Thursday, 13 January 2011

බිඳුණු පෙම

නු පූදා මිය ඇදුණ
ළදල්ලකි සෙනේහය 
ඒ නමුදු මුදු සුවඳ 
හිත පුරා ගලා යන...

ගව් ගනන් දුර ඇදෙන
අතීතෙක නොවන මුදු 
දෑත දිගු නැති ඉමේ 
සරා සඳ එළිය නුඹ...

 අමාවක අහසකට
හීන් තරු එළි කුමට
විඩෙන් විඩ එළිය දෙන
කදෝපැණි එළිය නුඹ ...

දෑත දිගුකර යළිත් 
ඈතටම පිය මනින
සුමුදු රළ පෙළ නුඹය 
සිතිජයේ සැඟව යන...

හිතක නැති උණුහුමට
තවත් ගී වැල් කුමට
යළිත් දුටුවොත් දිනෙක
සිනාසෙනවා මිසක... !!!

Thursday, 6 January 2011

ලොකු ඉස්කෝලෙ

නිමාලි අත තිබූ ලිපි ගොනුව දෙස කිහිප වරක්ම බැලුවාය. උප්පැන්න, විවාහ සහතික, ඡන්ද ලැයිස්තු, ලයිට් බිල්, දහසකුත් දේ එහි තිබේ. දරුවා ගේ පාසලේ සම්මුඛ පරීක්ෂණය අද

නිමන්තට ගානක් වත් නැති හැටි. මේ ගොඩේ ඉස්කෝලෙට ළමයව යවන්න හිත හදාගන්නෙ කොහොමද? ජාතික පාසලක් බැරි නම් අඩුගානෙ මහා විද්‍යාලයක් වත් වෙන්න එපැයි. 
 "අපි නං ඕබී එකට බැඳිල ඉන්නෙ. කමල් ගියෙත් ඒ ඉස්කෝලෙට නෙ, සල්ලිත් ටිකක් දුන්න , වැඩේ හරියයි වගේ,,,," 

එහා ගෙදර රසිකගෙ ආඩම්බර මූණෙ හැටි,මතක් වෙනකොටත් තරහෙ බෑ. එයා හිතන් ඇත්තෙ අපිට ඕව කරන්න බෑ කියල. කොහෙද මේ අපේ එක්කෙනා ගෙ නැහැ නෙ කිසි උනන්දුවක්. 

අනේ මේ හොර ඇඩ්‍රස් හදල මට නං බෑ හිරේ යන්න. මෙන්න මේ ළඟ තියෙන ඉස්කෝලෙට දාලා ,පස්සෙ පහේ විභාගෙන් වෙන එකකට දාමු, නිමන්තගෙ කටේම තියෙන්නෙ ඔය බණේ.
මට නං අහලත් ඇති වෙලා. ඇයි අනේ ඒකෙන් ළමය පේල් උනොත් එහෙම,,, ඔච්චර පොඩි කාලෙ විභාග වලට මරවන්න මට නං බෑ. 

අපේ පුතා පහේ විභාගෙන් පාස් වෙයි,, 
ඒත් අනේ ටිකක් උනන්දු උනා නං මේ වැඩේ අපිට බැරි වෙන්නෙ නැහැනෙ..
හපෝ මට නං බෑ. හිරෙත් යන්න පුළුවන් වැඩ ඕව නං.. 


නිමාලි පිටව යන දෙමාපියන් දෙස විමසිල්ලෙන් බැලුවාය. ඔවුන්ගේ මුහුණු විවිධාකාරය. ඇතුලේදී අසන්නේ කුමන ප්‍රශ්ණදැයි අසන්නටවත් කෙනෙක් නැත. ඉදිරිපත් කරේ වෙනත් ලිපිනයක් නිසා නිමන්ත එකහෙළාම කීවේ එන්නට බැරි බවය.

වරදින එකක් නෑ සෝමරත්න මහත්තයා අහළ පහළ අයගෙ විස්තරත් කිව්වනෙ.
අනික සෝමරත්න මහත්තයාගෙ මස්සිනා මේ ඉස්කෝලෙ සර් කෙනෙක්ලුනෙ. එයාගෙ ගෙවලුත් ඒ අහළ පහළයි කිව්වෙ..


