹලගේ හුළඟ වත් වදින්න එපා මට කියමිනි. මේවාට කිසිවෙකු අමනාප නොවූයේ ඔහුගේ හැටි දන්නා නිසාමය.
"මොකද සීයෙ හුළඟ වත් වදින්න එපා කියලා අර වත්ත උඩින්ම ආවෙ" මම ඇසූයේ සිනහ වෙමිනි.
"ඒ ගොල්ලො දොර වහල තිබුනෙ" සීයාද සිනහවෙන්ම පිළිතුරු දුන්නේය.
 
ආච්චි අම්මා වාතේ අමාරුවටත්, හිසේ කැක්කුමටත් සිද්ධාලේපය ගල්වයි. වෙද සීයාට මේතරම් තරහකාරයෙක් තවත් නැත. කුමක්දෝ හේතුවකට ඔහු සිද්ධාලේප වෙද මහතාට සිනහසෙයි. ඒත් සීයාද සිද්ධාලේපය සොයන අවස්ථාවක් ඇත. එනම් හවස් වරුවේ වත්තේ වැඩ කරනවිට මදුරුවන් ගෙන් ගැලවීමටය. ගෙදර සීතල යුද්ධය ඇතිවන්නේ මෙවිටයි. ආච්චී කේන්ති කර සතුටුවන  සීයාගේ වැඩ මමද සිනහ වෙමින් බලා සිටිමි.


දිනක් තේ බොන අතර වාරයේ ගාලු කොටුව ගැන කතාවක් පටන් ගති.
"ගාලු කොටුව සුද්දට විකුණන්නයි මේගොල්ලො හදන්නෙ"
 දේශපාලන  කතා වලට මා කවදත් කැමති නැත. සීයා කේන්ති ගැන්වීමට සිතූ මම
"ගාලු කොටුව කොහොමත් අයිති වෙන්න ඔන්න සුද්දටනෙ සීයෙ,, මොකද ඒක හැදුවෙ සුද්දනෙ" කීවෙමි.
ඔහු මොනවාදෝ කියමින් වරුවක් මට බැන්නේ රට ජාතිය ගැන කැක්කුමක් නැති ඉස්කෝලෙ හාමිනේ යැයි  කියමිනි.

වතාවක් අසනීපවී කරාපිටිය රෝහලේ දින කිහිපයක් නැවතී සිටි ඔහු බැලීමට ගිය මා ආච්චි අම්මාට හොරෙන් පසෙකට කැඳවා ඇසූයේ
" දුවේ අර ළමයින්ට උපාසකම්මා කන්න දෙනවද" කියායි.එසේ ඇසුයේ බළලුන් ගැනය.

 ඒ වතාවේ සීයාගේ ඇඳට යාබද ඇඳේ සිටි රෝගී මිනිසෙකු සීයාට ස්වේච්චාවෙන්ම උදවු කිරීමට ඉදිරිපත්වීම අපට මහත් සැනසුමක් විය. මන්ද ඒ පුද්ගලයා සීයාට වඩා බොහෝසෙයින් සෞඛ්‍යය සම්පන්න ලෙසින් සිටිනවා යැයි කියූ නිසාය. පහුවදා අප යනවිට උදව්වට සිටි මිනිසා නැත. වෙද සීයා කියූ පරිදි මුත්‍රා බටයක් ගැනීමට මුදල් නොමැතිව සිටි ඔහුට සීයා මුදල්දී බටය දම්මවා පිටත් කරවා ඇත.
 
කොපමණ ලෙඩින් වැටුනද ආදරයෙන් රැක බලා ගත් ගෙවත්ත වල් වැදෙනු ඔහුට ඉවසිය නොහැකි කාරනයක් විය. වත්තේ වැඩට කෙනෙක් එනතෙක් මහන්සි වීම සීයාගේ පුතා විසින් තහනම් කොට තිබුනි. දිනක් මා පාසල් ගොස් එනවිට ගෙමිදුලට කළ එළිය වැටී ඇත. මා විසින් ඔහු වෙහෙස වූ කේලම කියවෙන බව දන්නා නිසාම ඔහු මා අසන්නටත් පෙර කියා සිටියේ වතු වැඩ සොයමින් ආ මිනිසෙකු ලවා කරවා ගත් බවයි. කුඩා ලමයෙකු සේ ඔහු සතුටු වූයේ එසේය.
  අවසාන කාලයේ කුමක්දෝ බෙහෙතක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය එක් රැස් කළ මුත් ඒ සාදා නිම කිරීමට තරම් කාලය ඔහුට ඉතිරිවී නොතිබුනි.

