Friday 16 July 2010

ගුණ සුවඳ






            ඇත්තෙන්ම මට මේ සටහන ලිවීමට සිත් වූයේ මෑතදී දුටු ලිපි කිහිපයක් නිසාවෙනි.   මේ දයාබර සටහන පසු කලෙක මගේ ජීවිතයට ඉතාමත් ලංවූ පුද්ගලයෙකු පිළිබඳවය.කිවහොත් නෑකමට ඔහු මගේ සීයාය. නිවැරදිව කිවහොත් ලේ ඥාතියෙක්ද නොවේ. ඔහු මගේ එක් බාප්පා කෙනෙකුගේ  මාමා කෙනෙක් වූව ද   ඊටත් වඩා අපට ලංවූයේ  බාප්පාට තමාගේම පුතුට මෙන්ම සැලකූ නිසාමය ,

        මා දන්නා පරිදි බෙන්තර - ඉඳුරුව ප්‍රදේශයේ උපන් ඔහු වෙද සීයා වූයේ පරම්පරාවෙන් උරුමවූ වෙදකමක්  නිසා නොව, එකල අලුතෙන් ආරම්භ කල ගම්පහ ආයුර්වේදයේ සිසුවෙක් කිරීමට ඔහුගේ පියාට අවැසි  වූ නිසාමය .
ඔහු මගේ ජීවිතයට ලංවන විට දකුණු පලාතේ පදිංචි කාරයෙක් වූයේ විවාහය නිසාවෙනි. ඔහුගේම වචන වලින් කිවහොත්  බත් කාපු ගෙදර නැවතීම නිසාය.

මීට වසර කිහිපයකට පෙර විද්‍යාපීඨ පුහුණුව අවසානයේ සීමාවාසික වසර සඳහා ගාල්ලේ පාසලක් ලැබෙන තුරු මා බලා සිටියේ මේ වෙද සීයගේ ගෙදර නැවතීමට පුළුවන් නිසාවෙනි. මම, අපේ ගෙදර අනෙක් අය මෙන්ම වෙද සීයාද මට ගාල්ලේ පාසලක් ලැබෙන තුරු බලා සිටියේය.
 එහෙත් වසර අවසානයේ සිතූපරිදි මට ලැබුනේ ගාල්ලේ පාසලක් නොව මාතර සුමේධංකර මහා විද්‍යාලයයි. මට වඩා කම්පා වූයේ වෙද සීයාය. ඒ දැනගත් සැනින් ඔහු තමාගේ හිතවත්  මිත්‍රයෙක් වූ, එවකට ඇමති ධූරයක් දැරූ  රිචඩ් පතිරණ  මහතා සොයා ගියේය.  එවක අපේ විද්‍යාපීඨයේ විදුහල්පතිනිය වූයේ රිචඩ් පතිරණ මහතාගේ නෑනා  නිසා වෙද සීයාගේ ඉල්ලීම මත මට  ඔහුගේ නිවසේ නැවතී සිට යා හැකි නිමලව විදුහල ලැබුණි.

 එතැන් සිට මම ඒ අපූරු නිවසේ සාමජිකයෙක් වීමි. අපූරු නිවසක්  ලෙස මා හැඳින්වූයේ  එහි වූ පිලිවෙල නිසාය. වෙද සීයා මෙන්ම ආච්චීද ගේදොර වත්ත පිටිය ඉතා අලංකාර ලෙස තබාගෙන සිටියහ.

අත්තෙන්ම වෙද සීයා ඉතා පිරිසිඳුව , පිළිවෙලට වැඩකිරීමට කැමති පුද්ගලයෙකි. කිරි සුදු පාටින් බබළන ඔහුගේ ජාතික ඇඳුමේ රැළි ගැසුනු තැන්, පොඩිවුනුතැන් නොමැත. ඔහුට ඔහුගේම කතා රටාවක් ඇත.
 " දුවේ  මට මේ ඇඳුම පොඩ්ඩක් තලා දෙන්න"   ඔහු තම ඇඳුම මැද දෙන ලෙස මගෙන් ඉල්ලන්නේ එලෙසිනි. තෙල් ගා මනාලෙස හිස පීරා ගැනීමට ඔහුට වැඩි කාලයක් ගතවේ. වරක් මගේ සුවඳ හමන ඔලිව් තෙල් බෝතලයෙන් බිඳක් දමා එය වරුවක් අගේ කල හැටි මට තවමත් මතක් වෙයි .කොටින්ම මේ ලියන මොහොතෙත් මට සිහියට එන්නේ කිරි සුදු ජතික ඇඳුමෙන් සැරසී හිනැහෙන වෙද සීයාය.
             ඔහු ඉතා විනෝදකාමී ජීවිතයකට හුරුවූ අයෙකි. සැහැල්ලුව කෙසේදැයි කිවහොත්  මට නම් සිතෙන්නේ ඔහුගේ පවුල රැකුනේ ආච්චි අම්මාගේ ඉවසීම නිසාවෙනි. ඒ මන්ද කිවහොත් දේශපාලන වැඩට ගියවිට ඔහුට ගේදොර මතක නැත. මිතුරෙක් කිසියම් වැඩකට කතාකල හොත් සියළු වැඩදමා දුවයි.