 නිමාලි ජයසුන්දර,,,, ඒ හඬ ඇහුනෙ හීනෙන් වගේ. මොකට බයවෙනවද? බය බවක් පෙන්නන්න හොඳ නෑ. 


~~~~~~~~~~~~~ කාටත් ඕනෙ මහා විද්‍යාලයකට තමන්ගෙ දරුවන්ව දාගන්න තමයි.

තප්පර කල්ප කෝටියකට විතර පස්සෙ එහෙම කවුදෝ කියනවා නිමාලිට යාන්තම් මතකයි. හිතේ දහිරියට ඇවිදගෙන ආවට ළඟ තිබ්බ පුටු අතටත් වෙර අරන් තමයි වාඩි උනෙත්. මුලින් ඇහපු ප්‍රශ්ණ මොනවද කියලා මතකත් නෑ. නිමාලිට මතක ලිපි ගොනුව අතට ගත්තු කළු , මහත සර් ට හිනා යන බව විතරමයි. 

මේ ගෙයි කොච්චර කලක් හිටියද?
අවුරුදු පහක් සර්. 
මේ අර සෝමරත්න මහත්තයාගෙ ගෙදර නේද?. 
ඔව් සර්,, ඊට පිටිපස්සෙ තමයි අර මේ ඉස්කෝලෙ උගන්නන ලියනගේ සර් ගෙ ගෙවලුත් තියෙන්නෙ.
එතකොට ඔයා මාව අඳුරන්නෙ නැද්ද?
නැහැ සර්..
ලියනගේ සර්ගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ මමනෙ, අපි ඒ ගෙදර පදිංචි උනේ මීට අවුරුදු විස්සකට ඉස්සරනෙ. 


ෆයිල් එක පෙරල පෙරල හිටපු සර්ට නං හිනාව නවත්තගන්නම බැරි උනා.

 දෙයියො වැඩල වගේ නිමන්ත ගේට්ටුව ළඟ. මම හිතුව ඔහොම වැඩක් වෙයි කියල. ඒකමයි මම මෙතනට ඇවිත් හිටියෙ , මදැයි ඔයින් ගියා. 
ඔක්කොමත් ඉවසන්න පුළුවන් නිමන්තගෙ පල් හිනාව,,,,,,,,,,,,,,,,හ්ම්...

Saturday, 25 December 2010

ගෝ දානය


මේ පින්තූරෙ ඉන්න කෙනා දිහා හොඳට බලන්න. මෙයා මේ ඉන්නෙ අලුත්ගම හරක් මස් කඩේ ඉස්සරහ.
හොඳටම බය වෙලා කියලා පේනවා නේද? එයාට දැනෙන්න ඇතිනෙ සනුහරේ කට්ටියගෙ ජීවන සුවඳ. හැබැයි අපි මෙයාව මෙතනට ගෙන්නුවෙ පරලෝකෙ යවන්න නෙමේ. ජීවිතේ බේර ගන්න.

මස් මාළු කන අපි මොන තරම් පව්කාරයොද කියලා හිතෙන්නෙ මේවගේ තැනකට ගියහම තමයි. ඒ හැම ප්‍රාණියෙකුටමත් ඇතිනෙ හිතක්. උන් ට ඒ ලේ සුවඳ ආපු මොහොතෙ පටන් මැරෙන කම්ම, කී වතාවක් උන් හිතෙන් මැරෙනවා ඇද්ද?  


අපි මෙයාගෙ අයිතිකාරයට සල්ලි දීල ගෙදර ගෙනාවා. එහෙ ඉඳන් අපේ ගෙදරට ටිකක් දුර නිසා ලොරියක පටවලා ගේන්න උනා.     එයාගෙ අයිතිකාරයටම අපි කිව්ව ලොරියට පටවලා දෙන්න කියලා.   අනේ ඒ කෙනා ගිහින් කඹේ ඇල්ලුවා විතරයි මෙයාට මළ, මුත්‍රා දෙකම පිට උනා.
( ඒ සිද්ධියෙ වීඩියෝ එකක් නං තියෙනවා,, මේකට දාන්න බැහැ නෙ :( ) 



ඔය දෙවෙනි පින්තූරෙ තියෙන්නෙ ගමනට ලෑස්ති කරපු හැටි. ආ මෙයා වැස්සි පැටියෙක් හොඳේ. ලොරියට නග්ගගෙන අපි එන්න හදනකොටයි ඇඟ සීතල වෙන කතාව අහන්න ලැබුණෙ        
 .   " මෙයා දෙපාරක් ම මස් කඩේට ඇවිදින් ආපහු ගියා මහත්තයා, ඒ දෙපාරෙම මස් වැඩියි කියලා මෙයා මරණෙන් බේරිච්චි කෙක්",,,  .

  


මගේ ජීවිතේට මේවගේ පින්කමක් කරපු පළමු වතාව මේක නෙමේ. මේ අපි නිදහස් කරපු හතරවෙනි එළදෙන. මුල් දෙවතාවෙම මේ අලුත්ගම මස් කඩය ආසන්නයෙදිත්, තෙවෙනි වතාව කළුතර බෝධිය මගින් කෙරෙන් පින්කමකදිත්  මට, අපේ පවුලෙ අයට වාසනාව ලැබුණා ජීවිත හතරක් බේර ගන්න.