අවසානයේ ලෙඩින් වැටී අසාධ්‍ය වූ දිනයේ වත්මන් සිතුල්පව්වේ නායක ස්වාමීන් වහනේසේ සිතුල්පව්ව විහාරයේ කඨින චීවරයට වෙද සීයාගේ අත ගැස්සවීමට කරාපිටිය රෝහලටම රැගෙන ආවේ ඔහු විසින් කල සේවයට යුතුකම් සැලකීමට විය යුතුය. ප්‍රේමරත්න වෙද මහතා නොහොත් ගම්පහ වෙද මහතා ජීවිතයෙන් සමුගත් පසු උන්වහන්සේ රෝහල තුලදීම හඬා වැටුනේ සසර අනියත බව නොදැන නොව, මේ මිනිසා විසින් කරන්නට යෙදුනු සේවයට ලොවින් හරි සැලකුම් නොලද කණගාටුවට විය හැක.
 
  මා මේ මතකය අභියස මෙතරම් සංවේදී වන්නේ මා එහි රැඳුනු කාලයේ පටන් ඒ දෙපල විසින් ඔවුන්ගේ දියණියකට තරමින්ම මට ආදරය කල නිසාය. වරක් මා විදුසරට ලියූ කවි කියවා ඔහු ඒවා බොහෝසේ අගය කලේය. එකල්හි ඔහුට සතුටු වන්නට මෙබන්දක් නොලියවීම ගැන මම අද අපමණ දුක් වෙමි.

ආයුර්වේද වෛද්‍ය ප්‍රේමරත්න කණහැර ආරච්චි නම් ඔහුට මොක් සුව පතනු වස් මම මේ සටහන ලියා තබනෙමි.

Monday, 12 July 2010

චුයින්ගම් සහ බබල්ගම්



අපි 11 පන්තියෙ ඉන්න කාලෙ හරි නරක පුරුද්දක් තිබුනා. ( දැන් තමයි හොඳ නරක තේරෙන්නෙ ) ඒ තමයි ඉස්කෝලෙ වෙලාවට චුයින්ගම් හපන එක. ඒ කාලෙද මන්දා ඔය බබල්ගම් කියන චුයින්ගම් ජාතිය ලoකාවට ආවෙ.
 වැඩේ කියන්නෙ අපි දවස ගානෙම චුයින්ගම් හැපුවත් අර බුලත් විට වගේ අපි දවසකට ගන්නෙ චුයින්ගම් එකයි. ඒකත් ගේන්න යන්නෙ ඉන්ටවල් එකේ. ඉස්කෝලෙ කැන්ටිමේ අපිට ඕන ජාති නෑ. අපේ ඉස්කෝලෙ තිබුනෙ නගර මධ්‍යයේ.ඒ නිසා අපි කරන්නෙ ඉන්ටවල් එකට පාරෙ එහා පැත්තෙ තියෙන කඩේකට ගිහින් චුයින්ගම් ගේන එක.අපි ගෑණු ළමයි නිසා මේක ටිකක් විතර චණ්ඩි වැඩක්. ඒකට මටම හරියන යාළුවෙකුත් හිටියා. ඇත්තටම එයා තමයි ඉස්සර වෙන්නෙ. මම ඉතින් සහයට ඩැනී..

 ඔන්න දවසක් අපි පුරුදු කඩේට ගියා. අනේ අපෙ වෙලාවට චුයින්ගම් ඉවර වෙලා. කඩ කීපයකට ගියා. අපේ ටේස්ට් එක නෑ. ඔන්න අපි කඩ පේළයෙ අන්තිම කඩේටත් ආවා. ඒකෙ මුදලාලි අපිව අඳුරනවා.
 ඒත් වෙනදානම් මෙච්චර දුර එන්නෙ නෑ. අපි අපේ සුපුරුදු ප්‍රශ්නය ඉදිරිපත් කලා.
" අoකල් බබල්ගම් තියෙනවද" 

අoකල් බැලුව අපේ උඩ ඉඳන් පහලටම.

