Monday, 26 July 2010
දඟ ළමයි සහ හොඳ ළමයි
ඉස්කෝලෙ කාලෙ මොන තරම් සුන්දරයිද නේද? අපි කාටත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ. අර එච්.ජී. වේල්ස් ලියලා තිබුනා වගේ කාල යන්ත්‍රයක් තිබ්බා නම් කීයක් ගියත් එක පාරක් යනවා පාසල් කාලෙට, අනේ ඇත්තමයි.
ඒ කාලෙ කරපු ගොඩක් දේවල් වල හොඳ නරක තේරෙන්න්නෙත් දැන්නෙ. පස්සෙන් පහු මං ගුරුවරියක් වෙලා උගන්නන කාලෙ ළමයි කරපු සමහර වැඩ වලට ගැහුවට, බැන්නට මට නම් අනන්තවත් මතක් උනේ අපිත් එහෙම්මමයි නේ කියලා, නැත්නම් අපි එක්ක හිටපු අයත් ඔහොම වැඩ කෙරුවනේ කියලා. සමහර වෙලාවට මට බනින අතර හිනාත් යනවා. ඊට පස්සෙ නම් ඉතින් නඩු අහලත් ඉවරයි. අනේ ඒ පොඩි එවුන් දැන් මොනවා කරනවා ඇද්ද?
මගේ ගුරු ජීවිතේ එදාවේල කන්න , අඳින්න නැති, අම්ම අප්පගෙ ආදරේ නැතුව දුක් විඳපු ළමයි වගේම, බෙන්ස් කාර් එකෙන් බැහැලා ආපු ළමයිනුත් හමුවෙලා තියෙනවා.නිමලව ඉස්කෝලෙදි තමයි ගොඩක්ම දුප්පත් ළමයි හිටියෙ. දුක් විඳලම ඇට්ටර වෙච්චි ළමයිත් හිටියා.
ඒක ගොඩක් පොඩි ඉස්කෝලයක්, එහෙ එතකොට 7 පන්තියෙ ළමයි දෙතුන් දෙනෙක් හැමදාමත් පිට්ටනිය පත්තට යනවා. මේක බලන් හිටපු මම දවසක් විපරම් කරා කොහෙද යන්නෙ කියලා, අනේ බලනකොට ඉන්ටවල් එකට කන්නෙ එරමිණියා.
තවත් ඒ පන්තියෙම ගෑණු ළමයෙක් දවසක් උදේ 9ට විතර ඉස්කෝලෙ ආව. මම එතකොට පාඩම උගන්නලා , ගණනුත් හදන්න දීලා ඉවරයි
"මොනවද මෙච්චර වෙලා කරේ , සනෝජි ඔයා එන්නෙ බස් එකේ නෙමෙයි නේ?"
"අම්මා උදෙන්ම වත්තෙ වැඩට ගියා මිස්, මම නංගිලට කන්න බත් උයලා ආවෙ"
මම එවෙලෙ පත්වෙච්චි අපහසුතාවය දැකපු ඒ පන්තියෙම කොලු පැංචෙක් මොකක්දෝ විහිලුවක් කරලා කතාව මඟ හැරියා කියලා මට හොඳට මතකයි. හැබැයි මගේ ඇස් දෙකට කඳුළු නම් ආවා. ඒ වෙනකොටත් ඇත්තටම මට හරියට බතක්, මාළුවක් උයා ගන්න බැහැ. මේ අවුරුදු දොළහක පුංචි එකී විඳින දුක.
දවසක් ළමයෙකුට මම දොස් කිව්වා
"අම්මලා, තාත්තලා මහන්සිවෙලා හම්බකරලා නේද පොත් පත් අරන්දෙන්නේ" කියලා, මෙන්න මේ ළමයා කියපි
" නෑ මම තේ වතු වල , වල් නෙලලා හම්බකරන සල්ලි වලින් පොත් ගත්තේ කියලා "
ඉතින් කාට කියන්නද?
අර ටෙක්ලත් හිටියෙ එහෙනේ.
මේවා ලියලා ඉවර කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. සමහර විට මම තාමත් ගුරුකම් කරා නම් මේවා ඇඟට පත්තියන් වෙන්නත් තිබුනා.
මම ඇත්දැකපු හොඳම දෙයක් තමයි පාසලේදි දඟ වැඩ කරලා බැනුම් අහන ගුටි කන ළමයි, ගුරුවරුන්ට ආදරෙයි, බෝපැළ වගේ ළමයින්ට වඩා.
පොතේ එල්ලිලා ඉන්න ළමයි හරිම ආත්මාර්ථකාමියි. තමන්ගෙ යාළුවෙකුට උනත් උදව් කරන්න පැකිලෙනවා.
පොතේ වැඩයි, දඟ වැඩයි දෙකම කරන්නෙ නම් ඇම්බැට්ටයොම තමයි .පතෝල වගේ. ගුණත් නෑ, අගුණත් නෑ.
අර පංතියෙ දඟලන කට්ටිය තමයි පාසලේ පොදු වැඩ වලදි මුල් තැන ගන්නෙ. අනිත් දෙපිරිසටම වඩා මේ අය ගුණ ධර්ම අතින් නම් පොහොසත්.
මම දුශ්කර සේවය කරන කාලෙ 11 පංතියෙ ළමයෙක් හිටියා මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වැඩ කරන්න තරම් උනන්දුවක් තිබුනෙත් නෑ ඒ ළමයට. තාත්තගෙ වැඩේ නිතරම ඇවිත් පුතා ගැන අහන එක. මේ ළමයා මුල් වතාවෙ විභාගෙ ෆේල්. ප්‍රතිපල එන්නත් කලින් මෙයා ආපහු ඉස්කෝලෙ ආවා. අපේ සමහර අය මේකට කැමති උනේ නැහැ, කොටින්ම විදුහල්පතිතුමිය එක්ක කිව්වෙ මේ ළමයි ටිකත් නරක් කරයි කියලා.