ඉහත ආත්මෙක කරපු පිනකට මේවගේ දන් පින්කරන්න හිතක් ලැබුණ එක මොන තරම් වාසනාවක්ද? ඒත් ඉතින් කරපු කරුම්වල මහත කියන්නෙ මටත් තවම බැරි උනා මාළු සහ කිකිළියො මම වෙනුවෙන් මැරෙන එක නවත්තන්න. ..


        එක වතාවකදි හරකා වෙනුවෙන් මුදල් ගෙවන්න අපිට සිද්ධ උනා ඔවුන්ගෙ රාජකාරි අහවර වෙනකම් බලන් ඉන්න. පැය භාගයක් ඇතුලත හරකුන් දොළොස් දෙනෙකු පමණම පරලොව යවන්න තරම් ඔවුන් කාර්‍ය ශූර උනා. මම නම් වහනේට වෙලාම හිටියා, අපේ මහත්තයා ගියා චණ්ඩියා වගේ බලන්න, මෙන්න ටික වෙලාවකින් එයත් වාහනේට නැග්ගා. සත්තුන්ගෙ කුර, වල්ගා එහෙම වෙන වෙනම ගොඩ ගහලා කොහෙදෝ අරන් ගියා...




කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කෙරෙන ගවයන්ට අභය දානය දීමේ පිංකම පැවැත්වෙන්නෙ කලෙකට ඉස්සර " ගව ඝාතකාගාරය " තිබුණු තැනලු. එහෙන්  නිදහස් කෙරෙන ගවයින්ව තන්තිරිමලේ ට යවනවා. එහෙ ඉන්න කිරි ගොවීන්ට උන්ව බෙදාදෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් පස්සෙ කාලෙක උනත් අපි නිදහස් කරපු ගවයා ගැන හොයා බලන්න පුළුවන්. 


මීට වසර පහකට පෙර අපි නිදහස් කරපු පළමු සතා නම් දැන් මවක්. අපි දන්න කියන කෙනෙකුට තමයි දුන්නෙ හදාවඩා ගන්න. දෙවනි එක්කෙනත් දුන්නෙ කිරි ගොවියෙකුට. එයත් හොඳ සනීපෙන් ඉන්නවා. තුන් වෙනියා ගියේ තන්තිරිමලේ නේ. එයා නම් බලන්න යන්න බැරි උනා. මේ තමයි හතර වෙනියා. . 


ඔය ඉන්නෙ ගෙදරට ආවට පස්සෙ .


 

මෙයව බලාගන්න දෙන්න කෙනෙක්ව හොයනකොට අපේ වඩු බාස් උන්නැහැ කිව්ව එයාගෙ ගෝලයට දෙන්න කියලා. ඔය ඉන්නෙ ඒ කෙනා තමයි. එයාගෙ ගෙදරටත් ටිකක් දුර නිසා අපේ කලූට ආයෙත් ලොරියක යන්න උනා. හිතන්න ඇති මේ වතාවෙ නං මස් කඩේටම තමා කියලා.  



මේ බලන්න ගෙනියන්න හදනකොට අනේ මට නං බෑ කියලා බෙල්ල පොළවටම තියා ගත්තු හැටි

මම කලින් වතාවක මස් කඩේ ළඟ ඉන්නකොට දැක්කා මරන්න හදන්කොට ඉන්නෙත් මෙහෙම තමයි. බලන් හිටපු අපි කාටත් අනේ,,, කියලා කියවුනා. ඒත් ඉතින් මේ ගෙනියන්නෙ හොඳට බලා ගන්නනේ. මරන්න නෙමෙයිනේ.... 



මෙයාව ලොරියට පටව ගන්න සෑහෙන වෙහෙසක් ගන්න උනා. අර විදිහටම සෑහෙන වෙලා බෙල්ල පොළවෙ තියා ගෙනයි හිටියෙ.. 



එයා නං හොඳින් ඉඳියි. ඒත් අනිත් සත්තු. 

" මිස් සතෙක් නං ඉන්නවා, හැබැයි කළු පාටයි" ,නිදහස් කරන්න සතෙක් හොයන වෙලාවෙ උදව් කරපු කෙනා කිව්වා. 
" ඉතින් ඇයි? " 
" මිස් ,, සාමාන්‍යයෙන් නිදහස් කරන්න ගන්නෙ දුඹුරු පාට සත්තු" " කමක් නෑ... පාට මොක උනහම මොකෝ" මට නං හිතුනෙ එහෙම...

" මිස් මෙයා නොගත්තනං ඉස්සරහට එන උත්සව කාලෙ නිසා හෙට අනිද්දට අනිවාර්‍යයෙන් මෙයා කොක්කෙ!!! "    අපි සල්ලිත් ගෙවලා පිටත් වෙන්න හදනකොට කෙනෙක් කිව්වා....