 " බබල්ගම් නෑ ළමයො  බයින්ඩර් ගම් නම් තියෙනවා.  "

 කොහෙද ඉතින් අපේ තියෙන හැදියාවෙ හොඳ කමට බකස් ගාල හිනා ගියානෙ  ආපහු ඒ කඩේ පැත්ත පලාතෙ යන්න බැරිවෙන විදිහට  !!! "

Wednesday, 7 July 2010

ඇස් - කන් - නාඩි

මම නිමලව ඉස්කෝලෙ ඉන්න කාලෙ ( ඇත්තටම හිටියෙ අවුරුද්දයි ) 7 පන්තියෙ ළමයෙක් හිටියා. නම ටෙක්ලා. වැඩිය කතා බහ නෑ. කුලෑටි ළමයෙක්. ඉගෙනීමට දක්ශ ළමයෙක් නෙවේ. සෙමෙන් ඉගෙනගන්නා වර්ගයේ දරුවෙක්. ටික දවසක් යනකොට මට තේරුනා, ටෙක්ලා අපි කළු ලෑල්ලෙ ලියන දේවල් ලියා ගන්න හුඟාක් වෙලා ගන්නවා කියලා. අනිත් හැමෝමත් ලියලා ඉවරවෙලා. ඒත් ටෙක්ලා තවම ලියනවා.

මට මුලින් හිතුනේ අකුරු නොදන්න කම නිසා මේක වෙනවා කියලා. සතියෙන් සතිය පන්තියේ පේළි මාරු වෙලා ටෙක්ලා ඉස්සරහ පේළියට ආපුදාට ඉක්මනට ලියලා පෙනනවා. එදාට වැඩත් හොඳයි. ඒත් මට හැමදාමත් ටෙක්ලව ඉස්සරහ පේළියේ තියන්න බැහැනේ.දවසක් ලoවෙලා ටෙක්ලගෙන් මම ඇහුවා ,
"මොකද ඉස්සරහ ඉන්නකොට විතරක් වැඩ කරන්නේ, ඔයා පිටිපස්සෙ පේළිවල ඉන්න කැමති නැත්ද? "  කියලා. ටෙක්ලා දීපු උත්තරේ තමයි,,
"නෑ මිස් පිටිපස්සෙ ඉන්නකොට මට කළු ලෑල්ල හරියට පේන්නෙ නෑ".




දන් ඉතින් මොකද කරන්නෙ, පන්තියෙ තිබුනු ඉඩ ප්‍රමාණය අනුව ටෙක්ලාට විතරක් ඉස්සරහ ඉන්න ඩෙස්ක් එකක් තියන්න ඉඩ තිබුනෙ නෑ. 7 වසරේ ඉන්නේ පුoචි ළමයි. හරියට දුර පේන්නෙ නෑ කියල පැමිණිලි කරන තමන්ගෙ පන්තියේ සොයරියට තමන්ගෙ ඉඩ පුජා කරන්න තරම් ඔවුන් දැනුම් තෙරුම් මඳි.  කොටින්ම කියනවා නම් පොඩි එවුන් කාටත් ඕනේ ඉස්සරහ ඉන්න.  ඉතින් එදා ඉඳලා මම කරේ ටෙක්ලට පේන්නෙ නෑ කියන කොටස් ළඟට අරන් කියලා දෙන එක.මේ අතර දවසක් අපේ විද්‍යාපීඨයෙන් ගුරු පුහුණුවට අපේ කනිශ්ඨ ළමයි ආවා. එතකොට අපි අපේ කාලච්චේදත් ඔවුන්ට භාර දෙන්න ඕනා. කොටින්ම අපිට පොඩි නිවාඩුවක්. පහුවෙනිදා උදෙන්ම අපිට පැමිණිල්ලක් ටෙක්ලා
ගෙන්.

"අනේ මිස් අර මිස්ලා  බිත්තියේ එල්ලන බෝඩ් මට හරියට පේන්නෙ නෑ"
අපිට එතකොටයි අපි කරපු වැරැද්ද මතක් උනේ. අපිට කරන්න තිබුනේ විද්‍යාපීඨෙන් ආපු ළමයින් ට මෙයාලගෙ තියෙන අඩුපාඩු කම් කියලා ඔවුන් දැනුවත් කරන්න .අපි කිව්වේ මා සමඟ නිමලව පුහුනුවට ගිය සොයුරිය චන්දි ට.
මේ අතර වාරෙ සිසුන්ගේ ඇස් පෙනීම පරීක්ශා කරන්න ප්‍රදේශයේ P.H.I මහතා ආවා. ටෙක්ල කිව්ව හරි, ඒ අකුරු බෝඩ් එකේ පේළි කීපයයි ඇයට කියවන්න පුලුවන් උනෙ. P.H.I. මහතා ඇගේ කාඩ් එකේ රතු පාටින්ම සටහනක් දැම්මා ඊළඟ සෙනසුරාදම වැඩිහිටියෙක් එක්ක රෝහලේ අක්ශි සායනයට එන්න කියලා.
"ගිය අවුරුද්දෙත් ඇස් බලපු වෙලාවෙ ටෙක්ලට කණ්නාඩි ගන්න කිව්ව, ඒත් ටෙක්ල ගත්තෙ නෑ මිස්,"  පන්තියේ ළමයි අපිට කිව්ව.
ඊළඟ සඳුදා උදේම අපි ටෙක්ලගෙන් ඇහුවෙ සායනයෙදි මොනවද කිව්වෙ කියලා,


"ගියෙ නෑ මිස්.........තාත්තට වැඩ තියෙනවා කිව්වා. "

"ඉතින් ළමයො අම්මා එක්ක යන්න තිබුනනේ? "   අපි ඇහුවා.