වෙදකමින් ලැබුණු දෙයින් සරල ලෙස ජීවත් වූ යහපත් මිනිසෙකි.වරක් වෙද සීයාගෙන් වෙදකමක් කරවාගත් උද්‍යාන අලංකරන ශිල්පියෙක් සතුටට පත්ව වෙද සීයාගේ ගෙවත්ත අලංකාර කර දීමට ඉදිරිපත්ව ඇත. වෙද සීයාගේ ගෙවත්ත දුටු ඔහු මෙහි තමාට වෙනස් කිරීමට කිසිවක් නොමැති බව පවසා ආපසු හැරීගිය පුවත මා සමඟ කීවේ මහත් ආඩම්බරයෙනි.ඒ ගෙවත්තේ නැති ජාතියක් නැති තරමය. කොහේ ගියත් මල් පැලයක්, බෙහෙත් පැලයක් ගෙනත් සිටුවයි..

 මා ඒ නිවසේ සිටි සමයේ අපි තිදෙනාට අමතරව තවත් ජීවිත නමයක් එහි වාසය කලහ. ඒ වෙද සීයාගේ බළල් පවුලයි. මොවුන්ට පුදුමාකර නම් ඔහු තබා තිබුනි, මට මතක ඇති පරිදි 'හිච්චි කෙල්ල, හීන් එකී, පුරු පුරු ආදී වශයෙනි.

      ආච්චි අම්මා කොතරම් විරුද්ධ වූවත් ඔහු මේ මහා බළල් පරම්පරාව සතුටින් නඩත්තු කලේය. කොටින්ම උන්ට කෑම සඳහා වෙනම හාල්මැස්සන් කරවල කිලෝ ගනන් රැගෙන අවේය. ඒවා ඔහුගේම අතින් සකස් කර දුන්නේ ආච්චි අතින් උන්ට මදි පාඩුවක් උනොත් එය මහා අපරාධයක් යැයි සිතාමෙනි.
ඒවා සකස් කලේද විශේශ ආකරයකටය. සතුන්ට දීමට යැයි නොහිතාම ඒව හොඳින් සෝදා තම්බාගෙන,  ඉඳුල් නොමැති බත් හා ගා ගත් පොල් සමග කෑමට දෙයි. ඔහුගේ එක් ආමන්ත්‍රනයකින් මුළු  බළල් පවුලම දෙපා මුල සිටී.

 දිනක් ඔහු වත්තේ පිරිසිඳු කිරීම් වල නියැලී සිටියේය.
"හා හා ලිඳ පැත්තෙ යන්න එපා. වැටෙයි"  වෙද සීයාගේ කට හඬ ඇසුනු විට මා එළියට ගියේ යාබද නිවසේ වෙසෙන කුඩා දියණිය පැමිණ ඇතැයි සිතාය.
මට සිනහව නතර කර ගැනීමට අපහසු වූයේ ඔහු ලිඳ ලගට යන්න එපා කියා තිබුනේ එක් බළලෙකුට බැවිනි.

බළලුන්ට පනසේ ආදරය කරත් ඔහු බල්ලන් සමග යහළුකම් පවත්වන්නට ගියේ නැත. වැරදීමකින් හෝ මේ ගෙවත්තට ගොඩවන බල්ලන් පන්නා දැමූයේ බල්ලන්ගෙන් පූසන්ට වන හිරිහැර නිසා පමණක් නොවේ, ඒ උන් වත්තේ කැත කරන නිසාය. එහෙත්  සීයාගේ බළල් හුරතලුන්ද මේ වැඩය සඳහා වැසිකිළි භාවිතා නොකලද ආච්චි අම්මා දකින්නට පෙරාතුව ඒවා ඉවත්කර දැමූවේ බළලුන් බැනුම් අසන නිසාවෙනි.