 පුළුවන් කමක් තියෙනව නම් මහාචාර්‍ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත,  
" මේ ජීවිතයේ දීම පලදෙන කර්මය " පොත හොයගෙන කියවලා බලන්න!!!
.

Monday, 13 December 2010

දේසේ හැටියට,,,,,

චූටි මහත්තයගෙ සීනි බෝතලේ කතාවට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒ පලාතෙ වචන ගැන. මමත් ටික දවසක් ගුරුකම් කරානේ ඒ පැත්තෙ. ඉතිං ඒ වචනෙ අමුත්තක් දැනුනෙ නැහැ, මට නම්. හැබැයි ඒක මටත් ඇහිල තිබුණෙ චූටි මහත්තයාට ඇහිච්චි විදිහටම නෙව. වෙන්න පුළුවන්, මම වැරදි ඇති.!!!

සති දෙකේ ගුරු පුහුණුවකදි වරක් මම අසනීප වෙච්චි නිසා දවසක් යන්න බැරි උනා පාසලට. මා එක්ක පුහුණුවට ගිය අනිත් සහෝදර ගුරු සිසුවාගෙන් ළමයෙක් ඇවිත් ඇහුවලුනෙ, 

" සර් කෝ අර හින්නික්කිතර මිස් ?"   කියලා. 

මාව ඉතිං මේ ඊයෙ පෙරේදා මුහුණු පොතෙන් දැන් අඳුරගත්තු කට්ටිය නං කියයි මේ බොරු කියලා. අනේ ඉතින් මාත් ඒකාලෙ හින්නික්කිතරම තමයි. 


විද්‍යාපීඨයට ගිය අළුත ඔය වගේ විවිධාකාර වචන ඇහෙන්න ගත්තා. සමහර ඒවා තේරුම් ගියෙත් නැහැ එක පාරටම. මොකද ඒ වචන අපේ පලාතේ භාවිතා වෙන්නෙ ඊට වඩා වෙනස්ම අරුතක් දෙන්න නිසා. 

මට මේ අත් දැකීම තියෙන්නෙ කාලයක් දකුණු පලාතෙත්, පස්සෙ නැගෙනහිර පලාතෙත් අවුරුදු කිහිපයක් නේවාසිකව ජීවත් වෙන්න සිද්ධ වෙච්චි නිසයි. මේ දෙපලාතෙ ගොඩක් වචන භාවිතය එක වගේ. ඒක නම් වෙන්න ඇත්තෙ නැගෙනහිර පලාතෙ ගොඩක් ජීවත් වෙන්නෙ දකුණෙන් එහෙට සංක්‍රමණය වෙච්චි මිනිස්සු නිසා වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ....

 
ගුරු පුහුණුවට හිටිය කාලෙ ජංගම දුරකථන භාවිතය එහෙන් තහනම් කරලයි තිබුණෙ. ඇත්තටම අපි ගොඩක් කට්ටියට මේක හරි මානසික වධයක් උනා. මුළු විද්‍යාපීඨයටම එකම එක පොදු දුරකථනයක් තමයි තිබුණෙ.
විනාඩියක, දෙකක ඇමතුමක් ගන්නත් සමහර වෙලාවට පැය ගනන් පෝලිමක ඉන්න උනා. එතකොට ඉතිං නිවාඩු දවසම ඉවරයි. 

ඔහොම ඉන්නකොට දවසක් එක ළමයෙක් කිව්වා,

" කෝල් එකක් දෙන්නත් විදිහක් නෑනෙ, ඒ නිසා මම ලියමක් දෑවා කියලා" 

මට නම් හිතුනෙම කෝල් එකක් දෙන්න බැරිවෙච්චි තරහට ලියුමත් පුච්චලා දැම්මා කියලයි. එතන හිටිය වෙන කෙනෙක් තමයි මගේ ගැටළුව නිවැරදි කරේ... 


එහෙදි අමුතුවට ඇහිච්චි තව වචන කීපයක්ම තිබුණා. මම එහෙ හිටියෙ මීට අවුරුදු නවයකට විතර කලින් නිසා දැන් නම් හරියට මතකත් නැහැ. 

හැබැයි පහළවට (15 ) පාළහ කියන බවත්, යට කියන තේරුමට පල්ලෙ කියන බවත් නං හොඳටම මතකයි.

තව එකක් ,අපි මොකක් හරි ද්‍රව්‍ය ලැයිස්තුවක් කියනකොට ඒවා එකිනෙක සම්භන්ධ කරන්නෙ "යි" කියන අකුරෙන් උනාට ,දකුණු පලාතෙ ඒක භාවිතා වෙන්නෙත් වෙනස් විදිහටකට. දකුණු පලාතෙ  කිව්වට මාතර අහ විතරද කොහෙද.. 