උත්තර නෑ, පුoචි ඇස් දෙකට කඳුළු ආවා.  එදා වේල හම්බකරන් කන දුප්පත් මිනිස්සු. ඒ තාත්තට එක දරුවෙක්ගෙ දුර පෙනීමට වඩා අනිත් හැම දරුවෙක්ගෙම කුසගිනි නිවන්න ඇතිනෙ. අපි වෙන මුකුත් අහන්න ගියේ නැහැ.
චන්දියි මමයි බැලුවා ගෙදර අයට බැරි නම් , සායනයට අරන් යන්න අපිට බැරිද කියලා. ඒත් සායන තියෙන්නෙ සෙනසුරාදා, යනවා නම් උදේ 6 ට වත් යන්න ඕනලු. නොයෙක් ගටළු. මම නැවතිලා හිටියෙ ගාල්ලෙ. ඒ වෙලාවට මට නම් තනියම අකුරැස්සට යන්න බෑ. මේ අතරවාරෙ පොඩි කහ එළියක් දැල්වුනා.
 අපෙ අම්මා කිවා අම්මලගෙ ගුරු මැණ්ඩලේ මිස් කෙනෙක් ගේ husband  සිoහ සමාජයෙ වැඩ කරන නිසා එහෙන් උදවු ගන්න පුළුවන් කියලා. මදි හරිය අපි දාමු.අපි කතාවුනා.

ඔන්න ඉතින් අපි දෙන්නා දවසක් පාසල් වෙලාවෙන් පස්සෙ අකුරස්සෙ තියෙන පුද්ගලික ඇස්කණ්නාඩි සාප්පුවකට ටෙක්ලත් එක්ක ගියා. එකේ හිටපු පරීක්ශක ටෙක්ලගෙ පෙනීම පරීක්ශා කරන්න පටන් ගත්තා. අපි දෙන්නට ම පුදුමයි, ඒ පෙන්නපු බෝඩ් එක ටෙක්ල කියවගෙන ගියේ එක හුස්මට. අර පරීක්ශක අපෙන් අහනවා

" මිස් මේ ළමයගෙ ඇස් හොඳට පේනවනෙ,, මෙයාට මොකටද කණ්නාඩි?"
ඉතින් මොකටද කණ්නාඩි අපි ගෙදර ආවා. ඒත් සිද්ධ වෙලා තියන දේනම් අපිට තේරුනා. අපි දැන ගත්තු විදිහට ටෙක්ලා කියන්නෙ දූදරුවො කීපදෙනෙක් ඉන්න පවුලක වැඩිමහල්ම දරුවා. ටෙක්ලට ඕනෙ කණ්නාඩි නෙමෙයි, ආදරය, කරුණාව, අවධානය. දෙමව්පියන්ගෙන් නොලබෙන දේ පාසලේදි ලබා ගන්න ටෙක්ලාටත් නොදැනීම එයාගෙ පුoචි මනසින් ආපු ප්‍රයෝගයක් තමයි දුර නොපෙනීම.
අපි අපිට පුළුවන් හැටියට ගුරු මණ්ඩලේ අය මේගැන දැනුවත් කරා. වසර අවසානය වෙනකොට හිටියට වඩා හුඟක් හොඳ ප්‍රගතියක් අපි ටෙක්ලගෙන් දැක්කා.

අපි ඒ පාසලේ රැඳුනෙ එක අවුරුද්දයි. ඊට පස්සෙ නම් ටෙක්ලට මොනවා උනාද දන්නෙ නෑ. අපේ පුහුණුවෙ අවසාන දවසෙ ඒ දීප්තිමත් දෑස් අග කඳුළු බින්දු නම් තිබුනා මට හොඳට මතකයි.


මගේ ගුරු ජීවිතේ ඊට පස්සෙ නම් කවදාවත්ම ටෙක්ලලා හමුවෙලා නැහැ.
දෙමව්පියො කවුරුත් දරුවන්ට ආදරෙයි. ඒත් මහමෙරක් තරම් ආදරේ තිබුනත් චුට්ටක් වත් දරුවන්ට දැනෙන්න ඇරියෙ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නැහැ,,,,,,,,,,,,, නේද?