      මේ තරම් හිතේ සවිය ඇති මිනිසෙකු මාදැක නැති තරම්ය. එවකටත් වයස හැත්තෑ අටත් ඉක්මවා සිටි නමුත් මාස් පතා කරාපිටිය මහ රෝහලේ සායනයට ගියේ බයිසිකලයෙනි. මට දුර ප්‍රමාණය නිවැරදිව කිව නොහැකි නමුත් වංචාවල, පිහිටි නිවසේ සිට කරාපිටිය රෝහලට සැලකිය යුතු තරම් දුරක් තිබේ. විශේෂත්වය වන්නේ මෙසේ බයිසිකලයෙන් ගියේ හදවත් රෝග සායනයට නිසාය. තවත් පුදුම කාරනය වන්නේ මේ වනවිට ඔහුට තිබුනේ එක් වකුගඩුවකි. මා දන්න පරිදි වයස හතලිස් ගනන්වලදීම කිසියම රෝගී තත්වයක් නිසා එක වකුගඩුවක් ඉවත් කර ඇත.මේ සියළු හපන්කම් ඔහු විසින් කලේ ගතේ සවියට වඩා හිතේ සවියෙන් බව මට නම් සිතේ.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමට නානු ආදිය පිළියෙල කරන්නේ ඔහුගේම සුරතිනි. තෙල් ගල්වන්නෙද වරුවක් පිරිත් කීමෙන් පසුය. වරක් අපි සැම හිස තෙල් ගලවන් නැකතට එහිගිය අපි පිළිගත්තේ අරුම පුදුම ආකාරයකටය. එනම් රතිඤ්ඤා පත්තු කරද්දී මෙන් කටින් ඩෝං, ඩෝං කියමිනි. දූදරුවන් පිරිවරා සිටීමට ඇති අන්නත වූ සතුට නිසාම ඔහු එදා අප සිනහ ගන්වමින් කටින් රතිඤ්ඤා පත්තු කලේය.

යටගල පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන දායකයන් කීප දෙන් අතුරින් එකෙකි ඔහු. එහි උඩ මලුවේ ඇතිරීමට කිසියම් විශේශිත කළුගල් වර්ගයක් සොයා ප්‍රදේශ කිහිපයක් පුරා කරක් ගැසූ හැටිද, අවසානයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ඒවා ලොරි මගින් කිහිප වාරකට ගෙන ආ හැටිද ඔහු මා සමඟ කීවේ යටගල විහාරයේ සළපතල මළුවේ ඇවිදිමින් එහි නිරාමිස සුවය විඳින ගමන්මය.

     මී කිරි සමඟ හෝ දිවුල් කිරි සමඟ කැකුළු හාලේ බත් කෑමට වෙද සීයා රුසියෙකි. එමෙන්ම මහත් විනෝදකාමියෙකි. මුවන් පැලැස්සට ඉතාමත් ආසාවෙන් සවන්දෙන වෙද සීයා, කෝරළේ මහත්තයාට නොදෙවනි ලෙස සිනහසෙයි. එකල ගුවන් විදුලියේ ලක් හඬ සේවයේ ප්‍රචාරය වූ දයාරෝහණ අතුකෝරළ මහතාගේ වැඩ සහනට සතිපතා සවන්දුන් මම දිනක් එය වර්නණා කරමින් එය ඇසීමට වෙද සීයාද කැමති කර ගත්තෙමි. එදින මාතෘකාව වූයේ ලිංගිකත්වයයි. වෙද සීයට බොහෝ සෙයින් කේන්ති ගියේය
"මොනවද දුවේ ඔය අහන්නේ"
එපමණකි. ඔහු නැගිට ඉවත ගියේය. ඉන්පසු එහි ඉන්නා තුරා මම ඒ වැඩසටහනට සවන් දුන්නේ නැත.

  වෙද සීයා විනෝද ගමන් යාමට මහත් ප්‍රියතාවයක් දැක්වූයේය. ගමනක් යනවිට ඔහු කොලු ගැටයෙකි. හරි හරියට අප සමඟ විහිළු තහළු කරයි. මොනවා කීවත් කලත් මහා හයියෙන් සිනාසේ. සමහරවිට අප කියන කතාවලට ඉතා කැමැත්තෙන් සවන්දෙන නමුත් අවසානයේ චිහ් චිහ් කියයි.