නිදසුනක් විදිහට අපි කියනවනම් බිස්කට් පැකට් එකයි, කෙසෙල් ඇවරියයි , කේක් ගෙඩියයි කියලා, එහෙ කට්ටිය කියන්නෙ බිස්කට් පැකට් එකකි,කෙසෙල් ඇවරියකි කේක් ගෙඩියකි කියලයි... 



 සීමවාසී පුහුණුවෙ ඉන්න කාලෙ මා එක්ක එහෙ විද්‍යාව විශයයට ගිය චන්දි කිහිප දවසක් ළමයින්ට පාඩමකට ඉවතලන සබන් කොල වගයක් ගෙවල් වලින් ගේන්න කියලා තිබුණා. ඒත් කවුරුවක් ගෙනල්ලා නැහැ. 
අන්තිමට අධීක්ෂණයට සර් ආපු දවසකම චන්දිට මේ පාඩම කරන්න වෙලා. ළමයි පාඩමට සූදානම් නැති නිසා සර් ගෙන් චන්දිට බැනුම් කෝටියයි. 

මේ පණ්ඩිත ළමයි සර් ගියාට පස්සෙ නං චන්දි පස්සෙ කරකැවෙනවා 
" මිස් ඔහෙට සර් බැන්නයි? " කිය කියා.

එයා කතා නොකරන පාර එක ළමයෙක් මගෙන් ඇවිත් අහනවා ,

" මිස්, අර මක්කැයි විද්‍යා මිස් දොඩං නැත්තෙ?"

දොඩං නැත්තෙ අවාරෙට වෙන්න ඇති, මම කිව්ව, අනේ ඒ පොඩි එකාට ඒ හරුපෙත් තේරුනේ නැද්ද කොහෙද,,,,,,,, 

නිකම් ඉන්න බැරුවටයි මේව ලිව්වෙ. දකුණේ ඇත්තෝ අමනාප නොවෙත්වා..

Friday, 3 December 2010

අනං මනං,,,,

ටොක්,,, ටොක්,, ටොක්,, ටොක්,,,,,,,, 

ඕක ඉතිං බයවෙන්න ඕනෙ සද්දෙකුත් නෙමෙයි නෙ. අම්මෝ ඒත් මට අමුත්තක් දැනුනා. ගෙදර කවුරුවත් නෑ. කෙල්ල නිදි. ඒ වෙලාවට තමයි නිදහසේ අන්තර්ජාලෙ ඉන්නෙ. 

අපේ අල්ලපු ගෙදර පාළුවට ගිහින් දැන් අවුරුදු ගනණාවක ඉඳන්. සීයයි, ආච්චියි මියගියාට පස්සෙ කාලයක් කුලියටත් දීල තිබ්බා. දැන් නං කවුරුවත්ම පදිංචි නෑ. බලන්නත් බයයි ඒ පැත්ත. කැලෑවටම ගිහින්. සද්දෙ එන්නෙ එහෙන් නෙ. ටිකකට කලින් කතා කරෙත් මළ ගෙදරක් ගැන. 

හොල්මන්ද? ඒත් මේ මහ දවල්? 
හොල්මන් වලට රෑ දවල් වෙනසක් නැතුව ඇති නේ? 

තිබ්බ ඔක්කෝම දහිරිය හිතටම අරන් බැලුව විපරමක් දාල, ම්හ්, නෑ පේන්න දෙයක්,සද්දෙ එහෙම්මමයි,,,,, අර කවුද කියන්නාවගෙ ඔන්න ඔහෙ ඕන එකක් කියල මිදුලටම බැහැලා විපරම් කරා. 
 
හයියෝ,වෙලා තියෙන දෙයක්. පිළිහුඬුරාලට කක්කුට්ටෙක් අහුවලා. හයිය නිසාද කොහෙද පරණ තරහක් පිරිමහන්න වගේ තියාගෙන ගහනවා අඹ අත්තට,,,,,,,,, 

දෙයියනේ මං බයවෙච්චි තරමක්,

Sunday, 31 October 2010

ගැහැණියකගෙ ජීවිතේ,,,,,,,,,,,,

" අපරාදෙ නංගි  රස්සාවෙන් අයින් උනේ,  ගැහැණියකගෙ ජීවිතේ වටිනාකමක් නෑ රස්සාවක් නැත්නම්. ජීවිතේ කියන්නෙ මහත්තයාවත්, දරුවන් වත් නෙමෙයි. රස්සාව නැතිකරගන්න නම් එපා  ,,,,,,,,,,,"

කියවන කාට උනත් දැනෙනවා මේක බොහොම දරුණු කියමනක් කියලා.  ටික දවසකට ඉහතදී මට සිදු උනා අපේ අම්මා සමඟින් එකට සේවය කරපු ගුරුතුමියකගේ මළ ගමට සහභාගී වෙන්න. එහෙදි තමයි කෙනෙක් මට මෙය කිව්වෙ. කියපු තැනැත්තියත්  ගුරුවරියක්. ඇගේ ස්වාමිපුරුෂයා පරිපාලන සේවා නිළධාරියෙක්. මම දන්න විදිහට බොහොම හොඳින්  ජීවත්වන යුවලක්. ඇය මියගිය ඇගේ  නැන්දම්මාට සැළකුවේ තමන්ගේම අම්මාට වගේ. ඒත් ඇයි මෙහෙම කිව්වේ,,,,,,,,, මම මේ තවමත් කල්පනා කරන්නෙ ඒකට හේතුව තමයි.