මගේ පාඩමක් වෙලාවක මෙයා බිත්තියෙන් එහා පැත්තෙ ඉන්නවා දැකලා දවසක් මම මේ සුපුන්ව පංතිය ඇතුලට අඬ ගැහුවා. කියන පමාවෙන් කොල්ලා ඇතුලෙ. අනේ පව්, මම හිතන්නෙ කවුරුම හරි කතා කරන කම් බලන් ඉන්න ඇත්තෙ. කොහොමින් හරි කලින්ට වඩා පුලුවන් හැටියට මහන්සි වෙලා යාන්තම් විභාගෙ ගොඩ දා ගත්තා.
ඊටත් කාලෙකට පස්සෙ මම සති අන්තෙ ගෙදර යන වෙලාවක බස් එක චෙක් පොයින්ට් එකක නතර කළ වෙලාවක හමුදා සෙබළෙක් කියන්න පුලුවන් ළමයෙක් මගේ ළඟට ආවා. කොට කොණ්ඩෙ නිසා එයාලව අඳුර ගන්න ලේසියි. බලනකොට සුපුන්. විභාගෙ පාස් වෙච්චි නිසා navy එකට බැඳෙන්න පුළුවන් උනාලු. අර සෙනඟ ගොඩක් මැද්දෙ දණ ගහලා වඳිනකොට මගේ අස් දෙකට කඳුළුත් පිරුනා. වටේ පිටේ හිටිය අයත් බලන්න ගත්තා.ඒ ළමයා ඒ වෙලාවෙ වැන්දෙ හදවතින්මයි කියලා මට හිතුනා. ඇත්තටම මට දැණුනු සතුට කියන්න වචන නෑ.
විභාගෙ යන්තම් පාස් උනාට ඒ ළමයා ජීවිතේ දිනලා නේද?
ගුරු ජීවිතේ තවත් තොරතුරු මතු ලියන තෙක් නවතිමි,,,,,,,,,,,,,,..
Subscribe to:
Post Comments (Atom)
"ඉන්ටවල් එකට කන්නේ එරමිනියා".. කතාව කියෙව්වම මොනවද වුනා දැනුනා...
ReplyDeleteඒක නෙවෙයි මටනම් හිතෙන්නේ අපරාදෙ ගුරුකම අතහැරියේ.... ලංකාවට ගිය දවසට ආපහු උගන්නන්ට තියෙන්නේ... එතකොට අපිට කියවන්ට පුලුවන් වෙයි හොඳ ගුරුවරු ගැන ගෝලයෝ ලියන කතාත්...
කියවනකොට ඔයාලාට එහෙම දැනුනා නම් බලං හිටිය අපිට මොනවා හිතෙන්න ඇද්ද?
ReplyDeleteයෝජනාවට බොහොම ස්තූතියි. නිවාඩු අනුමැතිය නැතුව ආව කියලා ආණ්ඩුකාරයා මගේ වැඩ තහනම් කරලා. රස්සාව නම් නැති වෙන්නෙ නැහැ. සේවා කාලය නම් කැඩෙනවා. හිටපු ඉස්කෝලෙටම යන්න පොඩි අදහසක් දැනට නම් තියෙනවා,,, බලමු.
ස්තූතියි කමෙන්ට් එකට
ඔය පොතේම ඉන්න අය සහ දඟලන ළමයි ගැන කියපු එක නම් සහතිකම ඇත්ත.
ReplyDeleteඅනික් ඒවා බොරු කියනව නෙමෙයි හි හි...
අපි දකින ලෝකෙට වඩා අඳුරු ජීවිත මේ ලෝකේ කොච්චර තියෙද කියල හිතෙනවා.
අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි මල්ලියේ, ( අපි කවුරුත් ඔය ගොඩවල් වලින් එකකට අයිතියි නේ,,, මම කොයිකෙද ?,,,,,,)
ReplyDeleteඇත්තටම මීටත් වඩා අනන්ත දුක් විඳින ළමයි කොච්චර ඇද්ද?
ඒ දුක් නොදැක්ක එකමයි කාරිය
ලෝකේ තියෙන උතුම්ම වෘත්තීන් දෙක ගුරු වෘත්තියයි වෛද්‍ය වෘත්තියයි. ඒකෙනුත් උතුම් ගුරු වෘත්තිය. මොකද වෛද්‍යවරයාව ඇති කරන්නෙත් ගුරුවරයෙක්.
ReplyDeleteඒක ඇත්තෙයි කියල කියමුකො ,,,
ReplyDeleteඔයා හොඳ ගුරුවරියක් බව පේනවා. මටත් හිටියා ඔය වගේ හොඳ ටීචර්ලා ටික දෙනෙක්.
ReplyDeleteඅපෝ මම හරි සැරයි අය්යේ,, බොරු නම් අහන්න ඉස්කෝලෙ ළමයි ගෙන්,,,
ReplyDeleteහරිම සංවේදී කතා කීපයක්ම තිබුන නිසා මට කමෙන්ට් නොකර ඉන්න බැරි වුනා. (ලොග් ඕන් නොවී ලියන්න බැරිනම් මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ නෑ.)
ReplyDeleteදිගටම ලියන්න ශක්කිය ලැබේවා!
thank you Amila,,,
ReplyDelete