කොපමන රාජකාරී තිබුනද අපේ පොඩි මල්ලීගේ උපන්දිනය දා හවසට ගේ දොරකඩ පෙනී සිටියි. ඒ ඔහු ආදරය පෙන්වන හැටිය. කොතරම් උපාසක වූවත් හොස්ස ලඟින් මැස්සා යාමට බැරි අවස්ථාද වෙයි. කේන්තිය පිටවී සුලු මොහොතකින් යළි සියල්ල අමතක වේ. වරක් සීයා ඉතාසුළු කරුණකට යාබද නිවසේ විසූ ආච්චි අම්මාගේ අය්යාගේ නිවසේ අයත් සමඟ අමනාප වූයෙය. සීයාගේ ගෙදරට පැමිනීමට කෙටි මඟක් ඒ මිදුල උඩින් වැටී ඇත. දිනක් කොහේ හෝ ගිය සීයා අර කෙටි මගින් ආවේද ඔවුනට බැන වදිමිනි. උඹලගේ හුළඟ වත් වදින්න එපා මට කියමිනි. මේවාට කිසිවෙකු අමනාප නොවූයේ ඔහුගේ හැටි දන්නා නිසාමය.
"මොකද සීයෙ හුළඟ වත් වදින්න එපා කියලා අර වත්ත උඩින්ම ආවෙ" මම ඇසූයේ සිනහ වෙමිනි.
"ඒ ගොල්ලො දොර වහල තිබුනෙ" සීයාද සිනහවෙන්ම පිළිතුරු දුන්නේය.
 
ආච්චි අම්මා වාතේ අමාරුවටත්, හිසේ කැක්කුමටත් සිද්ධාලේපය ගල්වයි. වෙද සීයාට මේතරම් තරහකාරයෙක් තවත් නැත. කුමක්දෝ හේතුවකට ඔහු සිද්ධාලේප වෙද මහතාට සිනහසෙයි. ඒත් සීයාද සිද්ධාලේපය සොයන අවස්ථාවක් ඇත. එනම් හවස් වරුවේ වත්තේ වැඩ කරනවිට මදුරුවන් ගෙන් ගැලවීමටය. ගෙදර සීතල යුද්ධය ඇතිවන්නේ මෙවිටයි. ආච්චී කේන්ති කර සතුටුවන  සීයාගේ වැඩ මමද සිනහ වෙමින් බලා සිටිමි.


දිනක් තේ බොන අතර වාරයේ ගාලු කොටුව ගැන කතාවක් පටන් ගති.
"ගාලු කොටුව සුද්දට විකුණන්නයි මේගොල්ලො හදන්නෙ"
 දේශපාලන  කතා වලට මා කවදත් කැමති නැත. සීයා කේන්ති ගැන්වීමට සිතූ මම
"ගාලු කොටුව කොහොමත් අයිති වෙන්න ඔන්න සුද්දටනෙ සීයෙ,, මොකද ඒක හැදුවෙ සුද්දනෙ" කීවෙමි.
ඔහු මොනවාදෝ කියමින් වරුවක් මට බැන්නේ රට ජාතිය ගැන කැක්කුමක් නැති ඉස්කෝලෙ හාමිනේ යැයි  කියමිනි.

වතාවක් අසනීපවී කරාපිටිය රෝහලේ දින කිහිපයක් නැවතී සිටි ඔහු බැලීමට ගිය මා ආච්චි අම්මාට හොරෙන් පසෙකට කැඳවා ඇසූයේ
" දුවේ අර ළමයින්ට උපාසකම්මා කන්න දෙනවද" කියායි.එසේ ඇසුයේ බළලුන් ගැනය.

 ඒ වතාවේ සීයාගේ ඇඳට යාබද ඇඳේ සිටි රෝගී මිනිසෙකු සීයාට ස්වේච්චාවෙන්ම උදවු කිරීමට ඉදිරිපත්වීම අපට මහත් සැනසුමක් විය. මන්ද ඒ පුද්ගලයා සීයාට වඩා බොහෝසෙයින් සෞඛ්‍යය සම්පන්න ලෙසින් සිටිනවා යැයි කියූ නිසාය. පහුවදා අප යනවිට උදව්වට සිටි මිනිසා නැත. වෙද සීයා කියූ පරිදි මුත්‍රා බටයක් ගැනීමට මුදල් නොමැතිව සිටි ඔහුට සීයා මුදල්දී බටය දම්මවා පිටත් කරවා ඇත.
 