.උසස් පෙළින් පස්සෙ අවුරුදු තුනක්  විද්‍යාපීඨයෙ ගත කරළා, ඊට පස්සෙ තවත් අවුරුදු තුනක් දුෂ්කර සේවා කරලා මේ වෙනකොට මගේ රැකියාව "ගුරු වෘත්තිය " බව සඳහන් වෙන්නෙ ජාතික හැඳුනම්පතෙත්, විදේශ ගමන් බලපත්‍රයෙත් විතරමයි.. ජීවිතේ හොඳම කාලෙ රැකියාව වෙනුවෙන් කැපකරලා, කොටින්ම පරිවාස කාළයකුත් අවසන් කරලා සේවය ස්ථිර කිරීමේ ලිපිය අතටම ලැබුණට පස්සෙත් රස්සාවට ආයුබෝවන් කියන "මම " වගේ "හරී" ලා තවත් අපමණ ඇති.

"ඔයාට පස්සෙ දුක් වෙන්න වෙයි",,,,,,,,,,     ඇත්තටම එහෙම වෙයිද?

රැකියාව ගැන නොහිතා ජීවිතේ ගැන හිතපු නිසා අද මම මවක් ගෘහණියක්.  මම එහෙම කිව්වේ මම හොඳින් දන්න තවත් කෙනෙක්,, " මොනවා උනත් රස්සාව නම් අත් හරින්නෙ නැහැ"  කියපු ,, අද දරු සම්පතක් ලබා ගැනීමට නොහැකි වීම  නිසා දුක් වෙන නිසා.

" රස්සාවක් නම් ඕනා වෙලාවක සොයා ගන්න පුළුවනි, ඒත් ඔයා ජීවිතේ ගැන හිතන්න" . මම මට තේරෙන හැටියට ඇයට කිව්වෙ එහෙමයි. පස් අවුරුදු දුශ්කර සේවා අවසානයේ ඇය දැනට නිවසාසන්නයේ පාසලක ගුරුතුමියක්. ඒත් ජීවිතේ හිස්තැනක්..

"ඔයා බඳින්න කළින් අයියව හොඳට දන්නවා, ඒත් මම බැන්ඳෙ යෝජනාවකින්, එයා දැන් මොනවා කිව්වත් මට කැමති වෙන්න ඇත්තේ මගෙ රස්සාව නිසා, ඒ නිසා මම නම් මේක අත හරින්නෙ නැහැ  " .  අවුරුදු කිහිපයක් ඒ දෙපළවම ඉතාම ළඟින් ආශ්‍රය කළ නිසා මම දන්නවා ඒ සොයුරා බොහොම ගුණ යහපත්, රැකියාව ගැන පමනක් නොහිතන කෙනෙක් වග.  දෙපාරක් හිතන්න දෙයක් නෑ මගේ මිතුරිය ඉන්නෙත් මට මුලින් අවවාද දුන් සොයුරියගෙ මතයෙ...

  ඇත්තටම මට දුක් වෙන්න වේවිද?.


මෙහෙම ඇහුවට මට හිතේ දෙගෙඩියාවක් නැහැ. ගත්තු තීරණය ගැන මේ මොහොත දක්වාම මම ඉන්නෙත් සතුටින්. මටත් වඩා උගත්,, මීටත් වඩා විශාල වැටුප් ගත්තු කාන්තාවො අනන්ත ඇති.




එහෙනම් ඇයි මෙහෙම කියන්නෙ? ,,,

Sunday, 17 October 2010

සිතින් පතා ඉන්නම්,,,

රසිකා කාමරේ ඇඳ දිහා බැලුවෙ පුදුම සතුටකින්. දේශන ඔක්කොම හමාර වෙලා එනකොට පුදුම මහන්සියක්. ඒ මදිවට නිකන් ඉන්න බැරුවට හවස නෙට්බෝල් ගහන්නත් ගියා. ඒත් ඒ සතුට දිය වෙලා යන්න ගියේ එකම එක මොහොතයි. කාමරේ ළඟින් මතු උනේ පහළ නේවාසිකාගාරෙ නංගි කෙනෙක්.


"අක්කෙ වරුණි ලෙඩ වෙලා"

" ආ,,,,,,,,,,,, ඒ මොකද? "

" ෆෝන් බොක්ස් එක ළඟදි කලන්තෙ දාලා වැටිලා "

වරුණිටත් නිකන් ඉන්න බැරුවට ඉන්නෙම ෆෝන් බොක්ස් එක ළඟ. නොකා නොබී ඔතන වේලෙනකොට කලන්තෙ නොදා හිටියොත් තමයි පුදුම..

" හා,, හා,,,,,,,යමු බලන්න "

එක ගමේ කෙල්ලෙක් වෙච්චි කොට අසනීපයක් කිව්වම නොබලා කොහොමද, රසිකා ඉස්සර උනා.



" අක්ක දන්නවද වෙලා තියෙන දේ ? " පණිවිඩේ ගෙනාපු නංගි කේලමක් කියන්නයි හදන්නෙ

" නෑ මොකක්ක්ද වෙලා තියෙන්නෙ ? "
 
" වරුණි ගෙ බොයි ෆ්‍රෙන්ඩ් ඇක්සිඩන්ට් වෙලා"


ආහ්,,,, රසිකට මතක් උනා පහුගිය ටිකේම යන එනකොට වරුණි කියෙව්වෙම මේ කොල්ලා ගැන වෙන්නැති කියලා.

" ඉතින් අමාරුයිලුද? "

" ඔව් ඉන්නෙ ඉන්ටෙන්සිව් කෙයාර් එකේ ලු"

අනේ දෙයියනේ,,,, කවුරු උනත් ජීවිතයක් නේ. රසිකා ඒ පිරිමි ළමයා ගැන වැඩි විස්තර දැනගෙන හිටියෙ නෑ.
ඒත් පහුගිය ටිකේම තමා එක්ක ඕනාවටත් වඩා මේ ගැන වරුණි කියෙව්වා නේද කියලා නම් මතක් උනා.රසිකට නම් හිතුනෙ ඉඳල ඉඳල යාළු වෙච්චි නිසා අගේ වැඩි ඇති කියලා.

කාමරේ කෙල්ලො ටික වට කරගෙන. වරුණි ඇඳේ අනිත් පැත්තට හැරිලා අඬනවා. රසිකා ළඟට ගියේ නැහැ. දුක තුනී වෙනකම් ඔහේ අඬපුවාවෙ.

" මොකක්ද දිලුනි උනේ ? "

" මෙයා ට දවස් ගානක් චින්තක කතා කරේ නැහැ ලු. ඒ නිසා බරිම තැන ගෙදරට කෝල් කළා අද,, එතකොට තමයි විස්තරේ දැනගෙන තියෙන්නෙ. චින්තකගෙ අම්මාලු ෆෝන් එකට ආන්ස්වර් කරේ. විස්තරේ කියලා ඉවර වෙලා මෙයාල හොඳටම බැනලත් එක්ක,,,එතකොටම තමයි මෙයා සිහිය නැතුව වැටුනෙ, අපි උස්සගෙන ආවෙ. කාමරේට ආවටත් පස්සෙ සිහිය ආවෙ."
 
 දිලුනිගෙ සද්දෙට වරුණිට රසිකා දිහා බැලුණා. පටන් ගත්තෙ නැතැයි ආයෙත් මුල ඉඳලා අඬන්න.

" හරි හරි ඔයා අඬන්නෙ නැතුව ඉන්නකො,, එහෙ විස්තර අපි කෝල් කරලා අහගන්නද? "

" අනේ ඒක විතරක් කරන්න එපා,,,,,,,,ආයෙත් මට බනී,,, එහෙ අම්මා හරිම සැරයි. ඔයලා කෝල් කරපුවහම ඒ මම කියලා හිතයි,,,,,,,,,,,, "

වරුණි හිටියෙ හරි කල්පනාවකින් නෙමෙයි කියලා කාටත් හිතුනා. කාමරේ ඉන්න යාළුවො බත් එක අනලා කවන්න තරම් කරුණාවන්ත උනා. ඒත් පහුවදාත් සුපුරුදු වෙලාවට ෆෝන් බොක්ස් එක ළඟට ගියා.


" අපි කතා කරලා විස්තර අහන්නද? " මේ වගේ වෙලාවට දිලුනිගෙ හිත නම් බටර් වගේ වෙනවා. ඒත් වරුණිගෙ හිත හයියයි.. කාටදෝ කතා කරලා චින්තකගේ විස්තර අහගෙන තිබුණා.  අනතුර වෙච්චි හැටි, චින්තකගෙ තත්ත්වය, අම්මා වරුණිට බනින හැටි ඒ යාළුවා ඔක්කොම වරුණිට කියලා තිබුණා.

මූණ බැලුවම දුකේ බෑ. වරුණි ඒ ටිකේම කන්න ඩයනින්ග් හෝල් ගියෙත් නෑ. කවුරු හරි කාමරේ කෙනෙක් බත් එක බෙදාගෙන ඇවිත් දෙනවා.
 
සතියකට විතර පස්සෙ රසිකව හොයාගෙන ආවෙ දිලුනි.
 " මට චුට්ටක් කතාකරන්න ඕනි "
රසිකා දිලුනිව ඇදගෙන ගිහින් බුදු මැදුරෙ පඩි පෙළ ළඟින් වාඩි උනා.
" ඉතින් කියහන්"
" මට නම් මේ විකාර බලන්න ඉන්න බෑ බං,,,,,,,,,"
" මොන විකාරද? "
" අරය අඬනවා මිසක් කන්නෙ බොන්නෙත් නෑ, කන්නෙ බොන්නෙ නෑ කිව්වට බත් ගෙනත් දුන්නම කනවා,"
ඒකට නම් රසිකට නිකන්ම හිනා ගියා,,,
" ඉතින් "