කොපමණ ලෙඩින් වැටුනද ආදරයෙන් රැක බලා ගත් ගෙවත්ත වල් වැදෙනු ඔහුට ඉවසිය නොහැකි කාරනයක් විය. වත්තේ වැඩට කෙනෙක් එනතෙක් මහන්සි වීම සීයාගේ පුතා විසින් තහනම් කොට තිබුනි. දිනක් මා පාසල් ගොස් එනවිට ගෙමිදුලට කළ එළිය වැටී ඇත. මා විසින් ඔහු වෙහෙස වූ කේලම කියවෙන බව දන්නා නිසාම ඔහු මා අසන්නටත් පෙර කියා සිටියේ වතු වැඩ සොයමින් ආ මිනිසෙකු ලවා කරවා ගත් බවයි. කුඩා ලමයෙකු සේ ඔහු සතුටු වූයේ එසේය.
  අවසාන කාලයේ කුමක්දෝ බෙහෙතක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය එක් රැස් කළ මුත් ඒ සාදා නිම කිරීමට තරම් කාලය ඔහුට ඉතිරිවී නොතිබුනි.

අවසානයේ ලෙඩින් වැටී අසාධ්‍ය වූ දිනයේ වත්මන් සිතුල්පව්වේ නායක ස්වාමීන් වහනේසේ සිතුල්පව්ව විහාරයේ කඨින චීවරයට වෙද සීයාගේ අත ගැස්සවීමට කරාපිටිය රෝහලටම රැගෙන ආවේ ඔහු විසින් කල සේවයට යුතුකම් සැලකීමට විය යුතුය. ප්‍රේමරත්න වෙද මහතා නොහොත් ගම්පහ වෙද මහතා ජීවිතයෙන් සමුගත් පසු උන්වහන්සේ රෝහල තුලදීම හඬා වැටුනේ සසර අනියත බව නොදැන නොව, මේ මිනිසා විසින් කරන්නට යෙදුනු සේවයට ලොවින් හරි සැලකුම් නොලද කණගාටුවට විය හැක.
 
  මා මේ මතකය අභියස මෙතරම් සංවේදී වන්නේ මා එහි රැඳුනු කාලයේ පටන් ඒ දෙපල විසින් ඔවුන්ගේ දියණියකට තරමින්ම මට ආදරය කල නිසාය. වරක් මා විදුසරට ලියූ කවි කියවා ඔහු ඒවා බොහෝසේ අගය කලේය. එකල්හි ඔහුට සතුටු වන්නට මෙබන්දක් නොලියවීම ගැන මම අද අපමණ දුක් වෙමි.

ආයුර්වේද වෛද්‍ය ප්‍රේමරත්න කණහැර ආරච්චි නම් ඔහුට මොක් සුව පතනු වස් මම මේ සටහන ලියා තබනෙමි.

7 comments:

  1. ඔහුට අජරාමර නිවන්සුව පතමි.....!

    ReplyDelete
  2. සුන්දර මිනිසෙකුගේ ගුණ සුවඳ සදා නොමැකේවි මතකයෙන්.........ඔහුට නිවන් සුව පතමි.......

    ReplyDelete
  3. පිං පෙත් පැමිණවීමට මා හා එක්වූ ඔබ දෙපලටම ස්තූතියි.

    ReplyDelete
  4. තාමත් ගම්වල ඔය වගේ කෙලින් ඉන්න ඒත් බොහොම සුමුදු හදවතක් තියෙන යුග පුරුෂයෝ ඉන්නව එයාලගේ සැඳැ සමයේ. සීය ගැන කතාව හරි රසවත් ඒත් අවසානේ දුක්බරයි. එතුමා කොතරම් සේවයක් සමාජයට කරන්න ඇතිද.
    හැමෝම ඔහුගේ ගුණ සුවඳ මතක් කරනව ඇති. මමත් නිවන් සුව පතන්නේ එක සිතින්.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි,, read my eye

    ReplyDelete
  6. මේ කතාව ආසාවෙන් කියෙව්වා... හරිම අපූරු මනුස්සයෙක්.... එහෙම මතක අදටත් සුවඳයි නොවෙද....
    වෙද මහත්මයාට නිවන් සුව අත්වේවා කියලා මමත් පතන්නම්....

    ReplyDelete
  7. මෙහෙම අපූරු මිනිස්සු හරිම දුලබ නිසාමයි ඒ මිනිසුන්ගේ ගුණ සුවඳ පරම්පරා ගණනාවක්ම විහිදෙන්නේ....

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා අක්කේ මොක් සුව පතන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි කට්ටිය නේද ?

    ReplyDelete