" මේ වැලපිල්ලෙ තේරුමක් තියෙන්න ඕනි නේ,,,මෙයාට හොස්පිටල් ගිහින් බලන්න පුළුවන් නේ, ඕනා කමක් තියේනම්, මෙයාට යන්න ඕන කමකුත් නැහැනේ." දිලුනි දිගටම කියාගෙන ගියා ,,,,,

"මේ සමහර හැසිරීම අපිට සැකයි බං,,,,,,,, ඔය චින්තකයි මෙයායි කරා කියන කම්පියුටර් කෝස් එක කරපු මෙයාගෙ යාළුවා තමයි ගිහානි කියන්නෙ,"
" ආ,,, ගිහානිව මම දන්නවා, මමත් ඔතන කාලයක් ඉගෙන ගත්තා ",,
 
" මෙයා නාන්න ගිය වෙලාවක මෙයාගෙ දින පොතක් පෙරළලා ගිහානි ගෙ ෆෝන් නම්බර් එක හොයා ගත්තා මම,,, අනේ රසිකා මම එහෙම කරේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න මිසක් වෙන අදහසකින් නම් නෙමෙයි "
" හ්ම් හ්ම් ඉතින් " රසිකා හූමිටි තිබ්බා
" මම පස්සෙ ගිහානිට ෆෝන් කරලා චින්තකගෙ තත්ත්වය ගැන ඇහුවා,,
 එහෙම කියලා දිලුනි, රසිකගෙ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා.

 " ඒ කොල්ලට මොන අමාරුවක් වත් නැහැලු බං,"
" ඒ කිව්වෙ,,,,,,"
" ඌ ඇක්සිඩන්ට් වෙලා නෑ, දෙයියන්නෙ පිහිටෙන් යහතින් ඉන්නවා "
" එතකොට කවුද වරුණිට බොරු කිව්වෙ, අම්මද? නැත්නම් මෙයා මඟ අරින්න චින්තක කරපු වැඩක්ද? අනේ මන්දා දිලුනි මේවා අහනකොට පිස්සු හැඩෙනවනෙ "
" හිටින් ඔක්කොම කියනකං ,,මඟ අරින්න එයා මෙයා එක්ක යෑළු වෙලා හිටියෙත් නැහැලු,,,,,,,,,,,"
" මො න වා,,,
" ඔව්, බං,, ඒ කොල්ල මෙයාට වැඩිය බාලයිලු, චින්තක වරුණිට කතාකරන්නෙත් අක්කා කියලාමලු. මෙයාගෙ මේ මනෝ විකාර. "
" එතකොට සිහිය නැතුව වැටුණෙ???? "

" ඔක්කොම බොරු කරළා තියෙන්නෙ,,, දන්නවනෙ අපේ කාමරේ අනිත් උං,,, උං, මේක දන්නවා නම් කවනවා නෙමෙයි ගහනවා අල්ලගෙන,,,,,,,,,,, මම හින්දම හොඳයි,,"
" ඒක නම් සහතික ඇත්ත,""
 " තව පුංචි වැඩයි කරන්න තියෙන්නෙ,, අනේ රසිකා ඒකත් කරලා බලමු "
" ඒ මොකක්ද ? "
" ගිහානි දුන්න චින්තකගේ ෆෝන් නම්බර් එක එනවද කතා කරන්න යන්න "
" බොක්ස් එකට දුවන්න බෑ,, මෙන්න මගේ ෆෝන් එකෙන් ඔයාම කතා කරන්න,,,,,"


මේ චින්තක ගේ කතාවයි,,,

" අනේ අක්කේ ,,රසිකා අක්කත්, දිලුනි අක්කත් ගැන මට වරුණි අක්කා කියලා තියෙනවා. මම මගේ අක්කෙක් වගේ හිතලා තමයි ගිහානි අක්කව, වරුණි අක්කව එක්ක ආශ්‍රෙ කරේ. ඒ ත් මේ ළඟදි ඉඳන් වරුණි අක්කා වෙන මොකක්ද අදහසක් හිතේ තියාගෙන මා එක්ක කතාවට එනවා, කොටින්ම මට පාඩමක් කරගන්නවත් වෙලාවක් නෑ, නිතරම කෝල් කරලා කරදර කරනවා,, බැරිම  තැන මේ ළඟදි දවසක් මම හොඳටම බැන්නා.එයා ආයෙත් නම් මට කරදර කරන එකක් නැහැ.."


මෙවන් වූ චරිත දහසකුත් අප අතර සිටී, අප කළ යුත්තේ ඔවුනට සිනහසීම නොව අනුකම්පා කිරීමයි. මානසික ගැටළුවකින් පෙළෙන අයෙකුට වෙදකම් මෙන්ම හෙදකම්ද ඇවැසිවේ. 
කිසිවෙකුට අපහාසයක් සිදු කිරීමට මෙය නොලීවෙමි,, මෙහි  චින්තකගේ තත්ත්වයට පත්වූ සොයුරෙක් කියූ කතාවක් නිසා මෙය ප්‍රබන්ධ කළෙමි,,,,,,,,,



.